
හරීන්ද්‍ර යසස් සේරසිංහ වූ කලී පරිසරයට බොහෝ සේ ආදරය කරන ඒහා බද්ධ වූවෙකු යැයි පැවසුවහොත් එය නිවැරදිය. හරිත වන සංසදය ඔස්සේ ඔහු සමාජයට වටිනා කර්යයන් රැසක් ඉටුකරමින් සිටියි. පරිසරයට දක්වන සැලකිල්ල නිසාම ඔහු ලද ජයග්‍රහණ බොහෝය. පරිසරය සුරැකීම වෙනුවෙන් හා ඒ ආශ්‍රිතව ඔහු සිදුකළ වැඩසටහන්, ලියූ පතපොත වෙනුවෙන් ඔහු ලැබූ සම්මාන ද රැසකි. 2011 වසරේ දී ‘වී එවෝඩ්ස්’ සඳහා ලංකාවේ හොඳම පාරිසරික නායකත්වය දහදෙනා අතරට ඔහුගේ නම සනිටුහන් විය. පාසල් සිසුන් පරිසරය පිළිබඳ දැනුම්වත් කරමින් ඔහු රටපුරා පාසල් කරා යන්නේය.
ඔබ ගැන දැනගන්න කැමැතියි මුලින්ම?
මම දැනට හරිත වන සංසදයේ නිර්මාතෘවරයා වගේම විධායක අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ නිලධාරීවරයකු ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යවසායකත්ව පුහුණු දේශකවරයකු විදිහටත් මම කටයුතු කරනවා.
ඔබේ කුඩා කාලය ගෙවී ගියේ කොහොමද?
මම පුංචි කාලයේ ඉඳලම කැලයට ආසා කළා. මම පාසල් ගියේ කොළඹ මහානාම විද්‍යාලයට. හය වසරේ ඉඳලම තනිවම කැලවල ඇවිදින්න ගියා. ඒවායේ ජෛව විවිධත්වය අධ්‍යයනය කළා. මම මෙය විනෝදාංශයක් ලෙස තමයි කළේ. එහිදී විවධ අන්දමේ අත්දැකීම් ලැබුවා. විශේෂයෙන් ඒ කාලෙ පැවැති දරුණු යුද්ධය පවා ගණනකට නොගෙන මම මහ වනයේ සංචාරය කළා. සිංහරාජයට ගිහිල්ලා මම සතුන් බලනවා. සත්ව ඉරියව් ජායාරූපයට නගනවා. මේ ඔස්සේ තමයි මම මගේ පළමු පොත සිංහරාජය ගැන ලිව්වේ. පරිසරවේදියෙක් විදිහටත් සමාජ විශ්ලේෂකයෙක් ලෙසත් මෝටාර් වෙඩි ප්‍රහාර ශබ්ද අතරතුර යුද්දෙ කාලෙදි පවා මම ගමින් ගමට ගිහින් ගම්වල ජනතාවට පරිසරය සංරක්ෂණය කිරීමේ වැදැගත්කම කියලා දුන්නා. අම්පාරෙන් තමයි මම මේ වැඩසටහන පටන් ගත්තේ.
හරිත වන සංසදය ඔස්සේ සිදු කෙරෙන සේවය ගැනත් කතා කරමු?
ප්‍රධානම සේවය තමයි පාසල්වලට හා විවිධ ආයතනවලට ගිහින් පාරිසරික වැඩසටහන් වගේම පරිසර සංරක්ෂණය ආශ්‍රිත විවිධ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට අවම වශයෙන් පාසල් තුන්සියයක පාරිසරික දේශන, පුද්ගල සංවර්ධනය පිළිබඳ වැඩසටහන් මම පවත්වනවා. එය දරුවන්ට, මව්පියන්ට හා ගුරුවරුන්ට යන අංශ තුනටම සිදුකරනවා. දැනට මම පාසල් පන්දහසකට වඩා වැඩි ප්‍රමාණයක මගේ දේශන පවත්වා තබෙනවා. පැළ සිටුවා තිබෙනවා.
අපි හරිත වන සංසදය ආරම්භ කළේ 1999 වසරේදීයි. දැන් වසර විස්සකට ආසන්න කාලයක් කිසිම අනුග්‍රාහකත්වයක් හෝ කිසිම ආධාරයකින් තොරව මෙය පවත්වාගෙන යනවා. මේ ඔස්සේ තමයි මම පාරිසරික වැඩසටහන් දියත් කරන්නේ. ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් වර්ෂයකට වතාවක් පාසල් තුන්සියයක් තෝරාගෙන පාරිසරික වැඩසටහන් දියත් කරනවා. එතැනදී සිදුවන වැදගත්ම දේ තමයි විවිධ වර්ගයේ පැළ සිටුවීමේ ව්‍යාපෘති දියත් කිරීම. දැනට මම පැළ ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් පාසල්වල සිටුවා තිබෙනවා. ඒ වගේම බෙදාහැරලා තිබෙනවා. එලෙස මම හිටවු හැම පැළයකම විස්තර මා ළඟ තිබෙනවා. එය තමයි මගේ සතුට.
