
“ඔය මහ මූද තියෙනවනේ.. ඕකෙ ‘රැලි’ එනවානෙ.. එක රැල්ලක් අනෙක් රැල්ලෙන් මැකිලා යනවා. ඒත් මූද හැමදාම පවතිනවා.. හහ් හා... එක එක අලුත් නිව්ස්... අලුත් අලකලංචි ඇවිත්...
පරණ ඒවා මකලා දානවා...! ඕන්න ඕක තමා ලෝක සොබාවේ...! දැන් ඔය... හාමුලාගෙ තියෙන ‘මහන්තත්ත රැල්ල’
එයාලගේ ම දරුවන්ගේ ‘හිතුවක්කාර රැල්ලෙන්’ යටපත් වෙලා යනවා...! හහ්හා... නිව් ජෙනරේෂන්...!!”
එදා රත්නසේකර සහ ගොඩලියද්ද දෙමස්සිනාලා දෙන්නා පැය ගානක් තිස්සේ කතාවට වැටුණේ දෙදෙනා එකම වර්ගයේ හිත් වේදනාවකට ලක් වූ නිසාමය. ඒ එකම මාදිලිය පුදුම ව්‍යසනයකි.
ඒ දෙදෙනා දෙස බලා සුදු මැණිකෙ හා නිර්මලා මැණිකේ විවිධ අදහස් පළ කරන්ට වුණේ තරගෙට වගේය. ඊළඟට ආ හෝරාවේදී දෙදෙනා ම තරගෙට වගේ නිශ්ශබ්ද වෙලාය.
“එක අතකට නංගි ගෑනු වෙලා ඉපදෙන එකේ දුක මේක තමයි...” සුදු මැණිකෙ කීවේ කම්මුලට අතක් තබාගෙනය.
“තමුන්ගේ මනුස්සයා ගැන දුක්වෙන්න වෙග් ම දරුවො ගැනත් දුක්වෙන්න ඇපවෙලා කැපවෙලා ඉන්න ඕන ඉතින් ගෑනු උදවියම තමා...” නිර්මලා මැණිකේ ඒ අදහස විචිත්‍ර කරයි.
“ඇත්තම කියනවා නම් නංගි මට නම් තේරෙන විදියට දරුවන්ගේ දඩබ්බර හිතුවක්කාරකම් අපට ඉවසන්න පුළුවන්. ඒත් තමුන්ගේ ස්වාමියාගේ අවකල්කිරියා වැඩක් ආරංචි වුණාම ඉවසන්න තමා අමාරු... දැන් බලන්න අපේ මහත්තයාගේ ලේ උරුමයක් ජයතිස්සයාගේ ගෙදර... ඔයාගෙ මහත්තයාගේ ලේ උරුමයක්... ඒත් ජයතිස්සයාගේ ගෙදර...! හ්...”
සුදුමැණිකෙ බරට හුස්ම ගන්නා විට නිර්මලා මැණිකේට හිතට හරි නැත. ඇය තම නෑනා ළඟට කිට්ටු වන්නේ ඒ නිසාය.
“ඒ තරම් දරුණු රහසිගත දෙයක් ඉවසන්න පුළුවන් වෙච්ච අපට... ඇයි දරුවන්ගේ හිතුවක්කාරකම් ඉවසන්න බැරි...?”
“මලින්ද පුතා ගැන මම හිත හදාගන්නම්.. ඔයත් ජයමාල් පුතා ගැන හිත හදාගන්න. ඒත්... මට තාම දුකයි නංගි... එක අතකට අපි කොහොම හිත හදාගන්නද?” සුදු මැණිෙක ආයෙ ඉකිබිඳ හඩයි. ඊළඟට දෙදෙනාම හඬති. රත්නසේකර හාමුලා ඒ කිසිවක් දකින්නේ නැත. බරට බරේ කතාව යන අතරේ කුස්සියේ මැගීට ඇසුණේ එකම දෙයකි. එනම් බූදලේ තඹ දොයිත්තක්වත් පැනලා ගිය එවුන්ට නොදිය යුතුය යන රත්නසේකර හාමුගේ ගෝරනාඩුවය! එබසට මැගී තූෂ්ණිම්භූත වූයේ එහෙනම් සමන්ති බේබි හාමුත් පැනලා ගියානෙ. එයාටත් කිසිදෙයක් දෙන්නෙ නැත්නම් එතකොට බූදලේ කාටද දෙයියනේ... කියා සිතමින්ය. එක අතකට අපිට මොටෝ අනුන්ගේ බූදල් ගැන.. ඇයට ම ආයෙත් සිතිණි.
