
වසර පනහකට පෙර පුවත්පත් වල පළකරන දැන්වීමක මිල ඉතා අඩුය. කාලයත් සමඟ දැන්වීමක් පළ කරන්නට අද වන විට දහස් ගණනින් මුදල් වැය වේ. කොහොම වුණත් වසර පනහක් තිස්සේ එක් පුවත් පතක නොව පුවත් පත් දෙකතුනකම සිය බිරියගේ සේයාරුව හා ඇය වෙනුවෙන් ලියූ කවි පෙළක් ද සමඟ දැන්වීමක් පළකරන ඔහු ගැන අපට ඇත්තේ අරුමයකි. මට විශ්ව සාහිත්‍යයේ මෙන්ම අපේ සාහිත්‍යයේ අමරණීය පෙම්වතුන් සිහිපත් වේ. එමෙන්ම වර්තමානයේ අප සමාජයේ පෙම්වතුන් පෙම්වතියන් හා අඹුසැමියන් සිහිවේ. පොඩ්ඩ බැරි වුණු විට සිය පෙම්වතියගේ බිරියගේ බෙල්ල මිරිකන පිහියෙන් අනින ආදරවන්තයන් සිටින යුගයක අඩසියවසක් තිස්සේ සිය මියගිය බිරිය සිහිපත් කරන මොහු සැබෑ ප්‍රේමවන්තයෙකි.
ආලය ආදරය ගැන හොද හැටි දන්නා
බිරිඳක් ලදින් මම හරි සතුටින් උන්නා
පෙම් පිඬ සිහිව හද සෝගිනි ඇවිලෙන්නා
මතු සසරෙදිත් යළි හමුවෙමු අපි දෙන්නා
නිලුපුල් සුවද දෙන මගෙ පෙම් කුමරියගේ
සුදු මුව පියුම සිප ගැවී එකට ඇගේ
සිහිවන විටදි අප ගතකළ මිහිරි යුගේ
දෙනයන කෙවෙනි තුළ තවමත් කඳුළු නැගේ
කවි කියවන විට සිත මැවෙන්නේ යොවුන් පෙම්වතෙකි. එහෙත් ඔබේ හා මගේ ඒ සිතුවිල්ල වැරදිය. මේ කවිවල හිමිකාරයා මහ පුදුම මිනිසෙකි. එමෙන්ම ආදරණිය මිනිසෙකි. මෙහෙමත් මිනිසුන් මේ සමාජයේ ඉන්නවනේ.? ඔහු හමුවන්නට යන දිගු ගමනේදී නිරන්තරව මට සිතුණේ එවැනි දේය. සිතට එන නොයෙක් සිතුවිලි සමඟ තර්ක කරමින් දිගු ගමනක් අවසානයේ අපි ඔහුගේ නිවෙස ඉදිරිපිට නතර වුයෙමු. වේලාව උදෑසන හයාමාරට පමණ ඇත. නිවෙස ඉදිරියේ තිබූ සේපාලිකා ගසේ මල් මද සුළඟට එකින් එක බිම පතිත වෙමින් තිබුණි. ඔහු එස්. ඩී කුලසිංහ. වයස අවුරුදු අනූතුනකි. රේඩියෝ අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඔහු මෙතරම් වැදගත් වන්නේ ඇයි දැයි යන්න දැන් ඔබට ඇති ප්රශ්නයයි. මොහු පිළිබද සොයා බලන්නට යැයි මුල්ම හෝඩුවාව දුන්නේ පොල්ගොල්ල ශාස්ත්රාරවින්ද්රා පිරිවනේ සන්නිවේදන ගුරුවරයා වන තිස්ස නිහාල් වික්‍රමසිංහ සොයුරාය.
“මේ පාරත් මුතුමිණ සිහි කරලා කවි පෙළක් දිනමිණ පුවත්පතේ පළකරලා තියෙනවා. මම අවුරුදු ගාණක් තිස්සේ ඔය දැන්වීම දිනමිණ පත්තරයෙන් කියවලා තියෙනවා. ඒ මහත්තයා නෝනා වෙනුවෙන් ලස්සන කවි ලියනවා.”
තිස්ස අපට වැඩි විස්තර කීවේය. මේ තොරතුර ඔස්සේ අප ආයතනයේ දැන්වීම් අංශයෙන් කළ විමසීමකදි වැඩිදුර තොරතුරු දැන ගතිමි.
කුලසිංහ මහතා සොයා අප මීගමුවට පැමිණියේ ඒ ඔස්සේය.
“අනේ මං ගැන මොනවා ලියන්න ද?”
ඔහු මුලසිටම අදිමදි කළේය. අවසානයේ ඔහු අප හමුවීමට කැමැති වූයේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරිකමටය.
කුලසිංහ මහතා ගැන කෙටියෙන් කිවහොත් කතාව මෙසේය. කුලසිංහ මහතාගේ බිරිය මියගියේ මීට වසර පනහකට පෙරය. ඇගේ මරණයෙන් තුන්මසක් ගෙවුණ දින ද, ඉන්පසු වසරක් පාසා අද දක්වාම ඔහු සිය බිරියගේ පින් අනුමෝදන් කිරීමේ පින්කම පුවත් පත්වල පළ කරන්නේය. එදා සිටම ඒ දැන්වීම ඔහු පුවත්පතේ පළකරන්නේ සිය බිරිය වෙනුවෙන් ලියන කවිපෙළක් ද සමඟය.
