
දුර නෑකමින් මට මාමා කෙනෙකු වන ‘පියදාස මාමා’ හතළිහ - පනහ දසකවල පොදු ජනයාගේ විනෝදාංශය වී තිබුණු - ‘කවි පොත්’, ‘නවකතා’ කියවීමෙහි හා පොත් එකතු කිරීමෙහි රුසියෙකි.
1960 වසරේ දිනක් මා වෙත පරිත්‍යාග කළ ඔහුගේ පොත් පෙට්ටියේවූ ‘සැඟවුණු මැණික’, ‘අපට වෙච්ච දේ’ ‘සුමනාගේ පුදුම ගැලවීම නොහොත් මාරක දියමන්තිය’ - හේමපාල මුනිදාස සූරීන්ගේ ‘වීදියබණ්ඩාර’, මීමන ප්‍රේමතිලකගේ ‘වනගත කවියා’ – ‘අන්ධ ළමයා’ වැනි කවිපොත් කීපයක් අදත් මා ළඟ සුරැකිව ඇත.
ඒ හැම පොතකම, තනිරූල් ඇක්සයිස් කොළ කැබැල්ලක සටහන් කොට අලවා තිබූ ‘පියදාස මාමාගේ මහඟු අවවාදය’ මෙසේ ය. එය ඒ ලෙසින් ම මම මෙහි සඳහන් කරමි.
“මේ ටික ඔබටයි”
අනුන්ගෙන් පොතක් ඉල්ලාගෙන බලන්නට - ඔබට පුළුවන්කම තිබේ නම් එය මහ ලැජ්ජා නැතිකමකි. අකෘතඥකමකි. මත්පැන්, සිගරැට් ආදී නුවුමනා දේවලට රුපියල් සිය ගණන් නාස්ති කරන ඔබට පොතක් වෙනුවෙන් රුපියලක්, හමාරක් වියදම් කරන්නට බැරිද? අනුන්ගෙන් පිනට පොතක් ඉල්ලාගෙන බැලීමෙන් එය ලියූ ලේඛකයාට ඔබෙන් ලැබෙන ධෛර්යය කුමක්ද? එහෙයින් මේ ලැජ්ජා නැති වැඩය නම් කිසිවිටෙක නොකළ මැනවි.
මීට - පියදාස (1949 – 12 – 24)
මේ කාලයේ (1930, 1940, 1950, 1960) පොතක වැඩිම මිල රු. 5/= හෝ 7/= කි.
‘පියදාස මාමා’ මට තිළිණ කළ - නවකතා හා කවිපොත් ඔහු සිහිපත් වීමේ සිහිවටන ලෙස සුරැකිව මම තබාගෙන සිටිමි.
මාදම්පේ
ඊබට් ෂෙල්ටන්