
අපේ ගොවිතැන නිධානයක් සේ සුරකින හෙළ ගොවියා
හැරෙන්නවත් ඉඩ නැති මේ හුණ්ඩු කාමරයේ, වහලයේ එල්ලී වියැළෙන භව භෝග රැසකි.
කරවෙන්නට වේළුණු වඳුරු මෑ, වැටකොලු, බණ්ඩක්කා කරල් අතර, දිය ගෙන යා හැකි ‘ලබු කට්ටක්’ තරමට පදම් වූ, නයිලබු, දියලබු සහ පුහුල් ගෙඩි ද කිහිපයකි. හීනටි, දික්වී, මසුරං... ආදි වී මිටි ගණනාවක් ද ඒ අතරය.
පැසෙන - මෝරන බීජ ඇට කුසෙහි රුවාගෙන, මේ සියලු කරල් සහ ගෙඩි මාස ගණන් අවුරුදු ගණන් මෙලෙස වහලයේ එල්ලී හිඳිනුයේ නිකමට හෝ ලස්සනකට නොවේ.
ජාතික මෙහෙවරකට උරදෙන්නටය.
හරියටම කීවොත්, පාරම්පරික ගොවිතැන රැකගන්නට පී. ගුරුසිංහ ගොවි මහත්මයා දරන වෙර වෑයමට උරදෙන්නටය.
හෝමාගම - කටුවාන පාරේ, ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ’ සභාපති කාර්යාලය නොහොත් පී. ගුරුසිංහ ගොවි මහත්තයාගේ පුංචි කාමර කෑල්ල, එහෙම පිටින් ම පිරී ඇත්තේ වගා සංස්කෘතියකට උර දෙන ඇට බීජ පොහොර ආදියෙනි.
නිධානයක් තරමට සුරකින, අපේ රටේ දේශීය වී වගාවක අතීත උරුමයෙනි.
එනිසාම, ඉඩක් කඩක් නැති හුණ්ඩු කාමරයේ වුවද අනෙක් සියල්ල සමඟ ගොඬරවාල, හැංගිමුත්තං, කහට වී, මඩඇල් වන්නි දහනල, අකුරම්බඩ, සුදු හන්දිරම්, ගෝනබරු, මුරුංගා කායම්... වැනි උපන්තේකට අසා නැති දේශීය වී වර්ග 168 ක් රාක්කවල පෙළ ගැසුණේ එනිසාය.
අවශ්‍ය තෙතමනය සහ උෂ්ණත්වය සුරකිමින්, ඉදිරි අවුරුදු කිහිපයකට වුවද ගැළපෙන සේ පදම් වන බිත්තර වී වර්ග ගණනාවක් ද ඊට පහළ වූ ප්ලාස්ටික් බැරල් කිහිපයක සැකසෙන්නේ, ගොවීන් අතර බෙදා දෙනු පිණිසය. සියල්ල සිදුවන්නේ ඔහුගේ දෑතිනි.
“මේ බීජ මට ලැබෙන්නෙ, අපේ රට වටා ඉන්න දේශීය ගොවීන්ගෙන්. ගන්නෝරුව PGRC හෙවත් පැළෑටි ජාන සම්පත් මධ්යෂ්ථානයෙන්. මේ ටික මුලින් ම කටුවාන මගේ පොඩි කුඹුරෙ වපුරනවා. ඒ අස්වැන්නෙන් ආපහු බිත්තර වී හදාගෙන මහ කුඹුරෙ වපුරනවා. රට වටේ ම විසිරිලා ඉන්න අපේ දේශීය ගොවීන්ට මේ බිත්තර වී ටික ටික බෙදලා දෙන්නෙ ඊට පස්සෙ.
මේක බුද්ධ බෝගයක්. අපි ලියැදි හදන්නෙ බුද්ධ චීවරේ හැඩයට. වී ඇටයෙ හරිම පාට, සිවුරු පාට. අලුතින් බෝ කරන දෙමුහුන් වීවල ඒ පාටවත් නැහැ. ඒ නිසා, මනුස්සයා නිරෝගි කරවන මේ බුද්ධ බෝගයට අපි අතගහන්නේ, පන්සිල් පද පහ බැරිනම් දෙකක් හරි රැකගෙන. මෙතැන බොහොමයක් තිබෙන්නෙ, මාස හතරහමාරෙ ඉඳන් ඵලදරන ප්රභාංසංවේදි වී වර්ග. ඒ කියන්නෙ ගොයම කිරි වදින්නෙ පැහෙන්නෙ හිරු එළියත් එක්ක.
