
සූජීවා සමන්ති පස්යාල
දූනගහ දේශීය වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය
රෝගී ජීවිත නීරෝගී කරන්නට ප්‍රතිකාර කරනු වෙනුවට රෝගී නොවෙමින් නීරෝගීව සිටින්නට හැකිනම් වඩා අගනේය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අඛණ්ඩ අරමුණකුත් ආහාර සහ විහරණ පාලනයකුත් පමණි. දවසේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් දෙකක්වත් බත් ආහාරයට ගන්නා මෙරට වැසියෝ බහුතරයක් ඉන් එක් වේලකටවත් කොළ මැල්ලුමක් හෝ කොළ සම්බෝලයක් එක්ක කරගන්නට අමතක නොකරයි. එහෙත් ඔවුන්ද, අපද වැඩි වැඩියෙන් ආහාරයට ගන්නේ කීර පලා ලෙස නඟරයේ කඩපිලේ විකුණන්නට ඇති ජනප්‍රියම කොළ වර්ග වලින් සැකසූ මැල්ලුමක් හෝ සම්බෝලයකි.
ඒ වෙනුවට අපේ ගෙවත්තේ, වැට මායිමේ, කුඹුර ඉහත්තාවේ වැවෙන කොළ පලා වර්ග වලින් සම්බෝලයක්, මැල්ලුමක් සකසා ගන්නට හැකිනම් විවිධත්වය නිසා බත් පතට එක්වන රසයද, ඒ කොළ පලා වර්ග වල පවතින සුවිශේෂි ඔසු ගුණය නිසා සැලසෙන සුවයද නීරෝගී දිවියකට මංපෙත හෙළි පෙහෙළි කරනු නිසැකය.
එබැවින් මේ ගැන තොරතුරු දැනගනු අටියෙන් ආයුර්වේද වෛද්‍ය, සාමවිනිසුරු සමන්ති පස්යාල මහත්මිය හමුවන්නට ගියෙමි. මේ නිතර ආහාරයට නොගන්නා රසවත් ගැණවත් පලා වර්ග කිහිපයක් ගැන එතුමිය දැක්වූ අදහස් ඇසුරින් සැකසෙන ලිපියකි.
ලුණුවිල
Bacopa monnieri විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලුණුවිල වලට සමහර ප්‍රදේශවල වැසියන් “බැමිතිරිය” ලෙසද වහරයි. කුඩා දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන්නට සමත් ලුණුවිල යනු ජලාශ්‍රිතව වැවෙන, ඉතා කුඩා අලංකාර පැළැටියකි. අමු පලා සම්බෝලයක් ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් සකසාගනී. නැතහොත් තක්කාලි,ලූණු සමඟ සලාදයක් ලෙසත් සකසා ගෙන ආහාරයට ගත හැකිය.
රුධිරයේ විෂ ඉවත් කරයි. ලේ වඩන බැවින් ලේ හිඟ අයට ගුණදායකය. ස්නායු තර්පණය කර ශරීරය ප්‍රාණවත් කරයි. මානසික ආතතිය පාලනය කර මතක ශක්තිය වැඩි කරයි. කල් ගිය තුවාල, දද, කුෂ්ඨ ආදිය සුවවීමටත් ලුණුවිල ආහාරයට ගැනීම සුදුසුය. ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි කරයි.
තරමක තිත්ත රසයක් පවතින බැවින් ලුණුවිල සම්බෝලය සකසා ගැනීමේදී දෙහි යුෂ යහමින් භාවිතා කිරීම යෝග්‍ය වේ. මිරිදිය මාළු සහ විවිධ මස් වර්ග අසාත්මික වී ඇතිවන උදරාබාධ සඳහාද ලුණුවිල සම්බෝලය ගුණදායකය.
තෙඹු කොල
ගෙවත්තේ අලංකාර පැලයක් ලෙස වවාගත හැකි තෙඹු රටේ බොහෝ ප්‍රදේශ වල සාරවත්ව වැවෙන ශාකයකි.Costus speciosus ලෙස විද්‍යාත්මකව පොදුවේ හඳුන්වන තෙඹු වර්ග කිහිපයක් පවතී. සමහර තෙඹු වර්ග විසිතුරු පැළැටියක් ලෙසද වගාකරයි.
අමු තෙඹු කොල සම්බෝලයක් ලෙසත්, සලාදයක් ලෙසත්, තෙඹු ගොබය ව්‍යාංජනයක් ලෙසත් සකසා ගත හැකිය.
තෙඹු කොළ වල පිෂ්ඨය සේම මේදය අන්තර්ගත වුවත්, දියවැඩියාවටත්, කොලෙස්ටරෝල් තත්වයන්ටත් ගොදුරු වූ රෝගීන්ට සහනය ලබාදෙන ශාකයකි.
ශරීරයේ අධික වෙහෙස පලවාහරී. පෙනීමේ දුර්වලතා පවතින රෝගීන්ට ද සුදුසුය. ගත ක්‍රියාශීලී කරයි. සෙම සහ පිත සමනය කර චර්ම රෝග සුවකරයි. පණු රෝග වළක්වයි. නමුත් තෙඹූකොල දිනපතා ආහාරයට ගැනීම නුසුදුසුය. රුධිරගත සීනි, මේදවෘද්ධි රෝගීන් සතියකට දෙවරක්ද, අනෙකුත් පිරිස් සතියකට වරක්ද තෙඹු කොල ආහාරයට යොදාගැනීමේ ගැටළුවක් නැත.
