මනුෂ්‍යත්වයේ හා සහජීවනයේ සැබෑ කතාව උතුරට තේරුම් කර දෙමින් දෙගොඩ තළා ගැලූ මහා ගංවතුර | සිළුමිණ

මනුෂ්‍යත්වයේ හා සහජීවනයේ සැබෑ කතාව උතුරට තේරුම් කර දෙමින් දෙගොඩ තළා ගැලූ මහා ගංවතුර

  • ගංවතුර ආවේ මාන්කුලම මහ වැවේ අබලන් වැව් බැම්ම කඩාගෙන
  • කිලිනොච්චියේ 57 සේනාංක කඳවුරු ජල ගැල්මට හසුවෙද්දීත් සේනාංකයම ජනතාව ගලවාගැනීමේ මෙහෙයුමක
  • මුලින්ම යුද හමුදාව කඹ දාල මිනිස්සු ආරක්ෂිත තැන්වලට ගෙනත්. නාවික හමුදාව ගුවන් හමුදාව, පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව උදව්වට ඇවිත්
  • 62000ට වැඩි පිරිසක් ගංවතුරෙන් අනාථයි. ඒත් එක ජීවිත හානියක්වත් නෑ

උතුරු පළාතෙන් බාගයක්ම ජලයෙන් යට වී තිබිණි. අතොරක් නැතිව එක දිගටම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් කිලිනොච්චි හා මුලතිව් පළාත්වල වැව් වෙත අසීමිත ජල ප්‍රමාණයක් එකතු වීමත් සමඟම අබලන් වැව් කණ්ඩි කඩාගෙන ඒ ජලය ගම්මාන හරහා ගලා ගියේය.

උතුරු පළාතේ පිටාර ගැලීමට ගංගාවන් නැතත් කිලිනොච්චි හා මුලතිව් පළාත්වලට ගංවතුරක් නිර්මාණය වූයේ වැව් කැඩී යෑමෙනි.

මාන්කුලම මහා වැවේ වැව් බැම්ම කඩාගෙන ගොස් ඉන් ගලාගිය ජලය අවට පළාත්වල කුඩා වැව්වලට එකතු වූයේය. කුඩා වැව්වලට දැරිය නොහැකි ජල කඳ පිටව ගියේ ඒ වැව්වලද බැමි කඩාගෙන බිඳගෙන ගම්මානවල සිටි ජනතාවද යට කරගෙනය.

මහා ජල කඳකින් ගම්වැසියෝ එක්වරම යට වන විට ඔවුන්ට ''ආණ්ඩවනේ මුරුගා" කියමින් දෙවියන් සිහි කිරීම හැරෙන්නට වෙනත් කරන්නට යමක් ඉතිරි නොවීය. මහා වර්ෂාව මැද එහා මෙහා යන්නට නොහැකි වූ ජනතාව වැස්සටත් ගලාගෙන එන මහා ජල කඳටත් කොටු වූහ.

උතුරේ සෑම වැවක් අසලම ගම්මාන ගණනාවක් පිහිටන්නේ ආදී රජදරුවන්ගේ කාලයේ පටන් අපේ රටේ පවතින සංස්කෘතියේ ගති ලක්ෂණයන්ට අනුවය. වැව් කැඩී ගම්මාන ජලයෙන් යට වන අවස්ථාවේ දී ඒ ගම්මානවලින් ඇසුණේ එකම විලාපයකි. ජීවිතය බේරාගැනීමට වඩා වැඩි යමක් ඔවුන්ට මේ මහා විපතේ දී අවශ්‍ය නොවිණි. එහෙත් මහා ජල කඳක් තරණය කරගෙන එගොඩට හෝ මෙගොඩට හෝ යෑමට ඔවුන්ට හැකියාවක් නොවීය.

කිලිනොච්චි මුලතිව් ගම්වැසියෝ මහ රෑ හඬ තලමින් කෑකෝ ගසන විට යුද හමුදාවේ පිරිස් සිදු වී ඇති දේ ඉවෙන් මෙන් වටහා ගත්හ. ඒ ආකාරයටම මීට සති තුනකට ඉහතදී වැවක් කැඩී යෑමෙන් මුලතිව් පළාතේ වැසියන් බේරාගත් අන්දම යුද හමුදාවේ නිලධාරීන්ට යළි මෙනෙහි විය.

