බස්නා­හි­රින් පස්පව් දුර­ලමු වැඩසට­හන අද බොහෝ සාර්ථ­කයි | සිළුමිණ

බස්නා­හි­රින් පස්පව් දුර­ලමු වැඩසට­හන අද බොහෝ සාර්ථ­කයි

බස්නා­හිර පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ අනිල් සම­ර­නා­යක

ඔහු බස්නා­හිර පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස මේ වන­විට බාර­ධූර වග­කී­මක නියැ­ළෙ­න්නෙකි. විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වුව ද ඔහු කලා­වට, මේ සමා­ජ­ය­ට‍ ­සි­දු­කර ඇති මෙහෙ­වර කතා­බ­හට ලක් කළ යුතුය. සමා­ජය දැනු­ම්වත් කර­න්නට ‍ඔහු රචනා කළ පොත­පත සේම, ප්‍රධාන පෙළේ චරි­තා­ප­දාන ද කිහි­ප­යකි. ඔහුගේ එක් විශේ­ෂ­ත්ව­යක් වන්නේ සින­මා­වට ඇති ඇල්මය. හෙළ සින­මාවේ සක්විති ගාමිණි ෆොන්සේකා ළඟින් ඇසුරු කළ ඔහු ගාමිණි චරි­තය ගැන බොහෝ දේ දන්නේය. අනිල් සම­ර­නා­යක ලෙස කවු­රුත් හඳු­නන මේ අපූරු වෛද්‍ය­ව­රයා ගැන පෙළ ගැහෙන ඔහුගේ කතාව ඔබ­ටත් වටි­නා­ක­මක් ගෙනෙනු ඇත.

* හිමා­ල­යට ගොස් භාවනා කරන්න ගාමිණී ෆොන්සේ­කාට ඕනෑ­වෙලා තිබුණා
* ය­වැ­ඩි­යාව තුරන් කිරීම, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවි­තය නතර කිරීම යන දිගු­කා­ලීන ගැට­ලු­ව­ලට විස­ඳුම් සොය­නවා
* අපේ ළමා කාලය ගත වුණේ සැහැ­ල්ලු­වෙන්. අපි සමා­ජය ගැනත් හොඳ අධ්‍ය­ය­න­ය­කින් හිටියා.

ඔබේ ළමා අව­ධිය ගෙවුණු අතී­ත­යට මුලින් ම අපේ කතා­බහ ගෙන යමු?

මම ඉප­දුණේ කඩ­වත‍. කොළ­ඹට ඉතාම ආසන්න ප්‍රදේ­ශ­යක. ග්‍රාමීය ලක්ෂණ මොන­වත්ම නැති ප්‍රදේ­ශ­යක ඉප­දුණා කිව්වොත් හරි. අපේ ගෙදර පිහි­ටලා තිබුණේ ගණේ­මුල්ල පාර අයි­නෙම තමයි. මගේ තාත්තා සනී අබේ­වි­ක්‍රම‍. ඔහු ශ්‍රී ලංග­මයේ තමයි සේවය කළේ‍. ඊට පෙරා­තුව පෞද්ග­ලික බස් සමා­ග­මක සේවය කළා‍. අම්මා ගෘහි­ණි­යක්. ඇය සෝමා මල්දෙ­ණිය. මට සහෝ­ද­ර­යින්ම තිදෙ­නෙක් ඉන්නේ. මම තමයි පවුලේ බාලයා. ඒ නිසා ම අපේ ගෙදර හු‍රතලා වුණේ මම. මගේ සීයා කතෝ­ලික ආගමේ. තාත්තා පසු කලෙක බෞද්ධා­ගම වැලඳ ගන්නවා. මේනිසා කුඩා කාලයේ අපේ නිවෙසේ පැවැ­තුණේ බට­හිර පන්න­යට නැඹුරු පරි­ස­ර­යක්. මගේ අම්මා බෞද්ධ. ඇය ගම්පහ අස්ගි­රියේ. අම්මා බෞද්ධ නිසා ම අපිත් ආග­මට දහ­මට හුඟක් නැඹුරු වුණා.

ඔබේ පාසල් කාලය ගැන දැන­ගන්න කැමැ­තියි?

