කෝට්ටේ යුගයේ සිට පැව­තෙන පමු­ණු­ගම නත්තල් සිරිය දකි­න්නට ගියෙමු | සිළුමිණ

කෝට්ටේ යුගයේ සිට පැව­තෙන පමු­ණු­ගම නත්තල් සිරිය දකි­න්නට ගියෙමු

දිව­යින පුරා කතෝ­ලික ජන­තාව මේ වන විටත් නත්තල කිතු උපත සැම­රීම සදහා ලහි ලහියේ සුදා­න­ම් වෙති. ඒ සුදා­නම බල­න්නට මෙන්ම අතී­තය පිළි­බඳ තොර­තුරු සෙවිමේ අර­මු­ණින් පමු­ණු­ග­මට ගියෙමු. මේ වන විටත් ලංකාවේ එකම ශ්‍රි ලේ වන්දනා ස්ථානය පිහිටා තිබෙන්නේ පමු­ණූ­ගම ශුද්ධ වු ජුසේ මුනි­දුන්ගේ දේව­ස්ථා­න­යේය. මෙය ආරම්භ වී ඇත්තේ එක්ද­හස් අට­සිය හැට අට වස­රේ­දීය. සිය­යට සිය යක්ම කතෝ­ලික ජන­තාව වාසය කරන පමු­ණු­ගම සුවි­ශේෂි වන්නේ ඉහත කරුනු කාරණා ද සම­ඟය.

රටේ මොන මොන ප්‍රශ්න තිබුණ ද සියල්ල මොහො­ත­කට අම­තක කර උතුම් වූ නත්තල සම­ර­න්නට මේ දින­වල කවුරු කවු­රුත් ලහි ලහියේ සුදා­නම් වෙති. සාමා­න්‍ය­යෙන් මුහුදු බඩ තීරයේ වැඩි­පු­රම සිටින්නේ කතෝ­ලික ජන­තා­වය. මීග­මුව හා කොළඹ මුහු­දු­බඩ මාර්ගයේ පටු බිම් තීරු­වක පිහිටි ගම්මා­න­යක් වන පමු­ණු­ග­මට පසු­ගිය දිනෙක අපි ගියෙමු. ඒ නත්තල් උත්ස­වයේ අතීත මතක සට­හන් සොය­න්න­ටය. පමු­ණු­ගම ගැන බොහෝ අතීත කතා ඇත. ඒ ඇතැම් කතා ජන­ප්‍ර­වා­දයේ එන කතාය. ඇතැම් කතා ඇත්තේ කට වහ­රේය . තවත් තැනෙක පමු­ණු­ගම විස්ත­රය නැමති පොතේ ද පමු­ණු­ගම අතී­තය ගැන සට­හන්ව ඇත.

අද වන විට ජනා­කීර්ණ වී තිබුණ ද එදා පමු­ණු­ගම වන දහ­නක් තිබී ඇත. කොළ­ඹට ආස­න්නව තිබූ මේ වන දහන‍ෙ අලි ඇතුන් පවා සිටි බවට ජන­ව­හරේ පැනේ. දුටු­ගැ­මුණු රජු ගේ මංගල හස්තියා වූ කඩොල් ඇතු අල්ලා ගන්නා ලද්දේ මේ පමු­ණු­ගම වන ලැහැබේ කඩොල් හැත්ත නමින් හඳු­න්වන ලද කොට­සින් බව ගැමියෝ කියති. පමු­ණු­ගම ජනා­වාස වෙන්නට පටන් ගත්තේ කෝට්ටේ රාජ සම­යේදි බව ද කියැවේ.

දිගු අතී­ත­යක් ඇති පමු­ණු­ගම ගමේ නත්තල් අසි­රිය සොය­න්නට ගිය ගම­නේදී ගම්වැ­සියෝ අපට කියූ කතාය මේ. අප එහි යන විට ද බොහෝ නිවෙස් වල ගව­ලෙන, මෙන්ම වෙනත් සැර­සිලි ද නත්තල් ගස ද හැදෙ­මින් තිබිණි.