විනාඩි කීපයක් ගත වන විටම කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාට ලැබුණු තොරතුරු මත ඔහු ජනතාව වතුරට කොටු වී සිටින ඉසව් මොනවා ද යන්න පිළිබඳව යුද හමුදාවට තොරතුරු ලබා දුන්නේය.

යුද හමුදා ප්‍රධානීන් සිය භට පිරිස් අමතමින් කියා සිටියේ ඉතාම අනතුරුදායක ක්‍රියාදාමයකට යොමු විය යුතු බවයි.

කිලිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් රැල්ෆ් නුගේරා මහතාත්, මුලතිව් ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාත් ක්‍රියාත්මක වෙද්දී කිලිනොච්චියේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාට බල කඳවුරු බැඳ සිටින ප්‍රදේශයේ ජනතාව, වැඩියෙන්ම ජලයට හසු වී සිටින බවට තොරතුරු ලැබිණි.

එතුමාගේ කඳවුරු ප්‍රදේශය ද මේ ජලගැල්මට හසුවීමේ දැඩි අවදානමක් පැවතිය ද ඔහු සිය සේනාංක මහජනයා මුදාගැනීම පිණිස යෙදවීය.

ඒ මානුෂීය ක්‍රියාව සඳහා යුද හමුදා සේනාංක යොදවන විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනිෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේ ක්‍රියාව ඉතා ඉවසිල්ලෙන් මෙන්ම පරෙස්සමෙන් ද කරන ලෙසයි.

''අපි මේ මනුස්සයන්ව කොහොම හරි බේරගන්න ඕනේ. ඒක ඉතාම අසීරු වැඩක්. කලින් අපි හිතුවට වඩා විශාල ජල ප්‍රමාණයක් ඉතාම වේගයෙන් ගලාගෙන යනවා. පළමුවෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමකුත් අවශ්‍ය වෙනවා. මේ විපතට පත් ජනතාව බේරාගැනීමත් සිදු විය යුතු වෙනවා.

ඊළඟට මතක තබාගත යුතු කාරණය තමයි කිසිම චෝදනාවක් එල්ල වෙන්නේ නැති ආකාරයට ඉතාම කල්පනාවෙන් මේ පිරිස් මේ කටයුතුවල නිරත වන්නට අවශ්‍යයයි.

මේ ඉන්න ජනතාවට අපි උදව් කරද්දී අපිට කිසිම චෝදනාවක් එල්ල නොවන විදිහට කටයුතු කිරීමටත් විනය ගරුකව කටයුතු කිරීමටත් ආරක්ෂක අංශවල ගෞරවයට හානි නොවන අන්දමටත් ක්‍රියා කළ යුතුයි. මේ ජනතාව දෙමළ වුණත් අපේ සහෝදර ජනතාවක් කියන කාරණයත් අමතක නොකොට ඉතාම පරෙස්සමෙන් මේ වැඩේ සාර්ථකව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් අනුව කරගෙන යන්න.''

ඉතාම කෙටියෙන් ලැබුණු උපදෙස්වලින් පසුව යුද හමුදා භට පිරිස් මහා වතුරට පැන්නෝය. ඔවුන්ගේ අත්වල තිබූ කඹයේ කෙළවරවල් දෙකත් ඒ කඹවලම තැනින් තැන මැදත් අල්ලාගෙන යුද හමුදා භටයෝ ගම්මාන දෙසට පීනන්නට වූයේය.

වැසියෝ මරළතෝනි දෙමින් කෑකෝ ගැසූහ. වහාම ඔවුන් කරා ළඟා වූ හමුදා භටයෝ වයෝවෘද්ධ ආච්චිලා සීයලා ඔවුන්ගේ කරට ගත්හ. ආච්චිට සීයාට කඹයේ එල්ලී ලිස්සාගෙන යෑමට තබා හුස්ම ගැනීමටවත් පණක් නැත. ඒ නිසා ඒ වයෝවෘද්ධ පිරිස් කරපින්නාගෙන හමුදා භටයන්ට කඹය දිගේ ලිස්සාගෙන ආරක්ෂිත ගොඩ බිමක් කරා යන්නට සිදු විය.

යුද හමුදාව මේ ක්‍රියාදාමය ආරම්භ කොට මද වේලාවක් ගතවන විට නාවික හමුදාවේ විශාල බළඇණියක් ජීවිතාරක්ෂක බෝට්ටු ද රැගෙන කිලිනොච්චිය හා මුලතිව් පළාත්වලට ළඟා විය. හමුදා භටයෝ කඹය දිගේ රැගෙන එන මිනිසුන් නාවික හමුදාවේ බෝට්ටුවලට ගොඩ කරගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ.

