
මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයට අගනා මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියන් අතර ඉදිරියෙන්ම සිටින්නියකි. සොඳුරු කාන්තාවන් අතර කලාතුරකින් හමුවන ඇය වන් කාන්තාවන් අද සමාජයේ විරලය. මවක, බිරියක මෙන්ම මහාචාර්යවරියක ලෙස අද සමාජයට ඇගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. මේ ඇගේ කතාවයි.
* අපේ කුඩා කල ගෙවුණේ පතපොත අතරේයි
* ඇමෙරිකාවට නොගිහින් රටට ආදරේ නිසා නැවතුණා
* කෙසෙල් පටක රෝපණ තාක්ෂණය හම්බන්තොටට ගෙන ගියේ මමයි
* නිල නිවෙස අහිමි වෙද්දී මට ඉන්න තැනක් නැතිවුණා
* මගෙන් රටට කළ හැකි හැමදේම මම සිදු කළා.
ඔබේ කුඩා කාලය ගැන මුලින්ම දැන ගන්නට කැමැතියි?
මම ඉපදුණේ කොළඹ. දිගටම හැදුණේ වැඩුණේ කොළඹ. මගේ අප්පච්චි මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල. අම්මා නාලිනී රත්නායක. පවුලේ ගැහැනු ළමයින් පස්දෙනාගෙන් හතර වෙනියා මම. අම්මා රැකියාවක් නොකළ නිසා අපේ කාලය ගෙවුණේ අම්මා එක්කමයි. අම්මා එක්ක මිසක කවදාවත් තනියම එළියට ගිහින් නැහැ. මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අප්පච්චිගේ මොරිස් මයිනර් කාර් එකේ අපි හැමෝම පාසලට එක්කගෙන ගියා. අපි කුඩා කාලේ බස් එකකවත් ගිහින් තිබුණෙ නැහැ. මොකද අප්පච්චි බයවෙන්න ඇති ගැහැනු ළමයින් පස් දෙනෙක් නිසා අපේ ආරක්ෂාව ගැන.
ඔබේ කුඩා කාලය ගෙවුණේ කොහොමද?
මගේ අප්පච්චි හිටියේ පොත් එක්කමයි. ඔහු නිතරම මේසයේ ඉඳන් ලියන හැටි තාම මට මතකයි. ඉතාම පිළිවෙළ වූ ක්‍රමවත් දින චර්යාවක් අප්පච්චිට තිබුණා. මට දැන් හිතෙනවා අප්පච්චි කරපු වැඩවලින් සියයට දහයකවත් දෙයක් මම කරල නැහැ කියලා. අප්පච්චි පොත් ලිව්වා. ඒ අතරම ගම දියතලාවේ, හපුතලේ වැඩත් කළා. අපි පස්දෙනාගෙ හැමදේම බැලුවා. ඒ වගේම ගෙදරට අවශ්‍ය හැමදේමත් ගෙන ආවේ අප්පච්චි. මේ දේවල් දිහා කුඩා කාලෙ සිටම අපිත් බලාගෙන හිටියා. පාසල් ගිහින් ඇවිත් අපිත් පොත් කියවනවා. අපේ ගෙදර හුඟක් තිබුණේ පොත්. නවයුගය, මිහිර, විද්‍යාදීප, පත්තර සඟරා වගේම ඩේලිනිවුස්, ඔබ්සර්වර්, දිනපතා සතිපතා පත්තරත් ගෙනාවා. එනිසා ඒ පොත්පත පරිශීලනයට කුඩාකල සිටම අපි හුරු වුණා. ඒ ඇරුණාම අල්ලපු නිවෙසට අම්මා සමඟ ගිහින් සෙල්ලම් කළා මතකයි. ඒ ඇරෙන්න කොළඹ හැදුණා කියලා යාළුවො එක්ක ගිහිල්ලා උපන්දින උත්සව සමරන වගේ දේවල් අපේ ජීවිතවල තිබුණේ නැහැ. අපි හරි සන්තෝෂයෙන් හිටියා.
ඔබ ඉගෙනුමට හපනෙක්ද?
මගේ මනෝරි අක්කා තමයි අපේ පවුලෙන් විද්‍යාව හදාරන්නට පටන් ගත්තේ. ඇය විද්‍යාව හදාරපු නිසා මමත් විද්‍යාව හැදෑරුවා. හොඳින් අධ්‍යාපන වැඩකටයුතු කළත් මම පොතටම ඇලුණු චරිතයක් වුණේ නැහැ. ඒත් මම පන්තියේ එක, දෙක, තුන්වෙනියා අතර හිටියා. මම කවදාවත් ටියුෂන් ගියේ නැහැ. මම පුංචිකාලෙ සිට සංගීතයට කැමැතියි. පාසලේදී සංගීත වැසටහන්වලට මම ඉදිරිපත් වෙනවා. ඒ වගේම උඩරට නර්තනය හදාරන්නට ලොකු ආසාවක් තිබුණා. ඒත් අප්පච්චි එයට කැමැති වුණේ නැහැ. එනිසා ඉගෙනීමට තමයි වැඩි නැඹුරුවක් තිබුණේ. විද්‍යාවෙන් උසස් පෙළ ලියලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා.
ඔබේ අරමුණ වුණෙත් වෛද්‍යවරියක් වෙන එකද?
එහෙම ඉලක්කයක් අපට තිබුණෙ නැහැ. උසස් පෙළ ලිව්වට පස්සේ මට අවශ්‍ය වුණේ ඉදිරියටත් ඉගෙන ගන්න මිසක වෛද්‍යවරියක් වෙන්න නෙවෙයි. අනෙක විද්‍යා පීඨයට තේරුණාට පස්සේ අප්පච්චි මගෙන් ඇහුවා. යළිත් වරක් උසස් පෙළ කරළා මෙඩිසින් යනවද? කියලා. නමුත් මම එයට කැමැති වුණේ නැහැ. මම සත්තු කපන්න කැමැති නැහැ. මම හුඟක් කැමැති වුණේ ශාක විද්‍යාවට. ඒ නිසා මම විද්‍යා පීඨයට ගිහින් ශාක විද්‍යාව පිළිබඳ උපාධිය හිමි කරගත්තා. එයින් පසුව මගේ අම්මාට වුවමනා වුණේ මාව කොළඹ රැකියාවකට යවන්නයි. ඒත් අප්පච්චි කැමැති වුණේ තවදුරටත් මා අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්නයි. මං දර්ශනපති උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ සඳහා මමයි අප්පච්චියි පේරාදෙණියට ගියේ බස් එකෙන්. එදා මම අප්පච්චිගෙන් ඇහුවා. හරක් මොනවද කන්න කැමැති කියලා. අප්පච්චි කිව්වා හරක් වැඩිපුරම කන්න කැමැති තණ කොළ, පිදුරුවලට ලුණු ටිකක් දාලා දුන්නම උන් හරි කැමැත්තෙන් කනවා කියලා. මෙය මගේ හිතේ තිබුණා. මගෙන් ව්‍යාපෘතිය ගැන අසත්දී මම මේ ගැන කිව්වා. කොහොම හරි මාව පේරාදෙණියට තේරුණා. පළමුවැනි වතාවට තමයි මම ගෙදරින් පිටව අධ්‍යාපන කටයුතුවලට පේරාදෙණියේ නැවතුණේ. පේරාදෙණියේ ගෙවීගිය ජීවිතයත් හරි අපූර්වත්වයෙන් යුතු එකක්. ඉන්පසු මට පී.එච්.ඩී. එක කරන්න බෙල්ජියමට හෝ එංගලන්තයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ 1985 දියි. මම තෝරා ගත්තේ බෙල්ජියම.