මම මුලින් ම පාසල් ගියේ ගමේ ධර්ම­දාස කනිෂ්ඨ විද්‍යා­ල­යට. ශිෂ්‍ය­ත්ව­යෙන් මහර ආස­නයේ ඉහ­ළම ලකුණු ලබා කොළඹ රාජ­කීය විදු­හ­ලට තේරු­ණත් මම ඉන්ප­සුව හය­වන ශ්‍රේණි­යෙන් පසුව ඇතු­ළත් වුණේ ගල­හි­ටි­යාව මධ්‍ය මහා විද්‍යා­ල­යට. අපි පදිං­චිව සිටි ප්‍රදේ­ශය නාග­රි­ක­ක­ර­ණ­යට හසු­වුණු ප්‍රදේ­ශ­යක් නිසා අපේ ගෙවල් අවට සිංහල බෞද්ධ වගේම කතෝ­ලික, දෙමළ, මුස්ලිම් පවුල් ජීවත් වුණා. ඒ වගේ ම බර්ගර් පවුල් ද අපේ ගේ අවට නිවෙ­ස්වල කුලි­යට වාසය කළා. ඉතින් මේ හැම ගෙද­ර­කම වගේ දරුවො පුංචි අපේ යාළුවො වුණා. මේ දරු­ව­නුත් එක්ක තමයි මගේ ළමා­වි­යත් ගෙවී ගියේ. එනිසා විවිධ සංස්කෘ­තීන් ගැන ආගම් ගැන වගේ ම සංහි­දි­යාව කියන දේ කුඩා කළ සිටම මම අත්දැක්කා. අපි නත්ත­ලට නත්තල් සම­ර­නවා අවු­රුදු දාට අලුත් අවු­රුදු සම­ර­නවා.

කුඩා අව­ධියේ ඔබ ඉගෙ­නී­මට හප­නෙක් ද?

ඔව්. මම ඉගෙන ගන්න දක්ෂ­යෙක් වුණා. එයට හේතු­වක් තිබුණා. මගේ පවුල් පසු­බිම. මගේ සීයා, තාත්තා පරි­ශී­ල­නය කළ විශාල පරණ පොත් පෙට්ට­ග­මක් අපේ ගෙදර තිබුණා. පොත් කිය­වන එකට අපේ ගෙදර කුඩා කාලයේ සිටම පරි­ස­රය සැකසී තිබුණා. මම පහ ශ්‍රේණි­යට යන­විට ඩබ්ලිව්. ඒ. සිල්වාගේ පොත් සිය­ල්ලම වගේ කියවා තිබුණා. විජ­යබා කොල්ලය, සුනේත්‍රා වගේ. අපේ ගෙදර හැම­දෙ­නාම පොත් කිය­ව­නවා. පොත් කිය­වීම ඇරුණු කොට මගේ ආච්චි අම්මා අපි පිරිමි දරුවො හතර දෙනාම තුරුලු කර­ගෙන රාත්‍රියේ නිදන්න යන­විට කවි පොත් කිය­ව­නවා. පත්තිනි හෑල්ල, සිංහ­වල්ලි වගේ කතා ආච්චි තාල­යට ගායනා කර­නවා. පුංචි අපිත් ඒවා අහ­ගෙන ගායනා කර­නවා. මේ නිසා කලාව කියන දෙයට අපි නිරා­යා­ස­යෙන් ම නැඹුරු වුණා. පවුල් පසු­බිම නිසාම කිය­වී­මට මම හුරු­වුණා වගේ ම තවත් දෙය­ක­ටත් හුරු වුණා. ඒ චිත්‍ර­පට බලන්න. අපි පාඩම් වැඩත් කර­ගෙන එදි­නෙදා ජීවි­තය බොහොම සතු­ටෙන් සර­ලව ගෙන ගියා. මට අයි­යල තුන් දෙනෙක්ම උන්නු නිසා සංගී­තය රස­වි­ඳින්න, චිත්‍ර­පට බලන්න යන්න අව­ස්ථාව වැඩි­පුර ලැබුණා. තාත්තා වුණත් නිතර චිත්‍ර­පට නැර­ඹුවා. අයි­යලා බැංකු සේවය, නාවික සේවය තෝරා ගත්තා. මම වෛද්‍ය ‍අංශයට යොමු වුණා.

මොන­වද ඔබේ ළමා දිවි­යෙන් සමා­ජ­යට දිය හැකි පණි­වි­ඩය?