“පළ­මුවෙනි රාජ­සිංහ රජුගේ හමු­දාවේ ඉඳලා තියෙ­නවා දුනු හේවා භාරව ජසෙන්තු රූප­සිංහ කියලා සේනා නාය­ක­යෙක්. මොහු යුද්ධ කළේ පෘතු­ගීසි හමු­දාව සමඟ. මෙන්න මේ ජසෙන්තු රූප­සිංහ කියන කෙනාගේ පර­ම්ප­රා­වෙන් තමයි අපි පැවැ­ත­ගෙන එන්නේ. මේ ගමේ පවුල් එක්ද­හස් පන්සී­යක් විතර ඉන්නවා. ගමට පමු­ණු­ගම කියන නම කොහොම හැදුණ ද කියන්න හරි­ය­ටම දන්න කෙනෙක් නැහැ. කෝට්ටේ රාජ­ස­මයේ දළදා කර­ඬු­වට පුද පුජා පව­ත්වන්න පව­රපු ගම්මාන තිබිලා තියෙ­නවා. මේ ගමත් එවැනි ගමක් කියලා තමයි අතී­තය දන්නෝ කියන්නේ. නමුත් අද­නම් ඒ අතී­තය දන්න කිසි­වෙක් ජීව­තුන් අතර නැහැ. අද වන විට මේ ගමේ ඉන්න සිය­ල්ලෝම කතෝ­ලි­කයෝ. නමුත් කෝට්ටේ රජ­වා­ස­ලින් පැමිණි බමු­ණන් මෙහි පදිංචි වෙලා හිටියා කිය­ලත් කිය­නවා. අපි පුංචි කාලේ මේ පැත්තේ තිබුණේ පොල් ඉඩම්. නමුත් දැන් එහෙම පොල් වතු නැහැ.

නත්තල පටන් ගන්නේ ආග­මන කාල­යෙන්. දෙසැ­ම්බර් පළමු ඉරිදා පුජා­වෙන් මේ කාලය හඳුන්වා දෙනවා. දෙසැ­ම්බර් නිවැ­සියෝ නත්ත­ලට සුදා­නම් වෙනවා.” පමු­ණු­ගම ගමේ පැරැ­න්නෙකු වන ප්‍රීනි රූප­සිංහ මහතා පැව­සු­වේය.

අතී­ත­යේදි මේ ගම්මා­නයේ ගොවි­තැන් කට­යුතු කෙරී ඇත. පසුව ධීවර ජන­තාව ද සිට ඇත . අද වන විට ධීවර ජන­තා­වට අම­ත­රව වෙනත් රැකියා කර­න්නෝද වෙති. කෙසේ වෙතත් ඈත අතී­තයේ සිටම ඔවුහු නත්තල උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැත් වූහ. එකල ගැමි පරි­ස­රය ජීවත් වූ මේ මිනිස්සු සරල ගැමි ජීවි­ත­යක් ගෙන ගියහ.

“අපි කැලෙන් කඩොල් ගහක් කපා­ගෙන එනවා. ඉස්සර මේ අද­වගේ සයි­ප්‍රස් ගස් විකු­ණන්න තිබුණෙ නැහැ. අපි මේ කඩොල් ගහ සුද්ද කර­නවා. ඊට පස්සේ ක්‍රේප් කොළ අල­වලා බැලුම් බෝල එල්ල­නවා. ඒක තමයි අපේ නත්තල් ගහ. දෙසැ­ම්බර් විසි­හ­තර වෙනිදා රෑ දොළ­හට අපි පල්ලි යනවා. පුංචි අපිට වැඩි­හි­ටි­ය­න්ගෙන් තෑගි ලැබෙ­නවා. පමු­ණු­ගම ශුද්ධ වු ජුසේ මුනි­ඳුන්ගේ දෙව්මැ­දුර හදලා තියෙන්නේ එක්ද­හස් අට­සිය හැත්තෑ දෙකේ අවු­රුද්දේ. ”

තම පුංචි­කා­ලය පිළි­බඳ සිහි­පත් කර­මින් ඇන්ටන් ජය­මහ පව­ස­න්නේය. අප ඔහු ඇන්ටන් නමින් ඇම­තුව ද ගමේ කවු­රුත් ඔහු හඳු­න්වන්නේ අප්පු අයියා නමිනි.