මෙලෙස වසර පනහක් පුරා කුලසේන මහතා සිය බිරිය වෙනුවෙන් එසේ දැන්වීම් පළකරන්නේය.
ආදරය මහා පුදුමාකාරය. අද නම් සිය බිරිය මිය ගිය පසු වෙනත් විවාහ කරගත් පුද්ගලයන් ඕනෑතරම් දැකිය හැකිය. මෙහිදි අපි එය වැරැදියැයි නොකියමු. නමුදු මේ යුගයේ හැටියට කුලසිංහ මහතා සිය බිරිය වෙනුවෙන් දක්වන ආදරයේ තරම කියන්නට වචන නැත.
“මගේ නම එස්. ධර්මසේන කුලසිංහ. මම උපන්නේ 1925 අප්‍රේල් 23 වෙනිදා. මගෙ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. පවුලේ හිටියේ අයියයි නංගියි මමයි. ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වුණාට පස්සේ එක්දහස් නවසිය හතළිස් හයේ අවුරුද්දේ මම යාළුවෙක් එක්ක රේඩියෝ බඩු විකුණන කඩයක් පටන් ගත්තා. ඉන් පස්සේ යාළුවෙක් එක්ක යුනියන් ප්ලේස් එකේ කඩයක් පටන් ගත්තා. ඒ එක්දහස් නවසිය පනස් හයේ අවුරුද්දේ. දැන් නම් ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ වොක්ෂෝල් විදියේ.”
කුලසිංහ පවසන්නේ තම ජීවනෝපාය සකස් කරගත් ආකාරය ගැනය.
“නෝනා හමු වුණේ කොහොමද?” මම ඔහුගේ කතාවට බාධා කළෙමි.
“මගෙ ලොකු අම්මා කෙනෙක් හිටියා දුනුකේවිල. ගම්පොලින් හැරිලා තමයි එහෙ යන්න ඕන. මම අවුරුද්දකට සැරයක් එහෙ යනවා. ඒ ගිය ගමනක දි තමයි මම මුතුමැණිකේ හමු වුණේ. ඒ කාලේ මට වයස අවුරුදු විසි තුනක් විතර ඇති. නිතර නිතර එයාව බලන්න ගියේ නැහැ. අපි නිතර ලියුම් ලිව්වා. නමුත් අප අතර හොඳ අවබෝධයක් ආදරයක් ඇති වුණා. මම ඇය සමඟ විවාහ වුණේ එක්දහස් නවසිය පනහ අවුරුද්දේ”
කතාබහ අතරතුර ඔහු මොහොතක් නිහඬව සිටියේය. පරණ පින්තුර ඇල්බම් පෙරළා බලන විට ඔවුන්ගේ ආදරයේ තරම කෙබඳුදැයි වැටහේ. ඔහුත් ඇයත් එකට සිට ගත් ඡායාරූප යටින් ඇත්තේ ඔහු විසින් ලියන ලද කවි පෙළවල්ය.
“ආලයේ ළදරු දෙවියා ළඟ පඬුරු බැඳ
පැතුමන් පතමි ඇති මගෙ හදවතෙහි අද
සැරි සරණා තෙක්ම මින් මතු සසරේ හිද
වේවා ඔබම මගෙ පෙම්වත් බිරිඳ”
(1949 - කුලේ)
මුතුමැණිකේ හැඩකාරියකි. ඒ බව අපට වැටහුණේ ඔහුගේ නිවෙසේ සාලය පුරා ඇති ඇගේ ඡායාරූප දැකීමෙනි.
දිනමිණ පුවත්පත සහ ඩේලිනිව්ස් පුවත්පතේ පමණක් නොව මෙම දැන්වීම සෑම වසරකම තවත් දිනපතා පුවත් පත් කිහිපයකම පළවන්නේය. ඒ සමඟම නිවෙසේ පැවැත්වෙන පින්කම සඳහා ආරාධනා පත්‍රයක් ද සකස් කරන්නේය.
ඇදුම රෝගයෙන් පෙළුණු මුතු මැණිකේ මිය යන්නේ අවුරුදු තිස්නවයේදිය. දරුවන් තිදෙනෙකු සමඟ තනිවන කුලසිංහයන් වෙනත් විවාහයක් ගැන සිතුවේ නැතිදැයි මම ඇසිමි.
“නැහැ මට ආයේ කසාදයක් කරගන්න අදහසක් තිබුණේ නැහැ කවදාවත්ම. මම එයාට තිබුණ ආදරේ කවදාවත්ම වෙනස් වුණෙත් නැහැ. මම එයා නැති වෙලා තුන්මාසේ ඉඳලාම දැන්වීම් දැම්මා. ඉස්සර මම පිරිත් කියවලා දානයක් දුන්නා. අපි බැඳලා අවුරුදු පහ හයක් යනතුරු දරුවෝ හිටියේ නෑ. නංගිගේ දරුවෙක් ගෙදර ගෙනාවා. එයා සරත්. සරත් පුතාට දැන් අවුරදු හැට හතරක් වෙනවා. මගෙ දරුවන්ගෙන් මට කිසි කරදරයක් නැහැ. හැමෝම හොඳට ඉන්නවා.”