අද දෙමුහුන් ගොයම් ගහ මිටියි. නමුත් ගොයම උස වෙන්න වෙන්න, වී වල ගුණාත්මක බව වැඩියි. මා වී ගොයම, අඩි 11 ක් උසට හැදෙනවා. රන් හැල් අඩි 6 ක් උසයි. මේවට හොඳ මුල් පද්ධතියක් තියෙනවා. අපේ ගොවිතැනේදි යොදන්නෙ කටු පොහොර සහ කොම්පෝස්ට් විතරක් නිසා ගොයම් ගහ අවශ්‍ය පරිදි පෝෂණය උරා ගන්නවා...”
“මේ තරම් වටින අපේ මේ දේශීය වී ගොවිතැන හෑල්ලු කරන සමහරු අපේ වෙල ළඟින් යන්නෙත්, ‘මේ ඉතින් පිස්සන්ගෙ වැඩ; ඔය ඉතින් කැඳ බොන්නනේ ගොවිතැන් කරන්නේ’ මේ වගේ කතා කියාගෙන. බතලේගොඩ එක අධ්යක්ෂවරයෙක් හිටියා. ඔහු මේ දේශීය වීවලට කිව්වෙ ‘වල් වී’ කියලා. තමන්ගෙ දේ ‘වල්’ කියන, පිටරටින් එන දේට ‘රට දෙල්, රට හාල්’ කියන එකම ජාතියත් අපි වෙන්න ඇති.
මඩට වී ඇටයක් දමලා, ඒ වී ඇටෙන් කිරි ටිකක් හැදිලා, ඒ කිරි ඇටේ හාල් ඇටයක් වෙලා හාල් ඇටය බත් ඇටයක් වෙලා මනුස්සයකුගෙ කුසට ආහාරයක් ඖෂධයක් වේවා! කියන ප්‍රාර්ථනයෙන් කරන මේ පාරම්පරික ගොවිතැන එහෙම හෑල්ලු කරන එකහොඳ දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට හැදෙන මේ ලෙඩ රෝගවල හැටියට හරි නම්, මුළු රට ම මේ වෙනකොට මේ පාරම්පරික හාලේ බත් කන්න ඕනේ. එහෙම බැරි නම් අඩුම තරමෙ කැඳ වීදුරුවක්වත් බොන්න ඕනෙ’ වයසට ගිහිල්ලත් අපි මේ වෑයං කරන්නෙ රටට මේ දේ තේරුං කරලා දෙන්න...”
කොතරම් හිත රිදුණ ද, මිනිසුන්ගේ ඒ රිදුම් දෙන කතාවලටත්, ලාභ පාඩු ගැන හිතිවිල්ලටවත් ඔහුගේ මේ වෑයම යට නොවෙයි.
“පහුගිය කාලෙ මගේ කටුවාන කුඹුරෙ මඩතවාලු, මුරුංගා කායම්, පච්ච පෙරුමාල්, පොක්කාලි අක්කර 4 ක් වපුරලා මට ලැබුණෙ වී මිටි 49 යි. හේතුව, ගොයම් කපන්න පරක්කු වුණු නිසා. මහියංගණයෙන් ගොයම් කපන්න එන කට්ටිය පමා වුණා. ගොයම වැස්සට අහුවුණා. ඒත් පාඩු වුණායකියලා මං කම්පා වෙන්නෑ. මොකද, ලාබ පාඩු සමයි. මේ සැරේ පාර්ලිමේන්තු දියවන්නා කුඹුරෙ අක්කර 4 ක් වපුරලා, මං වී ලොරි දෙකක් ගාල්ලට අරන් ගියා.”
ඔහුට අනුව, දේශීය ගොවිතැනේදි අක්කරයකට වී බුසල් 70 ක් ගත හැකි අතර, ආණ්ඩුවේ දෙමුහුන් වී වලින්, එනම්, රසායනික ගොවිතැනෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත හැක්කේ අක්කරයකට බුසල් 40 ක් පමණි.
වචනෙන් නොව, ඔහු එය ක්‍රියාවෙන් ම ඔප්පු කළ සත්‍යයකි. පහුගිය අවුරුද්දක කැස්බෑවේ, නිවන්දම ගමේ, සිය ගොවි සංවිධානයේ ධර්ම කීර්ති ගොවි මහතාගේ අස්වනු කැපුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ, වාර්මාර්ගයේ සහ කෘෂි කමිටුවේ සියල්ලන් ඉදිරියේය. ඵලදාව, දික් වී බුසල් 102 කි. මසුරං බුසල් 84 කි. පච්චපෙරුමාල් 81 කි. පොක්කාලි 79 කි. මේ සියල්ලට දැමුණේ කටු පොහොර සහ HS පොහොර හෙවත් කොම්පෝස්ට් පමණි.