පමු­ණු­ගම ගම ඇතුළේ වැල්ල­වත්ත, අම්බ­ල­න්වත්ත, මහ­වත්ත, සේද­වත්ත, වැලි­කැ­ටිය, වහ­ටි­ය­ගොඩ, බිම්ප­ඳුර යන ගම්මාන තිබේ. ගමේ පැරණි තොර­තුරු මෙන්ම ගමේ වැඩි­හි­ටි­යන් ඔවුන්ගේ බාල වියේ දුටු නත්තල පිළි­බඳ සොයා යන ගම­නේදී අපට හමු අයෙකි ජෝ සංග­පාල ආරච්චි . ඔහු ලේඛ­ක­යෙකි.

“අද මේ ගමේ සිය­යට අනූ­ප­හක්ම ඉන්නේ කතෝ­ලි­කයෝ. පෘතු­ග්‍රී­සින්ගේ කාලයේ මේ ප්‍රදේ­ශයේ හිටපු සංඝයා වහ­න්සේලා බලා ගන්න ආරච්චි කෙනෙක් පත්ක­රලා තියෙවා. අපි පැවැ­ත­ගෙන එන්නේ අන්න ඒ පර­ම්ප­රා­වෙන්. මගෙ වයස අවු­රුදු හැත්තෑ දෙකක් වෙනවා. අපේ වාස­ගම සංග­පාල ආර­චිචි. මට මත­කයි අපි පුංචි කාලේ නත්ත­ලට කැට ගහ­නවා. ඒක මේ සූදු­වට කරන දෙයක් නෙමෙයි. විනෝ­ද­යට තමයි කරන්නේ. අවු­රුදු දහ­යක් විතර කාලේ අපි කැරොල් කියන්න යනවා. වැඩි­හි­ටියෝ පස්සෙන් අපිත් යනවා. මරිය මව්තු­මි­යට ජූසේ තුමාට අඳි­නවා. පමු­ණු­ගම තියෙන පිට්ට­නියේ නත්තල් කාලෙට නාඩ­ගම් පෙන්ව­නවා. ඒ කාලේ ජන­ප්‍රි­යම නාඩ­ගම් කරුවෝ තමයි, හෙන්ද්‍රික් මුහුප්පු, ඇලෝයි කොටි­කා­වත්ත යන අය. පමු­ණු­ගම දෙව්මැ­දු­රට ආධාර පිණිස ලංකාවේ නළු නිළි­යන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් බැල­සන්ත නාඩ­ගම දවස් පහක් ගොන්සා­ල්වෙස් විදු­හ­ලේදි පෙන්නලා තියෙ­නවා. මේ ගමේ පාස්කු උත්ස­ව­යත් මහ ඉහ­ළින් කෙරෙ­නවා. ජෝ සංග­පාල පව­ස­නනේ තමන් ළමා කාලයේ අත්දුටු දේය.

දැන් තරුණ පර­පුර ඉදි­රි­යට එමින් සිටින යුග­යයි. එදා වැඩි­හි­ටියෝ දැන් තරු­ණ­යන්ට පල්ලියේ සැර­සිලි කර­න්නට බාර දී ඔවුන් යන මඟ දෙස බලා සිටිති. අප ශුද්ධ වු ජුසේ මුනි­ඳුන්ගේ දේව­ස්ථා­න­යට යන විට තරුෂ, ෂෙනාල්, තුසිත, විශ්ව, රශ්මික, මෙලන් යන තරු­ණයෝ කැල­යෙන් ගෙනා අමු කොළ වැල් පොට­වල් සමඟ පොර බද­මින් සිටිහ.

