
කම්පියුවෙයා නම් පරිගණක මෘදුකාංග සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටන්නේ ඇමෙරිකාවේ ඩෙටේරායිට් නුවරය. උදෑසන කඩිනමින් කාර්යාලයට පැමිණ තම ඊ මේල් පිරික්සීම ඔවුන්ගේ සිරිතය. දිනක් එක්දහස් අටසියයක් පමණ වන සේවකයන්ට තම ආයතනයේ මානව සම්පත් අංශයෙන් ඊ මේල් පණිවිඩයක් ලැබිණි. එයින් කියවුණේ මානසික ආතතිය මානසික විඩාව දුරු කිරීම ඇතුළු මානසික ගැටලු විසඳන භාවනාමය ප්‍රතිකාරයක් සෙවීම පිළිබඳ පැවැත්වෙන පර්යේෂණයකට සහභාගී වන ලෙසට කරන ලද ඉල්ලීමකි.
ඒ ගැන හැමෝගේම පැවතියේ එක්තරා කුතුහලයකි. ඒ කුතුහලය වැඩි වන්නට හේතු වී තිබුණේ ඔවුන්ට එම වැඩසටහනට සහභාගී වීමෙන් මානසික පීඩනය අවම වනවා සේම අතට යම් දීමනාවක් ද ලැබෙන බවට එහි සඳහන් වීමය. කෙසේ වුව ද එම සමාගමේ සේවකයන් අතුරින් 202 දෙනෙක් එම පර්යේෂණය සඳහා කැමැත්ත පළ කළහ. ඔවුන්ට තම රාජකාරී වේලාව තුළ පැයක කාලයක් භාවනා වැඩසටහනට සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමි කිරීමට ඇමෙරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයයේ මනෝ විද්‍යා පර්යේෂිකාවක වන බාබරා ෆේරඩ්රික්සන් සහ මයිකල් කෝන් නැමැති පර්යේෂකයෝ කටයුතු කළහ.
ඇමෙරිකානුවන් පමණක් නොව ඉන්දියානුවන් , චීනුන් ඇතුළු ආසියාතිකයන් ද අප්‍රිකානුවන් ද එම සේවක කණ්ඩායම තුළ නියෝජනය වූ අතර ඔවුන් සියල්ලටම නිර්දේශ කෙරුණු එකම භාවනාව වූයේ බෞද්ධ භාවනා තුළ ප්‍රමුඛම භාවනාවක් වන මෛත්‍රී භාවනාවය. තමන්ගෙන් ආරම්භ වී තම මවුපියන් දූ දරුවන් , සහෝදරයන් ඇතුළු නෑසියන්ගේ සිට සකල ලෝකවාසී සත්ත්වයන් සියල්ල වෙත මෛත්‍රීය කරුණාව පැතිරවීම එම භාවනාවෙන් සිදුවෙයි.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා එනම් දුකෙන් තොර වේවා යයි ප්‍රාර්ථනය කිරීම, නිරෝගී වෙත්වා යනුවෙන් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම, සුවපත් වේවා යනුවෙන් කායික, මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම සේම සියලු සත්ත්වයන් කෙරෙන් තරහව, වෛරය. ක්‍රෝධය තුරන් වන ලෙස ප්‍රාර්ථනා කිරීම මෛත්‍රී භාවනාවේ දී සිදු වෙයි.
එම සේවකයන් අතර බෞද්ධයෝද වූහ. ඔවුන්ට එය ආගන්තුක දෙයක් වූයේ නැත. සෙස්සන්ට මෛත්‍රී භාවනාව පිළිබඳ පුළුල් ලෙස පැහැදිලි කිරීමක් කළ ආචාර්ය ෆේරඩ්රික්සන් මහත්මිය ඔවුන්ට දිනකට අවම වශයෙන් පැයක පමණ කාලයක් මෛත්‍රී භාවනාව වඩන ලෙස පුරුදු පුහුණු කිරීමට කටයුතු කළාය. මුලින්ම බොහෝ සේවකයන්ට මෙය ඉතා අපහසු කටයුත්තක් වුව ද කෙමෙන් ඔවුහු තම රජකාරී කාලයෙන් පැයක් කෙසේ හෝ මෛත්‍රීය වැඩීමට යොදා ගත්හ.
