මගේ දරුවන්ට ඉගෙන ගන්න බැරි වුණා | Page 2 | සිළුමිණ

මගේ දරුවන්ට ඉගෙන ගන්න බැරි වුණා

මිනිසා තුළ පහළවන අකුසල් සිත් ‍‍‍ලෝභ. ද්වේෂ, මෝහ වශයෙන් වර්ග තුනකට බෙදේ. මෙයින් ද්වේෂ මූල සිත් දෙකකි.

දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරිකා සිත සහ දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුත්ත සසංකාරික සිත යැයි ද්වේෂ මූල සිත් දෙක හැඳින්වේ.

චක්ඛායතනය, සෝතායතනය, සානායතනය, ජිච්භායතනය, කායායතනය හා මහායතනය යන ආයතන හය සමඟ ස්පර්ශවන වර්ණ ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හා ධර්ම යන ආරම්මණ ස්පර්ශවීමේ දී සමහර ආරම්මණ ගැන ඇති වන අකමැත්ත නිසා ද්වේෂය හට ගනී. සතුට, ලාභය, ආදරය, කැමැත්ත, ආශාව, ආදීයෙන් මත් වීමට (රාගයට) කැමැත්තෙන් සිටි ලො‍්භය හෙවත් ලෝකය අබ්බ කිරීමට, උරා බීමට කැමති ලෝබ වෙස් ගෙන සිටින සිත එය නොලැබෙන විට දෙවැනි වේෂයට හෙවත් ද්වේෂයට පත්‍ වෙයි.

එහිදී ඇති වන ගැටෙනසුලු බව, වෛර සහගත නිරෝධය, අමනාස සහගත තරහව නිසා දෝස මූල සිත්වල ඉරිසියාව හෙවත් ඉස්ස‍ා නමැති චෛතසිකය උපදී. මේ අනුන්ගේ සැපතට සතුටට ඇති අකැමැත්තයි. පෙර පින් කළ උදවිය ඒ පුණ්‍ය කර්ම හේතු කොටගෙන ලබන ඵලය හෙවත් විපාකය වශයෙන් සැප සම්පත් හා සතුට ලබයි. පෙර පින් ‍ෙනාකළ මෝඩයා තමන්ට එවැනි සැප, සම්පත්, හා සතුට නොලැබෙන්නේ ඒවා ලබන්නට විඳින්නට වාසනාව නැත්තේ ඇයි දැයි ඊට හේතුව ගැන මනසිකාර නොකරයි. ඒ තමන් පෙර පින් නොකළ බැවිනි.

පෙර පින් නොකිරීම නමැති පාප කර්මයේ විපාක වශයෙන් මෝඩයා දුක් විඳී, ඒ පූර්ව කර්මයේ විපාකය විඳ අවසන් කරනවා වෙනුවට දෙවැනිම ඉරිසියා කොට තවත් අලුත් කර්මයක් සාදා ගනී. එහි විපාක මතුවට විඳින්නට සිදු වේ. ඒ හේතු ඵල දහමේ න්‍යායයි. බුදු දහමේ න්‍යායයයි.

නෑබඩ කල්‍යාණි හතළිස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා නිශාන්ත ව්‍යාපාරිකයෙකි. ඔවුන්ගේ දරු දෙදෙනා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය ලබති. නිශාන්තගේ අයියා ගුණසිංහය. අක්කා විනීතාය. ලොකු අයියා පියදාස ය. නිශාන්තගෙන් ගුණසිංහගේත් විනීතාගේත් පවුල්වල ළමයින්ගේ අධ්‍යාපනය දුර්වලය. කොයි තරම් හොඳින් පාඩම් කළත්, මවු පියන් අමතර පන්තිවලට වියදම් කළත් මේ ළමයි විභාගයට කලින් දවසේ අසනීප වෙති. පියදාසගේ ළමයි හොඳින් ඉගෙන විභාග සමත් වෙති. මේ ගැන කල්‍යාණි හිතන්නේ පියදාසගේ බිරිය රංජනී හූනියම් කැර ඇති බවයි. මේ සැකය නිසා සහෝදරයින්ගේ පවුල් අතරද විරසක නොහොඳ නෝක්කාඩු පවතී.

