
නත්තලේ අසිරිය හදවතින් පමණක් භුක්තිවිඳ සතුටු වන අව්‍යාජ කතෝලිකයන් පිරිසකගේ ගලාගෙන යන භක්තිය දුටුවෙමු. ඒ පුත්තලමදීය.
ජුසේවාස් මුනිඳුන් වසර 400කට පෙර පුත්තලම නගර මධ්‍යයේ වැඩ සිට ඇත. උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය සලකුණු කිරීමත් උන්වහන්සේ කෙරෙහි කතෝලික බැතිමතුන් සතුවූ විශ්වාසයත් යන කරුණු පදම් කරගෙන දැනට වසර 30 පමණ පෙර පුත්තලම, සීමාවෙල්ලිය ප්‍රදේශයේදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතානගේ එකමුතුවෙන් පොල් අතු සෙවිලි කරමින් කුඩා පල්ලියක් ආරම්භ විය. ඒ අති උතුම් ජුසේවාස් මුනිඳුන්ගේ නමිනි. එම දේවස්ථානය එවක සිට මේ දක්වා ප්‍රදේශයේ කතෝලික බැතිමතුන්ගේ විශේෂ වන්දනාවට පාත්‍ර විය.
බැතිමත්හු එම දෙවොල පිළිබඳ විශේෂ විශ්වාසයක් තබති. දේව කරුණාව ලබාගෙන දරුඵල අපේක්ෂාවෙන් මෙතැනට එන බැතිමත්හු බොහෝය. විවිධ දුක් කම්කටොලුවලින් පීඩා විඳින මිනිස්සු මෙතැනට විත් ඒ දුක් ගංගා මුදා හරිති. එහෙත් දෙවොලේ සශ්‍රීක දැකුම් නැත.
දෙවොල පිහිටා ඇත්තේ අඩු අදායම් ලාභි පවුල් 60කින් පමණ සමන්විත සීමාවෙල්ලිය නම් ගම්මානයේය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයෝ මේ ගමේ වෙසෙති. ගම්මානයේ බහුතරයක් කතෝලික බැතිමත්හුය. ගම් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය ආශ්රිත දෛනික කුලී වැඩය. ලැබෙන සොච්චම් මුදලින් දිවි ගැට ගහ ගැනීම මිස ඔවුන්ට වෙන අදායමක් නැත.
මේ දුගී මිනිස්සු තමන්ගේ පොල් අතු දේවස්ථානය වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් සහිත දේවස්ථානයක් ගොඩනඟා ගැනීමට දිවා රෑ නැතිව වෙහෙසුණු ආකාරය සම්බන්ධව සංවේදී කතාවක් තිබේ. මේ වන විට එම උත්සාහ මල්ඵල දරා ඇත. ඔවුහු දහඩිය කඳුළු උතුරා යන භක්තියෙන් දියකොට තැනූ ඒ උතුම් දේවස්ථානය අබියස වී හිඳිමු. ඒ දුගී මිනිස්සුන්ගේ හදවත්වල දෙවියෝ වැඩඋන්හ.
මේ මිනිසුන් එදා වේල යන්තමින් සරි කරගත් අයය. කුලියක් මලියක් කරමින් උපයාගන්නා සොච්චම සිය දේවස්ථානය ගොඩනැගීම සඳහා පීදීමට තරම් ඔවහු සිතින් පොහොසත්ය. කුලී කිරීම දිනකට මගහැර දෙවියන් ශ්‍රමය මේ සද්කාර්යය වෙනුවෙන් පිදීමට තරම් ඔවුන්ගේ සිත් බැතිමත්ය. මේ දිරිමත් මිනිසුන් මෙන්ම බෙනඩිකානු නිකායේ ජූඩ් පියතුමන්, ශාන්ත පියතුමන් ඇතුළු තවත් පියතුමන්ලා මේ දේවස්ථානය වත්මන් තත්ත්වයට ගෙන ඒමට විශාල පරිශ්‍රමයක් දරා තිබිණි.
එහෙත් දේවස්ථානය වටා තවමත් දක්නට ඇත්තේ දරිද්‍රතාවේ දුක්බර ලකුණුය. මෙතැනට දෙවියන්ගේ පිහිට පතා එන සියයක් බැතිමතුන්ගේ දෑසට පෙනී නොපෙනී ගොස් ඇති ඒ අඩුපාඩු බොහෝය. දහම් පාසල් ළමයින් සඳහා ඉගෙනුම් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ගොඩනැගිල්ලක් නැත. දරුවන් දහම් අධ්‍යාපනය ලබන්නේ ගස් යට පැදුරු කඩමාලු එළාගෙනය. දහම් පාසලට ඇඳුමක් නැත. මේ අසරණ දරු දැරියෝ ගෙදරට ඇඳගෙන සිටින ඇඳුමෙන් සැරසී පල්ලියට පැමිණ සිටියහ. පසෙක කුඩාවට ආරම්භ කර ඇති පෙර පාසලකි. දේවස්ථානයට ජල පහසුකම් නැත. උග්‍ර පානිය ජල ප්‍රශ්නයට දේශපාලන අධිකාරිය විසින් ලබා දී තිබූ බලාපොරොත්තු ආණ්ඩු පෙරළිත් සමඟ වෙනස් වීම දැන් මොවුන්ට හුරුපුරුදුය.
