
බිඳුණු බැඳුම
ඒ සති අන්තයේ දිනයකි.
මා සිටියේ අසල්වැසි මිතුරියකගේ නිවෙසේ ය.
මිතුරියත්, මමත් සාලයට වී සැහැල්ලු කතාවක නිරත වි සිටියෙමු.
ඇගේ බාල නැගණිය පැමිණ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළා ය.
අපේ ඇස් ද නොදැනුවත්ව ම එදෙස ඇදී ගියේ ය.
ඉන් තරුණයකුගේ මුහුණක් මතු විය. ඒ දුටු හැටියේ ම මා මිතුරියට ‘ආහ්!’ කියැවිණ. ඇගේ ස්වරූපය වෙනස් විය. ඇය නැගිට ඉස්තෝප්පුව ද පසු කොට මිදුලට බැස්සා ය.
මම ද, ඇය අනුව ගියෙමි.
වත්තේ කෙළවර උණ පඳුරක් යට ලොයි බංකුවක් සවි කර තිබිණ. ඇය එහි ගොස් හිඳ ගත්තා ය. මම ද ඇය ළඟ හිඳ ගතිමි.
ඇය යථා තත්ත්වයට පත් වන තුරු මම අහස දෙස බලා සිටියෙමි.
‘ඒ මූණ දැක්ක හැටියෙ මට කරන්ට් එක වැදුණ වගේ උණා. ඒකයි මේ...’ ඇය මගේ අත මිරිකා ගත්තා ය.
‘කවුද ඒ? ඔයාගෙ...?’
‘මගෙ නෙමේ. මගෙ හොඳ ම යාළුවෙක් බඳින්ඩ හිටිය කෙනා...’
ඇය දිගු කතාවක් කියන්නට පටන් ගත්තා ය.
ඒ මෙබඳු ය.
මගේ මිතුරිය රජයේ සේවාවට බැඳෙන්නට පෙර එක්තරා ආයතනයක රැකියා පුහුණුව ලබමින් සිටියා ය. එහිදී ඇයට එහි ස්ථිර සේවිකාවක ව සිටි නිල්මිණි සමීප වූවා ය. කා සමඟත් ඉතා යහපත් ඇසුරක් පැවැත් වූ, කාටත් උදව් උපකාර කරන නිල්මිණි ගේ ඇසුර ඇයට විශාල ශක්තියක් විය.
නිල්මිණිට පෙම්වතෙක් සිටියේ ය. වෙනත් ආයතනයක රැකියාව කරන ඔහු දිවා විවේකයේ දී දිනපතා ම පාහේ නිල්මිණි සොයා ආවේ ය. නිල්මිණි පුරුද්දක් හැටියට ඔහුට ද අහර ගෙන ආවේ ය. අපි තිදෙන එකට අහර වැළඳුවෙමු.
‘ඔයා දැක්ක නේද? දැන් අර රූපවාහිනියෙ කතා කරන්නෙ එයා! අපි විහිළු කර කර කාපු හැටි මට තව ම මතකයි. නිල්මිණි ඉන්නෙ හුඟක් දුර. එයා පාන්දර නැගිටගෙන තමයි උයල ඒ කෑම අරං ආවෙ. එයා කොච්චර ආදරෙන් ද ඔය මනුස්සයට දවල් කෑම වේල හදාගෙන ආවෙ.’ ඇය හඬන්නට පටන් ගත්තා ය.
ටිකකින් හැඬුම පාලනය කර ගත් ඇය කතාවේ ඉතිරි කොටස ද කීවා ය.
‘අවුරුදු දෙකකට පස්සෙ මං ආණ්ඩුවෙ රස්සාව හම්බ වෙලා ඒකට ගියා. ඒ යද්දි නිල්මිණි මාව බදාගෙන සුබ පැතුව. ඉන් පස්සෙ විවේකයක් ලැබුණු හැම වෙලේ ම එයා මට කෝල් කරල තොරතුරු කිව්ව. ළඟදි බඳිනවයි කිව්ව. මටත් අනිවාර්යයෙන් ම කියනවයි කිව්ව. කෙල්ල එයාලගෙ අනාගත ලෝකෙ ලස්සනට සැලසුම් කරගෙන තිබුණ... හැබැයි ටිකින් ටික කසාදෙ කල් ගියා. ඔහොම අවුරුද්දක් දෙකක් විතර යන කොට අපේ ආශ්‍රයත් ටිකක් මගෑරිලා ගියා...’
‘ඉතිං?’
