කලල රූප හටගන්නේ කර්මානුරූපවයි | සිළුමිණ

කලල රූප හටගන්නේ කර්මානුරූපවයි

අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ සඳහන් වන අචේල කස්සප සූත්‍රය පිළිබඳ ව යි. තථාගත බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටියා. උන් වහන්සේ පෙරවරු කාලයේ හැඳ පොරවා පා සිවුරු ගෙන රජගහ නුවර පිණ්ඩපාතය පිණි‍ස පිවිසියා. ඒ අවස්ථාවේදී අචේල කස්සප කියන තාපසවරයා තථාගතයන් වහන්සේ වැඩම කරන ආකාරය දුර තියාම දැක්කා දැකලා බුදුරජාණන්වහන්සේ සමීපයට ගි‍හිල්ලා සතු‍‍ටු සාමිචී කතාවේ යෙදුණා සතුටු සාමීචී කතාවේදී එකත්පස්ව සිටි අචේල කස්සප තථාගතයන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා, භගවත් ගෞතමයන් වහන්ස කිසියම් දෙයක් පිළිබඳ ව අසන්නට තිබෙනවා; අවස්ථාව ලැබෙනවා නම් ඒ ප්‍රශ්නය විමසන්නද? කාශ්‍යප මේ ප්‍රශ්න අසන වේලාවක් නොවෙයි.

මේ ගමේ පිණ්ඩපාත හැසිරෙන වේලාව. මේ ආකාරයට ‍මේ කාශ්‍යප නම් තාපසයන් විසින් තුන්වතාවක් ප්‍රශ්න කරන්නට වුණා, මේ තුන් වතාවේදීමත් බුදුරජාණන් වහන්සේ විසින් මේ අාකාරයට පිළිතුරු දුන්නා‍. තුන්වන වතාවටත් ප්‍රශ්න අසන්නට සුදුසු නොවන වේලාවක් බව සදහන් කළා. එසේ කියු විට අචේල කස්සප කියනවා භගවත් ගෞතමයන් වහන්‍ස මම බොහෝ දේවල් පිළිබඳ ව අසන්නට උත්සාහ කරන්නේ නැහැ. ඉතා පුංචි දෙයක් ගැන පමණයි විමසන්නේ. ඒ පිළිබඳ ව අසන්න ද කියලා නැවතත් ප්‍රශ්න නඟනවා; තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා, එසේ නම් ඔබ කැමැති දේ අසන්න. කස්සප ප්‍රශ්නය විමසුවා. තථාගතයන් වහන්සේ ඒවාට පිළිතුරු දුන්නා.

භගවත් ගෞතමයන් වහන්ස, දුක තමා විසින් කරන ලද්දක් ද? කාස්සප එසේ කියන්නට එපා, කස්සප තාපසයන්ගෙන් නැවත අසනවා. දුක අනුන් විසින් කරන ලද්දක් ද? කස්සප එසේ කියන්නට එපා, සර්වඥයන් වහන්සේ පිළිතුරු දුන්නා. එ‍සේ නම් භගවත් ගෞතමයන් වහන්සේ දුක විසින් තමන් සහ අනුන් විසින් එකතු වී කරන ලද්දක් ද? කස්සප එසේ කියන්නත් එපා, දුක තමන් කළෙත් නැති නම්; අනුන් කළෙත් නැතිනම්, හේතුවක් නැතුව හටගත්තා ද? කස්සප එසේ කියන්නටත් එපා, එසේ නම් ගෞතමයන් වහන්ස දුක කියාදෙයක් නැතිද? කස්සප දුක කියා දෙයක් තිබෙනවා. ‍

එසේ නම් ගෞතමයන් වහන්සේ ඔබ දුක පිළබඳ ව දන්නේ නැද්ද; දුක පිළිබඳව අවබෝධ කරගෙන නැද්ද; කාස්සප මම දුක පිළිබඳව දන්නවා, මම දුක පිළිබඳ ව අව‍බෝධ කරගෙනයි ඉන්නේ. මම දුක පිළිබඳ ව දකිනවා, දුක තේරුම් අ‍රගෙනයි මම ඉන්නේ. කස්සප කියනවා භගවත් ගෞතමයන් වහන්සේ දුක තමන් විසින් කළා ද කී විට එසේ කියන්නට එපා; එසේ නැතිනම් අනුන් විසින් කළා ද කියලා විමසූ විට එසේ කියන්නටත් එපා කිව්වා; දුක දෙපාර්ශ්වය එකතු වී කළා ද විමසූ විට ‍එසේ කියන්නටත් එපා කියා ප්‍රකාශ කළා. දුක තමන් විසින් හෝ අනුන් විසින් නොකරන ලදුව නම් ඉබේ හටගත්තා දැයි ඇසූ විට එසේ කියන්නටත් එපා යැයි පිළිතුරු දුන්නා.

