
අලුත් ලේඛකයා
නගරයේ බස් නැවතුම්පොළේ දී මම ගෙදර එන්නට බසයකට නැග අසුන්ගෙන සිටියෙමි.
කොන්දොස්තර තැන ටිකට් කඩා අවසන් වීමටත් පෙර රියැදුරැ තැන බසය පණ ගන්වා යාන්තමින් ඉදිරියට අද්දවන්නට විය.
ඒ හදිසියේ බසයේ ඉදිරි දොරින් ගොඩ වී කඩිමුඩියේ මගීන් අමතන්නට වූයේ නව යොවුන් තරුණයෙකි.
‘නෝනාවරුනි, මහත්වරුනි, සමාවෙලා මට පොඩ්ඩකට කන් දෙන්න. මං මේ හදිසියෙ බස් එකට නැග්ගෙ මගෙ කුඩා කෙටිකතා පොත ගැන ඔයගොල්ලන්ට කියන්ඩයි...‘
ඔහු මගේ අවධානයට යොමු වූයේ මා ද කෙටිකතා ලියන ලේඛකයකු බැවිනි.
ඔහුට අවුරුදු විසිපහක් ඇති නැති ගාණ ය. උස ය. පැහැපත් නැතත් ප්‍රසන්න ය. ඔහු හිස පීරා හොඳින්. හැඳ පැලඳ සිටියේ ය.
අතක පොත් මිටියක් විය. අනෙක් අතින් ඔහු මගීන්ට පොතේ පිටු පෙරළමින් විස්තර කියන්නට පටන් ගත්තේ ය.
‘... නෝනාවරුනි, මහත්වරුනි, මං ඔයගොල්ලන්ට විකුණන්නෙ අනුන්ගෙ කෙටිකතා පොතක් නෙමේ. මේක මංම ලියල මංම අච්චු ගස්සපු එකක්. ‘ යැයි කී ඔහු පොතේ නම කියා ඒ ගැන තව දුරටත් විස්තර කරගෙන ගියේ ය.
‘... නොනාවරුනි, මහත්වරුනි, මේකෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ මගෙම කෙටිකතාවක්“ යැයි කී ඔහු එය එක්තරා තරගයකින් මුල් තැන ගත් නිර්මාණයක් බවත්, ඒ බව ඔප්පු කරනු පිණිස අදාළ තරගයේ දී තමාට ලැබුණු සහතිකය ද පොතේ මුද්‍රණය කර ඇති බවත්, පොතෙහි මිල රුපියල් සියයක් බවත් කීවේ ය.
‘... නෝනාවරුනි, මහත්වරුනි, මේ පොත විකුණල ලැබෙන සල්ලි මගෙ අධ්‍යාපන කටයුතුවලටයි යොදවන්නෙ.‘ ඔහු එසේ කියන විට ස්වෝත්සාහයෙන් නැගී සිටින්නට හදන මේ තරුණයාට අත දීමක් හැටියට පොතක් මිල දී ගනු පිණිස මම මුදල් තත්වය පිරික්සා බැලුවෙමි. අවාසනාවකට මෙන් ඒ අවස්ථාවේ අමතර රුපියල් සියයක් නොවූයෙන් මම නිහඬ වීමි.
ඔහුට සහයෝගයක් හැටියට රියැදුරු ද බසය ඉදිරියට නොගෙන ටික වේලාවක් ඉවසා සිටියේ ය.
මට ඉදිරි අසුන්වල සිටි කාන්තාවෝ දෙදෙනෙක් පොත් දෙකක් මිල දී ගත්හ. ඒ වෙළඳාම කර ගත් හැටියේ ඔහු මා පසුකොට පිටුපසට ගිය හෙයින් මට ඔහු ගේ හඬ නෑසිණ.
මෙය හුදු සිද්ධියක් පමණකැයි මට නොසිතේ . එසේ වන්නේ මා ද පොත පත ලියා ප්‍රසිද්ධ කර ඇති බැවිනි. ඒවා අදාළ සමාගම් මගින් අලෙවි කෙරෙනු විනා මා ඒවායේ අලෙවියට නොබැස්සේ එය මට නොගැළපෙන වැඩක් බව දැනුණු හෙයිනි.