මුරුංගා කොල
මුරුංගා කොල සම්බෝලය ද්‍රවිඩ ජනයා අතර ජනප්‍රියතම සම්බෝලයකි. මැල්ලුමක් ලෙසද, තෙම්පරාදුවක් ලෙසද මුරුංගා කොල සකසාගත හැකිය. කොල පැහැය රැකෙන පරිදි සකසා ගැනීමෙන් ගුණය නොනැසී රසවත්ව ආහාරයට ගැනීමට හැකිය.
විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප අසූවක කැල්සියම් ප්‍රමාණය පවතින පවත් කියැවේ.
Moringa oleifera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුරුංගා වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකුට ආහාරය සඳහා සුදුසුය. ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කරයි. ශරීරය සිසිල් කරන මුරුංගා කොල මැල්ලුම ගත ක්‍රියාශීලී කරයි. නිතර ඇතිවන නිදිමත නැතිකරයි. පණු රෝග සහ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග වලට ගුණදායකය.
වැල්දොඩම් කොල
යහමින් පොල්, රතුළූණු,දෙහි, ගම්මිරිස් යොදා සකසා ගන්නා වැල්දොඩම් කොල සම්බෝලය ආහාර වේල රසවත් කරන ජනප්‍රියම සම්බෝලයකි. ආහාර රුචිය වඩවයි.ශරීරයේ රුධිර පීඩනය ආශ්‍රිත දෝෂයන් මඟහරවයි. නමුත් කිසිදු විටෙක රුධිර පීඩනය අඩු නොකරයි. හෘදයාබාධ වළක්වයි.
Passifloraedulis Sims විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වැල්දොඩම් කොල විටමින් වර්ග ගණනාවකින් යුක්තය. ආහාර මාර්ගය ආශ්‍රිත රෝග වලින් පෙලෙන අයටද, මළබද්ධ තත්වයන් පවතින රෝගීන්ටද සුදුසුය.
නීරමුල්ලිය
කටු ඉවත්කරගත් ළපටි කොල වලින් නීරමුල්ලිය දලු සම්බෝලය සකසා ගනී. තරමක වෙනස් රසක් ඇති නිසා සමහර පිරිස් නීරමුල්ලිය සම්බෝලයට අකැමැතිය. නමුත් ගුණදායකය. දෙහි, ගම්මිරිස් සහ තක්කාලි යහමින් යොදා ගැනීමෙන් හොඳ රසයකින් සකසා ගත හැක.
Hygrophila schulli විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නීරමුල්ලිය වකුගඩු දෝෂ වලට මුත්‍රාශයේ රෝග වලට සහනය ලබාදෙයි. මුත්‍ර කාරකයි. වකුගඩු ගල් ශෝදනයට උත්ප්‍රේරණ ලබාදේ.
නමුත් නීරමුල්ලිය වෛද්‍ය උපදෙස්වලින් තොරව එකදිගට ආහාරයට නොගත යුතුය. දෙසතියකට පමණ වරක් ආහාරයට ගැනීම සුදුසුය. නීරමුල්ලිය පුරුෂ පක්ෂයේ ලිංගික බෙලහීනතාවය වළකයි. කිරි දෙන මව්වරුනට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කිරීමට නීරමුල්ලිය වලට හැකියාවක් ඇත.
ඇතැමුන් මෙය “ඉකිරිය” ලෙසද හඳුන්වයි. දම්පාට හෝ රෝස පාට වර්ණයකින් යුත් මලක් ඇති කටු සහිත පැළෑටියකි. මෙය වැඩිපුරම ජලාශ්‍රිත ප්‍රදේශවල වැඩේ.
ඇඹුල් ඇඹිලිය
උඩරට කඳුකරයේ තේ වතුවල සරුවට වැවෙන ඇඹුල් ඇඹිලිය රසවත් පළා වර්ගයකි. උඳුපියලිය පැළැටියට සෑහෙන තරම් සමාන ඇඹුල් ඇඹිලිය කොළ රසයෙන් ද ඇඹුලයි. මේ පැලයේ තද ඇඹුලට හේතුව එහි ඔක්සලික් අම්ලය පැවතීමයි.
පැලෑටියම ගෙන ගොටුකොළ මෙන් සම්බෝලය සකසා ගත හැකිය. කලවම් මැල්ලුමටද යෙදිය හැකිය. ආම ජීර්ණය, අතීසාරය, ග්‍රහණීය වැනි රෝගවලදී ආහාරයට ගැනීම සුදුසුය. මල බුරුල්ව යාම නතර වේ.
වකුගඩු රෝග ඇති අයට සහ මුත්‍රා දැවිල්ල ඇති අයට දිගින් දිගටම ඇඹුල් ඇඹිලිය ආහාරයට ගැනීම සුදුසු නොවේ.
මෙහි ඇති සියළු කොල වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රභාවත්, රුධිරය පිරිසිදු විමත්, හිසකෙස් වර්ධනයත් ඇස්වල පෙනීම වර්ධනය වීමත් පොදුවේ අත්වන යහපත් ගුණාංගයන්ය. එසේම විවිධ රසයෙන්ද, නැවුම් බවින්ද යුතු මේ පලා, කොල වර්ගයන් ඔබේ ආහාරයට අවස්ථානුකූලව එක්කර ගනිමින් නිරෝගී ජීවිතයක පහස ලබන්නට ඔබටත් හැකිය.