මෙහෙ­මයි. අපි ළමා කාලය ගත කළේ හරි ම සැහැ­ල්ලු­වෙන්. අධ්‍යා­පන කට­යුතු කරන අත­රෙම සමා­ජය ගැනත් හොඳ අධ්‍ය­ය­න­ය­කින් හිටියා. ගමේ මඟුල් ගෙයක්, මළ ගෙද­රක් වුණොත් ඒවා­ටත් සහ­භාගි වුණා. කිසිම දෙයක් මඟ හැරියේ නැහැ. ගෙදර පිරිමි ළමයි හතර දෙනෙක් ඉන්නවා කියන්නේ තර­මක් බැරෑ­රුම්. නිත­රම සෙල්ලම් කර­නවා. ක්‍රිකට් ගහ­නවා. අපි හතර දෙනා­ගෙම යාළු­ව­න්ගෙන් නිත­රම අපේ ගෙදර පිරිලා තිබුණා. හරි­යට ක්ලබ් එකක් වගේ. හැම තිස්සෙම කොලු ගැටව් පිරිලා. මගේ යාළුවො පවා ගෙද­රට ආවාම ඉස්‍ස­රෝම කරන්නේ මම ඉන්න­වද කියලා බල­න­එක නෙමෙයි. අපේ කුස්සි­යට ගිහිල්ලා තියෙන දෙයක් බෙදා­ගෙන කන එකයි. පස්සෙ තමයි මම ඉන්න­වද කියලා බලන්න මගේ කාම­ර­යට එන්නේ. මේ විදි­හට මගේ යාළුවො, අපේ ගෙද­රට එන එකට තවත් එක් හේතු­වක් වුණේ අපේ ගෙදර පිහිටා තිබුණු ස්ථානය. ලොකු වත්තක් ඇතුළෙ තමයි ගෙදර තිබුණෙ. අනෙක පාර අයි­නෙම වගේ. ඊට අම­ත­රව ගමේ අය පවා අපේ වත්තට ඇවිත් නිකම් ගොඩ­වෙලා යන ගති­යක් තිබුණා.

වෛද්‍ය විද්‍යාල ජීවි­තය ගැනත් කතා කරමු?

මම 1985 දී විශ්ව­වි­ද්‍යා­ල­යට තේරුණා. පළමු පාර මාව තේරුණේ ජීව විද්‍යා අංශ­යට. ඉන්පසු දෙවන වර විභා­ග­යට පෙනී ඉඳලා කොළඹ වෛද්‍ය විද්‍යා­ල­යට ඇතු­ළත් වුණා. ඒ 1986 දීයි. වෛද්‍ය විද්‍යා­ල­යට තේරු­ණා­මත්, මම මගේ පැවැත්ම වෙනස් කළේ නැහැ. සාමා­න්‍ය­යෙන් වෛද්‍ය විද්‍යා­ල­යට තේරුණු වෛද්‍ය ශිෂ්‍ය­යන් දවස පුරාම පාඩම් කළත් මම ඒ ගන­යට වැටුණේ නැහැ. මම සින­මා­වට කලා­වට හුඟක් කැමැ­ත්තෙන් හිටියා. ඒ නිසා කලාව නිතර ඇසුරු කළා. විශ්ව­වි­ද්‍යාල ජීවිතේ දී එය තව වැඩි වුණා. ඒ නිසා මම සිංහල චිත්‍ර­පට, බට­හිර චිත්‍ර­පට මේ දෙඅං­ශ­යම නිතර නැර­ඹුවා. රීගල්, රියෝ වගේ චිත්‍ර­පට ශාලා­වට එන ඉංග්‍රීසි චිත්‍ර­පට එක­ක්වත් අත් හරින් නැතිව නිතර නැර­ඹුවා. ඒ ඇරෙන්න මම ඉඳල හිටල පත්ත­ර­ව­ල­ටත් ලියන්න පටන් ගත්තා. වෛද්‍ය විද්‍යා­ල­යට ඇතු­ළත් වුණාට පසුව මා හා සමාන අද­හස් ඇති අය කිහිප දෙනෙක්ම එක්‍කාසු වෙලා එහි කලා සංග­ම­යක් පිහි­ටුවා ගත්තා. සිනමා සමා­ජ­යක් හැදුවා. වෛද්‍ය විද්‍යා­ලයේ එහෙම තත්ත්ව­යක් කව­දා­වත් තිබිලා නැහැ. මම තමයි එයට පෙර­මුණ ගත්තේ. අපි වෛද්‍ය පීඨයේ චිත්‍ර­පට පෙන්ව­න්නට පටන් ගත්තා. ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහ­ත්ත­යාගේ නිවෙ­සට ගිහින් පවා මම ‘බැද්දේ­ගම’ චිත්‍ර­ප­ටය වගේ චිත්‍ර­පට ඉල්ල­ගෙන ආවා. ඇවිත් කැම්පස් එකේ පෙන්නුවා. ඒ විදි­හට පළමු වසරේ ඉඳ­ලම අපි කලා­වට කොළඹ වෛද්‍ය විද්‍යා­ලයේ වෛද්‍ය සිසු­නට නැඹු­රු­වක් ඇති කළා‍. මෙඩි­කල් කොලෙජ් එකට එය අලුත් අත්දැ­කී­මක් වුණා. මේ හින්දම මෙය මගේ වෛද්‍ය විද්‍යාල ජීවි­තයේ සුවි­ශේෂී මත­ක­යත් වෙනවා. ඊට පස්සේ පෞද්ග­ලික වෛද්‍ය විද්‍යාල කල­බ­ල­යක් ඇති වෙන­වත් එක්කම වසර දෙකක් පමණ කොළඹ වෛද්‍ය විද්‍යාල පරි­ශ්‍රය වසා දැමුවා. ඒ කාලෙත් මම නිකං හිටියේ නැහැ නොයෙ­කුත් වෘත්තී­න්වල යෙදුණා. මට එය ලොකු පන්න­ර­යක් වුණා.