‘ඕවා කරලා වැඩක් නැහැ...’ යි පවසන ගොවීන් හට දේශීය වී ගොවිතැන ගැන ඔහු යළිත්වරක් විශ්වාසය තහවුරු කළේය.
“හුඟක් මිනිස්සු, අද රසායනික වස විස යොදනවට කියන්නෙ ‘බෙහෙත් ගහනවා’ කියලා. ඒවා විකුණන බටහිර සමාගම්, ‘වස දානවා’ කියනවා වෙනුවට උගන්වපු වචනෙ තමයි ‘බෙහෙත් ගහනවා’ කියන එක. බෙහෙත් කියන්නෙ මිනිස්සු සුවපත් කරවන ඖෂධ. ඒවා බඩට බොනවා. ශරීරයට ගානවා. එච්චරයි. පොළොවට ගහන්නෙ වස.
ඉතින්, ඇයි තවමත් මේ අපේ මිනිස්සු බටහිර සමාගම් උගන්වපු විදියට ම වසවලට බෙහෙත් කියන්නෙ...
1996 වෙනකල් මාත් හිටියෙ ඔය අඳුරේ. පරම්පරා ගණනක ගොවියෙක් වුණත්. මං කළෙත් වස විස ගහපු ගොවිතැන. කුරේටර් පොළොවට ගහන ගානේ මං දැක්කෙ ගැඩවිල්ලො වගේ අපේ පොළොව සරු කරන පොඩි සත්තු මැරෙන හැටි. මං හුඟක් කල්පනා කළා. වස විස ගොවිතැන අත්හැරියා. එදා පටන් මේ ගොවි සංවිධානය පිහිටුවාගෙන රට වටේ ගිහින් දිස්ත්‍රික්ක 24 ක ගොවි මහත්තුරු එකතු කරගෙන මේ වැඩේ කරන්නෙ දේශීය ගොවිතැන ආපසු රටේ ප්‍රචලිත කරන්න.
1996 වසරේ ඒ සඳහා ඔහු ක්‍රියාත්මක වූයේ, පාරම්පරික වී තිබෙන ගොවීන් සොයා රට පීරමිනි.
බදුල්ලේ අලකොළ ගොන්නේ, මීගහචතුරේදි එවැනි මිනිසුන් කිහිපදෙනකුම ඔහුට මුණගැසිණි. එසේ හමුවූ ලොකු බණ්ඩා, පුංචි බණ්ඩා, කළු බණ්ඩා, සුදු බණ්ඩා... තමන් ළඟ වූ දේශීය වී ඔහුට දෙන්නට තරම් නිර්ලෝභි විය. දන්තුරේ වෙද මහත්තයා තවත් බොහෝ අය ගැන තොරතුරු කීවේය. ඒ උත්සාහයෙන් වී වර්ග 64 ක් එකතු විය.
කෙසේ හෝ එවැනි ගොවීන් හාරසියයක් සොයා ගන්නට ඔහුට හැකි විය. අද ඒ සාමාජික පිරිස එකොළොස් දහස් හත්සියයකි.
“අපරාදෙ කියන්න බැහැ හැමෝම වගේ මේ ජාතික කාර්යයට උර දෙනවා. බෝ කරගන්න අවශ්‍ය වී ටික කොහොම හරි අපිට ලැබෙන්න සලස්වනවා. මෙහෙම හැරුණුකොට තවමත් අපේ විනාශ වී නොගිය වී වර්ග බොහොමයක් ‘නිධාන’ හැටියට නිධන්ගත වෙලා තියෙනවා. මොකද, ඉස්සර රජවරු නිධන් වැළලුවෙ වී වර්ග කිහිපයකුත් දමලා, වී බොල් නොවී තියාගන්න පුළුවන් මැටි මුට්ටිවල. නමක් යොදන්න කළුපාට එහෙම වී කරලක් මටත් ලැබුණා. ඒක මං පැළකළා. කොහොඹයි ගොම මැටියි ගාලා වේළපු මුට්ටිවල අපිත් එවැනි වටිනා වී තැන්පත් කරලා තියනවා....”