මේ තරුණයා කළේ ලේඛකයකුට නොතරම් වැඩක් යැයි මම නොසිතමි. අද ඇතැම් ලේඛකයන් සාහිත පත පොත ලියා තමන් ම මුද්‍රණය කොට තමන් ම බෙදාහරින හැටි මා දැක ඇත. ඔවුන් සිය රියෙහි ඒවා පටවාගෙන ගොස් රිය පාර අයිනේ නවත්වා පොත් මිටි උස්සාගෙන පොත් සාප්පුවලට යන හැටි ද මා දැක ඇත. එයත් මෙයත් අතර ඒ අතින් අසමානතාවක් නැත.
මෙතන මට පේන හැටියට ඇත්තේ අපේ පරපුරේත්, අලුත් පරපුරේත් ලේඛකයන්ගේ චින්තන රටාවේ ඇති වෙනස ය. අපි ලේඛන කලාවත්, වෙළඳාමත් දෙකක් කොට තැකුවෙමු. මේ අය එසේ නොතකති. හැකියාව මුදල් කොට තරගකාරී සමාජයට මුහුණ දීමට ඔවුන් සිතනවා නම් එය වරදක් විය නොහැකි ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
ගංවතුර
ඒ අප ගුරු විදුහලේ සිට නික්ම ආ දෙසැම්බර් මාසයේ එක්තරා දිනයක් වූයේ ය. කඳුකරයේ නේවාසික ව සිටි අපට වෙරළබඩ කලාපය ගංවතුරින් යට වී ඇති බව නොදැනිණ.
ඒ වන විට අප කැඳවාගෙන ඒමට මගට බැස තිබුණු මාපියන්ට ගංවතුර බාධකයක් වී තිබිණ. එහෙයින් ඔවුනට සිය රථය අතරමග නවතා දුම්රියෙන් මහනුවර බලා ඒමට සිදු විය.
අවසානයේ අප සියල්ලන් ම කුලී රියක නැගී වහ වහා මහනුවර දුම්රියපොළට පැමිණියේ දෙවසරක් ඇසුරු කළ පොත් පත්, ඇඳුම් හා වෙනත් භාණ්ඩ ද රැගෙන ය. දුම්රිය පිටත් වීමට තිබුණේ තත්පර ගණනාවක් වුව ද වාසනාවකට මෙන් එයට නැග ගැනීමට අපට හැකි විය.
දුම්රිය අගනුවරට ළඟා වූයේ රාත්‍රියේ ය. අපි පහන් වන තුරු දුම්රියපොෙළහි ගත කළෙමු.
හලාවතින් එහාට අප යා යුතු වූයේ බසයෙනි. ගං වතුරට පාරවල් යට වී ගමනා ගමනය ඇන හිට තිබුණේ ය. ඒ මදිවාට පාරවල්වලට ගස් ද කඩා වැටී තිබිණ.
හලාවත නගරයේ දානපති වෙළදසල් හිමියකු ඒ වන විට සත්ක්රියාවක් අරඹා සිටියේ ය. ඔහු ගං වතුර නිසා ගෙවල් බලා යාගත නොහැකි වූ අයට තුන්වේලට ම කන්නට දුන්නේ ය. රාත්‍රියේ පිරිත් දෙසුමක් ද පැවැත්විණ.
අපි හැමෝ ම බිම වාඩිවී දානය භුක්ති වින්දෙමු. පිරිත් ඇසීමු.
වැස්ස නැවතුණි. අපි දුෂ්කරතා මැද, දැදුරු ඔයේ සැඩ දිය පහර මැද, කඹයක එල්ලී, කඩා වැටුණු ගස් දිගේ ගොස්, ඉන්පසු ට්‍රැක්ටරයක ද නැගී නිවෙසට ආවෙමු.
නිවෙස කඩා වැටී නොතිබුණ ද නිවෙසෙහි තිබූ බඩු මුට්ටු නිවෙස වටා පාවෙමින් තිබිණ.
මේ අතීත සිද්ධිය විටින් විට මට සිහිපත් වෙයි. ඒ හැම වාරයේ ම අතරමං ව සිටි අපට තුන්වේල කන්නට දී ඉඳුම් හිටුම් සැලසූ දානපති එලාරිස් මුදලාලි සිහිපත් වෙයි.
පියසීලි විජේනායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.