බ වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ ප්‍රධා­නියා වුණා?

මම හිතු­වෙ­වත් නැහැ. ඊට අවු­රුදු 20 කට විතර පස්සේ මම වෛද්‍ය පරී­ක්ෂණ ආය­ත­නයේ අධ්‍ය­ක්ෂක ධූර­යට. පත්වු­ණාම මට හරිම පහ­සු­වක් වුණා මේ ෆීල්ඩ් එක දැන­ගෙන හිටි එක. ඊට අම­ත­රව මම කොරි­යානු සමා­ග­මක මිලදී ගැනුම් නිල­ධාරී ලෙස කට­යුතු කළා. ඒ පළ­පු­රුද්ද අද මේ දවසෙ පවා වැද­ගත් වෙනවා. අදත් අපි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට මිලදී ගැනීම් කර­නවා.

සින­මා­වට ඔබ සම්බන්ධ වෙන්නේ කොහො­මද?

සින­මා­වට ආසාව කුඩා කාලයේ ඉඳ­ලම තිබුණා. තාත්තා මට කියලා තියෙ­නවා 1947 කඩ­වුණු පො‍රොන්දුව පළ­වැනි දර්ශ­නය පෙන්වන විටත් තාත්තා ගිහින් බැලුවා කියලා. එඩී ජය­මාන්න, මිනර්වා නාට්‍ය කලාව, රුක්මණී දේවි ගැන පුංචි කාලෙ ඉඳ­ලම තාත්තාගේ විස්තර කිරීම් මගේ මනසේ ඇදී තිබුණා. සින­මා­වට ආසාව තිබුණා. එය තවත් වර්ධ­නය වුණා. ඒ වගේ ම තවත් හේතු­වක් එයට තිබුණා. ප්‍රවීණ සිනමා කැම­රා­කරු ඩොනල්ඩ් කරු­ණා­රත්න මගේ ඥාති සොහො­යු­රෙක්. ඔහුගේ නිවෙ­සයි අපේ නිවෙ­සයි පාර දෙපැත්තේ තිබුණේ. යෞව­න­යෙක් විදි­හට මම ඔහු හඳුනා ගනිද්දි ඩොනල්ඩ් අයියා සිනමා ලෝකයේ දැවැ­න්ත­යෙක්. 70 දශ­කයේ අග ගෙදර ඉඳ­ලම මට ඩොනල්ඩ් අයි­යාව හමු­වෙ­න්නට එන නළු නිළි­යන් දැක ගන්නට ලැබෙ­නවා. ඒ කාලෙ තමයි සින­මාවේ ස්වර්ණ­මය යුගය. රොබින් ප්‍රනාන්දු, ශ්‍රියානි අම­ර­සේන වගේ නළු නිළියෝ නිතර ඩොනල්ඩ් අයි­යාගේ ගෙදර ආවා ගියා. ඒ කාලෙ සින­මාවේ හිටි ප්‍රවී­ණ­තම කැමරා ශිල්පියා ඩොනල්ඩ් අයියා නිසා සින­මා­වට මගේ හිතේ තිබුණු ආසාව තව තවත් වැඩි වුණා. ඩොනල්ඩ් අයි­යගේ සින­මාව ගැන තිබුණු පොත­පත මම පරි­ශී­ල­නය කළා. එයාගෙ දිහා බලා ගෙන හිටියා. එයා හොඳට මොඩන් විදි­හට ඇන්දා පැලැන්දා. එයාගෙ රූගත කිරීම් බලන්න මමත් යනවා. සින­මාව ගැන වගේ ම එහි තාක්ෂ­ණය ගැනත් මේ නිසා මට මෙකල අව­බෝ­ධ­යක් ලැබුණා. ඒ ඇරෙන්න හොලි­වුඩ් සින­මා­ව­ටත් මම පුදුම විදි­හට ආසා කළා. අද­ටත් මං ළඟ 1930 හත­ළිස් ගණ­න්වල තිර­ගත වූ චිත්‍ර­පට තිබෙ­නවා. ඒ නිසා මම වෛද්‍ය­ව­ර­යෙක් වුණාට පසු­වත් මට හිතුණා. මම සින­මා­වට හුඟක් ආස නිසා මේ ගැන වැඩි­පුර හැදෑ­රිය යුතුයි කියලා. ඒ අනුව මම ජන­ස­න්නි­වේ­දන අංශ­යෙන් මගේ ශාස්ත්‍ර­පති උපා­ධිය හදා­ර­නවා. බට­හිර වෛද්‍ය­ව­ර­යෙක් විදි­යට මම