වැදගත් ම දේ, ගන්නෝරුව PGRC එකේ අපේ රටේ එවැනි පාරම්පරික දේශීය වී වර්ග 1441 ක් තිබෙනවා. අවුරුදු 70 ක් පැන්නට පස්සෙ මේ එක වී වර්ගයක හරි පැළවීමේ ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වී වර්ගය මේ මුළු ලෝකෙන් ම තුරන් වුණා වෙනවා. ඒක වෙන්න දෙන්න එපා! මට පුළුවන් උපරිම විදියට එක කන්නෙකට වී වර්ග 30 ක් ගේනවා. පැළ හදා ගන්නවා. බෝ කරනවා. බෙදනවා. PGRC එකේ මට ම වෙන්වුණු ෆ්‍රිජ් එකක් තියෙනවා. මං ගෙනියන ඒ හැම වී වර්ගයක් ම බෝ කරලා බෙදුවට පස්සෙ ආපහු ග්‍රෑම් 500 ක් ගිහින් ඒ ෆ්‍රිජ් එකේ තැන්පත් කරනවා. ඒත් තනි මට, වී වර්ග එක්දහස් ගණනම බෝ කරන්න බැහැ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අපිට තිබුණෙ කන්නෙට - කරණෙට - කයියට වැඩ කළ ගොවි සංස්කෘතියක්. කන්නෙ කිව්වෙ වෙලාවට වැඩ කිරීම. පෙබරවාරි 05 දා වෙනකොට වපුරලා තිබුණම, බක්මහ වැහි පටන් ගන්නකොට පොළොවට පොහොර ටික වැටෙනවා. ඒ කියන්නෙ, අප්‍රේල් 05 දා වෙනකොට මෝසම් වැහි පටන් ගන්නවා. ගොඩින් ගොරවලා හෙණ ගහලා අකුණු වදිනවා. මහ පොළොවට යූරියා වගේ පොහොර ටික ආවෙ ඒ අකුණුවලින්. අපේ මුතුන් මිත්තො එදා ගොවිතැනට රට පොහොර ගෙනාවෙ නැහැ.
‘ආදි අපේ මුතුන් මිත්තෝ
ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ, කිව්වෙ ඒකයි.
ඊළඟ කාරණේ තමයි ‘කරණෙට’ වැඩකරපු එක. කරණෙ කිව්වෙ නැකතට. එදා ඒ නැකැත් හැදුවෙත් ඉර හඳ බලපෑම් සලකලා. අද ඒ නැකැත් සලකන්නෙ මේ දේශීය වී ගොවිතැනේ විතරයි. අනෙක් අතට මේ ෙද්ශගුණික විපර්යාසය නිසා හැමදේම අනික් පැත්ත ගහලා...
ගොයම් කපන දා ‘කයියට’ ගමේ හැමෝම ආවා. කයිය හැදුණේ ආත්තම්මට ඕනෙ හැටියට. උන්දෑ තමයි ගෙදර වෙදා. උදේ ම කොළ කැඳ වැරදුණේ නැහැ, කුරක්කන් නැත්නම් මා වී කිරිබතක් තමයි හැමෝටම දුන්නේ. මොකද, ඒ කිරිබත උෂ්ණාධික ගුණයෙන් යුක්තයි. දවල් බතට කොල්ලු තලපෙ වැරැද්දුවෙ නැහැ. කොස්ඇට කළු පොල් මාළුව, පොළොස්, මෑකරල්. බටු, මයියොක්කා වෑංජනේ හරි හරියට තිබුණා.”
ඒත් වවන්න කැමැති අයත් සිටී නම්, අස්වනුත් හොඳ නම්, ඇයි මේ දේශී්‍ය වී වවා, අඩු මිලකට දෙන්න බැරි... මට මෙන් ඔබටත් සිතේවි. එහෙත් ඒ කතාව පිටුපස ඇත්තේ ද ඛේදවාචකයකි.
“ආණ්ඩුවෙ දෙමුහුන් වීවලට දෙන එකම සහනයක්වත් මේ දේශීය ගොවිතැනට ලැබෙන්නෙ නැහැ. පොහොර සහනාධාරය, උදලු, මැෂින්, ට්‍රැක්ටර් මේ කිසිවක් අපේ ගොවීන්ට ලැබෙන්නෙ නැහැ. හැමදේම තමන්ම සපයා ගන්න ඕනේ. බිත්තර වී ටික, පොහොර ටික මං රට වටේම ගොවීන්ට යවන්නෙ කෝච්චියෙන්. ඒ ගොවීන්ගෙ වී අස්වනු ටික හාල් ටික, මිලදී ගන්න ඕනෙත් මමමයි. බිත්තර වී කිලෝවකට රුපියල් සියයක් ගෙවනවා. වී කිලෝවකට රුපියල් 80 ක් ගෙවනවා.වෙලාවට ඒ වී ටික නොගත්තොත් ඒ අය ආයෙ වවන්න උනන්දුවක් දක්වන්නෙ නෑ. මේක එක්තරා විදියක ඇදගෙන යෑමක්. මොන දේ වුණත් මං තවම ගමෙත් වවනවා.