‘දවසක් මට හදිස්සියෙ පාරෙදි නිල්මිණි මුණ ගැහුණ. එයාව අඳුර ගන්ඩත් බැරි තරමට කෙට්ටු වෙලයි හිටියෙ. මං පුදුම වෙලා ‘මොකද මේ ඔයාට වෙලා තියෙන්නෙ? කියල ඇහුව. එතකොට නිල්මිණි ‘අනේ බලන්ඩකො මට වෙච්ච දේ කියල මාව බදාගෙන ඇඬුව.’
සිදු වී තිබුණේ නොසිතූ දෙයකි. දිනක් ඇගේ පෙම්වතා දුරකථනයෙන් ඇය අමතා තමාට අලුත් යෙහෙළියක මුණ ගැසුණු බවත්, ඇය ධනවත් නිවෙසක එක ම දියණිය බවත්, විවාහය කඩිනම් කරන ලෙස ගෙවල් දෙකෙන් ම බල කෙරෙන බවත් කීවේ ය.
‘අනේ නිකං විහිළු කතා කියන්ඩ එපා අනේ!’ නිල්මිණි කීවා ය.
‘විහිළුවක් නෙමේ ඇත්තමයි. මට මේක ඔයාගෙ මූණ බලාගෙන කියන්ඩ බැරිකමටයි මෙහෙම කතා කරන්නෙ. ඔයා මට හුඟක් උදව් කරල තියනව. මට ඒව අමතක නෑ. ඒවට හද පත්ලෙන් ම ස්තුතියි. ඔයා තරහ වෙන්ඩ එපා මට මේ යෝජනාවට කැමති වෙන්ඩ වෙනව...’ ඉන් එහාට ඔහු කී දේවල් ඇයට නෑසුණේ සිහිසුන්ව මේසය මතට කඩා වැටුණු බැවිනි.
මම විමතියෙන් ගොළු වීමි.
ඇය දිගට ම කතා කළා ය.
‘.. අනේ ඒ අසරණී ඔය මනුස්සයට අවුරුදු ගානක් උයාගෙන ආවෙ හරි ආදරෙන්. එයා අනාගතේ සිහින මාලිගාවක් මවාගෙනයි හිටියෙ. එයා ගෙදරට, ඔෆිස් එකට මූණ දුන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. මොකක්ද අනේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ? ඇයි මෙහෙම බලාපොරොත්තු දෙන්නෙ? ඇයි බොරු කරන්නෙ? ඇයි සල්ලි බාගෙ දැක්ක ම සේරම පොරොන්දු අමතක වෙන්නෙ?’
ඇගේ දෑසින් කඳුළු කැට වැටුණේ ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
ඔරලෝසු තෑග්ග
ඒ අන්තර්ජාතික ක්‍රීඩා තරගයකි, ඊට රටවල් ගණනාවකින් ක්‍රීඩා කණ්ඩායම් සහභාගි වී සිටියහ.
එක්තරා රටක් නියෝජනය කැරුණු කණ්ඩායමක් තමන්ට අදාළ හැම තරගයකට ම සහභාගි වීම සඳහා පැමිණියේ ප්‍රමාද ව ය.
ඔවුන් දක්‍ෂතා පෙන්නුව ද ඔවුන්ගේ ප්‍රමාදය නිසා තරග සංවිධායකයන්ට අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය.
ක්‍රීඩා තරගය නිම වූ පසු ක්‍රීඩකයෝ තම තමන් ලද ජය සංකේත ද රැගෙන ඒ ඒ රටවල් බලා පිටත් ව ගියහ.
තරගයේ අදාළ ඉසව්වලට පමා වී පැමිණි අර කණ්ඩායමේ සාමාජිකයන් හැමෝට ම වෙනත් රටවල ක්‍රීඩකයන්ට නොලැබුණු විශේෂ තෑග්ගක් ලැබී තිබිණ.
සිය රටට පැමිණි ඔවුන් පළමුවෙන් ම කළේ අර විශේෂ තෑගි පෙට්ටි විවර කර බැලීම ය.
ඒවායේ වූයේ කටු නැති ඔරලෝසු ය.
මින් විමතියටත්, කෝපයටත් පත් ක්‍රීඩා කණ්ඩායමේ නායකයා සිය රටේ ක්‍රීඩා භාර වගකිවයුත්තා දැනුවත් කළේ ය. ඒ වගකිවයුත්තා ක්‍රීඩා තරගය පැවති රටේ වගකිවයුත්තා අමතා කටු නැති ඔරලෝසු දීම ගැන පැමිණිල්ලක් කළේ ය.
එවිට ලැබුණේ මෙවන් පිළිතුරකි.
‘ඔරලෝසුවලට කටු ඕනැ වෙන්නෙ වෙලාවට වැඩ කරන අයටනෙ’...
වත්තල, හැඳල අ. ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.