“තමන්ගේ ශරීරයෙ බර වැඩි පුද්ගලයන් බර අඩු කරගන්න කරන්නේ ඇවිදින එක. කෑම අඩු කරන එක හෝ ජිම් එකකට යන එක. ඒවා දවසක් දෙකක් කළාට එයින් බරෙහි සුළු අඩු වීමක්වත් සොයා ගන්න අමාරුයි. ඒ වගේම තමයි, මෛත්‍රී භාවනාව වැඩීමත්. එය එකවර කෙනකුට පැයක් හෝ මනසට වෙනසක් දැනෙන තරමට පුරුදු පුහුණු වන්නට සති කිහිපයක් ගත වෙනවා. විශේෂයෙන් පැයක පමණ කාලයක් භාවනා කිරීම පුද්ගලයකුට තරමක පුරුද්දක් ඇති කර ගත යුතුයි.
අපි මේ අලුත් පරපුරේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට මේ ආකරයට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න අවශ්‍ය අභාසය ගත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන්. උන්වහන්සේ ඉතා ක්‍රමානුකූලව බවුන් වඩමින් ඔවුන්ගේ ආධ්‍යාත්මය වගේම ඇතැම් ජෛව විද්‍යාත්මක සංසද්ධීන්වලට පවා බලපෑම් කරන බවට මේ වන විට විද්‍යාඥයන් තහවුරු කරගන තිබෙනවා.
මටත් අවශ්‍ය වුණේ විශේෂයෙන් ලෝක සත්ත්වයා කෙරෙහි මෛත්‍රීය පතුරුවමින් තම චිත්තය මෙහෙයවීමෙන් කවර බලපෑමක් සිදුවෙනවා ද කියන එක නිරීක්ෂණය කිරීමයි. ඇත්තටම අපිට මේ පර්යේෂණයෙන් පුදුම එළවන ආකාරයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා.“ බාබරා ෆ්‍රෙඩ්රික්සන් මෛත්‍රී භාවනාවේ පර්යේෂණය පිළිබඳ ව තම අදහස දක්වන්නේ එසේය.
ඔවුන්ගේ එම පර්යේෂණය සති නවයක් තිස්සේ සිදුව ඇත. එහි දී විවිධාකාරයෙන් එම සේවකයන් දෙසීය දෙදෙනාගේ මානසික ස්වභාවයන් මොළයේ ක්රියාකාරීත්වයන් නිරීක්ෂණය කර ඇති අතර සෑම දිනකම තම චිත්ත හැඟීම් සහ මනසෙහි සිදු වන වෙනස්කම් නිරීක්ෂණය කොට වාර්තා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබිණි. මෙම වාර්තා නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වුණේ ඔවුන් භාවනා කළ මුළු කාලය වූ සති නවයෙන් සති හයක් ගත වන විට මෛත්‍රී භාවනාව වැඩූ පුද්ගලයන්ගේ විශාල මානසික පරිවර්තනයක් සිදුව ඇති බවය.
විශේෂයෙන් සිහිය වර්ධනය වීම, සෑම මොහොතකම ප්‍රබෝධමත්ව සිටීම, ජීවිතය අර්ථවත් බව හැඟීම, බෝවන රෝගවලින් වැළකීමේ ප්‍රතිශක්තියක් ජනිත වීම වැනි ධනාත්මක ශාරීරික වෙනස්කම් රැසක් සිදුවූ බව තම දීර්ඝ පර්යේෂණයේ වාර්තාව ලියමින් ඇය සඳහන් කර තිබේ. එහිදී ඇය විසින් කරන ලද වැදගත්ම අනාවරණයක් වූයේ විවිධ හේතු නිසා මානසික ආතතිය හටගෙන ඇති පුද්ගලයන්ට මෛත්‍රී භාවනාව මඟින් විශාල සහනයක් ලද බවය.
එම සොයාගැනීම තහවුරු කරන තවත් පර්යේෂණයක් ද මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දී සිදු කෙරී ඇත. ඇමෙරිකාවේ මැසචුසෙට්ස් සරසවි වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන ජෝන් කබාට් සෙන් නම් පර්යේෂකයා පවසන්නේ තමන් කළ පර්යේෂණවලට අනුව මානසික ආතතිය පාලනය කිරීමේ සාර්ථක පිළියමක් ලෙස මෛත්‍රී භාවනාව හැඳින්විය හැකි බවයි.