ගාල්ලෙ බද්දේගම ගුරුසිංහගොඩ මගේ ගම. වාහන කෙක් අරන් කොළඹ ආපු මට අද තියෙන්නෙ, බයිසිකලයක් විතරයි. මට දුකක් නැහැ. මගේ කකුල්වල හයිය තියෙනකල් මං බයිසිකලේ බැඳගෙන ගිහින් හරි ඉල්ලන අයට බීජ ටික පොහොර ටික දෙනවා. මොකද HS පොහොර පැකට් එකේ මිල අඩු නිසා ඈත පළාත්වල ඒජන්සිකාරයො ඒක ගන්නෙ නැහැ.”
වී ගොවිතැන එක්ක මේ තරමට හැපෙද්දී දේශීය එළවළු වගාවක් ගැන කොහොම හිතන්නද... ඒත් තමන් ගැන සැලකිල්ල අතැර දමා ඒ වෙලාව ඔහු ප්‍රයෝජනයට ගන්නෙත් මේ ඇට වර්ග වේළන්නමය. පැල වන්නට ෆ්‍රිජ් එකේ බෝතල් ලෙස තැන්පත් කරන්නටය. පැකට් කරන්නෙත් බෙදා හරින්නටත්ය.
‘මේ තරම් වද විඳගෙන කරන මේ දෙයින් මොනවද ඔබට ලැබෙන්නේ...’යි නොඅසා සිටින්නට තවත් නම් නොහැක.
“මට ලැබෙන එක ම දේ මුළු ආත්මයටම දැනෙන සතුට පමණයි. මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. ලොකු දූ නිශාන්ති, බද්දේගම ගුරුසිංහ පැළ තවාන කරනවා. දෙවැනි දූ ප්‍රදීපා ගුරුසිංහ, පරිගණක ඉංජිනේරුවරියක්. OMOBIO සමාගමේ හිමිකාරිණිය. සම්පත්, මගේ එකම පුතා. එයත් ඇල්පිටියේ පැළ තවානක් කරනවා. බාල දූ සමන් කුමාරි, සැලසුම් ශිල්පිනියක්. බිරිය ඉන්නේ මගේ බාල දූ එක්ක.
දවසක් ප්‍රදීපා දූ, මගේ කාර්යාලයට ආවා. මේ ලට්ට ලොට්ට දැකලා පුදුම වුණා. දුක් වුණා. ‘තාත්තව බලන්න අපි ගියා. දවස් පහකින් විතර උයලා නැහැ. හට්ටිවල දංකුඩ. ඒවා පුස් කාලා. තාත්තා කඩෙන් කන්නෙත් නැති බව අපි දන්නවා. මොකක්ද මේ ගෙවන ජීවිතේ...’ ගෙදර අනෙක් අයටත් කියලා මට හුඟක් දොස් කිව්වා.
දූ කිව්වේ ඇත්ත. උයන්න නොහිතුණොත් මං දවස් පහ - හය නොකා ඉන්නවා. මේ ඖෂධීය කැඳ එකක් විතරක් බීලා. මට දැන් වයස 72 ක්. බිරියගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා, වී ගොඩකුත් බදාගෙන මේ ගෙවන ජීවිතේ ඇත්තටම හරි මහන්සියි. ඒත් මේ පැරැණි වී ටික හරියට වවන්න, ඒ බත රටට දෙන්න, හරි හමන් වැඩපිළිවෙළක් රජය හදනකල් මට නිදහසේ මැරෙන්නවත් බැහැ...”
ඔහු හීන දකින්නේ, මුළු රටක් පාරම්පරික හාලේ බත් කන දවසක් එන තුරු ය. අපේ ම ගොවීන් තම වර්ගයා නසන්නට කන බතත්, මහ පොළොවත් වසෙන් නහවන පාප කර්මය නවතන දවස එනතුරු ය.
ඡායාරූප - රුවන් සිල්වා