හිත­නවා මම විත­රයි ජන­ස­න්නි­වේ­ද­නය පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධි­යක් තිබෙන එකම වෛද්‍ය­ව­රයා කියලා. ඒ අතරෙ නිබ­න්ධ­යක් රචනා කර­න්නත් තිබුණා. එය සින­මාව ඔස්සේ මම සිදු කළා. සිංහල සිනමා විශ්ව­කෝ­ෂය කියලා. එහි පිටු දෙකක මම ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා ගැන ලියලා තිබුණා. මට පුළු­වන් වුණා. පසුව ඒ නිබ­න්ධ­නය කෘති­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කරන්න. මේ අව­ස්ථා­වට ටෝනි රණ­සිංහ මහ­ත්මයා සහ­භාගි වුණත් ගාමිණී ෆොන්සේකා මහ­ත්ත­යට සහ­භාගි වෙන්න පුළු­වන් වුණේ නැහැ. එදා රාත්‍රියේ ගැඹුරු කට­හ­ඬ­කින් ගාමිණී ෆොන්සේකා මට කතා කළා. එය දෛවෝ­ප­ගත කෝල් එකක් වුණා. ඔහු පැවැසූ දේ අද­ටත් මට මත­කයි. ‘ඩොක්ටර් අද තමා මම ගෙදර ආවේ බයි­පාස් එකක් කරලා. මම ලොකු ශෛල්‍ය­ක­ර්ම­යක් කරලා ගෙදර ආවා. මම මැරෙ­න්නම තමයි ගියේ. ටෝනි රණ­සිංහ මට කිව්වා ‍ඩොක්ටර් කෙනෙක් පොතක් එළි­දැ­ක්වූවා. එහි එක පිටු­වක් මා ගැන ලියා තිබුණා කියලා. මට ඔහු එය දුර­ක­ථ­න­යෙන් කියෙව්වා කියලා. ඩොක්ටර්, මෙතෙක් කල් මගෙ ජීවි­තය ගැන මේ විදි­හට කිසිම කෙනෙක් මාව විශ්ලේ­ෂ­ණය කර­මින් ලියලා නැහැ. මේක කියෙ­ව්වට පසුව මටම මගේ ජීවිතේ ගැන ආසා­වක් ඇති වුණා. ඩොක්ටර් ඔබ තමයි කවද හරි මගේ ජීවිත කතාව ගැන ලිය­න්නත් ඕන කියලා.” මේ විදි­හට මාත් එක්ක ඔහු හුඟ වෙලා­වක් කතා බහ කළා. ඉන්ප­සුව එතු­මයි මගෙයි අතර ඉතාම සමීප සබ­ඳ­තා­ව­යත් ඇති වුණා. මම එතු­මන්ගේ ගෙද­රට යනවා. එනවා. ගාමිණී ෆොන්සේකා මිත්‍ර සමා­ග­මට ඉතාම කැමැති කෙනෙක්. එතු­මාගේ ගෙද­රට ගියාම ලේසි­යෙන් කෙනෙ­කුට එන්නට හම්බ වෙන්නේ නැහැ. මම උදේ ගිය­හම රෑටත් කාලා පහු­වදා උදේට තමයි නැවත එන්නේ. එයත් එක්ක කතා බහ කර­නවා වෙලාව යනවා දැනෙන්නේ නැහැ. මම ඔහුගේ ජීවිත කතා පොත ලිව්වා. 2003 දී පොත එළි­දැ­ක්වූවා. මම ඔහු ගැන පළ­වැනි චැප්ටර් එක ලිව්වේ 60 දශ­කය ගැන. එය ලියලා එතු­මන්ට ඇරි­යට පස්සේ මට කෝල් එකක් දීලා ඔහු කිව් දෙය අද­ටත් මත­කයි, ඩොක්ටර් මම නිදි මරා­ගෙන මොනවා හරි කියෙව්වා නම් ඒ පී‍.කේ.ඩී. සෙනෙ­වි­රත්න මට ‘පර­ස­තු­මල්’ චිත්‍ර­ප­ටයේ තිර රච­නය කිය­වන්න දුන්නු දවස. එදා මම එය නිදි වරා­ගෙන කියෙව්වා. ඒ වගේ ඔයා මං ගැන මට ලියා දුන්නු චැප්ටර් එකත් මම කියෙව්වා. You can do it කියලා ඔහු කිව්වා.