හිතවතුන්ගේ උපදෙස් මත මේ පවුල් තුනේ දරුවන්ට සිදු වී ඇති වින්නැහිය කුමක්දැයි සොයා බලා පිළියමක් කැර ගන්නට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කල්‍යාණිත් දරුවන් සමඟ ගියාය. එහි දී ආධ්‍යාමීය උප‍දේශක කසුන් නාගොඩ විතාන මහතා මුණ ගැසී තමන්ගේ ළමයි කොයිතරම් පාඩම් කළත් විභාගයට ලියා ගන්නට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පැහැදිලි කළාය.

ගවේෂකවරයා ඔවුන් ගේ ශරීර පරීක්ෂා කැර බැලීමේදී හතර දෙනාගේම ශක්ති ශරීර පළුදු වී ඇති බව දැක්කේය. ඒ නිසා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. ඔවුන්ගේ ශක්ති ශරීර ප්‍රකෘති තත්ත්වයට ගැනීමට එවැනි බෝධි පුජාවාර හතරක්ම පවත්වන්නට සිදුවිය.

පස් වැනි වතාවට ප්‍රතිකාර සඳහා පැමිණි දිනයේ කල්‍යාණිට භූතාත්මයක් ආවිෂ්ට වී දඟලන්නට විය. ගවේෂකවරයා භූතයා පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ”. යි ඇසීය.

“මම පත්මා” යි භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද පත්මා කියන්නේ?”

“මම පුංචි කාලෙ ඉඳලම මේ අයගේ ගෙදර වැඩ කළා. මීට අවුරුදු විස්සකට විතර කලින් මැරුණා. මම මුන්ගෙන් පළිගන්නවා.

“තමුන් දැන් පත්මා නොවෙයි. ප්‍රේතියක් නේද?”

“ නැහැ....නැහැ...මම බලවත්. මට හැංගිලා ඉන්න පුළුවන්. කාටවත් හොයන්න බැරි විදිහට. ඒකයි මෙච්චර කල් මහත්තයාටත් බැරි වුණේ මාව ගෙන්නන්න.”

“මේ මතාවේ කොහොමද ආවේ?”

“මුන් බෝධි පුජා පවත්වලා පින් දහම් කරන විට මුන් මට වඩා බලවත් වුණා. ඉතින් මට නෑවිත් ඉන්න බැරිවුණා.”

කල්‍යාණි ප්‍රකෘති සිහියට පත් කොට මේ පත්මා කවුදැයි ගවේෂකවරයා ඇසීය.

“පත්මා කුඩා කාලෙම අම්මයි තාත්තයි මැරිලා ආච්චි ළඟ තමයි හැදිලා තියෙන්නේ, ආච්චිට පත්මාව හදා වඩා ගන්න බැරුව ඉන්දැද්දී අපේ අම්මයි තාත්තයි හදා වඩා ගන්න බාර ගෙන තිබුණා. අපේ පවුලේ අයත් ඒක්ක එකටම හැදුණා. පත්මා තරුණ වුණාම මිනිහෙක් එක්ක යා‍ළු වෙලා විවාහ වුණා. ඒ මනුස්සය කුලී වැඩ කරන කෙනෙක්. අපේ තාත්තා අපේ ම ඉඩම් කොටසක් ගෙයක් හදාගන්න ඉඩ දුන්නා. පත්මාටත් දරුවො තුන් දෙනෙක් ලැබුණා. දවසක් පාරේ යන කොට වාහනයක හැපිලා පත්මා මැරුණා. ඒ මරණේ කටයුතු වලටත් අපි උදව් කළා.” යි. පත්මාගේ විස්තරය නිශාන්ත පැහැදිලි කළේය.

නැවතත් කල්‍යාණිට භූතාත්මය ආවිෂ්ට කළ ගවේෂකවරයා පත්මාගේ ප්‍රාණ කාරිය සමඟ සාකච්ඡා කරන්නට විය.

“තමුන් මේ නිශාන්ත කියපු විස්තරය අහගෙනද හිටියේ ?”