මේ වන විට පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද වැසියන්ගේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමට සහභාගී වී සිටියේය.

කිලිනොච්චි හා මුලතිව් පළාත්වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල පිරිස් ද සෙසු සහන සේවා සාමාජිකයෝ ද විපතින් බේරුණු ඒ පළාත්වල තරුණයෝද ආරක්ෂක අංශ සමඟ මේ මහා මෙහෙයුමට එක්ව සිටියහ.

ආරක්ෂක අංශ සාමාජිකයෝ ඔවුන්ගේ ජීවිතය පරදුවට තබමින් මේ කටයුත්තේ නිරත වූහ. ඒ කළ සේවයේ උදාරකම දක්නට ලැබුණේ වයෝවෘද්ධ ආච්චිලා සීයලා ගොඩබිමකට රැගෙන විත් ඔවුන් නිරුපද්‍රිතව තැබූ පසුව දෙවියන් වඳින්නාක් මෙන් ඒ උදවිය ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැද වැටීමයි.

මහා වතුරට කොටු වී සිටින විට ''ආණ්ඩවනේ මුරුගා''යනුවෙන් දෙවියන්ට කෑගැසුවත් ඇත්තෙන්ම මොවුන් සොයා පැමිණි මුරුගන් දෙවිවරු ආරක්ෂක අංශ සාමාජිකයෝය.

මේ අතරවාරයේ දී කිලිනොච්චි හා මුලතිව් හමුදා සේනාංකවලට අනෙක් ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදු නොවූ වෙනත් සත් ක්‍රියාවකට සහභාගි වීමට ද මේ මහා වැස්ස මැද සිදු විණි.

ඒ මහා වැස්ස මැද කැඩී යෑමේ තර්ජනයන්ට මුහුණ පා ඇති වැව්වල වැව් බැමිවලට වැලි කොට්ට ගසා ඒ වැව් ආරක්ෂා කිරීමයි. ඔවුන් මහ වැසි නොතකා ඒ කාර්යයේ ද නිරත වූහ.

කිලිනොච්චිය කණ්ඩාවලෙයි පළාතේ අනාථ කදවුරක දැනට රැකවරණය ලබන ජෙයපුරම් කෝවිලේ බාරකාර කුරුක්කල්වරයා වන එස්.සුබ්‍රමනියම් කියා සිටියේ පසු දිනට එළිය වැටෙන තුරු සිටියේ නම් මේ කිසිම මිනිසෙකු ජීවත් නොවන බවයි.

''එක පාරටම වැස්ස පටන් ගත්තා. විනාඩි හතළිස් පහක්වත් ගියේ නෑ වතුර ආවා ගේ ඇතුළටම. අපි ළඟ ගෙවල්වලට කෑ ගැහුවා. ඒ අයත් කෑගහලා කිව්වේ උඩකට නැඟලා ඉමු කියලා. අපි රෙදිත් අරන් ගෙදර බිත්ති හරහට ලී දාලා ඒවා උඩට නැග්ගා. එත් ටික වේලාවක් යන කොට ඒ තැනටත් වතුර ආවා. අපි කෑගැහුවා. දන්න දන්න අයට කෝල් කරලා කිව්වා.

හමුදාවයි නාවික හමුදාවයි තවත් කට්ටියයි මහ රෑම ඇවිත් අපිව බේරගෙන මේ ඉස්කෝලෙට ගෙනැල්ලා දැම්මා.

හැබැයි ඒ වතුර ආව හැටියට අපි හිතුවේ නෑ අපි බේරෙයි කියලා. මේ වගේ පුහුණුවක් තියන නිර්භීත අයට විතරයි වතුරේ පීනලා ඒ දේ කරන්න පුළුවන්. වෙන සාමාන්‍ය අය ඒ වතුරට පැන්නා නම් ගිලිලා මැරෙනවා.

