
කුරුණෑගල අබිමංසල සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින කෝප්‍රල් ගැමුණු කරුණාරත්නට, වෛද්‍ය බළකායේ කෝප්‍රල් මධුරංග දිනක් අපූරු යෝජනාවක් කළේය. ඒ රනක්ෂිත (ආබාධිත) යුද හමුදා සෙබළකු වූ බැවින් රෝද පුටුවේ සිටන කෝප්‍රල් ගැමුණු කරුණාරත්නට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කර වාර්තාවක් තබන ලෙස ය. එම අදහස විහිළුවක් ලෙස සැලකූ ගැමුණු කරුණාරත්න එය වචනයෙන් බැහැර කළද සිතින් බැහැර කළේ නැත. එය ඔහු සිතේ කොනක සඟවා ගත්තේ එබැවිණි. මේ අතරවාරයේ දී තෙහැවිරිදි වියේ පසුවන සිය පුතුන් අකුරු කියවීමේ උත්සවයට සහභාගි වීමට මහනුවර බටුගොඩ මහගෙදරට ගිය කෝප්‍රල් ගැමුණු කරුණාරත්න කන්ද පහළ පිහිටි නිවසේ සිට කඳු මුදුනේ පිහිටි මහපාරට යා යුතු මග දෙස බලා සිටියේ සැමදා ලැබෙන බිරියගේ ආධාර උපකාර නොලබා එය තනිවම තරණය කළ යුතු යැයි අදිටන් කර ගනිමිනි. ඔහුගේ සිත තුළ තිබූ අධිෂ්ඨාන ශක්තිය සහ ධෛර්යය නිසා ම එදා මීටර් 200 ක පමණ කන්දක් ඔහුට රෝද පුටුවේ සිට තරණය කළ හැකි විය. ඉන්පසුව කෝප්‍රල් මධුරංග කළ යෝජනාව ඔහුට ක්‍රියාත්මක කළ හැකි යැයි ඔහුට සිතුණේ ආත්ම විශ්වාසයෙන් යුතුව ය. කෝප්‍රල් මධුරංගට තම සිතැඟි පැවසූ ගැමුණු කරුණාරත්න ඒ බව සේනා විධායක ලුතිනන් කර්නල් සුජීව පෙරේරාට දැනුම් දුන්නේය.
“රනක්ෂිත තත්වයට පත්වූ සෙබළුන් කලාව, ක්‍රීඩාව, සාහිත්‍යය, දෑතේ වැඩ, ආගමික වැඩකටයුතු ඇතුළු විවිධ අංශ ගණනාවකට යොමු කරවන්නේ ඔවුන්ටත් සාමාන්‍ය අය වගේ ජීවත් වීමේ අවස්ථාව සකස් කර දීමටයි. කරුණාරත්න මේ අදහස අපට දැනුම් දුන්නා ම අපි ඊට අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි ඊට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න අපි පියවර ගත්තා. පුනරුත්ථාපනය වන රණවිරුවන් ඒ වගේ දේවල්වලට යොමු වෙනවා නම් අපි ගොඩාක් කැමතියි.” යනුවෙන් පැවසුවේ සේනා විධායක ලුතිනන් කර්නල් සුජීව පෙරේරා ය.
ගැමුණු කරුණාරත්නගේ අදහස ඇසූ පුනරුත්ථාපන අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් තිරුනාවුකරුසු බෙහෙවින් සතුටට පත් වී ඔහු දිරිමත් කළා පමණක් නොව රෝද පුටු 2ක් ලබා දීමට ද පියවර ගත්තේය. එළැඹෙන ජාත්‍යන්තර ආබාධිත දිනය දා ගැමුණු කරුණාරත්නගේ චාරිකාව ආරම්භ කළ යුතු යැයි යෝජනා කළේ මේජර් ජනරාල් තිරුනාවුකරුසු ය. මෙම චාරිකාව දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා උතුර - දකුණ යා කරමින් සිදු වන බැවින් රට තුළ සාමය හා සංහිඳියාව පෙරදැරි කර ගනිමින් සිදු විය යුතු බවට ද තීරණය විය. ලෝක ආබාධිත දිනය එළැඹෙන තෙක් ගැමුණු කරුණාරත්න රෝද පුටුවේ ගමන් කිරීම කුරුණෑගල පාන්ගොල්ලේ සිට මල්ලවපිටිය දක්වා මාස 2 ක් මුළුල්ලේ පුරුදු පුහුණ විය.