අපි කොටස් දෙකට බෙදිලා තමයි පල්ලියේ සැර­සිලි කරන්නේ. එක පිරි­සක් නත්තල් ගහ හද­නවා. අපිට තියෙන්නේ පල්ලියේ ඇතුලේ සැර­සිලි කරන්න. මේ අවට තියෙන වන වදුලු වලින් තමයි වැල් කඩා­ගෙන ආවේ. දැන් ඉස්කෝලේ නිවාඩු නිසා අපි වැඩි­පු­රම ඉන්නේ පල්ලියේ. මේක හරි සුන්දර අපුරු අත්දැ­කි­මක්.” තරු­ණ­යන් සියළු දෙනාම වෙනු­වෙන් තරුෂ අප හා පැවැ­සීය.

එදා මෙන්ම අදද පමු­ණු­ගම හරි අපූරු කතෝ­ලික ගම්මා­න­යකි. එක්ද­හස් අට­සිය පනස් හය අවු­රු­ද්දේදී ආණ්ඩුව විසින් ස්වභාෂා පාසල් දෙකක් පමු­ණු­ගම ආරම්භ කර ඇත. මේ බව සඳ­හන් වන්නේ පමු­ණු­ගම විස්ත­රය නැමැති පොතේය. නමුදු ඊට පෙර එනම් එක්ද­හස් හත්සිය හත­ලිස් හත­රේදී රෙප­ර­මාදු පාස­ලක් පමු­ණු­ගම තිබී ඇත. එහි සිසුන් තිස්හ­ත්දෙ­නෙකු සිට ඇත.

එක් යුග­යක පමු­නු­ගම තූර්ය වාදක කණ්ඩා­ය­මට විශේෂ ස්ථාන­යක් හිමිව තිබිණි. මඟුල් ගෙද­රට, ඉලව් ගෙද­රට, පල්ලියේ මංග­ල්‍ය­යට බෑන්ඩ් කණ්ඩා­යම නැතිව බැරි එකක් විය. පමු­ණු­ගම දෙව් මැදුරේ බෑන්ඩ් කණ්ඩා­යම ආරම්භ වී ඇත්තේ මිගෙල් මුහු­ප්පුගේ කාල­යේය. ජය­සූ­රිය ආර­ච්චිගේ පේදුරු අප්පු­හාමි පමු­ණු­ග­මට පැමිණ මිගෙල් මුහු­ප්පුගේ නිවෙසේ නැවති බෑන්ඩ් කණ්ඩා­යම සඳහා ශිල්පීන් තෝරා­ගෙන ඇත. කලෙ­කදී පමු­ණු­ගම බෑන්ඩ් කන්ඩා­යම පේදුරු අප්පු­හා­මිගේ පවුලේ පිරිමි අයට පම­ණක් සීමා වී තිබිණි. එකළ මෙය අවට ගම්මා­න­ව­ලද ප්‍රසිද්ධ බෑන්ඩ් කණ්ඩා­ය­මක් විය. නත්තල් දා මැදි­යම් රැයේ දේව මෙහෙ­යෙන් පසුව කන්තාරු කණ්ඩා­යම විසින් සංවි­ධා­නය කරන ලද නත්තල් කැරොල් කණ්ඩා­යම ගම වටා යන්නට විය. මෙයට බෑන්ඩ් කණ්ඩා­යම ද එක්විය.

දෙව් මැදුරේ මෙන්ම ගම්මා­න­යේද බොහෝ සංව­ර්ධන කට­යුතු වලට පපිලි පිය­තු­මා­ගෙන් ඉටු වූ සේවය සුවි­ශා­ලය. ඉතාලි ජාති­ක­යෙකු වන පපිලි පිය­තුමා ඉපදී ඇත්තේ 1840 දීය. වර්ත­මා­නයේ පල්ලියේ ප්‍රධාන පිය­තුමා ලෙසින් කට­යුතු කරනු ලබන්නේ ප්‍රැන්සිස් ජය­කොඩි පිය­තු­මාය.