එසේ නම් දුක කියා දෙයක් නැති දැයි විමැසු විට දුක කියා දෙයක් ඇතැයි සඳහන් කළා. කස්සප මා දුක දන්නවා; මම දුක දකිනවා කියා ප්‍රතාශ කළා. භගවත් ගෞතමයන් වහන්ස දුක ගැන දේශනා කරන සේක්වා; තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. සැබැවින් ම මේ ප්‍රශ්න ටික, පිළිතුරු ටික තව දුරටත් විග්‍රහ කරන්නට වුණා. දුක කියන්නේ මේ දේවල්වලට ඉපදිම, වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත්වීම අප්‍රියයන්්්‍ හා එක් වීම, ප්‍රියයන්ගෙන් වෙන් වීම, සහ කැමැති දේවල් නොලැබී යෑම ආදී වශයෙන් වෙන් කරන්නට පුළුවන්. මෙයයි දුක විස්තර වශයෙන් විග්‍රහ කරන ආකාරය. කෙටියෙන් ම කිව්වොත් දුක තියන්නේ පංච උපාදානස්කන්දයටයි. චිත්තේන පංච උපාදානස්කන්දා දුක්ඛා යනුවෙන් බුදු රජාණන් වහසේසේ දේශනා කළා. දුක කියන්නේ අපේ ජීවිතයට කියන තවත් නමක්; අපේ ‍මේ ජීවිතය, අපේ මේ ආත්මභාවය තමන් විසින් ම මවන ලද දෙයක් නොවෙයි. අනුන් විසින් මවන ලද දෙයක් ද; සැබැවින් ම නැහැ. දෙවි කෙනෙක් විසින් හෝ ඊශ්වරයා විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ වෙන කෙනකුන් විසින් හෝ මවන ලද දෙයක් ද ? සැබැවින් ම ජීවිතය යනු කිසිවකු විසින් මවන ලද දෙයක් නොවෙයි. ඒ වගේම තමන් විසින් හෝ අනුන් විසින් එකතු වී කරන ලද දෙයකුත් නම් නොවෙයි‍. දුක ඉබේ හටගත්ත දෙයක් ද නොවෙයි.

දුක පිළිබඳ ව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයක් තිබෙයි. දුක තමන් කළා කියා කියන්නේ නැහැ , එවිට මිත්‍ය දෘෂ්ටියක් ඇති වෙනවා; තමන් විසින් ම කර්ම රැස් කරනවා. තමන් විසින්ම එ් කර්ම වල විපාක විඳිනවා කියලා අදහසක් ඇතිවෙනවා. එවිට මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙනවා. තමන් කරනවා, තමන් විඳිනවා කියන අදහස මිථ්‍යා දෘෂ්ටියට අයත් වෙනවා. එය ශාස්වත දෘෂ්ටිය කියා හඳුන්වනවා. ඒ ව‍‍ගේම අනුන් විසින් කළා කියලා කියන්නෙත් නැහැ; වෙන කෙනෙක් කරනවා, වෙන කෙනෙක් විඳිනවා කියන අදහස එය තුළ තිබෙනවා. එය උච්ඡේද දෘෂ්ටියයි. තථාගතයන් වහන්සේ ශාස්වත දෘෂ්ටියටත් උච්ඡේද ‍දෘෂ්ටියටත් නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් දුක හට ගන්නා ආකාරය පිළිබඳ දේශනා කළා. සැබැවින් ම දුක හට ගන්න හේතුව පටිච්ඡ සමුප්පාදය බව බුදුරජාණන් වහන‍්සෙ දේශනා කළා.

පටිච්ඡ සමුප්පාදය කියන්නේ ‍හේතු ඵලවාදයටයි. තවත් විදිහට කියනවා නම් දුක හට ගන්නා ආකාරය පටිච්ඡ සමුප්පාදයයි. පංච උපාදානස්කන්දය නැමැති දුක හට ගැනීමට හේතුව පටිච්ඡ සමුප්පාදය කියලා හඳුන්වන්නට පුළුවන්. පටිච්ඡ සමුප්පාදයේ අංග දොළහක් පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ දේශනා කළා. අවිද්‍යාව පළමු කාරණාවයි. අවිද්‍යාව කියන්නේ චතුර්යය සත්‍ය ධර්මය අවබෝධ නොවීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැති පිරිසක් ඉන්නවා. චතුරාර්යය සත්‍ය ඉගනගන්නවා කියන්නේ අවබෝධ තරගත්ත‍ා කියන අදහස ම නොවෙයි‍. ඒ පිළිබඳ සම්පුර්ණ අවබෝධයකට පැමිණෙන්නේ ‍නි‍ෙක‍ලෙස් මහ රහතන් වහන්සේලායි.