මෙවැනි කර්තව්‍යයක් රට පුරා දියත් කිරීම අපහසු නැද්ද?
මම සියලු පැළ මගේ අතින්ම තමයි සිටුවන්නේ. මම ගහකොළවලට ආදරෙයි. ඒවගේම දුර්ලභ ගනයේ ගස් වර්ග මාසතුව තිබෙනවා. මේවා හිටවන්නේ මම හරිම ආදරෙන්. කිසිම රසායනික පොහොරක් මම යොදන්නේ නැහැ. ඒත් හරිම අපූරුවට මගේ අතින් ගස් වැවෙනවා. එය අසීරු දෙයක් නෙමෙයි. ගසක් සිටුවත් දී එයට අත්‍යවශ්‍ය සාධක තිබෙනවා. පොහොර අවශ්‍යම වෙනවා. ගුණාත්මක පසත් ඉතාම වැදගත් ඒ වගේම ජලයත් අවශ්‍යයයි. මේ හැමදේම අතරේ ගහකට ආදරයත් අවශ්‍යම වෙනවා. එනිසා මම ගොඩක් ආදරෙන් හිටවන හැමදේම හරියනවා. ඒවා තමයි පාසල්වලට බෙදා දෙන්නේ.
ඔබ පාරිසරික ප්‍රකාශන බොහොමයක් ප්‍රකාශයට පත් කොට තිබෙන බව පැවැසුවා?
ඔව්. පාරිසරික ප්‍රකාශන 67ක් පමණ මම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර විවිධ පොත්පත්, පෝස්ටර් හා පත්‍රිකා වෙනවා. මේ සියල්ලම මම පාසල්වලට, පුස්තකාලවලට විද්‍යාගාර සඳහා නොමිලේ ලබා දෙනවා.
මීට අමතරව පාරිසරික පද්ධතියේ විවිධ ක්ෂේත්‍ර ඔබ ආවරණය කරනවා?
ඔව්. විශේෂයෙන් මම ආවරණය කරනවා ගහ කොළ ඇරුණාම සමනලුන්, මිරිදිය මසුන්, සර්පයින් සහ කඩොලාන. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගැන සහ ලංකාවේ ජාතික වනෝද්‍යාන, රක්ෂිතයන් ගැනත් මම අධ්‍යයනය කර තිබෙනවා. ඒ ඔස්සේ යමින් දැනට මම පොත් කිහිපයක්ම රචනා කර තිබෙනවා. ඊට අමතරව මම සංචාරය කරමින් ගවේෂණය කළ ජාතික වනෝද්‍යානවලදී සහ විවිධ පරිසර පද්ධතීන්වලදී මම ගත් ස්වභාවධර්මයේ ජායාරූප ලක්ෂ හතරක් පමණත් මා සතුව තිබෙනවා.
සමනලුන් පිළිබඳ අධ්‍යයනය කරත් දී ලංකාවේ සිටින සමනලුන් ගැන ඔබ සොයාගත් දේ මොනවාද?
