
ජීවකයාණෝ
‘මාව කොළඹ යැව්වා. එහෙදී ආයෙත් ඇටෑක් එකක් ඇවිත් වහාම බයිපාස් එකක් කෙරුවා. දැන් මට හොඳයි. එදා ඒ ඩොක්ටර් මාව
දැඩිසත්කාරෙට මාරු කරපු වෙලේ ‘මේ යකා නැති ලෙඩක් දැම්මා’ කියලා මං හරි තරහින් හිටියෙ. එහෙම කරපු එක ගැන මට දැන් ලැජ්ජයි. ඇත්තටම එයා තමයි මගේ ජීවිතේ බේරගන්ඩ මුල් වුණේ. පස්සෙ දවසක මං එයාව හොයාගෙන ගිහින් අත් දෙක අල්ලලා ඉඹගත්තා...’
අන්න අර කෙනා දිහෑ හොඳට බලන්ඩ!’ නගරයේ දී මිතුරෙක් මගේ අවධානය එක්තරා පුද්ගලයෙකු වෙත යොමු කළේ ය.
මගේ නෙත ගැටුණේ එතරම් පෙනුමක් නැති කෙට්ටු මිනිසෙකි. අත්දිග කමිසක් හා ටයි පටියක් පැලඳ සිටි හේ රියට නැඟී නොපෙනී ගියේ ය.
‘එයා ඩොක්ටර් කෙනෙක්’ කී මා මිතුරා අතීත කතාවක් සිහිපත් කළේ ය.
ඒ මෙසේ ය.
වසර ගණනාවකට පෙර මිතුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මොහොතක මේ වෛද්‍යවරයා වාට්ටුවට පැමිණියේ ය. ඊට කලින් කවුරුත් ඔහු දැක නොතිබුණු බැවින් ඒ මොහොතේ ඔහු වෛද්‍යවරයකු ද කියාවත් රෝගීහු නොදැන සිටියහ. වෛද්‍යවරයා හෘදය රෝගීන් ගේ ඇඳ පා පතෙහි වූ කවරවලින් ලේඛන ඇද පිරික්සන්නට වූයේ ය.
‘කෝ මේ ලෙඩා?’ වෛද්‍යවරයා හිස් ඇඳක් පෙන්වා සෙසු රෝගීන් ගෙන් ප්‍රශ්න කළේ ය. ටික වේලාවක දී අදාළ රෝගියා සොයා ගැනීමට හැකි විය.
‘ඔයාගේ ඊ සී ජී එකේ ප්‍රශ්නයක් තියනවා. ඒ හින්දා ඔයාව වහාම දැඩි සත්කාර ඒකකයට යවන්ඩ වෙනවා’ වෛද්‍යවරයා තරයේ කියා සිටියේ ය.
‘ඩොක්ටර් මගෙ අනෙක් ඊ සී ජී පටි හොඳයිනෙ’ තරුණ ලෙඩා හරස් විය.
‘ඒ වුණාට ඉස්සෙල්ල ගත්තු එක හොඳ නෑනෙ. ඒක ප්‍රශ්නයක්’
ලෙඩා වහා මාරු කැරිණ. වෛද්‍යවරයා ඉන් පසු දැක ගත නොහැකි විය.
මගේ මිතුරා සනීප වී ගෙදර ගියේ ය.
මාස හයකට පමණ පසු දිනක් හදිසියේ ඔහුට අර තරුණ රෝගියා නගරයේ දී මුණ ගැසිණ.
‘මතකද?’
‘මතකයි’
‘එදා අර ඩොක්ටර් මගෙ ඊ සී ජී එක හොඳ නෑ කියලා දැඩි සත්කාරෙට දැම්මා මතක ද?’
‘මතකයි’
‘ඉන් පස්සෙ මාව කොළඹ යැව්වා. එහෙ දී ආයෙත් ඇටෑක් එකක් ඇවිත් වහාම බයිපාස් එකක් කෙරුවා. දැන් මට හොඳයි. එදා ඒ ඩොක්ටර් මාව දැඩිසත්කාරෙට මාරු කරපු වෙලේ ‘මේ යකා නැති ලෙඩක් දැම්මා’ කියලා මං හරි තරහින් හිටියෙ. එහෙම කරපු එක ගැන මට දැන් ලැජ්ජයි. ඇත්තටම එයා තමයි මගේ ජීවිතේ බේරගන්ඩ මුල් වුණේ. පස්සෙ දවසක මං එයාව හොයාගෙන ගිහින් අත් දෙක අල්ලලා ඉඹ ගත්තා’
මේ කතාව ඇසූ මම මොහොතකට පෙර මා ඉදිරියේ පෙනී නොපෙනී ගිය අර මිනිස් රුව මවාගැනීමට වෙර ගතිමි.