එයට අමතර ව ශරීරයේ පවතින දරුණු වේදනාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට මෛත්‍රී භාවනාවෙන් විශාල සහනයක් ලබාගත හැකිව තිබේ. මෙම මහාචාර්යවරයා පෙන්වා දෙන මෙතෙක් හෙළි නොවූ කරුණක් ලෙස වඩාත් ඉහළින් ඔහු වර්ණනා කරන්නේ රෝගී තත්ත්වයකට පත්ව යළි සුවය ලබන පුද්ගලයකු මෛත්‍රී භාවනාව වැඩුවහොත් ඔවුන් දෙවන වරටත් රෝගාතුර වීමේ ඉඩකඩ බොහෝ ලෙසින්ම අඩු වන බවයි.
මාස හැටක පමණ දීර්ඝ කාලයක් තුළ ඔහු සහ ඔහුගේ සගයන් විසින් එක්රැස් කරන ලද දත්ත පදනම් කරගෙන එසේ පවසන ඔහු විශේෂයෙන් හෘද රෝගී තත්ත්වයට හෝ සියදවි නසාගැනිමට පෙලඹෙන තරමේ දරුණු මානසික අවපීඩන තත්ත්වයකට පත් වූ පුද්ගලයකුට දෙවැනි වර එවනි අවස්ථාවකට පත් වීමේ ඉඩකඩ මෛත්‍රී භාවනාව නිසා ඇහිරෙන බව අද 73 හැවිරිදි වියේ පසුවන එම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා අවධාරණය කරයි. එය මෙතෙක් චිකිත්සාවකින් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිඵලයක් බව මහාචාර්ය සින් පවසයි.
වර්තමානයේ ලෝකයේ සෑම රටකම පාහේ විවිධ හේතු නිසා පුද්ගලයන් මානසික අවපීඩනයට ලක් වන අතර 2015 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් කෝටි 32ක් එම ප්‍රබල මානසික රෝගී තත්ත්වයෙන් පෙලෙති.
එමෙන්ම එම සංවිධානයට අනුව 2015 වසරේ මෙරට මානසික අවපීඩනයට ලක් වූ බවට වාර්තා වන රෝගීන් ගණන අටලක්ෂ දෙදහස් තුන්සිය විසි එකක් වන අතර එයින් එක් ලක්ෂ තුන්දහසක් පමණ සියදවි හානි කරගෙන ඇත. ඔවුන්ට මෙම අවපීඩන තත්ත්වයෙන් මිදීමට මෛත්‍රී භාවනාවෙන් කෙතරම් සැනසීමක් ලැබිය හැකි ද යන්න මෙරට බහුතරයක් බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේ අප වටහාගෙන නැත.
මහාචාර්ය ජෝන් කබාට් සින් විසින් මෛත්‍රී භවනාවේ යෙදුණු භික්ෂූන් වහන්ස්ගේ මෙන්ම ගිහියන්ගේ ද මොළයේ ක්‍රියාකාරීත්වය ඊ.ඊ.ජී මඟින් නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර එහි දී පෙනී ගොස් ඇත්තේ මොළය අභ්‍යන්තර වම් පස කොටස මෛත්‍රී භාවනාවේ දී වැඩියෙන් සක්‍රිය වන බවය.
හතර පෝයට සිල් ගන්න දිනපතා බුදුන් වඳින, බණ අසන අපේ උපාසක අම්මලා සහ උපාසක මහත්වරුන් තමන්ගේ අතේ පයේ වේදනාවක් පැමිණි විට කොන්දේ අමාරුවක් එන විට කඩේකට ගොසින් හොයන්නේ වේදනා නාශක පෙතිය.
බෞද්ධ පදනමක් සහිත අපේ රටේ එසේ වුණාට මෑතක දී බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම වබේ අඩවියක් වන ඩේලි මේල් තම වෙබ් අඩවියේ පළවූ ලිපිකයට යොදා තිබූ සිරස්තලය වූයේ “වේදනාවක දී වේදනා නාශක ගිලින්නට පෙර විනාඩි 10ක් භාවනා කරන්න” යනුවෙනි.