ලංකාවේ සමනලුන් වර්ග 246ක් පමණ ඉන්නවා. ඒ වර්ග 246න් සමනලුන් වර්ග 26ක් පමණ ලංකාවට පමණක් ආවේණික සමනලුන් කියලා කියන්න පුළුවන්. මේ අයගෙන් විශාල සංඛ්‍යාවක් අද වන විට තර්ජනයට ලක් වූ හෝ වඳවීමට ලක්වූවන් ඉන්නේ. එයට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම කෘෂි රසායන වර්ග භාවිතා කිරීම, වනාන්තර එළි පෙහෙළි කිරීම මගින් ඔවුන්ගේ වාසස්ථාන අහිමි කිරීම. අක්‍රමවත් සංවර්ධන ක්‍රියා ද මෙයට සෘජුවම බලපා තිබෙනවා. මොවුන්ගේ ජීවන චක්‍රය ගත්තම මේ එක් එක් සමනලුනට ආව්ණික වු ශාක වර්ග තිබෙනවා. ඒවාහි තමයි ඔවුන් බිත්තර දමන්නේ. සමනල බිත්තරයක් අබ ඇටයකටත් වඩා පුංචියි. ලංකාවේ ලොකුම සමනලයා 'සිලෝන් බර්ඩ්වින්ග්'. මේ සමනලයා බිත්තර දමන්නේ සප් සඳ වැලේ කොළවල. ඒ වැල කපල දැම්මොත් මොවුන් වඳ වෙලා යනවා. මේ විදිහට ඒ අයට ආවේණික ශාක තිබෙනවා. සුහුඹුල් දැළඹුවා ඒ ශාක පත්‍රය තමයි ආහාරයට ගන්නේ. ඒ වගේම තවත් සමනලයෙක් අක්කපාන ශාකයේ ඇති ජෙල් එක කමින් තමයි පෝෂණය ලබන්නේ. එයා එළියට එන්නේ කෝෂය හදන්න පමණයි. මේ විදිහට එක එක සමනලයාගේ විවිධත්වයක් තිබෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් වරා ශාක පත්‍ර මත බිත්තර දමන්නේ 'සිලෝන් ටයිගර්' සමනලයා. මේ ශාකයේ සුදු මල් හා දම් පැහැති මල් හට ගන්නවා. මේ සමනලුන් එම දම්පාට මල් අසල කෝෂය හදත් දී කෝෂය දම්පාටයි. කද අසල හැදුවොත් කොළපාටයි. ඒවගේ වෙනස්කම් මේ සමනල් ලෝකයේ දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් සමනලයෙක් ඉන්නවා එයා බිත්තර දමන්නේ අනෝදා ගහේ. ඌ ඉතාම ලස්සනයි. හරි වේගයෙන් පියාඹා යන සමනලයෙක්. එතකොට සිට්ට්‍රින් කුලේ සමනල්න් බිත්තර දමන්නේ දෙහි, දොඩම්, වගේ පැගිරි කුලේ ගස්වල. මේ අතරින් එකම ශාකයක බිත්තර දමන සමනල්න්ට ජීවත්වීමේ තර්ජනය ඉතාම වැඩියි. මොකද කැලෑ එළිකරත් දී මේ අය විනාශවෙලා යනවා.
සමනලුන් වැඩිපුරම දක්නට ලැබෙන්නේ කුමන පළාත්වලද?
වැඩිවශයෙන්ම තෙත් කලාපය ආශ්‍රිතව දුර්ලභ ගනයේ සමනලුන් දක්නට ලැබෙනවා. ඒ අතරම වියළි කලාපයේ සෑහෙන ප්‍රමාණයක් ද සඉන්නවා. නමුත් විවිධත්වයෙන් යුතු සමනලුන් වැඩියෙන්ම ගැවසෙන්නේ තෙත් කලාපය ආශ්‍රිතවයි.
මේ සියල්ල අතරේ ඔබේ අරමුණ?
මම මේ දේවලින් ලොකු දේවල් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පණිවිඩයක් ගෙන යනවා සමාජයට පරිසරය ආරක්ෂා කළොත් විතරයි මිනිසුන්ට පවතින්න පුළුවන් කියන සරල කාරණය. පරිසරයෙන් තොරව කිසිම කෙනෙකුට පැවැත්මක් නැහැ කියන එක මම කියනවා. අපි හැමදෙනාම හුස්ම ගන්න ඕන, ආහාර ගන්න ඔන, ජලය පානය කරන්න ඔන . මේ දේවල් නැති වුණු දවසක අපි කොහොමද ඉන්නේ කියන එක ගැන හිතුව නම් අද සමාජයේ මේ වගේ තරඟයක් නැහැ ඇත්තටම.
කළ සේවය ගැන ආපසු හැරී බලත්දී මොකද හිතෙන්නේ?
මම ගොඩක් සතුටු වෙනවා. මම රටට ණය නැහැ.මට සමාජය වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් වුණා. 2008 වසරේ දී මම අධ්‍යාපන අමාත්‍යාංශයට හඳුන්වාදුන්නා වසරේ අදෙර්ශවත් පාරිසරික පාසල කියලා සංකල්පයක්. ඒ ඔස්සේ පරිසරයට ආදරය කරන දරුවන් ඇතිකිරීමයි මගේ අරමුණ වුණේ. පරිසරයට ආදරය කරන්නැති කිසිම කෙනෙක් තමන්ගේ අම්මට තාත්තට පවුලට , ආදරය කරන් නැහැ. ඒ වගේම පාසලට, සමාජයට ආදරය කරන්නෙත් නැහැ.
සේයාරූ - සරත් පීරිස්