“මොකෝ මැගී තනියම තොල් මතුරන්නේ...”
තේ බීම සඳහා පැති මිදුලෙන් මුළුතැන්ගේ පැත්තට ඇතුළු වුණේ රියැදුරු ඩේවිඩ්ය. ඔහුට හාමු මහත්තුරුන් ජෝඩුවගේ මූණුවල කළු වලාකුළු පැහැදිලිව පෙනිණි.
“හා.. නේ.. නෑ.. මං මේ කල්පනා කළේ මේ වලව් දෙකේ දරුවොන්ගේ වැඩ ගැන... දෙන්න දෙමාල්ලන්ට දෙන ගින්දර... මෙවුන්...!”
මැගී ර යන්න කීවේ ඇදලා පැදලා ය.
“ඒවා ගැන කතා කිරිලි අපට අදාළ නෑ බං. ඔය හැම දේම හිතින් ඇදගෙන බැඳගෙන ඉන්න කොට තමා දුක වැඩි. හිතින් අතාරිනවා නම් ඔය දුක නෑනේ.. අල්ලගෙන ඉන්නවාට වඩා අතෑරලා ඉන්නවා නම් සැනසිල්ලයි...”
“ආ... ඩේවිඩ් මලයත් කොහෙන් හරි හොඳ බණ පදයක් අහලා වගේ.. ඒ වුණාට... හැමෝම ඔය වැඩිපුර කියන්නෙ ‘අත අරිනවා’ ‘අත අරිනවා’ කියලා.. එයාලාම තමා වැඩිපුරම ‘අල්ලාගෙන’ ඉන්නේ... දැන් පේන්නැද්ද අර රත්නසේකර හාමු... කොයි වෙලෙත් කටේ තියෙන්නෙම ආසාවල් තෘෂ්ණාවල් අතාරින්න ඕන කියලා... ඒත් බලන්න ජයමාල් බේබි හාමුට ඔය තරම් දෙස් දෙවොල් තියන්නෙ... බැඳීම වැඩි හින්දනෙ...”
******
“පහුගිය කාලෙ මිස් වෙච්ච වැඩ ටික ඔයා අල්ලා ගත්තද ශ්‍රීමාල්.. ඔයාගෙ මූණත් එක්ක හොඳටම ඇදිලා ගිහිල්ලා...”
සරසවි මාවත දිගේ ඇවිදගෙන යන ගමන් මේඛලා ඇසුවේ ශ්‍රීමාල් විසින් දැඩිව අල්ලාගෙන ඇති තම අත මඳක් මුදමිනි.
“ඔව්.. මේඛලා... ඒවා නම් හරි... ඒත් මට හිතෙනවා.. අපේ ජයමාල් මල්ලි අමාරුවේ වැටුණා කියලා..”
“ඒ ඇයි ඒ...?”
“මට දැනගන්න ලැබිච්ච අලුත්ම ආරංචිවල හැටියට ඕක මාලිකාගේ බාප්පා ගහපු ගැටයක්. මිනිහා කුලියට මිනිස්සු දෙන්නෙක් දම්මලා මාලිකාගේ ගෙදර අයව බය කරලා කෑගහලා මහ කැත විදියට... මේක ආරංචි වෙච්ච ගමන් තමා අපේ මලයා ඉතිං නාහෙට නාහන එකානෙ... ඉහ ගිනි ගත්තා වගේ හැසිරිලා... යකා නටලා කෙල්ලව බැඳගෙන තියෙන්නෙ..”
මේඛලා ඒ ප්‍රවෘත්තිය අසා සිටියේ මුව අයාගෙනය.. කොහොම වුණත් මාලිකාගේ බාප්පා ඒ කරපු වැඩය කරන්න ඇත්තේ රත්නපුර වලව්වේ සිද්ධියට අනුරූපව ඒක පාඩමට අරගෙන වගේය.
“අපේ අප්පච්චි දන්නෙත් නැතිව ඇති ඔහොම දෙයක් ගැන.. බලන්න අපේ හරකා රැවටුණානෙ මේ මිනිස්සුන්ගෙ දහං ගැටවලට...”