කතෝ­ලික ජන­තාව වැඩි වශ­යෙන් සිටින බැවින් අද වන විට මීග­මුව පුංචි රෝමය ලෙසින් හැඳින්වේ. නමුදු ඈත අතී­තයේ කතෝ­ලි­ක­යන් බහු­ලව සිටියේ පමු­ණු­ගම හා ඒ අවට ගම්මාන ඇසු­රේය . පමු­නු­ගම ඉපැ­රණි තොර­තුරු සෙවී­මේදි ඔරු­වැල්ලේ පළමු පල්ලිය ද දෙවන පල්ලිය ද ඔවුන්ගේ ඉති­හාය සනාථ කරන තැන්ය. එමෙන්ම පමු­ණු­ගම සුසාන භූමිය සිහි­ග­න්වන්නේ ඕලන්ද යුග­යයි. අදට ද කතෝ­ලි­ක­යන් වැඩි ප්‍රමා­ණ­යක් ජීවත් වන පමු­ණු­ගම ගම්මා­නයේ අතීත නත්තල් අසි­රිය කිය­න්නට සරෝ­ජිනි පෙරේරා ද අප හා එක්විය.

“අපේ පුංචි කාලේ හරිම සුන්ද­රයි. දැන්නම් හැම­දේම කඩෙන් ගන්න තියෙ­නවා‍නේ. ඒත් ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ පිරිමි ළම­යෙක්ව නත්තල් පප්පට අන්ද­ව­නවා. එයාගේ අතට බැලුම් බෝල දීලා හැර­මි­ටි­යක් දෙනෙවා. ආයෙම ගෙවල් වලට කැරොල් යනවා. අපේ ආච්චි තමයි අපිට කැරොල් ගී උග­න්වන්නේ. පුරුදු කරන්නේ. ජේසු බබා විදි­හට බෝනි­ක්කෙක් ගන්නවා. මරියා මව්තු­මිය ජුසේ පිය­තුමා විදි­හට එක එක්කෙනා අඳි­නවා. ඉන් පස්සේ කැරොල් කණ්ඩා­යම ගෙයින් ගෙට යනවා. අපි කැට­ය­කුත් අර­ගෙන යනවා.

ඒ ගියාම කැරොල් බලන අහන අය ඒකට පඬුරු දානවා. අන්ති­මට අපි ඒ සල්ලි බෙදා ගන්නවා. ඒ සල්ලි ඉස්කෝලේ පොත් ගන්න විය­දම් කර­නවා. දැන් නම් මේ ගමේ හැම ගෙයක්ම වගේ තාප්ප වලින් වැට­වල් වලින් වෙන් වෙලා තියෙන්නේ.

ඒ වුණාට අපි පුංචි­කාලේ එහෙම නැහැ. දැන් හැම­දේම වෙන­ස්වෙලා. අපි ඒ කාලේ අනි­වා­ර්ය­යෙන්ම රෑ පූජා­වට පල්ලි­යට යනවා. ඒ කාලේ ගෙද­රක බොහෝම සරු­වට කෑම හදන්නේ නත්තල් දව­සට . අපි නත්තල් දව­සට නත්තල් කතා­ක­රන්න යනවා නෑයන්ට. ඔය විදි­හට තමයි අපේ පුංචි කාලේ ගෙවිලා ගියේ. ”

සරෝනි පව­ස­න්නීය.

පමු­ණු­ගම පම­ණක් නොව මුහු­දු­බඩ තීරයේ සිටින කතෝ­ලි­ක­යන් මෙන්ම රට පුරාම සිටින කතෝ­ලි­ක­යන් ලහි ලහියේ සුදා­නම් වන්නේ කිතු සමි­ඳා­නන්ගේ උපත සැම­රී­මට ය.

ඔබ සැමට සුබ නත්ත­ලක් වේවා!

ඡායා­රූප- තුෂාර ප්‍රනාන්දු

Comments