පසුගිය දෙසැම්බර් 03 වැනිදාට යෙදුණු ලෝක ආබාධිත දිනය ගැමුණු කරුණාරත්නගේ ජීවිතයේ අභියෝගාත්මක දිනය වූවාට සැක නැත. යුද හමුදාපති මහේෂ් සේනානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වය සහ සර්ව ආගමික පූජකයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ කෝප්‍රල් ගැමුණු කරුණාරත්න දෙවුන්දර තුඩුවෙන් පෙරවරු 8.40 ට සිය චාරිකාව ආරම්භ කළේය. රෝද පුටුවෙන් ගමන් කරන කරුණාරත්නට ඉදිරියෙන් පාපැදි කණ්ඩායමක් සහ යුද හමුදා පොලිස් නිලධාරින් පිරිසක් ගමන් කළ අතර ඔහුට පිටුපසින් ගිලන් රථයක් ඇතුළුව වාහන 3 ක් ධාවනයේ යොදවනු ලැබීය. කරුණාරත්න සමඟ ගමන් ගත් පිරිස 35 දෙනකුගෙන් සමන්විත විය.
දෙසැම්බර් 03 වැනි දින දහවල් 12.30 වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණි ගැමුණු කරුණාරත්න දිවා ආහාරය රැගෙන යළි පස්වරු 2.30 ට අම්බලන්ගොඩ බලා චාරිකාව ඇරඹීය. එදින රාත්‍රිය එහි ගත කළ ඔවුන් 04 වැනිදා උදෑසන කළුතර බෝධිය වැඳ පුදාගෙන දිවා ආහාරය සඳහා ළඟා වූයේ වාද්දුව නගරයට ය. ඉන් අනතුරුව රත්මලාන මැලිබන් හන්දිය දක්වා පැමිණි ඔවුහු රත්මලානේ සෙත් මැදුරේ රාත්‍රිය ගත කළහ. දෙසැම්බර් 05 වැනිදා මෙම කණ්ඩායම පාන්දර 4.00ට සිය ගමන ඇරඹුවේ කොළඹ ගාලු පාරේ සහ කොළඹ නගරයේ තදබදය මඟ හරවා ගැනීමට ය. ගැමුණු කරුණාරත්නගේ චාරිකාවේ දීර්ඝතම ගමන යෙදුණු දවස ලෙස සටහන් වී තිබෙන්නේ දෙසැම්බර් 05 වැනිදා ය. එදින ඔහු ගමන් කළ දුර කිලෝමීටර් 51 කි.
දෙසැම්බර් 06 වැනි දින ගිරිඋල්ල, නාරම්මල, කටුපොත හරහා වාරියපොළට පැමිණි ගැමුණු කරුණාරත්නව මහත් හරසරින් පිළිගෙන සංග්‍රහ කළේ ඔහුගේ පවුලේ මව, පියා, බිරිය සහ ඥාති හිතමිතුරන් විසිනි. දිවා ආහාරයෙන් පසුව පාදෙණිය හරහා අඹන්පොළට පැමිණි ඔවුන් රාත්‍රිය නවාතැන් ගත්තේ අඹන්පොළ ය. දෙසැම්බර් 07 වැනි දින දිවා ආහාරය පිණිස තඹුත්තේගමට පැමිණි මෙම කණ්ඩායම දහයියාගම, අටමස්ථානය, සිංහ කණුව, යාපනය හංදිය හරහා සාලිය පුර යුද හමුදා කඳවුරට පැමිණ රාත්‍රිය ගත කළ හ. දෙසැම්බර් 08 වැනි දින ගැමුණු කරුණාරත්නගේ විවේක දවස විය. ඔහු සාලියපුර කඳවුරේ සිය විවේකි දවස ගත කළේ සිය චාරිකාවේ පැමිණි ගමන් මඟ ගැන ආඩම්බරය සහ සතුට මිශ්‍ර වූ හැඟීම් සමුදායෙන් සිත පුරවා ගනිමිනි.
“සාලියපුර හමුදා කඳවුර තමයි මගේ කඳවුර. මම 6 වැනි ගජබා රෙජිමේන්තුවේ සේවය කළේ. මම හමුදාවට බැඳුණේ 2007 සැප්තැම්බර් 13 දා. මුලතිව් පුදුකුඩිඉරිප්පුවලදි මාව බිම් බෝම්බයකට අහුවුණේ 2009 මැයි 07 වැනිදා. යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි. එයින් මගේ කකුල් දෙකම නැති වුණා. අතේ ඇඟිලි නැති වුණා. මට අවුරුදු 2 ක් විර ප්‍රතිකාර කළා. ඊට පස්සෙ තමයි අද ඉන්න තත්වයට එන්න පුළුවන් වුණේ. අදටත් අපිට අබිමංසල සුව සහන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර දෙනවා.
