
නත්තල් දිව්‍ය පූජාව අවසන් වී මෙන් පසු පල්ලියේ මහ දොරකඩ ඉදිරිපිට ‘හරිකේන්’ ලාම්පු එල්ලා එළිය කර තිබෙන නත්තල් කැරොල් කරත්තය දක්නට ලැබේ. සුදු පැහැති කේප්ප ගොන් නාම්බකු බැඳි බරබාගේ දෙපස ඇඳිවල විවිධ ආගමික චිත්‍ර එල්ලා අලංකාර කර තිබේ. කැරොල් රථ රෝදයේ ගරාදියේ සිට ගොනුගේ වලිගය දක්වා විවිධ විසිතුරුවලින් ශෝභමාන කර ඇත. කැරොල් කණ්ඩායමේ සාමාජිකයන් විවිධ විසිතුරු ඇඳුමෙන් සැරසී ‘මයි කුඩු’ උලා කම්මුල් රෝස පැහැ ගන්වා තිබේ.
කොළඹ බේරේ වැව අද්දර සිදු කළ නත්තල් කැරොල් ගීත ගායනය එකල ඉතා ජනප්‍රිය විය. සංගීත භාණ්ඩ රැගත් නාගරික කිතුනුවෝ කපිරිඤ්ඤා තාලයට නත්තල් ගීතිකා ගැයූහ. අලුත් බෝරිච්චි හැට්ටා සහ දිගු සායවල් හැඳගත් කාන්තාවෝ මේ සංගීත රසය විඳීමට කොළඹ වීදි ඔස්සේ බේරේ වැව අද්දරට පැමිණියහ.
එකල නත්තල් උත්සවය වෙනුවෙන් මාතර, කොළඹ, හලාවත, යාපනය වැනි ප්‍රදේශවල නාඩගම් රඟ දැක්වීමද සිදු විය. බ්‍රිතාන්‍ය සමයේ නත්තල් උත්සවය වෙනුවෙන් සති දෙකකට ආසන්න කාලයක් රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. දෙසැම්බර් විසි දෙවැනි දින ආරම්භ වන නත්තල් නිවාඩුව අවසන් වන්නේ, රජතුන් කට්ටුවේ මංගල්‍යය පැවැත්තුවාටත් පසු එළඹෙන ජනවාරි තුන් වැනිදාය.
එක්දහස් නවසිය මුල් කාලයේත් නත්තල් සේල් කොළඹ, මීගමුව, හලාවත වැනි ප්‍රධාන නගරවල පැවැත්විණි. එදවස නත්තල් ‘සේල්’ පැවැත්වූයේ ඔක්තෝබර් මාසයේ මුල් සතියේය.
එම අවදියේ ග්‍රාමීය ජනතාව අතර බැංකු ක්‍රමය එතරම් ප්‍රචලිත වූ එකක් නොවීය. නත්තල් වැනි උත්සවයක් සඳහා නිවෙසේ ගෘහිණිය කිසියම් මුදලක් එක් රැස් කිරීම අනිවාර්යයෙන් සිදු විය. එලෙස මුදල් එකතු කළේ පෙට්ටි කාසි හා මුට්ටි කාසි ලෙසිනි. සතියේ වියදම සඳහා තම සැමියා දෙන මුදලින් කිසියම් මුදලක් එකතු කර තමන් ගනුදෙනු කරන සිල්ලර වෙළෙඳසලේ තැන්පත් කිරීම පෙට්ටි කාසි එකතු කිරීම විය. සතිපතා දෙන මුදල් නෝට් පොතක සටහන් කරදීම වෙළෙන්දාගේ සිරිත විය. අවුරුද්ද අවසානයේ එම එකතු කළ මුදල් කුඩා පොලියක් ද සමඟ ලැබිණි. දිනපතා බත් ඉවීම සඳහා ගන්නා හාල්වලින් අත් මිටක් මුට්ටියකට එකතුකර ඒවා විකුණා මුදල් එකතු කරගැනීමද එකල ගෘහිණියන් අතර පැවැති සිරිතක් විය. ඒ මුට්ටි කාසිය.
එකතු කළ ඒ මුදල් බොහෝ විට වැය වුණේ නිවැසියන්ට අවශ්‍ය රෙදි පිළි මිල දී ගැනීම සඳහාය.
නත්තල් කාලය වනවිට, බයිසිකලයක ලැගේජයේ ලොකු රෙදි පොට්ටනියක් බැඳගත් චීන වෙළෙන්දෝ ගම් කරා ළඟා වෙති. කොට කලිසමකින් සහ අත් කොට කමිසයකින් සැරසී දුඹුරු පැහැති තොප්පියක් හිස-ලාගෙන එන මේ චීන රෙදි වෙළෙන්දාගේ පොට්ටනියේ ‘ජම්පින් පිෂ්’ චීත්ත, සිල්ක්, ටපටා, මල්පීස් වැනි රෙදි වර්ග තිබිණි.
චීන රෙදි වෙළෙන්දා ගමට එන කාලයටම ලොකු රෙදි පොට්ටනියක් කරේ තබාගෙන, මඩකලපු ලේන්සුවක් කරේ බැඳගෙන, එක් අතකින් කෝටුවක් ද ගෙන ‘ඊයොප්’ කියමින් මුස්ලිම් රෙදි වෙළෙන්දාද එයි. මඩකලපු පට සරොම්, මඩකලපු පට කම්බා ඔහුගේ රෙදි පොට්ටනියේ තිබිණි.
එදා සිංහල කතෝලිකයන් ජාතික අවුරුදු චාරිත්‍ර සපුරන ලද්දේද නත්තලටය. රජයේ සේවකයන්ට නත්තලට සති දෙකක පමණ දීර්ඝ නිවාඩුවක් ලැබෙයි. වෙනත් රැකියා සඳහා ගමෙන් බැහැරව ගියෝද අනිවාර්යයෙන් ගම්-බිම් බලා පැමිණෙති.
නත්තලට නිවෙසට එන මුනුපුරු මිනිපිරියන්ට පැදීමට නත්තල් ඔංචිල්ලාව, මී අඹ අත්තක සීයා ගැට ගසන්නේ නත්තලට සතියකටත් පෙරය. ගෙයි ඇතුළු කාමරයක බිත්තියේ පරාල ඇණයක රඳවා තිබූ රබාන ආච්චි එළියට ගන්නේ ද නත්තල් කාලයටය.
මේ සියලු ලකලෑස්තිවල උත්කෘෂ්ට අවස්ථාව දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාවය. ලෙඩකු, බිලිඳකු නොවුණා නම්, සෑම අයෙක්ම නත්තල් රෑ පූජාවට යන්න අමතක නොකරති.
කවුරු කවුරුත් තමන්ට ලැබුණ අලුත් ඇඳුම් අඳින්නේ නත්තල් රාත්‍රී පූජාවටය. එහෙත් සමහරු සුදු ලෝගුවක් ඇඳ, ඉනට දම්පාට රෙදි කැබැල්ලක් බැඳගෙන නත්තල් රාත්‍රී පූජාවට යෑමට සූදානම් වෙති. ඒ එදාය.
නත්තල් දින රාත්‍රී පූජාවට පල්ලියේ සීනුව ගසන විට, නිවෙස් ඉදිරිපිට ඇති කඩුල්ල මතින් පුංචි පුංචි එළි ගුරු පාරට එක්වෙයි. එක් අයකුගේ අතේ පොල් කට්ටක ගැසූ දල්වන ලද ඉටිපන්දම් කොටයකි. තවත් අයකුගේ අතේ දල්වන ලද හුළු අත්තකි. තවත් අයකුගේ අතේ දල්වන ලද හනස්සකි. මේ ජනතාව පිටුපසින් ගෙජ්ජි හඬ නංවමින් ඉදිරියට ඇදෙන බක්කි කරත්තද වේ.
ගම, ගමේ මිනිසුන් මෙන් ම එදා ගම්බද පල්ලිය ද දුප්පත් ය. බොහෝ පල්ලියක බිත්ති කටු මැටි ගැසූ ඒවාය. සමහර දුප්පත් ගමක පල්ලියක බිමට සිමෙන්ති දමාවත් නැත. නත්තල් දිනට පමණක් කුලියට ගත් ගෑස් ලාම්පුවලින් පල්ලිය ආලෝකවත් වී ඇත.
නත්තල් දිව්‍ය පූජාව අවසන් වී මෙන් පසු පල්ලියේ මහ දොරකඩ ඉදිරිපිට ‘හරිකේන්’ ලාම්පු එල්ලා එළිය කර තිබෙන නත්තල් කැරොල් කරත්තය දක්නට ලැබේ. සුදු පැහැති කේප්ප ගොන් නාම්බකු බැඳි බරබාගේ දෙපස ඇඳිවල විවිධ ආගමික චිත්‍ර එල්ලා අලංකාර කර තිබේ. කැරොල් රථ රෝදයේ ගරාදියේ සිට ගොනුගේ වලිගය දක්වා විවිධ විසිතුරුවලින් ශෝභමාන කර ඇත. කැරොල් කණ්ඩායමේ සාමාජිකයන් විවිධ විසිතුරු ඇඳුමෙන් සැරසී ‘මයි කුඩු’ උලා කම්මුල් රෝස පැහැ ගන්වා තිබේ.
දෙවිඳු උපන්නේය සතුනි,
දෙවිඳු උපන්නේය ඔහෝ!
දෙවිඳු සර්ව නායක වන
දිළිඳු එ-මනු වෙස් ගනිමින
නිරිඳු දවිත් කුල සසොබන
බිලිඳු ලෙසින් මිහි වඩමින...
දෙරණේ තෘණ යහනේ
කිම සයනේ සුර රජුනේ...
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ මංගල ගීතයෙන් කැරොල් ගායනා ආරම්භ වෙයි. වයලීන බටනළාව, සර්පිනාව, තබ්ලාව ඈ සංගීත භාණ්ඩවලින් කැරොල් ගායනාවලට රාග-තාල එකතු වේ.
මෙයට අමතරව රජතුන් කට්ටුව, බැලසන්ත නාඩගම, පබියෝලා කතාව, හෙලේනා කතාව, සෙබස්තියන් නාඩගමේ සින්දු වරින් වර මාරුවෙන් මාරුවට ගායනා කරති.
පල්ලිය ඉදිරිපිට කැරොල් ගායනයෙන් පසුව නත්තල් කැරොල් කරත්තය ගමේ ප්‍රභූවරුන්ගේ නිවෙස් වෙත ගමන් කිරීම ආරම්භ කරයි.
කිසියම් නිවෙසකට කැරොල් ගායනා කිරීම සඳහා සමීප වත්ම කණ්ඩායමේ කෙනකු ඉදිරියට දිවගොස් ගේට්ටුව ළඟ චීන පටස් ගෙඩි හතරක් පහක් පුපුරුවා හරිනු ලැබේ. චීනපටස් නාදයත් සමඟම ගෙවැසි සියල්ලෝ ඉදිරිපස ආලින්දයෙහි පැදුරු, මාගල් එළා බිම හිඳගනිති. සමීප අසල්වැසියෝද පැමිණ ආලින්දයෙහි වාඩි වෙති.
කැරොල් ගායනා සිදු කරන අතර, කැරොල් කරත්තයේ සාමාජිකයන්ට පමණක් නොව, කැරොල් ගායනා ඇසීමට පැමිණි අය හටද කැවුම්, අතිරස, අග්ගලා, මුංගුලි, කෙසෙල් ගෙඩි සහ තේ කෝපිවලින් සංග්‍රහ කරනු ලැබේ.
මෙලෙස ගම පුරා නත්තල් අසිරිය බෙදූ කැරොල් කරත්තයේ ගායනා කළ ගීත අතර කර්ණ රසායන ද්‍රවිඩ ගීතද විය. ඒවා බොහෝ විට දකුණු ඉන්දීය වීදි නාට්‍යවලට නෑකම් කී යාපනයේ තෙරික්කුත්තු නාට්‍ය සම්ප්රදායේ ආභාසය ලත් කිතුනු ද්‍රවිඩ නාඩගම්වල ගීත විය.
එයට අමතරව ගේබ්‍රියල් ප්‍රනාන්දු, පිලිප්පු සිඤ්ඤෝ, සී. දොන් බැස්ටියන් ආදීන්ගේ නාඩගම්, නූර්තිවල එන ගී තනුවලට නිර්මාණය කරගත්, දේවමෑණියන්, ශාන්ත සෙබස්තියන් තුමන්, ශා. ආනා මෑණියන්, කිතු සිරිතේ විවිධ පුවත්, පරමණ්ඩල, දස පනත තේමා කරගත් ගීත ඔවුහු ගායනා කළහ.
නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන් පසු ඇරඹෙන මේ නත්තල් කැරොල් කරත්තයේ ගමන නත්තල් අසිරිය ගමට බෙදමින් ජනේරු අවුරුද්ද දක්වාමත් සෑම රාත්‍රියකම පවත්වනු ලැබීය.
සුපුන් තිළිණි