මේ ආරක්ෂක අංශවල අයට මුළු ජනතාවම ණය ගැතියි. අපේ ජීවිත බේරලා දුන්නට. දැන් ඒ අය අපේ ජනතාවගේ ජීවිත බේරලා නිකන් ඉන්නෙත් නෑ. අනාථ වෙලා ඉන්න අයට කෑම ගෙනැත් දෙනවා. වතුර ගෙනැත් දෙනවා. නොයෙක් උදව් කරනවා. මිනිස්සුන්ට මේ වගේ වේලාවක කරන උදව් කවදාවත් අමතක වෙන්නේ නෑ. එහෙම අමතක කරන්නත් හොඳ නෑ. මිනිස්සු මේ අය ගැන නොබැලුවාට කතා නොකළට දෙවියෝ කියලා ජාතියක් ඉන්නවනේ. ඒ දෙවිවරු මේ අයව රකිනවා. ඔවුන්ට ආරක්ෂාව දෙනවා. සහතිකයි''

කිලිනොච්චිය ජනතාව දැන් කිලිනොච්චිය දිසාපතිවරයා යටතේ ද මුලතිව් ජනතාව මුලතිව් දිසාපතිවරයා යටතේ ද දැන් ජීවත් වෙති. ඔවුන්ගෙන් 62000ක් පමණ දෙනා විපතට පත්ව සිටියි. මේ අයගෙන් විශාල ප්‍රමාණයක් දැන් සිටින්නේ අනාථ කදවුරුවලය.

කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා කිලිනොච්චිය මුලතිව් පළාත්වල ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මෙහෙය ඉතා ඉහළින් අගය කළේය.

ඔහු කිලිනොච්චියට පැමිණි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ කටයුතු බාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරියේ ද ආරක්ෂ අංශවලින් සිදු වූ මානුෂීය ක්‍රියාදාමයන් අගය කොට කතා කළේය.

කිලිනොච්චියත් මුලතිව් දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ මේ වැව් වලින් වතුර යන ඇළ වේලිවලට මායිම් වෙලයි. විශාල ප්‍රමාණයක් වතුරෙන් යට වෙලා. දැන් මේ පළාත් දෙකම එකක් වෙලා තියෙන්නේ.

වැව්වල වතුර ගෙවල් හරහා ගලාගෙන ගියා. මේ සිද්ධිය වෙන්න පැය කීපයයි ගත වුණේ. මිනිස්සු කොටු වුණා. ඉස්සරවෙලාම යුද හමුදාව ආවා. ඔවුන් කඹ දාල මිනිස්සු ගෙනාවා ආරක්ෂිත තැන් වලට. ඊට පස්සේ නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව මේ සියලු දෙනාම ආවා.

කොහොමහරි කිලිනොච්චියේ ගොඩබිමේ තිබුණු ගෙවල්වලට නාවික හමුදාවේ බෝට්ටු ගිහින් තමයි මිනිස්සුන්ව බේර ගත්තේ.

අපේ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ආරක්ෂක අංශ වල නිලධාරීන් මේ සියලුම දෙනා එකට එකතු වෙලා මුළු පළාතකම හිටිය වැසියන් බේරාගත්තා. ඒක ඉතාම අවදානම් තත්ත්වයකට මුහුණ දීලා තිබුණු පළාතක්. ඊළඟ වැවත් ඒ එක්කම කැඩිලා ගියා නම් ඒ මිනිස්සු සේරම අය වතුරේ ගහගෙන යයි කියලා මට ලොකූ බයක් ඇති වුණා. මම බැරිම තැන ඒ ගැන ආරක්ෂක නිලධාරීන්ට කිව්වා. ඒ අය තමයි මගේ බය නැති කළේ.

ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ අය තමයි කිව්වේ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න නොදී අපිට බේර ගන්න පුළුවන් කියලා. මේ වේලාව වෙන කොටත් තවම මේ ප්‍රශ්නය හරියට විසඳිලා නෑ. සියලුම දෙනා අවධානයෙන් තමයි ඉන්නේ.

දැන් මේ අනාථ අයට සහන සැලසීමේ කටයුතු කරගෙන යනවා. ඒ කටයුත්තේ දී ඔක්කොටම කලින් ආරක්ෂක අංශවල අය තමයි ආහාර පිළියෙළ කරලා ගෙනැත් මේ ජනතාවට දුන්නේ. දැනුත් ඒ සියලුම් කටයුතුවලට ඒ අය මැදිහත් වෙලා ඉන්නවා.

ඇත්තෙන්ම ආරක්ෂ අංශවල දැඩි කැප වීම නිසා කිසිම කෙනෙකුට කිසිම කරදරයක් වුණේ නැහැ. සේරම අය බේරගන්න ඒ අයට හැකියාව ලැබුණා.''