රූපය ලස්සන දෙවිවරුන් සිටින්නේ දේවාලවලය. අප අතර සිටින සැබෑ දෙවිවරුන් ගේ හැඩ රුව ලස්සන නැත.
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
දොරට වැඩුම
අගනුවරින් බොහෝ ඈත නගරයක වෙසෙන ලේඛිකාවක් වෙමි. මගේ අලුත් ම නවකතාව ප්‍රකට ප්‍රකාශන සමාගමක් මඟින් එළිදැක්විණි. එය දොරට වැඩීමේ උත්සවය මා උපන් නගරයේ දී ම පැවැත්වීමට කටයුතු සූදානම් කළ මම, අදාළ දිනය මගේ උත්සවයට සහභාගි වීම සඳහා වෙන් කරගන්නා හැටියට මා පුතුට දැනුම් දුනිමි. මා කල් තියා එසේ කළේ ඔහු කාර්යබහුල අයෙකු බැවිනි.
අදාළ ආරාධනා පත්‍රය මුද්‍රණය කැරුණු වහා ම මම ඔහු සොයා ඔහුගේ නිෙවසට ගොස් උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කර ඒ සඳහා ඔහුගේ දරුවාගේ පැමිණීම ද අත්‍යවශ්‍ය බව කීවෙමි.
‘මං එයාට කියලා තියෙන්නෙ මොන ප්‍රශ්න තිබුණත් ක්ලාස් කට් කරගන්ඩ එපා කියලා’ පුතු කීවේ ය.
මම පුදුම වී ඔහු දෙස බලා සිටියෙමි.
‘අම්මගේ පොතක් හින්දා එයාගේ ටාගට් එක මිස් කරගන්ඩ කියලා ද කියන්නෙ? ඇයි අම්මා අවුරුදු පතා පොත් ලිය ලියා මිනිස්සුන්ට ආරාධනා කර කර කරදර කරන්නෙ? දැන් හාල් කිලෝව කීය ද? පොල් ගෙඩිය කීය ද? ඔය පොත් අරගෙන මිනිස්සුන්ට කන්ඩ ද?‘
මා හද දෙකඩ විය.
‘හාල් කිලෝ එකක් පොල් ගෙඩියක් ගන්ඩ බැරි මිනිස්සුන්ට ආරාධනා කරනවයැ?’ මගේ හඬ නැඟුණේ බිඳෙමිනි.
‘අම්මා ඔය මිනිස්සු උත්සවේට ගෙන්නගෙන කන්ඩ දීලා බැණුං අහගෙන ඉඳලා ලබන වින්දනේ මොකක් ද?’
‘කවුද බැන්නෙ?’
‘කවුද හොඳක් කිව්වේ?’
ලැබෙන විවේචන බැණුම් යැයි ඔහු සිතුවා වැන්න.
‘අම්මා පොත්වල මොනවා ද ඔය ලියන විකාර? යාළුවෙකුටවත් දෙන්ඩ පුළුවන් ද?‘
එවදන් මට දැනුණේ පිහි පහර සේ ය.
මම ශෝකයෙන් පිට වී ආවෙමි. එහෙත් ඔහු උත්සවයට එනු ඇතැයි මම සිතුවෙමි. ඒ ඔහු මගේ පුතු බැවිනි.
එහෙත් ඔහු නාවේ ය.
උත්සවය අවසානයේ මගේ ස්තුති කතාව පැවැත්වීමේ වාරය එළඹියේ ය.
මම සභාව අමතා මෙසේ කීවෙමි.
‘ඔබ හැම දෙනා ම ඔබේ වටිනා ධනයත් කාලයත් ශ්‍රමයත් කැප කර මෙහි පැමිණීම ගැන කොහොම ස්තුති කරන්න ද කියලා මම දන්නේ නෑ. මොකද මගෙ පුතා ඇවිල්ලා නෑ.’
සිළුමිණ පාඨක ලේඛිකාවක විසින් යොමු කරන ලද ලිපියක් අසුරෙනි.
ඇගේ අනන්‍යතාව සඟවන ලද්දේ අප විසිනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.