“ඉතිං ඔයා අප්පච්චිට කිව්වේ නැද්ද ඒ ගැන.. ඔයාට අහන්න ලැබුණු දේ ඇත්තක් නම්... ඒක කියන්න තිබුණා නේද?...”
“මම හුඟාක් දුරට කල්පනා කළා මේඛලා... දැන් ඕක කිව්වා කියලා ඇති වැඩක් තියෙනවද.. ඒ පාර අපේ මලයා අර බාප්පලා එක්ක ගුටි කෙළගෙන මහා වින්නැහියක් කරාවි...!”
ශ්‍රීමාල් කීවේ බර සුසුමක් පිට කරමිනි. මේඛලාට ශ්‍රීමාල් ගැන ඇති වුණේ අප්‍රමාණ දුකකි. ඒ එක්කම දැඩි ආදරයකි. ඒ සමඟම මොකක්දෝ ගැඹුරු සිහින් වේදනාවක් හදවත හරහා ඇදී යයි. ඒ කවදා හෝ ශ්‍රීමාල් සහ තමා අතර සම්බන්ධයට සිදු වන්නේ කුමක්ද යන අවිනිශ්චිත සිතුවිල්ලයි.
ලබන වසරේ මේ දවස් වෙද්දී සියල්ල පිළිබඳ තීරණයකට ඇවිත් සියල්ල වී හමාර විය යුතුය.
******
ශ්‍රී ජය වලව්වේ සිදු වූ අලකලංචිය ගමේ කඩමණ්ඩියේ කතාබහට හොඳ රසවත් අනුපානයක් විය.
ආප්ප පුච්ච පුච්චා බාන ගමන් මුදලාලි හාමිනේ හැමදෙනාම කතාවට අල්ලා ගත්තේ ප්රවෘත්තිවල රස වැඩි කිරීමටය. ආප්ප සමඟ ලුණු මිරිස් කොටා බාන ගමන්, හකුරු එක්ක තේ කහට බොන ගමන් කට්ටියම අලුත් ආරංචිවලින් පදමට පදම් වෙති.
“ඕවා ඔහොම තමා බං කාලයක් යද්දි... ඔය වලව්වල තියෙන වලව් මහන්තත්තකං නැති වෙලා යනවා. ඕක තමා ලෝක සොබාවෙ.. හහ් හා... දැන් උඹලා බලපල්ලා.. උඹලට කාටවත් මේ දවස්වල ‘බඩු මිල’... ‘බස් ගාස්තු’ අරවා මේවා... ඒවා ඒ තරම් ගාණක් නෑනේ... මේ වගේ විජ්ජුම්බරයක් අහන්න තියෙනං උඹලා ඒකෙ ගැලීලා සැනසිලා ඉන්නවා... ඔන්න ඕක තමා මනුස්ස සොබාවෙ... හහ් හා...”
ගිරිගෝරිස් උන්නැහේ එහෙම කියද්දී විශ්‍රාම ගිය ඉස්කෝලෙ උන්නැහේටත් සතුටුය. ඔහුත් දේශනාවක් කරයි.
“ඔය මහ මූද තියෙනවනේ.. ඕකෙ ‘රැලි’ එනවානෙ.. එක රැල්ලක් අනෙක් රැල්ලෙන් මැකිලා යනවා. ඒත් මූද හැමදාම පවතිනවා.. හහ් හා... එක එක අලුත් නිව්ස්... අලුත් අලකලංචි ඇවිත්... පරණ ඒවා... මකලා දානවා...! ඕන්න ඕක තමා ලෝක සොබාවේ...! දැන් ඔය... හාමුලාගෙ තියෙන ‘මහන්තත්ත රැල්ල’ එයාලගේ ම දරුවන්ගේ ‘හිතුවක්කාර රැල්ලෙන්’ යටපත් වෙලා යනවා...! හහ්හා... නිව් ජෙනරේෂන්...!!”
කඩයට ඇවිත් සිටි හැමෝම ඒ කතාවෙන් වශීකෘතව ගියා වගේය. අමුතුම ප්රබෝධයක් මූණුවල මතුවෙලා ය.
“අම්මපා... ඉස්කෝලෙ මහත්තයාට තිබුණෙ ‘පාර්ලිමේන්තුවට’ යන්න නේ... හා...!”