සැබෑ නත්තල මෙවැනි මිනිසුන් සමඟ ජීවිතය බෙදාගැනීමය. ආදර හා මනුෂ්‍යත්වය බෙදාගැනීමය. මේ රටේ සංවේදී මිනිසුන් කොතෙකුත් සිටින බව අපගේ විශ්වාසය ය. ඔවුන් මේ මිනිසුන්ගේ ජීවිත නත්තල් සතුටින් පුරවනු ඇති බව අපේ හැඟීමය.
මීසම භාර කෙනඩික් පියතුමන් පවසා සිටියේ මෙවැන්නකි.
“මගෙ මීසමට අයත් දේවස්ථාන 11 පිහිටලා තියෙනවා. ඒ දේවස්ථාන අතරින් ඉතාම දුෂ්කරම දේවස්ථානය තමයි මේ ජුසේවාස් දේවස්ථානය. අන්ත අසරණ දුප්පත් ජනතාවක් සිටින ගම්මානයක් මේ ගම්මානය. අවුරුදු ගානක් මේ දේවස්ථානය ඉදි කර ගන්න මේ ජනතාව පුදුමාකාර දුකක් විඳලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි අපේ පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් දැඩි වෙහෙසක් දරලා තියෙනවා. අද වෙද්දි යම්තාක් දුරට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ දේවස්ථානය ඉදි කරවාගැනීම හැකියාව ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් සමස්ත ජනතාවගේ සිත් තුළ සතුටක් තියෙනවා. නමුත් අඩුපාඩු තියන දේවස්ථානයක් තමයි මේ දේවස්ථානය. අපට විශාලම අඩුව තමා උග්‍ර පානිය ජල හිඟය. ගොඩනැගිලිවල අඩුව. මේ සියල්ලම අංග සම්පූර්ණ කර ගන්න අප සතුව වත්කම් නෑ.
ඒ නිසා අප මෙතැනින් නතර වෙලා සිටිනවා. අප විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාදයෙන් අපට කවදා හෝ අපේ අඩුපාඩු සපුරා ගන්න අවස්ථාව උදාවෙයි කියලා. ආගම් භේදයකින් තොරව මේ දේවස්ථානයයේ අඩුපාඩු සපුරා ගන්න දායක වන්නාවූ සියලු දෙනාට දෙවින් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී ගම්වැසි ජේ.ඒ.ලිලී මාග්රරට් කියා සිටියේ මෙවැන්නකි.
මට දැන් අවුරුදු 70ක් පමණ වෙනවා. මේ පල්ලිය හදලා දැනට අවුරුදු 30ක් විතර ඇති. අපි බොහොම දුප්පත්. අපි ගොඩක් මහන්සිවෙලා ඔළුවෙන් වැලි තාච්චි අැදලා මේ පල්ලිය හදා ගත්තෙ. ඒදා පොල් අතු පල්ලිය තියෙද්දි අපේ එකම අරමුණ වුනේ කවදා හෝ ගලෙන් පල්ලියක් බැද ගන්න ඕනෙ කියලා. ඒ හීනය දැන් සැබෑ වුණා. එක ගැන අපිට ආඩම්බරයි. නමුත් අපිත් කැමතියි අංග සම්පූර්ණ පල්ලියක් අපට හදා ගන්න. අපේ පල්ලියට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා දෙනවා නම් ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නාවූ දේවමෙෙහයක් ලෙසයි අපි දකින්නේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී ගම්වාසී පී. කමලා පවසා සිටියේ මෙවැන්නකි.
“අපේ දරුවො ඉගෙන ගත්තෙ මේ පල්ලියෙන්. අද අපේ දරුවන්ගේ දරුවොත් මේ පල්ලියට යනවා. මේ පල්ලියට ලොකු ඉතිහාසයක් තියෙනවා. හාස්කම් ගොඩක් තියෙන පුත්තලමේ එකම පල්ලිය මේ පල්ලිය. අපිට මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ගොඩාක් අපහසුයි. ඒ නිසා අපි කාගෙන් හරි ඉල්ලන්නෙ අපේ මේ පල්ලියෙ තියෙන අඩුපාඩු හදලා අපේ ළමයින්ගේ අනාගතය යහපත් කරගන්න උදව් වෙන්න කියලා.
එම්.ඒ. නිලන්ත ද කතාවට එක්වූයේය. ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
විශාල දුෂ්කරතා ප්‍රමාණයක් මැද මේ ගෙවන ජීවිතය හරිම කටුකයි. මම වෘත්තියෙන් පෙදරේරුවෙක්. මම මගේ ශ්‍රමය ගොඩක් මේ සඳහා වැය කරලා තියෙනවා. මේ පල්ලියට අවශ්‍ය කරන යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා දෙන්න පුළුවන් නම් ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේව මෙහෙයවරක්.
සැබෑ නත්තල සමරනු රිසි මිනිසුන් මේ අසරණයන් සමඟ අත්වැල් බැඳගනු ඇත.
සේයාරූ - වනාතවිල්ලුව සමූහ
ප්‍රියංකර කළුපහණ