ඇත්තට ම මට අද මේ චාරිකාව සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණේ සුජීව පෙරේරා සර් නිසා. සර් මගේ පුහුණුවීමේ සිට පේදුරුතුඩුව දක්වා මගේ පිටුපසින් හිටියේ මගේ හෙවණැල්ල වගේ. සුජීව පෙරේරා සර් හරියට මට තාත්තා කෙනෙක් වගෙයි. සර්ගේ නෝනාත් මට අම්මා කෙනෙක් වගෙයි. මම මේ චාරිකාව අවසාන කරන තාක් කල් ඒ දින ගණන පුරා මැඩම් මා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා.” යනුවෙන් කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සඳහන් කළේ කෘතඥතා පූර්වක හැඟීමෙනි.
දෙසැම්බර් 09 වැනි දින පාන්දර සාලියපුර හමුදා කඳවුරෙන් පිටත් වූ ගැමුණු කරුණාරත්න දිවා ආහාරය සඳහා ළඟා වූයේ බූ ඔයට ය. ඔවුහු එදින කොකාවිල් හී රාත්‍රිය ගත කළ හ. ඉන්පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා කනගරායන් කුලම්, වව්නියාව හරහා එලිෆන්ට්පාස් වෙත සේන්දු වූ කරුණාරත්න ඇතුළු පිරිස සිය චාරිකාවේ අවසාන දිනය වන 11 වැනිදා ගමන ආරම්භ කළේ එලිෆන්ට්පාස් කඳවුරෙනි. A - 9 මාර්ගය ඔස්සේ වල්ලෙයි හරහා පේදුරුතුඩුව හෙවත් ජයග්‍රාහී ඉලක්කයට ළඟා වන විට 11 වැනිදා පස්වරු 4.20 පමණ විය.
කෝප්‍රල් කරුණාරත්න පිළිගැනීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තිරුනාවුකරුසු, නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්ෂ ඇතුළු හමුදා නිලධාරිහු විශාල පිරිසක් පැමිණ සිටියහ. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ දිසාපති, උපදිසාපති ඇතුළු ප්‍රභූන් රැසක් එහි පැමිණ කරුණාරත්නට සුබ පැතුවේ ඔහුගේ චිත්ත ශක්තිය සහ අධිෂ්ඨානයට ආශිර්වාද කරමිනි. පරෙවියන් ගුවනට මුදා හැරුණේ සංහිඳියාව සහ සාමය උදෙසා ඇරඹි මෙම චාරිකාව සාර්ථකව අවසන් කිරීම නිමිත්තෙනි. ඔහුගේ චාරිකාව සඳහා ගත වූ කාලය පැය 41 කි. ඔහුගේ ගමනේ වේගය පැයට කිලෝමීටර් 15 කි. මෙම චාරිකාවේ මුළු දුර කිලෝ මීටර් 581 කි.
“මේ ගමනෙ යෙදුණු කරුණාරත්න අව්ව, වැස්ස නොතකා එයාගේ ඉලක්කය වෙනුවෙන් ගමන් කළා. අපි කෑමට නවත්වන ස්ථානවල හැර අනෙක් කිසිම වෙලාවක ඔහු කෑමක් බීමක් ගත්තේ නැහැ. කරුණාරත්නගේ චිත්ත ශක්තිය මම මෙතැනදි ගොඩාක් අගය කරනවා. බැරි වෙලාවත් ඔහු කිව්වා නම් මට යන්න බැහැ, මට නවතින්න ඕනෑ කියලා අපිට කිසිම දෙයක් කරන්න බැහැ. මොකද එයා රනක්ෂිතයෙක් (ආබාධිතයෙක්)” යනුවෙන් පැවසුවේ සේනා විධායක ලුතිනන් කර්නල් සුජීව පෙරේරා ය.
තවමත් 29 වැනි වියේ පසුවන ගැමුණු කරුණාරත්න රණවිරුවාගේ අධිෂ්ඨාන ශක්තිය, චිත්ත ධෛර්යයට අපි ද ප්‍රණාමය පුද කරමු. ඒ ඔබ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවදක්වා සාර්ථකව අවසන් කළ චාරිකාව නිසා පමණක් නොවේ. වසර 30 ක් පුරා ඇවිළුණු ගිනිදැල් නිවා දමා රට දැය බේරා ගැනීම උදෙසා අභීතව සටන් වදිමින් සිය දෙපා පූජා කළ උතුම් මෙහෙවරට අපි ඔබට සිරස නමා ආචාර කරමු.