මෙය අවබෝධ නොවීම අවිද්‍යාව කියලා කියනවා. දෙවැන්න සංස්කාර. සංස්කාර කියලා මෙහිදි විස්තර කර දෙන්නේ කර්මය පිළිබඳවයි. කර්මය කියා විග්‍රහ කෙරෙන‍්නේ චේතනාවයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමී... මහණෙනි චේතනාව කර්මය යැයි මම දේශනා කරමි; කියා බුදුරජාණන් වහන්සේ වදාළා. කර්මය ද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කයින් රැස් කරන කුසල් සහ අකුසල් කාය සංකාර කියා හැඳින්වෙනවා. සංකාර කියන්නේ කර්මයට කියන තවත් නමක්්‍‍. වචනයෙන් රැස්කරන කුසල් සහ අකුසල් වචීසංකාර කියා කියනවා. සිතින් රැස් කරන කුසල් සහ අකුසල් චිත්ත සංකාර කියලා බුද්ධ දේශනාවේ හඳුන්වනවා. ඒ වගේම කුසල කර්මයන් පුඤ්ඤාභි සංකාර යන නමින් හඳුන්වනවා. අකුසල කර්මයන් අභිඤ්ඥාභි සංකාර කියා හඳුන්වනවා.

රූප කියල කියන්නේ සතර මහ ධාතුන්ගෙන් හට ගන්නා ලද මේ ශරීරයට කියන නමක්. විඤ්ඤාණය නිසා වේදනා, සඤ්ඤා, සංකාර කියන ස්කන්ධ තුනක් මේ සතර මහා ධාතුන්ගෙන් හට ගන්නවා. ඒ වගේම සතර මහා ධාතුන්ගෙන් හට ගත් රූප ස්කන්ධයක් ඇති වන බවත් සර්වඥයන් වහන්සේ දේශනාකොට වදාළා. විඤ්ඤාණය නිසා නාම රූපය හට ගන්නෙ කෙසේද? මව් කුසේ ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් හට ගන්නා මොහොතේදී ම ඒ ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් සමඟම වේදනා, සඤ්ඤා, සංකාර කියන ස්කන්ධ තුනත් හට ගන්නවා. ඒ වගේම එ් ස්කන්ධවල පැවැත්මට කලල රූප හට ගනිමින් රූපයේ පහළ වීම හට ගන්නවා. මේ ආකාරයට හට ගන්නා වේදනා, සඤ්ඤා, සංකාර කියන ස්කන්ධ ලෙසිනුත් සතර මහා ධාතුන්ගෙන්ගෙන් හට ගන්නා කලල රූප වශයෙන් ද හඳුන්වනු ලබනවා.

මේ නාම රූප පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කළහොත් වේදනා කියන්නේ විඳීමටයි; සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් මේ වේදනාව තුන් ආකාර වෙනවා. සඤ්ඤා කියන්නේ හඳුනා ගැනීමට. රූප, ගන්ධ, ශබ්ධ, ස්පර්ශ රස, ස්පර්ශ පහස, සිතුවිලි හඳුනා ගැනිම යනුවෙන් කො⁣ටස් හයකට බෙදෙනවා. සංකාර කියන්නේ සිතුවිලිවලට. රූප මුල්වී පහළ වන, සිතුවිලි ශබ්ද මුල්වී පහළ වන, රසය මුල්වී පහළ වන, ගන්ධ මුල්වී පහළ වන, සිතට එන සිතුවිලි මුල් වී පහළ වන සිතුවිලි වශයෙන් සිතුවිලි හෙවත් චේතනාව හය වැදෑරුම් වෙනවා. එ් වගෙම රූප කියන්නේ කුමක්ද? රූප කියල මුලින් සඳහන් කරන්නේ කලලය කියලා අපි හඳුනා ගත්තා. වර්තමානයේ සඳහන් කරන ආකාරයට මව්පිය ජීව සෛල මුල්කරගෙන මේ කලල රූප හට ගන්නවා. නමුත් තථාගතයාණන් වහන්සේගේ දේශනාව අනුව කලල රූප හට ගන්නෙ කර්මානූකූලවයි. එය අභිධම්මයේදී කටත්තා රූප කියන නමින් හඳුන්වනු ලබනවා. කලලය ටිකින් ටික වර්ධනය වන අයුරු පවා තථාගතයාණන් වහන්සේ ගේ දේශනාව තුළ පැහැදිලි කර තියෙනවා. ඒ පිළිබඳ ලබන සතියේ ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කරමු.

Comments