පර්යේෂණ දෙකක් පදනම් කරගෙන සැකසුණු එම ලිපියෙන් පර්යේෂකයන් අනාවරණය කර තිබුණේ පැරසිටමෝල් බෘෆන් හෝ ඇස්පිරින් වැනි වේදනා නාශක පෙති ගිල දැමීමට කලබල වීමට පෙර විනාඩි 10ක් සති පට්ඨාන භාවනාව හෝ එසේ මෛත්‍රී භාවනාව කළ යුතු බවය. එක් පර්යේෂණයක් සිදුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් බෙකට් විශ්වවිද්‍යාලයේය. එහි සරසවි සිසුන් දුසිම් දෙකක කණ්ඩායමක් ගෙන ඔවුන්ට කෘත්‍රිමව සිරුරේ වේදනාවක් ඇති කොට එයින් කොටසකට බෞද්ධ ඉගැන්වීම් අනුව සති පට්ඨාන භාවනාවත් පසුව මෛත්‍රී භාවනාවත් කරන්නට සලස්වා ඇති අතර සෙසු පිරිස එවැනි මානසික ව්‍යායාමයකට ලක් කොට නැත.
ප්‍රතිඵලය අවසානයේ පෙනී ගොස් ඇත්තේ සති පට්ඨාන භාවනාව සහ මෛත්‍රී භාවනාව වැඩූ පුද්ගලයන්ට වේදනාව ඉවසා දරා ගැනීමට, එය පාලනය කිරීමට මෙන්ම වේදනාවට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සෙසු කණ්ඩායමට වඩා වැඩි ඉඩක් සාර්ථකත්වයක් ලද බවය. මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවකවන වෛද්‍ය ඔසාමා ටෂාන් පවසන්නේ විනාඩි 10ක් වැනි කාලයක් තුළ වේදනාව සම්බන්ධයෙන් එවැනි ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නම් එය දීර්ඝ කාලීනව පුරුදු පුහුණු කළ විට දීර්ඝ කාලීන වේදානාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට කෙබඳු සහනයක් ලැබෙන්නේද යන්න ගැන පුළුල් ව පර්යේෂණ කළ යුතු බවය.
වෛද්‍ය ඔසාමා පවසන්නේ තමන් හුස්ම ගැනීම සහ පිට කිරීම සිහියෙන්, අවදානයෙන් යුතුව සිදු කිරීම සහ සැමට කරුණාව මෛත්‍රීය දක්වමින් සිත එක්තැන් කර ගැනීමෙන් මිනිස් මොළයේ අප නොසිතන ආකාරයේ වෙනස්කම් සිදු වන බවය.
එම පර්යේෂණයට තවත් රුකුලක් දෙන සොයා ගැනීමක් ද මීට ඈඳිණි. ඒ ඇමෙරිකාවේ සිදු කළ මෛත්‍රී භාවනාව පිළිබඳ පර්යේෂණයකි. මෙම පර්යේෂණය සිදුවන්නේ ඇමෙරිකාවේ ජේ.ඩබ්ලිව් කාර්සන් නැමැති පර්යේෂකයාගේ මෙහෙයවීමෙනි. එම පර්යේෂණයට අනුව කොන්දේ වේදනාව පවතින රෝගීන්ට මෛත්‍රී භාවනාවෙන් නොසිතූ විරූ ප්‍රතිඵල ගෙන දුන් බව හෙළි වී තිබේ. බොහෝ විට කොන්දේ වේදනාවට බලපාන්නේ කොඳු ඇට පෙළේ කශේරුකා එහා මෙහා වීම හේතුවෙන් එහි අභ්‍යන්තරයේ පවතින ස්නායු තද වීමය.
එම තත්ත්වය පාලනය කිරීමට බොහෝ විට දීර්ඝ කාලීනව වේදනා නාශක ඖෂධ ගන්නට සිදුවෙයි. එය රෝගීන්ට අතුරු ඵල රැසක් ගෙන දෙන්නකි. එසේ නැතිනම් සංකීර්ණ සැත්කමකට බඳුන් විය යුතුය. එය ද අවදානම් සහගත වන්නේ කෙස් ගහක අනතුරක් වුවහොත් ඇතැම් විට සදාකාලිකව ම ඔත්පළ වීමේ ද අවදානමක් පවතින නිසාය.
කාර්සන් කළේ කොන්දේ දරුණු වේදනාවක් සහිත දැනට සායනවලට සහභාගී වන රෝගීන් මෙන්ම පුවත් පත් දැන්වීමක් මඟින් ගෙන්වාගත් රෝගීන් 43 දෙනකු සහභාගී කරගෙන ඔවුන්ට සති 8ක කාලයක් මෛත්‍රී භාවනා කිරීමට සැලැස්වීමය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ඉක්මවූ වැඩිහිටියන් එම පර්යේෂණය සඳහා සහභාගී කර ගැනුණු අතර ඔවුන් සියලු දෙනාම මාස හයකට වඩා කොන්දේ අමාරුව පැවතුණු පුද්ගලයෝ වූහ. කණ්ඩායම් ලෙස දිනපතා භාවනාවට සම්බන්ධ කර ගැනුණු ඔවුන්ට දවසකට පැය එක හමාරක මෛත්‍රි භාවනා වැඩ සටහනක් පැවත්විණි.
මැදිවිය ඉක්මවූ වේදනා සහගත පුද්ගලයන් වුවද ඔවුන් එම වැඩසටහනට පැමිණීමේ ප්‍රතිශතය සියයට 90ක් පමණ විය. එයින් වැඩිහිටියන්ට එම වැඩසටහන පිළිබඳව දැක්වූ උනන්දුව සිතා ගත හැකිය.
වේදනාව සමනය කිරීම සඳහා පවතින සියලුම අවස්ථා සියල්ල නිසි ලෙස විශ්ලේෂණය කළ අතර තම පර්යේෂණයේ ප්‍රතිඵල පැහැදිලි කරමින් කාර්සන් පවසන්නේ මෛත්‍රී භාවනාව ඔහු සිතුවාටත් වඩා වේදනාව සමනය කිරීමට මෙන්ම මෙම වේදනාව නිසා උපදින කෝපය මුසු හැඟීම් පාලනය කරගැනීමට ලොකු හේතුවක් වූ බවය.
ඒ අනුව බලන කල මෛත්‍රී භාවනාව දිනපතා සිදු කිරීමෙන් සැලකිය යුතු වේදනා සහනයක් ලද බව මෙම පර්යේෂණ ප්රතිඵලමඟින් සනාථ වී තිබිණි. විශේෂයෙන් සියල්ලන්ට මෙත් සිත පැතිරවීමෙන් අපේ මනසෙහි සේම මොළයේ සිදුවන්නා වූ වෙනස්කම් ොඑම පුදුම සහගත ප්රතඵලය ලැබිමට හේතුවක් ව ඇති බවත් ඒ ගැන තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවත් ජේ.ඩබ්ලිව් කාර්සන් නැමැති පර්යේෂකයා යෝජනා කරයි.
එහෙත් මේ හෙළිදරව්ව බටහිර විද්‍යාඥයන් හිස් මුදුනින් පිළිගත්තේ නැත. බෞද්ධ ආගමක සිදු කෙරෙන එවැනි ඉගැන්වීමක් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට ඇතුළත් කරගැනීමට වෛද්‍ය විද්‍යා පර්යේෂකයකු යෝජනා කරන්නේ නම් ඔහු උමතු පුද්ගලයකු වන්නට ඇතැයි එහි දී ඇතැම් වෛද්‍ය විද්‍යාඥයෝ තර්ක කළහ. එවැනි එක් චරිතයක් වන්නේ ඇමෙරිකාව් ටෙක්සාස් සරසවියේ ආචාර්ය කැතරින් බෝව්මාන්ය. ඇය තම පර්යේෂණ විවරණයක මෙවැනි හඳින්වීමේ සටහනක් තබා ඇත.