“ඔව් !”

“එයා බොරුද කිව්වේ?”

“..........................” ප්‍රේතිය නිහඬය.

“තමුන් පුංචි කාලෙම මවුපියෝ මැරුණා ද?”

“ඔව්!”

“ඉන් පස්සේ කා ළඟද ජීවත් වු‍ණේ?”

“මේ මහත්තයාලගෙ ගෙදර”

“කෑවේ බිව්වේ ඇන්දේ ඒ අය‍ගේ දේවල්ද?”

“ඔව් ඒවාට හරියන්න මම ගෙදර වැඩ කළා”

“ මේ ගෙරද අය අමානුෂිකව පත්මාගෙන් වැඩ ගත්ත ද?”

“ම්........ම්.......ම්........නැහැ”

“ඇයි ඉතින් මේ අයට කරදර කරන්නේ?”

“මම කරදර කරන්නේ නැහැ. මුන්ගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ.

“ඇයි එහෙම කරන්නේ?”

“මගේ ළමයින් තුන් දෙනාට ඉගෙන ගන්න බැරි වුණා. ඒක නිසා මුන්ගෙ ළමයි ඉගෙන ගන්නවාට මම කැමති නැහැ. තරහයි.”

“ඔබ වැරදියි. ඔබේ ළමයින්ට පෙර පව් නිසා ඉගෙන ගන්න බැරි වුණා. මේ අය ඔබ පාරට වැටුණු වෙලාවේ පිහිට වුණ අය. මේ කිසි දෙයක් නැතුව ඔබ හඳුනන පිටස්තර අයගෙ ළමයි ඉගෙන ගන්නවා නේද හොඳට ? ඇයි ඒවට ඉරිසියා නැත්තේ?”

“.............................”ප්‍රේතියට උත්තර නැත.

“ඔබට මොනවද වුවමනා?”

“මුන්ව මරන්න ඕනෑ”

“ඇයි මේ පවුලේ අනිත් වැඩිමහල් සහෝදරයාගේ ළමයින්ට කරදර කරන්නෙ නැත්තේ?”

“මම එයාට කැමතියි. ඒ නිසා කරදර කරන්නේ නැහැ”.

ඊ ළඟ දිනයේ සහෝදරයන් තුන් දෙනාගෙම පවුල්වල අය සමඟ එන්නැයි කල්‍යාණිටත් නිශාන්තටත් නියම කළේය.

ඊ ළඟට පැමිණි දිනයේ පවුල්වල අය සමඟ සකච්ඡා කළ ගවේෂකවරයා පත්මාගේ ළමයින් තුන් දෙනාට උදව් කරන ලෙසත්, මොනව හෝ ඉගෙන ගන්නට පින් තකා මුදලක් පරිත්‍යාග කරන ලෙසත් සම්මුතියකට එළඹුණි. පවුල්වල අය එකතු වී පත්මාගේ පවුලේ අයද ගෙන්වා නිවසේ සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

යළිත් පැමිණි දිනයේ ද ප්‍රේතිය කළ්‍යාණිට ආවිෂ්ට කරවා ගවේෂකවරයා අවවාද කළේය.

“තමන් අසරණ වෙලා අනාථ වෙලා ඉන්න කොට හදලා වඩලා පෝෂණය කරලා ඉඩම් කොටසකුත් ගෙයක් හදාගන්න දී උදව් කළ අයට මෙහෙම කරන එක හොඳද? නරකද? කියලා විනාඩි පහක් අතීතය කල්පනා කරන්නැයි” යි ප්‍රේතියට නියම ක‍ළ ගවේෂකවරයා හෙමින් සීරුවේ ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතිය දවාලන්නට විය.

“මහත්තයා මම එහෙම කල්පනා කරන කොට මාව පිච්චේනවා. දැවිල්ලයි.......දැවිල්ලයි. දැන් මගේ ශක්තියත් අඩුවෙලා. අනේ. මට සමාවෙන්නැයි. එතැන සිටි අයට වඳින්නට වුවාය.

ප්‍රේතිය පලතුරු වට්ටියකට සම්බන්ධ කොට ඔවුන් අතම ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.

 

Comments