ඇග්නස් අක්කා එළවළු වට්ටිය අතට ගන්නා ගමන් කීවේ උනන්දුවෙනි. හැමෝම ඊට හිනාවුණේ ‘නියම කතාව’ ‘නියම කතාව’ කියමිනි. නමුත් ඉස්කෝලෙ මහතාගේ මුහුණ බැරෑරුම් විය. බී හමාර කළ තේ කෝප්පය මේසය උඩින් තැබූ ඉස්කෝලෙ මහත්තයා කඩෙන් පිටව ගියේ යමක් කියමිනි. මූණත් ඇඹුල් කරගෙනය.
“මගෙන් මුකුත් අහගන්න එපා!”
අන්තිමට කියූ ඒ වචන ටික විතරක් කට්ටියට පැහැදිලිව ඇසිණි. කට්ටියම හිනා නොවී හිනා වුණේ හිත යටිනි.
******
අමුතුම තාලේ මානසික වාතාවරණයක සිටින විල්ප්‍රඩ් රත්නසේකර හැම විටම උත්සාහ කළේ කෝපය දල්වා ගන්නටය. ජයමාල් පුතා හදිසියේ ම තම පෙම්වතිය කසාද බැඳගැනීමට තුඩු දුන්නේ තමා ඔහුට තරයේ යම් යම් අවවාද හා දේශනා කළ නිසා දැයි යන්න ඔහුටම හිතාගන්නට බැරිය.
“මේ ළමයා පුංචි කාලෙ ඉඳන් ම දඩබ්බරකම් කර කර මගේ තරහා අවුස්සා අවුස්සා මගේ හතුරෙක් වෙන්නමයි උත්සාහ කළේ... එහෙම බලද්දි දෙයියනේ ලොකු පුතා ශ්‍රීමාල් මට මොන තරම් නම් සම්පතක්ද? මැණිකෙ... මේකා මාව කෑවා නේ.. මාව නොමරා මැරුවා! ඕකාට මම එක තඹ දොයිත්තක් දෙන්නේ නෑ...! මම ඔක්කෝම ලියලා දානවා ලොකු පුතාට...!”
ආලින්දයේ එහා මෙහා ඇවිදිමින් ඔහු බස්තම උරුක්කරමින් කියන්නේ තම බිරිඳටය. නිර්මලා මැණිකේ තැතිගත් දෑසින් තම සැමියා දිහා බලන්නේ කිසි දෙයක් ම කතා නොකරමිනි. නමුත් ඇගේ දෑස්වල ලියැවුණ දිග කතාව රත්නසේකරට පෙනෙන්නේ නැත. ඒ ඔහුගේ හිත මෙන් ම ඇස් ද ගර්වයේ මුළාවක පැටලී ඇති නිසාය.
“අනේ ඇත්තට මේ වලව්වල තියෙන හුටපට කවදා කෙළවර වෙලා මූණක හිනාවක් දකින්න ලැබෙයිද මන්දා...”
කුරුලු තටුවට කෑම දමා එන ගමනේ පැති ජනේලයෙන් ආලින්දය දිහා බැලූ ජන්තු එසේ කීවේ මිරිස් කුල්ලක් වනමින් සිටිය තම බිරිය සිරියාටය.
“බලන්න එක මඟුලක්වත් තාම කන්න බැරිවෙච්ච හැටි බං... මේ තරම් සල්ලිත් තියාගෙන. දුප්පත් එව්වො ඉන්නවා මඟුලක් කන්න සල්ලි නැතිකමට හූල්ල හූල්ලා. සමන්ති බේබි පැනලා ගියා - ජයතිස්සයාගෙ පුතා ජයේන්ද්‍ර එක්ක. ඒක ආදුරුසෙට අරගෙන මලින්ද බේබිත් පැනලා පලච්චි... අනේ මංදා දැන් නම් ඉතිං ඉතිරිවෙලා ඉන්නෙ අපේ ලොකු බේබි හාමු තමා... මං හිතන්නෙ නෑ ඒ දරුවා නම් කවදාවත් දෙමාපියන්ට ගින්දරක් දේවි කියලා...”
සිරියා කියමින් සිටිය ඒ කතාව ඉද්ද ගැසුවා වගේ නතර කළේ නිර්මලා හාමුගෙ අඩි සද්දෙ ඇහිලාය.
“දැන් උඹලා දෙන්නටත් වැඩ නෑ කොයි වේලේත් කතාව... කතාව...!”
ලබන සතියට...