“ කොන්දේ අමාරු තියෙන අයට මෛත්‍රී භාවනාවත් එක් ප්‍රතිකාරයක් කියලා කියන පර්යේෂණ වාර්තාව දැක්කම එකවරම මට හිතුණේ මෙම ලිපිය ගැළපෙන්නේ විදග්ධ පර්යේෂණ පත්‍රිකාවකට වඩා විශ්‍රාම සුවයෙන් ඉන්න වැඩිහිටියන්ට නිකං ඉන්නවට කියවිය හැකි සඟරාවකට සුදුසු ලිපියක් කියලයි. ඒත් මට පොඩි කුතුහලයක් තිබුණා, කාර්සන්ගේ පර්යේෂණය ගැන සොයා බලන්න. එහිදී මට පැහැදිලි වුණේ මෙම පර්යේෂණය උඩින් පල්ලෙන් කළ එකක් නොව නිසි විද්‍යානුකූල ක්‍රමේට කර තිබෙනවා කියලා.
එහෙම බැලුවාම මෛත්‍රී භාවනාවෙන් වේදනා නාශනයක් කළ හැකි බව අප හීනෙකින්වත් සිතූ දෙයක් නොවෙයි.” ඒ පිළිබඳ හේතු පැහැදිලි කරන විද්‍යාඥයන් පවසන්නේ මෛත්‍රී භාවනාවේ අප තුළ පහළ වන කරුණාව දයාව සහිත හැඟීම් මොළයේ හෝමෝන නිපදවීමේ ක්‍රියාවලියේ වෙනස්කම් සිදුවන බවයි.
ඒ අනුව මෙම පර්යේෂකයන් යෝජනා කරන්නේ මෙවැනි රෝගීන් කළමනාකරණය කිරීමේ දී රෝහල් වැඩිහිටි නිවාස සහ වැඩිහිටියන් බලා ගන්නා සාත්තු සේවකයන් ට මෛත්‍රී භාවනාව වැඩිය යුතු ආකාරය පිළිබඳව රෝගීන්ට පුරුදු පුහුණු කිරීමට මෙන්ම බටහිර ප්රතිකාරවේදයන්ට එය ඇතුළත් කළ යුතු බවය. එම භාවනාවේ පවතින අපූරු ප්රතිකාරමය බලය අවබෝධ කර ගත් ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් තම තම ප්‍රතිකාර පරාසයන් තුළ ද මෛත්‍රී භාවනාව භාවිත කිරීමට පෙලඹී ඇත.
ඇමෙරිකාවේ ඩියුක් පිළිකා පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් ද කාර්සන්ගේ මඟ පෙන්වීම අනුව යමින් පිළිකා බයොප්සි පරීක්ෂණ සඳහා යොමු වන පුද්ගලයන්ට ඇති වන වේදනාව සංසිඳුවීම සඳහා මෛත්‍රී භාවනාව යොදාගෙන අත.
විශේෂයෙන් පියයුරු පිළිකා රෝගීන්ට බයොප්සි පරීක්ෂණ සිදුවෙද්දී ඔවුන්ට මෛත්‍රී භාවනාව වැඩීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ වේදනාව දුරලීමට රුකුලක් වී ඇතැයි මෙම පර්යේෂණ ප්‍රකාශ කර ඇත.
මේ නව අනාවරණයන් සමඟ ඇමෙරිකානුවෝ මෛත්‍රී භාවනාව තම කලබලකාරී ප්‍රායෝගික ජීවිතයේදි භාවිත කිරීම පිළිබඳවද ලොකු කතිකාවක් නිර්මාණය කරති. මෑතකදී ඇමරිකාවේ නිව්යොර්ක් ටුඩේ පුවත් පතකට ලිපියක් ලියන මාධ්‍යවේදියකු යෝජනා කර තිබුණේ මහා මාර්ගයේ දී සිදුවන තදබද , දුම්රිය , ගුවන් ගමන් ප්‍රමාද වීමේ දී ඇති වන දැඩි මානසික ආතතිකාරී ස්වභාවය පහ කර ගැනීමට මෛත්‍රී භාවනාව වැඩිමට පුරුදු පුහුණු විය යුතු බවයි. එයින් දැඩි මානසික සහනයක් මෙන්ම අන් අය වෙත දයාවක් අනුකම්පාවක් ජනිත වන බව ඔහු අවධාරණයෙන් ඇමෙරිකානු ජනතාවට කියයි.