කුලසිංහ තම අතීත මතක සිහිකරන්නේය.
මුතුමැණිකේ ඔහුට මුතුමිණකි. ඔහු ඇය ඇමතුවේ මුතුමිණ කියාය. නමුදු ඔහුගේ ආදරය ලබන්නට ඇය මිහිමත නැත.
සිය පියා මව ගැන අතීත මතක සිහිපත් කරනු අසා සිටි වැඩිමහල් දියණිය නයනා සිය මතකය අවදි කළාය.
“අම්මා නැති වෙනකොට මට අවුරුදු එකොළහයි. නංගිට අවුරුදු හයයි. මල්ලිට අවුරුදු තුනයි. අම්මා නැති වුණු එක හීනයක් වගෙයි. අම්මගෙ මරණයෙන් පස්සේ අපිව බලා ගත්තේ අම්මගෙ අම්මයි තාත්තාගේ අම්මයි දෙන්නා. තව නැන්දා කෙනෙකුත් හිටියා. තාත්තා අපිව මියුසියස් විද්‍යාලයට ඇතුළත් කළා. නංගියි මමයි ඉගෙන ගෙන අවසන් වනතුරුම හිටියේ හෝස්ටල් එකේ.
මට මතකයි තාත්තා අම්මා වෙනුවෙන් තියෙන පින්කම පත්තරවල පළකරනවා. තාත්තා අම්මාට හරි ආදරෙයි. අනික අපි ගැනත් හිතලා අම්මටත් තියෙන ආදරය නිසා වෙන්නැති තාත්තා නැවත වරක් විවාහ නොවී ඉන්න ඇත්තේ. තාත්තා කිව්වා පත්තරෙන් එනවා කියලා. මට පුදුම හිතුණා . තාත්තා කවදාවත් මෙහෙම දෙයකට කැමැති වෙන්නේ නැති නිසා.
අද අපිට හිතෙනවා අම්මයි තාත්තයි හරි ආදරෙන් ඉන්න ඇති කියලා. තාත්තා අම්මා වෙනුවෙන්ම කැපවෙලා ඉන්න කෙනෙක්. පින් දහම් කරනවා. ගොඩිගමුවේ තිබූ අපේ මහගේ තාත්තා පන්සලට පූජා කළා. තාත්තා ඒ පන්සල පූජා කළේ ඔහු කැපකරු පියා වූණු භික්ෂුන් වහන්සේනමකටයි. තාත්තා ගොඩක් දරුවන්ට ඉගෙන ගන්න උදව් කළා. අපි වාසනාවන්තයි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න.” නයනා පවසන්නීය.
සිය පියා ගැන එසේ කියන නයනා ගේ දෑසේ කඳුළුය. කුලසිංහගේ දැසේ ද කඳුළුය. ඒ සිය බිරිය සිහිපත් කිරීම නිසාය. අනූතුන් වැනි වියේ පසු වුවද කුලසිංහ මහතා තවමත් ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නේය.
ඔහු සිය බිරිය ගැන ලියූ කවි බොහෝය. ඒ හැම කවියකම ඇත්තේ බිරියගේ ගුණ යහපත්කම ගැනය. නැතිනම් තම සිතේ ඇය වෙනුවෙන් උපන් ආදරයයි. දරුවන් නැති සමයේ තමන්ගේ දරුවකු ලෙසින් හදාගත් සිය සොයුරියගේ පුතු හා ඔහු පමණක් නිවසේ සිටී . ඒ පුතු දැන් සිටින්නේ අසනීපගතියෙනි.
“මට කිසිම දෙයක් ගැන දුකක් නැහැ. මේ සරත් පුතා ගැන තමයි හිතේ දුකක් තියෙන්නේ. මගේ බිරිය බොහෝම හොඳ කෙනෙක් . එයයි මමයි අවුරුදු දහඅටක් බොහෝම ආදරයෙන් කරුණාවෙන් ජීවත් වුණා. ඒ අතීතය අමතක කරන්න කවදාවත් බැහැ. ඇයට උපදින සසරේ අකල් මරණයක් නොවේවා කියලා තමයි මම පින්දහම් කරන්නේ. ”
බිරියගේ වියෝවෙන් පනස් වසරක් පිරෙනදා ද කුලසිංහ පවුලේ ඇත්තෝ ධර්මදේශනා පින්කමක් හා දානමය පින්කමක් පැවැත්වූහ. ඒ ගැනද ඔහු සුපුරුදු ලෙස පුවත්පත්වල දැන්වීම් පළ කළේය.
මුතුමිණට තවමත් පෙම්බඳින කුලසිංහගේ එකම ප්‍රාර්ථනය එයයි.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු