රාජ­සිංහ රජ බිස­වගේ හැට්ටය සංර­ක්ෂ­ණය කළේ මං | සිළුමිණ

රාජ­සිංහ රජ බිස­වගේ හැට්ටය සංර­ක්ෂ­ණය කළේ මං

රසා­යන විද්‍යා ක්ෂේත්‍ර­යෙ­න් පු­රා­වි­ද්‍යා­වට මෙහෙ­යක් කළ පළමු කාන්තාව - ආචාර්ය නන්දා වික්‍ර­ම­සිංහ

අපි ඉති­හා­සය දන්නේ නැති­නම් අපට හොඳ අනා­ග­ත­යක් තිබෙන්න විදි­හක් නැහැ. සැවොම අපේ ඉති­හා­සය ගැන දැනු­ම්වත් විය යුතුයි. අපි මේ වගේ ජාති­යක්, අපි මෙහෙම හිටපු අයයි කියන දේ දැක තව තවත් ඉදි­රි­යට යන්න ඕනෑය කියන සංක­ල්පය ළමා පර­පු­රට දිය යුතුයි. අප කවුද කියන එක හොයා­ගන්න පුළු­වන් ඒ වගේ තැන­කට ගියා­මයි.

ඇය මෙරට සිටින ජ්‍යෙෂ්ඨ­තම රසා­යන විද්‍යා­ඥ­ව­රි­යකි. එමතු නොව පරි­පා­ලන නිල­ධා­රි­ව­රි­යකි. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර කොම­සා­රි­ස්ව­රි­යක, අධ්‍ය­ක්ෂ­ව­රි­යක මෙන් ම ජාතික කෞතු­කා­ගා­රයේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය ලෙසත් ජාතික උරු­ම­යන් පිළි­බඳ අමා­ත්‍යං­ශයේ ලේකම් ලෙසත් වග­කීම් රැසක් දැරු­වාය. ඒ කාල සීමාවේ දී ඈ මෙරට පුරා­වි­ද්‍යා­ත්මක උරුම රැසක් සංර­ක්ෂ­ණය කි‍රීමට කට­යුතු කිරීම ද කතා­බ­හට ලක් කළ යුතු ය. සියලු අභි­යෝග හමුවේ මෙරට සෑම කාන්තා­ව­ක­ටම ආද­ර්ශ­යක් වෙමින් ඈ පැමිණි ගමන් මඟ පිළි­බඳ ඔබ කිය­විය යුතු ය. මන්ද ඇගේ දිවි­යෙන් ඔබේ දිවි­යට ද බොහෝ වටි­නා­කම් ලැබ ගැනු­මට හැකි බැවිනි.

ඔබගේ ළමා කාලය ගෙවී ‍ගියේ ගම්මා­න­යක. ඒ අතී­තය යළි මතක් කරන්න කැමැ­තිද?

අපොයි ඔව්. මගේ ගම හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ බෙලි­අත්ත ගම්මා­නය කිට්ටුව තිබෙන යටි­ගල කියන පොඩි ගම. මගේ තාත්ත ගමේ ගම්මු­ලෑ­දෑ­නියා ඔහු ටී. ජේ. ඩබ්ලිව්. මොහො­ට්ටාල. අම්මා ඩී. එෆ්. අබේ­සු­න්දර. මගේ ළමා කාලය ගෙවී ගියේ හරිම සුන්ද­රව. මට සහෝ­දර සහෝ­ද­රි‍යන් හත් දෙනයි. ගමේ ගෙදර තිබුණා විශාල වත්තක්. මේ වත්තේ නැති පල­තු­රක් නැහැ. ඒ වගේ ම අපේ ගෙද­රට තිබුණා කුඹුරු යායක්. මේ කුඹු­රු­වල දුව පැන ඇවිද්ද හැටි වගේම වත්තෙ තිබෙන පල­තුරු ගස්වල ගෙඩි කඩා­ගෙන කමින් විනෝද වුණු චම­ත්කා­ර­යෙන් පිරි සුන්දර ළමා වියක් මට තිබුණා. මම පවුලේ බාලයා නිසාම පවු­ලේම ආද­රය ලබන්න ඔවුන් සමඟ හුර­ත­ල්වෙන්න වැඩි වාස­නාව ලැබුණේ මට. තාත්තා කුඹුරු වැඩ කර­නවා. මට තවම මත­කයි අපි රෑට ඒ කුඹු­රු­වල ගොයම් කපලා ඉව­ර­වෙලා ගොයම් පාගන්නෙ හරි අපූරු විදි­යට. කමත වටේට පන්දම් පත්තු කරලා, ජන­කවි කිය­මින් තමයි ඒ වැඩ කට­යුතු සිදු‍ෙ­වන්නේ මේවත් මගේ ළමා කාලයේ මම අත්වින්දා.‍ ඒ වගේ ම මම අකුරු කරන්න ගියෙත් ගමේ පාස­ලට. හය වැනි ශ්‍රේණිය දක්වාම මම ඉගෙන ගත්තේ ඒ පාස­ලෙන්.

සහෝ­දර සහෝ­ද­රි­යන් සමඟ ගෙවුණු දිවිය?

මගේ අයි­යලා අක්කලා ගමේ පාසලේ නෙමෙයි අධ්‍යා­ප­නය කළේ නග­රයේ. පිට පාස­ල්වල ඉගෙන ගෙන, ඒ අය නිවාඩු කාලෙට තමයි ගෙදර එන‍්නේ. ඒ ආවම තමයි මට හුඟක් සතුටු. අපේ ගෙදර වටේ­ටම ඉන්නේ නෑදෑයො. විශේ­ෂ­යෙන් ම අවු­රුදු කාලය තමයි හුඟක් ම මතක. අපේ වත්තේ කජු­ගස් පිරිලා තිබුණා. උදේට අපි එක්කෙ­නාට එක්කෙනා හොරෙන් නැගි­ටි­නවා. ඒ උදේ පාන්දර ගස්යට වැටෙන කජු අහු­ලන්න. අනිත් අයත් නිවාඩු කාලෙට ගෙදර ආවම අයි­යල අක්කල අපි ‍ඔක්කොම එක්කෙ­නෙක්ට එක්කෙ­නෙක් හොරෙන් නැගි­ටල යනවා ඔක්කොම කජු අහු­ලන්න.

ඇත්ත­ටම, අද කාලෙ දරු­වන් ගැන මට කල්පනා වෙනවා. මට හරි දුකයි. ඔවුන් ගැන. අවං­ක­වම කිය­නවා නම් අපේ දරු­වන්ගේ දරු­වන්ට (මුනු­බු­රන්ට) අපිට වගේ සුන්දර ළමා කාල­යක් නැහැ. ඒ අය අපි ගත කරපු ළමා විය ගැන දන්නෙත් නැහැ, අහ­ලත් නැහැ. ඒ වගේ සුන්දර කාල­යක් අද දරු­ව­න්ටත් ලැබෙ­නවා නම් කොච්චර හොඳද කියලා හිතෙ­නවා. දැන් දරු­වන්ට සෙල්ලම් කරන්න කාල­යක් නැහැ. හැම තිස්සෙම පොත පත. අපි කාපු පල­තු­රු­වල හැටි­යට අද දරුවො කජු පුහු­ලන් දැක­ල­වත් තියෙ­න­වද දන්නේ නැහැ.

කුඩා කල ඔබ ඉගෙ­නු­මට දක්ෂ දරු­වෙක්ද?

අපේ කාලෙ ශිෂ්‍ය­ත්වය සමත් වුණාම යන්න පුළු­වන් වුණේ මධ්‍ය මහා විද්‍යා­ල­ය­කට පම­ණයි. අද වගේ ජාතික පාස­ල්ව­ලට එන්න බැහැ. යන්න පුළු­වන් වුණේ ඇතු­ළත් වීමේ විභා­ග­ය­කින් පම­ණයි. නුගේ­ගොඩ අනුලා විද්‍යා­ල­යට මම ඇතු­ළත් වෙන්නේ ඇතු­ළත් වීමේ විභා­ග­ය­කින්. මගේ අයියා වන­විට විද්‍යෝ­දය විශ්ව­වි­ද්‍යා­ලයේ භෞතික විද්‍යා අධ්‍ය­යන අංශයේ කථි­කා­චාර්ය වර­යෙක්. ඔහු තමයි පසුව හිටපු කාල­ගුණ විද්‍යා අධ්‍ය­ක්ෂක ආචාර්ය ඒ. ඩබ්ලිව්. මොහො­ට්ටාල.

ඔහු තමයි මාව අනුලා විද්‍යා­ලයේ ඇතු­ළ­ත්වීමේ විභා­ග­යට යොමු කළේ. උසස් පෙළ දක්වාම මම අධ්‍යා­ප­නය ලැබුවේ අනුලා විද්‍යා­ල­යේයි. ගමේ පාස­ලත් මේ පාස­ලත් අතර වෙන­සක් මට තිබුණා. මම ගමේ පාසලේ හැම­දා­මත් පන්තියේ පළ­මු­වැ­නියා වුණා. මම න‍ුගේ­ගොඩ අනුලා විද්‍යා­ලයේ දී පන්තියේ තුන්වැ­නියා වුණා. මම එදා ඇත්ත­ටම හරි­යට ඇඬුවා. පළ­වැනි වාර විභා­ග­යේදී මම තුන්වැ­නියා වුණු නිසා.

එයට හේතු­වක් තිබුණා. මම ගමේ පාසලේ ඉගෙ­නුම ලබද්දී හය­වැනි ශ්‍රේණියේ දී අපට ඉගැ­න්වූයේ අංක ගණි­තය පම­ණයි. ජ්‍යාමි­තිය, වීජ ගණි­තය ඉගැ­න්නුවේ නැහැ. ඒ නිසා මම ජ්‍යාමි­තිය වීජ ගණි­තය ඉගෙන ගෙන තිබුණේ නැහැ. ඒ නිසා මට ගණි­තය ප්‍රශ්න­යක් වුණා. ඒ නිසා තමයි මම තුන්වැ­නියා වුණේ‍. මගේ අයියා මාව අත්වැ­සුවා. මට බැරි ගණිත පාඩම් මුල සිට කියලා දුන්නා. දෙවැනි වාරෙ ඉඳල මම යළිත් පන්තියේ පළ­මු­වැ­නියා වුණා. ඉස්කෝ­ලෙන් ඉවත්ව යන දා තෙක් ම මම තමයි පන්තියේ පළ­මු­වැ­නියා වුණේ. උසස් පෙළ මම ගණිත අංශ­යෙන් ඉගෙන ගත්තා.

ඔබේ විශ්ව­වි­ද්‍යාල ජීවි­තය?

මම ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට තේරුණා. එහි ව්‍යව­හා­රික විද්‍යා­පී­ඨයේ ඉගෙ­නුම ලැබුවා. වසර හත­ර­කින් පසුව මම රසා­යන විද්‍යා විශේ­ෂ­වේදී උපා­ධිය ලබා­ගත්තා. මගේ විශ්ව­වි­ද්‍යාල ජීවි­තය හරිම සුන්ද­රයි. මගේ බැච් එකේ හිටියා විද්‍යා­ර්ථීන් දහ අට දෙනෙක්. එහි ගැහැනු ළම­යින් හිටියේ දෙදෙ­නයි. අපි දෙන්නාත් පිරිමි ළමයි දහසය දෙනා­මත් අද­ටත් මගේ හොඳ යාළුවෝ. ඇත්ත­ටම හරිම සුන්දර කාල­යක්. අපි ජය­ව­ර්ධ­න­පු­රට ගියේ 1973 දී. එත­කොට ජේ.වී.පී. කල­බල තිබිලා විශ්ව­වි­ද්‍යා­ලය වහලා තිබිලා විවෘත කළා විත­රයි. ‍අපේ බැච් එකට තමයි විශ්ව­වි­ද්‍යා­ලය විවෘත වුණේ. ඒ නිසා ද කොහෙද පුදුම විදි­හට අපිට නවක වදය විඳින්න වුණා.

රසා­යන විද්‍යාව තෝරා­ග­න්නට හේතු­වක් තිබුණා ද?

මම උසස් පෙළට ඉගෙ­න­ගත් විෂ­යන් තුනෙන්ම මට විශ්ව­වි­ද්‍යා­ලයේ දි උපා­ධිය හදා­රන්න අව­ස්ථාව තිබුණා. නමුත් මම කැමැති වුණේ රසා­යන විද්‍යා ක්ෂේත්‍ර­යට.

රසා­යන විද්‍යාව හැදෑ­රීම ඔස්සේ ඔබට තිබුණු බලා­පො­රොත්තු?

මම ඇත්ත­ටම, මුලින් ම හිතුවේ විශ්ව­වි­ද්‍යාල කථි­කා­චා­ර්ය­ව­රි­යක් වෙන්නයි. ටික කාල­යක් තාව­කා­ලික සහ­කාර කති­කා­චා­ර්ය­ව­රි­යක් ලෙස මම කට­යුතු කළා. නමුත් මම විවාහ වුණාට පසුව ඕස්ට්‍රේ­ලි­යා­වට යන්න සිදුවූ නිසා එයින් ඉවත් වුණා. එහෙදී මම රසා­යන විද්‍යා­වෙන් පශ්චාත් උපා­ධිය කරන්න පටන් ගත්තා. නැවත ලංකා­වට එන්න වුණා. එය අත­ර­මඟ නතර වුණා. එය පසුව ජර්ම­නි­යේදී තමයි මට සම්පූර්ණ කර­ග­න්නට ලැබුණේ. රසා­යන විද්‍යා ක්ෂේත්‍රය පිළි­බඳ විශාල දැනු­මක් ලබා­ගන්න එම­ඟින් මට අව­ස්ථාව ලැබුණා.

රසා­යන විද්‍යාව ඔස්සේ සමා­ජ­යට සිදු­වන සේවය ඔබ දකින්නේ කොහො­මද?

අපේ ජීවි­තයේ සමා­ජයේ හැම විෂය ක්ෂේත්‍ර­ය­ක­ටම වගේ රසා­යන විද්‍යා­වෙන් ප්‍රයෝ­ජන ලැබෙ­නවා. විශාල සේව­යක් එම­ඟින් සිදු කර­න්නට පුළු­වන්.

ඔබ කාන්තා­වක් ලෙස හොබ­වපු නිල­තල මොන­වාද?

මම විදෙස් ගත වී පැමිණි පසු සම්බන්ධ වුණේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට. එහි සහ­කාර කොම­සා­රිස් - රසා­යන විද්‍යා ලෙස මම සම්බන්ධ වුණා. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ දී මට විශාල වැඩ­කො­ට­සක් සිදු කර­න්නට හැකි වුණා. පුරා­වස්තු ගත්තම, ‍බිතු සිතු­වම් සංර­ක්ෂ­ණය, පුරා­වස්තු සංර­ක්ෂ­ණය වගේ සෑම කට­යු­ත්ත­ක­ටම දායක වෙන්නට මට හැකි­යාව ලැබුණා. එක සැර­යක්, මන්නා­රම මාන්තොට ලොකු කැණී­මක් තිබුණා. මම මාස ගාණක් පුරා ඒ ප්‍රදේ­ශ­යට වෙලා එයට දායක වුණා. විශාල පුරා­වස්තු ප්‍රමා­ණ­යක් ඒ කැණීම් ඔස්සේ සොයා ගන්නට පුළු­වන් වුණා. කාසි, වෙළෙඳ තොටු­ප­ළක් නිසා, විදේ­ශ­ව­ලින් හුව­මාරු වූ භාණ්ඩ. මේ දේවල් සංර­ක්ෂ­ණය කරන්න තමයි මම දායක වුණේ. ඊට අම­ත­රව තව දෙයක් තමයි ලංකාවේ පැරණි පන්ස­ල්වල බිතු­සි­තු­වම් සංර­ක්ෂ­ණය කර­න්නත් මට හැකි වුණා. සීගි­රිය, තිවංක පිළි­ම­ගෙය, දෙග­ල්දො­රුව රජ­මහා විහා­රය වගේ ඓති­හා­සික පුරා­විද්‍යා ස්ථාන­වල ඇති චිත්‍ර සංර­ක්ෂ­ණය කර­න්නත් මම දායක වුණා. සීගිරි චිත්‍ර­ හුණු බදාම මත තමයි ඇඳ තිබෙන්නේ. බිතු­සි­තු­වම් අඳිද්දී විවිධ තාක්ෂ­ණික ක්‍රම භාවිතා කර­නවා. සීගි­රියේ තමයි ලංකාවේ උසස්ම තාක්ෂ­ණික ක්‍රම භාවිත කරලා චිත්‍ර ඇඳ තිබෙන්නේ. නුවර කාලෙ බිතු සිතු­වම් වල තාක්ෂ­ණය වෙනස්.

සීගි­රියේ තෙත හුණු බදාමේ මත බන්ධන මාධ්‍ය­යක් භාවිතා කරලා තමයි ඒ සිතු­වම් ඇඳ තිබෙන්නේ. ඒ තාක්ෂ­ණය ලංකාවේ විශ්මි­තයි. ඒ වගේ ම පුල්ලි­ගොඩ ලෙන් චිත්‍රත් මම සංර­ක්ෂ­ණය කළා. පොලො­න්නරු යුගයේ චිත්‍ර තමයි එහි තිබුණේ.

රසා­යන විද්‍යා ක්ෂේත්‍ර­යෙන් පුරා­වි­ද්‍යාව උදෙසා මෙහෙ­ව­රක් කළ එකම කාන්තාව ඔබද?

මෙහෙ­මයි. දැන් බොහො­ම­යක් කාන්තා­වන් මේ ක්ෂේත්‍ර­යට යොමුවී සිටි­නවා. නමුත් මම පට­න්ගත්ත මුල් කාලයේ මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ නියැ­ළුණේ මම විත­රයි. මම වසර 24 ක් පු‍රාවිද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු කළා.

එහිදී ඔබ සංර­ක්ෂ­ණය කළ දේවල් මොන­වාද?

විශේ­ෂ­යෙන් ම ලංකාව පුරා විහා­ර­ස්ථා­න­වල පුරා­වි­ද්‍යා­ත්මක චිත්‍ර වගේ ම කාසි, මැටි බඳුන්, පිළිම වහන්සේ මම සංර­ක්ෂ­ණය කළා.

බුදු පිළිම වහන්සේ ගත්තම ඒවා කාලය අනුව යුගය අනුව විවිධ වෙනවා. හුණු­ගල් මඟින්, ගල් මඟින්, ලෝහ මඟින් හැදූ බුදු­පි­ළිම තමයි වැඩි. සම­හරු සිත­නවා පුරා­විද්‍යා කැණීම් මඟින් රත්ත­රන් බුදු­පි­ළිම ලැබෙ­නවා කියලා. ඇත්ත­ටම රත්ත­රන් බුදු පිළිම ලැබෙන්නේ ඉතාම ස්වල්ප­යක් පම­ණයි. බහු­ත­රය තඹ මිශ්‍ර ලෝකඩ.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ගැන කාන්තා­වක ලෙස ඔබට යමක් කිය­න්නට ඇති?

ඒ කාලෙ පුරා­වි­ද්‍යාවේ අද වගේ කාන්තා­වන් හිටියේ නැහැ. 1979 දී සහ­කාර කොම­සා­රිස් විදි­හට තමයි එයට බැ‍ඳෙන්නේ. එත­කොට මාණ්ඩ­ලික ශ්‍රේණියේ තන­තු­රක කාන්තා­ව­කට හිටියේ මම පම­ණයි. මට කැපිලි කෙටිලි නම් එමට තිබුණා. මට හිමි­විය යුතු උස­ස්වීම් පවා ලැබුණේ නැහැ. මම ඒ අභි­යෝග සිය­ල්ල­ටම මුහුණ දුන්නා. සාර්ථ­කව ජය ගත්තා. කාන්තා­වක් ලෙස රජයේ සේවයේ දී අසා­ධා­ර­ණ­යට විරු­ද්ධව ඉස්ස­රෝම පව­තින ඇමැ­ති­තු­මාට, ලේකම්ට, ආය­තන ප්‍රධා­නි­යාට විරු­ද්ධව මානව හිමි­කම් මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කරලා ඒක දිනපු පළ­මු­වැනි කාන්තාව මම. මට හිමි­විය යුතු උසස් වීම් නොදෙ­න්නට ඔවුන් කට­යුතු කළා. මම කොයිම වෙලා­ව­ක­වත් තන­තුරු ඉල්ලුවේ නැහැ. මට මේ තන­තුර දෙන්න කියලා. මට පෙන්වන්න අවශ්‍ය වුණේ අසා­ධා­ර­ණ­යට ඉඩ දෙන්න බැහැ කියන එක විත­රයි. මේ හැම­දේ­ටම මගේ මහ­ත්තයා මහා­චාර්ය ජගත් වික්‍ර­ම­සිංහ මා ළඟින් ම හිටියා. මාව දිරි­මත් කළා.

ඔබ කෞතු­කා­ගාර අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙසත් භාර­ධූර වග­කී­මක් කරට ගන්නවා?

මම පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉවත්වී කෞතු­කා­ගාර අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙස වැඩ භාර­ගත්තා. කෞතු­කා­ගා­රය මා භාර ගන්නා විට පැවැති තත්ත්වය වෙනස් කර­මින් එය දියුණු තත්ත්ව­ය­කට පත් කරන්න මට හැකි­යාව ලැබුණා. එයට ලංකාවේ පැවැති ජාත්‍ය­න්තර කෞතු­කා­ගාර සම්මේ­ල­නය පිටි­ව­හ­ලක් වුණා. එය පැවැ­ත්වෙ­න­විට මම අධ්‍ය­ක්ෂක ධූර­යට පත්වී ගතව තිබුණේ මාස ගණ­නයි. මේ අව­ස්ථා­වට පිට­ර­ටින් කෞතු­කා­ගාර ක්ෂේත්‍රය පිළි­බඳ ප්‍රවී­ණ­යන් සහ­භාගි වුණා. අපේ කෞතු­කා­ගා­රයේ ප්‍රද­ර්ශන ක්‍රම­යන් ගැන වගේ ම විවිධ දේ පිළි­බඳ ඔවුන් ගෙන් අද­හස් යෝජනා ලැබුණා. අපේ කෞතු­කා­ගා­රයේ අඩු පාඩු ඔවුන් මට පෙන්වා දුන්නා. හුඟක් තිබුණේ ප්‍රද­ර්ශන ක්‍රම­වේ­දයේ අඩු­පාඩු. ඒවා ගොඩක් දුරට සක­ස­න්නට මම උත්සාහ ගත්තා. ඒ වෙන‍ු­වෙන් පෞද්ග­ලික අංශය සම්බන්ධ කර­ගෙන කෞතු­කා­ගා­රයේ ව්‍යාපෘ­ති­යක් මම පටන් ගත්තා. පෞද්ග­ලික බැංකු­ව­කින් අපිට උදව් කළා. නමුත් ඒ වෙලා­වෙ­දිත් කෞතු­කා­ගා­රයේ ප්‍රද­ර්ශන අල්මාරි ගල­ව­පු­වාම ඒවා ඇතු­ළත වේයන් පිරී හිටි අයුරු මට මත­කයි. මම ඒවා ඉවත් කළා. ඒ වෙලාවේ පත්ත­රෙන් පවා මට විවිධ දේ ලිව්වා. මම හැම­දා­මත් සිතූ දෙයක් තියෙ­නවා. මේ රටෙන් මම ලබා ගන්නා වැටු­පට සේව­යක් කරන්න ඕනෑ කියන දේ. නැති­නම් මට එය හද­ව­තට එක­ඟව කරන්න බැහැ. මගේ ඒ මතය හැම­දා­මත් හිතේ තිබුණා. මම සමා­ජ­යට කිය­න්නෙත් තමා ගන්න පඩි­යට තමාගේ සේවය උප­රි­ම­යෙන් කරන්න කියලා. තන­තු­ර­කින් බැබ­ළෙන්න නෙමෙයි අවශ්‍ය. වැඩ කිරී­මයි. මට පැවැ­රුණු වග­කීම් මම කරලා තිබෙ­නවා. එනිසා එයින් මම උප­රිම තෘප්ති­යක් ලබ­නවා.

ඔ‍බේ යුගයේ කෞතු­කා­ගා­රයේ සිදුවූ දැවැන්ත සංර­ක්ෂණ කට­යුතු මොන­වාද?

කෞතු­කා­ගා­ර­යට මම යන­විට රෙදි පිළි අංශ­යක් තිබුණා. එහි තිබුණ ඉතා­මත් වටිනා පෞරා­ණික රෙදි­පිළි. රාජ­සිංහ රජුගේ බිස­වගේ හැට්ටය ඇතුළු සළුපිළි. (වෙන්කත රංග­ම්මාල් බිස­වගේ) ඒ රාජ­කීය සළු­පිළි අල්ලන්න බැරි තර­මට දිරලා තිබුණේ. කවු­රු­වත් ඒවා සංර­ක්ෂ­ණය කර­නවා කියා ඒවා අල්ලන්න බයේ තමයි ඉඳලා තිබුණේ. පැත්තට කරලා තිබුණේ. නමුත් අද ඔබ කෞතු­කා­ගා­ර­යට ගිහින් බලන්න. එය තවත් වසර ගණ­නක් පව­තින පරිදි ඉතාම පිළි­වෙ­ළට සංර­ක්ෂ­ණය කරලා තිබෙ­නවා. ඉන්දි­යාවේ විශේ­ෂ­ඥ­යින් ගෙන්වා කෞතු­කා­ගා­රයේ සේව­ක­යි­න්ටත් පුහු­ණු­වක් ලබා­ගන්න අව­ස්ථාව සල­සලා ඒවා සංර­ක්ෂ­ණය කළා. ඒක තමයි මම හිතන්නේ මම මේ රටට කරපු වටි­නාම සේවය කියලා. එය අද­ටත් මට අභි­මා­න­යක්. එය නැති­වෙලා යන තර­මට දිරලා තිබුණු ඇඳු­මක්.

ඉති­හා­සයේ, පුරා­වි­ද්‍යාවේ වටි­නා­කම දකින්නේ කොහො­මද?

ඇත්ත­ටම කෞතු­කා­ගා­ර­යෙන් පුරා­වි­ද්‍යා­වෙන් තමයි අපේ ඉති­හා­සය රැකී තිබෙන්නේ. අපි ඉති­හා­සය දන්නේ නැති­නම් අපිට හොඳ අනා­ග­ත­යක් තිබෙන්න විදි­හක් නැහැ. ඉතින් ඇත්ත­ටම හැමෝම පොඩි ළමයි පවා රැගෙන ගිහින් මේ දේවල් පෙන්විය යුතුයි. අපි මේ වගේ ජාති­යක්, අපි මෙහෙම හිටපු අය, අපි ඒවා දැකල, තව තවත් ඉදි­රි­යට යන්න ඕන කියන සංක­ල්පය ළමා පර­පු­රට අපි ලබා­දිය යුතුයි. ලේඛ­නා­ගා­රය ගත්තාම ලේඛන රක්ෂ­ණයේ ඉති­හා­සය ගැන ලිඛිත සාක්ෂි තිබෙන තැනක්. පුරා­වි­ද්‍යාව, කෞතු­කා­ගා­රය අපේ ඉති­හා­සයේ කොට­සක්. අප කවුද කියන එක හොයා­ගන්න පුළු­වන් ඒ වගේ තැන­කට ගියා­මයි.

ඔබ ජාතික උරු­මය පිළි­බඳ අමා­ත්‍යං­ශයේ ලේකම්?

2012 වසරේ සිට 2015 වසර වන­තුරු මම ඒ තන­තුර හෙබ­වූවා. එහිදී මම පරි­පා­ලන කට­යු­තු­වල නියැ­ලුණා. පුරා­විද්‍යා, කෞතු­කා­ගා­රය වගේ ම ලේඛ­නා­ර­ක්ෂ­ණ­යේත් වැඩ­ක­ට­යුතු මම සොයා බැලුවා. මම විශ්‍රාම යන­තුරු රටට කරපු සේවය ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ වෘත්තිය දිවියේ දී අති­ශය කන­ගා­ටු­දා­යක අව­ස්ථා­ව­ක­ටත් මම මුහු­ණ­පෑවා. ඒ මම මට හැකි සෑම අයු­ර­කින් ම කෞතු­කා­ගා­රයේ ආර­ක්ෂා­වට කැප­වෙද්දී එයට හොරු පැනලා කඩු හොර­කම් කර­ගෙන ගියා. ඒ සිදු­වීම මා කම්ප­න­යට පත් කළා.

පිට­ර­ට­ව­ලින් අපේ උරු­ම­යන් රැසක් අද­ටත් ගෙනි­හින් තිබෙ­නවා. ඒවා කෞතු­කා­ගා­ර­යට ගෙන්වා ගන්නට ඔබ උත්සාහ දැරුවේ නැද්ද?

මට කලින් සිටම සිටි කෞතු­කා­ගාර අධ්‍ය­ක්ෂ­ව­රුන් එයට උත්සාහ කර තිබුණා. නමුත් අපිට ඒ දේවල් ගෙන එන්නට බැරි වුණා. අද­ටත් විශාල ප්‍රමා­ණ­යක් අපේ රටින් ගෙන ගිය වටිනා භාණ්ඩ පිට­ර­ට­වල කෞතු­කා­ගා­ර­වල තිබෙ­නවා.

ඡායා­රූප - රංජිත් අසංක

Comments