යුද්ධ හමුදාව සිටින්නේ යුද්ධ කිරීමටම යැයි හැඟී යන්නේ ඒ හමුදාවට යුද්ධ හමුදාව යැයි කියන නිසා විය යුතුය.

වචනයේ පරිසමාප්ත අර්ථයට අනුව එය එසේ වූවත් යුද්ධ හමුදාව ගොඩබිමේ සතුරන් සමග යුද්ධ කරනවා සේම සාමාන්‍ය වැසියන්ගේ සුබ සිද්ධිය සදහා ද ක්‍රියා කරන බව අපට මෙවන් ක්‍රියාවලදී ඉතාම පැහැදිලිව තේරුම් යන සත්‍යයකි. හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශ පොදුවේ ගත් විට ආරක්ෂක අංශ වශයෙන් හඳුන්වනු ලැබූවත් ඔවුන්ගෙන් ආරක්ෂා වන්නේ මේ මහ පොළොව පමණක්ම නොවේ. මහ පොළොවේ සිටින මිනිසා සතා සීපාවා පවා ඔවුන්ගෙන් ආරක්ෂා වෙයි.

කිලිනොච්චියේ හා මුලතිව්වල ජීවත් වූ ජනතාව මහා ගංවතුරකට හසු වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළේ ද ඒ වගකීම නොපිරිහෙළා ඉටු කරමිනි.

ආරක්ෂක අංශ ඔවුන්ගේ රට ආරක්ෂා කිරීමේ කාර්යට අමතරව මානුෂීය ක්‍රියාදාමයන්වල ද නිරත වන බව අපට මතක් වන්නේ මේ ගංවතුර උවදුරේ දී පමණක්ම නොවේ. මාවිල් ආරූ පළාතේ දී ආරම්භ වූ මානුෂීය මෙහෙයුමත් සමඟිනි.

මාවිල් ආරු පළාතේ ගොවීන්ට අවශ්‍ය ජලය නොදී එදා කොටි ත්‍රස්තවාදීන් විසින් ගෙන ගිය අරගලයට එරෙහිව යුද හමුදාව දියත් කළේ මානුෂීය මෙහෙයුමකි. එම මානුෂීය මෙහෙයුමේ අවසානය මේ රටේ තිස් වසරක් පුරා පැවති යුද්ධය හමාර වීමට තරම් සමත් විශාල බලවේගයක් විණි. මහා යුද්ධය හමාර නිසා උතුරෙන් හමුදාව ඉවත්ව ගොස් ඔවුන් දකුණේ වෙනත් රාජකාරී කටයුතු සදහා යෙදවිය යුතු බවට තර්ක කළේ උතුරේ දෙමළ දේශපාලානඥයෝය. ඉතාම කෙටියෙන් ප්‍රකාශ කළහොත් උතුරට හමුදාවක් අවශ්‍ය නැති බව ඒ දෙමළ දේශපාලනඥයෝ පුන පුනා ප්‍රකාශ කළහ.

නමුත් උතුරේ දේශපාලනඥයෝ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ උතුරෙන් පන්නා දැමීමට විවිධ පිඹුරුපත් සකස් කළහ. ජිනීවා නුවරට ගතු කේලාම් කීහ. උතුරේ දෙමළ ජනතාව ලවා විශාල උද්ඝෝෂණ පැවැත්වූහ.

නමුත් දෙමළ දේශපාලානඥයෝ කිලිනොච්චිය මුලතිව් වැසියෝ ගංවතුරට කොටු වූ අවස්ථාවේදී ජනතාව සමග නොවූහ. සිටියේ දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. ඒ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාය. ඔහු ජනතාවගේ දුක සැප සොයා බැලුවේය. සුමන්තිරන් මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පිරිස කිලිනොච්චියට පැමිණියේ රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පැමිණි මොහොතේ රැස්වීමට මුහුණ ඔබා ගැනීමටය.

මේ නිසා කිලිනොච්චියේ හා මුලතිව්වල වැසියන්ට උතුරේ සැබෑ ගල්පිළිම හා බොල් පිළිම ඉතා පහසුවෙන් හඳුනගැනීමටත් මනුෂ්‍යයන් හා දෙවියන් හඳුනාගැනීමටත් මේ මහා ගංවතුර මැද හැකියාව ලැබිණි.

Comments