මම බෙල්ජියමට යන්න පිටත් වූ දවස අද වගේ මතකයි. අප්පච්චි මා දුරු රටක යන එක ගැන හුඟක් දුක් වුණා. මම බෙල්ජියමට ගියේ නෙදර්ලන්තය හරහා. නෙදර්ලන්තයෙන් බැහැලා යත්දී මට හිතුණා අපහු ගෙදර එන්න. ඒත් යන්න ටිකට් නැහැ. හිත හදාගෙන බෙල්ජියමට ගියා. එහිදී කෙසෙල් ගැන අධ්‍යයනය කරන්නට මට හැකි වුණා. මගේ ප්‍රධාන මාතෘකාව වුණේ කෙසෙල් ගැන පරීක්ෂණ කිරීම. මගේ පරීක්ෂකවරයා වුණේ කෙසෙල් පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥවරුන්ගෙන් දෙවැනියා. ඔහු ඉතාම සැර මහාචාර්යවරයෙක්. හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ. මට පෙර සිටි ඔහුගේ ගෝලයා රණ්ඩුවෙලා යන්න ගිහින් තිබුණා. එනිසා ඔහුට හිටි එකම ශිෂ්‍යයා මමයි. මං එතනට යන විටම ඔහු ප්‍රංශයේ මෝපෙරියර් කෙසෙල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකධූරයට පත් වුණා. ඒ අතරේ ඔහු සුමානයකට සැරයක් බෙල්ජියමට පැමිණ මට ගුරුහරුකම් ලබා දෙනවා. ඔහු සමඟ කටයුතු කිරීමෙන් මා ලද පන්නරය හා ඉවසීම මගේ ජීවිත කාලය පුරාවටම මට ප්‍රයෝජනවත් වුණා. ඔහුගෙන් ලැබුණු දැනුම මා හුඟක් අගය කළා. මම කෙසෙල් සම්බන්ධව කරන පරීක්ෂණවලදී හැම අංශයක් ගැනම විමසා බැලුවා. ඔහුත් මට හොඳින් දැනුම දුන්නා. ඒනිසා මං කෙසෙල් වගාව ගැනත් එය බෝගයක් ලෙස වගාකිරීම ගැනත් බොහෝදේ ඉගෙන ගත්තා. ඒ වගේම එහි තිබුණා කෙසෙල් ගස් වැවූ ශාකාගාරයක්. මම එය ඇතුළට වෙලා ඉන්නවා. කෙසෙල් වගාවට සාත්තු කරමින් වතුර දමනවා. මේ ගැන එහි සිටි අය හුඟක් කැමැති වුණා. මගේ වසර ගණන ඉවර වුණාම මම පීඑච් ඩී එකට සුදුසු ද කියලා ඔවුන් පරීෂණයක් පවත්වනවා. මම එයට ඉතාම සාර්ථකව මුහුණ දුන්නා. මං බෙල්ජියමට ගිහින් ඇවිත් විවාහ වුණා. මේ හැමදේකටම මගේ මහත්තයා මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
කෙසෙල්වල බීජ නැහැ. එනිසා මම ස්වභාවික කළලයක් කෙසෙල්වලින් නිපදවා එමඟින් පැළ ලබා ගන්නේ කොහොමද කියලා පරීක්ෂණ කළා. එක කෙසෙල් අංකුරයකින් පැළ 800ක් 900ක් හදන්න පුළුවන් පටක රෝපණ තාක්ෂණයක් අප දියුණු කළා. එය සාර්ථක වුණා. පී.එච්.ඩී. එකෙන් පස්සේ අපි දෙන්නාට ඇමෙරිකාවෙ පදිංචියට යන්න ලැබුණත් අපි දෙන්නම නැවත ලංකාවට ආවා. අපේ දැනුමින් රටට සේවයක් කරන්න වගේම මගේ පියා අපි එනතුරු බලන් හිටපු නිසා.
ඇයි ඔබ කෙසෙල් ගැනම පරීක්ෂණ කළේ?
කෙසෙල් කියන දේ අපේ රටේ සාර්ථකව වගා කරන්න පුළුවන් බෝගයක්. අපි කෙසෙල් කන්නේ ඩෙසර්ට් එකටනේ. අප්‍රිකානු රටවල මේ ඩෙසර්ට් එක තමයි ප්‍රධාන ආහාරය බත් වෙනුවට කන්නේ. ඒ අයගේ තිබෙන්නේ අපේ අළුකෙසෙල් වගේ වර්ගයක්. උයලා තම්බලා කන්න පුළුවන්. අප්‍රිකානු රටවල මෙය මස් වර්ග සමඟ ආහාරයට ගන්නවා. සමහර අය කෙසෙල් අල කනවා. අපේ රටෙත් කෙසෙල් ගසේ හැම කොටසකින්ම මීට වඩා ප්‍රයෝජන ගත හැකි බව මම රටට කියා දුන්නා. කෙසෙල් ගසත් අපට කප්රුකක් බඳුයි.
ලංකාවට ඇවිත් මොකද කළේ?
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ලෙස සේවය කළා. ඒ අතර පටක රෝපණය මගින් කෙසෙල් ගසින් තවත් ගස් ගන්න එක ගැන තවදුරටත් පරීක්ෂණ කළා. එයට මහවැලි අධිකාරිය සහයෝගය ලබා දුන්නා. ඒ කෙසෙල් පැල ව්‍යාපෘතියට මුදල් අවශ්‍ය වුණා. කෘෂිකර්ම ප්‍රතිපාදන කොමිසමෙන් ලැබුණු මුදලින් ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන්නට ලැබ් එකක් හැදුවා. ඒ අනුව ඇඹිලිපිටියේ කෙසෙල් වගාව ව්‍යාප්ත කරන්නට අපි කටයුතු කළා. ඒ වගේ විශ්වවිද්‍යාල පද්ධතියටත් මේ පටක රෝපණය පිළිබඳ තාක්ෂණ පාඨමාලා පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළත් කළා. මේ සියල්ල කළේ ප්‍රශ්න ගොඩක් මැද. එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් අපට නොයෙක් ප්‍රශ්න ඇති වුණා. ඉන්පසුව මෙවැනි කෙසෙල් පටක රෝපණ මධ්‍යස්ථානයක් හම්බන්තොට වැලිගත්තෙ ප්‍රදේශයේ අපි ඇති කළා. ඒ ව්‍යපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමඟ එකතුවෙලා පටන් ගත්තේ. අද එතැන සාර්ථක පටක රෝපණ මධ්‍යස්ථානයක්. එය අද උපාධි ලබාදෙන ආයතනයක් බවට පත්ව තිබෙනවා. එතැනින් අද ගොවි මහත්වරුන්ට ඔන් ලයින් උපාධිය දක්වාම යන්න පුළුවන්. කෘෂිකර්මයේ නියැළි ඉන්නා අය ලෙස වසර හතක් තුළ මේ උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්.
රටක හැමදෙනාම ඉගෙන ගන්න ඕන. ඒ අයට අවස්ථාව අපි හදලා දෙන්න ඕනෑ. ගොවි මහත්වරු කියන්නේ රජකමටත් සුදුසු අය. ඒ සංකල්පය මත අපි ඔවුන්ගේ දැනුම ඉහළට ගෙන එන්න ඕනෑ.
ලංකාවේ මෙය කරන එක පහසු වුණාද?
ඉතාම අසීරු වුණා. එවකට හිටපු පීඨාධිපතිවරුන් මේ පාඨමාලාව පටන් ගන්න කැමැත්තක් දැක්වූවේ නැහැ. මෙය හුඟක් ප්‍රශ්න මත ගොඩ ආ දෙයක්.
ඔබයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවේ පළමු සභාපතිනිය?
ඔව්. මම සහකාර මහාචාර්ය පදවියටත් එතනින් වසර කිහිපයකට පසු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවියටත් පත් වුණා. 2008 දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙසත් මම පත් වුණා. කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අතින් වගේම ක්‍රීඩා අතිනුත් විශ්වවිද්‍යාල පද්ධතියේ පළමු ස්ථානය බවට ගෙන එන්නට මට අවකාශ ලැබුණා. ඒ අතර 2013 දි මම යූජීසී සභාපතිනිය වුණා. එහිදී මම ගොඩක් දරුවනට විශ්වවිද්‍යාලයට ප්‍රවිශ්ටවීමට අවස්ථා සලසා දුන්නා. විශේෂයෙන්ම නව පාඨමාලා ඇති කළා. ඇත්තටම අප දෙදෙනාගේ දෙවැනි ගෙදර වුණේ විශ්වවිද්‍යාලයයි. ඒත් යූජීසියේදී කනගාටුදායක සිදුවීමකට 2015 දී මට මුහුණ දෙන්න වෙනවා.
ඒ කුමක්ද?
මාව පත් කරපු ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැතිව හිටපු ඇමති මට ඉල්ලා අස්වෙන්නට ලිපියක් එවනවා. මම හිතුවා මම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මට උදේ ද දවල්ද රෑද කියලා බලන්නේ නැතිව වැඩකළා. එවැනි රාජකාරියක් කරන මාව අවශ්‍ය නැත්නම් පැවැති රජයට මාව අවශ්‍ය නැත්නම් මම මේ තනතුරේ ගැටුම් මත ඉන්න අවශ්‍ය නැහැ කියලා මම නැවත විශ්වවිද්‍යාලයට ගියා. එදා එතැනින් ගියාට පස්සේ මට යන්න ගෙදරක් තිබුණෙ නැහැ. මොකද අපි හිටියේ නිල නිවාසෙක. පාරට බහින්න සිදුවුණා. (ඇගේ හඬ හැඟුම්බරවෙයි) පසුව මගේ මිතුරියක් මට තාවකාලිකව නිවෙසක් ලබාදුන්නා. මගේ එංගලන්තයේ වෙසෙන සොයුරිය සහ මගේ මවගේ සොයුරියන් මට උදව් කළා.
ජීවිතේ ගැන හැරී බලත්දී මොකද හිතෙන්නේ?
මට සතුටක් දැනෙනවා. මම මේ රටට ණය නැහැ. මම කාගෙවත් දේවල් අරගෙන නැහැ. මම මේ රටේ දහස් ගණනක් දරු දැරියන්ගේ දෑස පෑදුවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ට විවිධ පාඨමාලා වගේම විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනුම් කටයුතු කරන්න ඉඩප්රස්ථා ලබාදුන්නා. ඒ දැනුම රටට ගෙන ආවා. ආපසු බලත්දී මට ලොකු සතුටක් දැනෙනවා. මගේ දරුවන්ටත් අධ්‍යාපනය සාර්ථක කරගන්නට මම මඟ පෙන්නුවා. මවක් බිරියක් වගේම මහාචාර්යවරියක් ලෙසත් මම කරපු සේවය ගැන මට ලොකු සතුටක් දැනෙනවා.
මගේ අප්පච්චි කිව්ව දෙයක් මට මතක් වෙනවා. පුතේ රටටත් යමක් කරන ගමන් තමන්ටත් දෙයක් කරගන්න. තමා අමතක කරන්න එපා කියලා. අද මට හිතෙනවා එදා අප්පච්චි කිව්ව දේ මට අවුරුදු ගණනක්ම අමතක වෙලා තිබුණා නේද කියලා. මගෙන් රටට කළ හැකි හැමදේම මම සිදු කළා. ඒත් මට ඉන්න තැනක් හදාගන්න 2015 වන තුරු බැරි වුණා.
ජායාරූප සිරිපාල හල්වල