ගාමිණී ‍ෆොන්සේකා කියන චරි­තය ඔබට දැනුණේ කොහො­මද?

ඔහු අස­ම­ස­මයි. ඔහු සිනමා ශිල්පි­යෙක් පම­ණක් ම නොවෙයි විශිෂ්ට මිනි­සෙක්. ඔහුට තිබුණු දැනුම. ඔහුට තිබුණු සමාජ පසු­බිම, එතුමා ඇසුරු කළ පිරිස. ඒ ඇතුළෙ ඉඳ­ගෙන ඉවර නොවන දැනු­මක් තිබුණා. ඉතාම සන්තෝ­ෂ­යෙන් තමයි එතුමා කාලය ගත කළේ. හුඟ දෙනෙක් හිතුවේ එතුමා කල­කි­රිලා ජාඇල නිවෙ­සට වී හිටියා කියලා. කිසි­සේත්ම නැහැ. එතුමා උප­රිම සතු­ටින් තමයි ජීවත් වුණේ. අව­සාන දව­සට කලින් දව­සෙත් මට කතා කළා. ඔහු මුනි­ව­ර­යෙක් වගේ. ඉන්දි­යානු සමා­ජයේ ජීවිතේ පස් වැනි දශ­ක­යට ආවම දරු­වන් විවාහ කරල දීල පැත්ත­කට වෙලා ඉන්නවා. ඒ වගේ අද­හ­සක් එතු­ම­ටත් තිබුණා. අද­ටත් ඉන්දි­යාවෙ කෝටි­ප­තියො ඉන්නවා ඇඳු­ම­ක්වත් නැතිව සියලු බැඳී­ම­ව­ලින් අත් මිදිලා රිෂි­කේෂ් වගේ තැන්ව­ලට ගිහින් ජීව­ත්වෙ­නවා. ඒ වගේ තමයි ගාමි­ණී­ටත් ඕන­කම තිබුණේ හිමා­ල­යට ගිහිල්ලා ඉන්න. මාත් එක්ක කියලා තිබුණා ඒ ගැන. මාත් එක්කම යන්න තමයි ඔහු බලන් හිටියේ. ඒත් ඊට පෙර ඔහු මිය ගියා.

ඇයි ඔහු එහෙම හිතුවේ?

ඒකට හේතු­වක් තිබුණා. මයික් විල්සන් කියන සුදු ජාතික අධ්‍ය­ක්ෂ­ව­රයා ඔබට මත­කද? ඔහු අව­සන් කාලයේ ඉන්දි­යා­වට ගිහින් ස්වාමි කෙනෙක් විදි­හට තපස් රැක්කා. ස්වාමි ශිව කල්කි නමින් තපස් දිවි­යත් ගත කළා. ඔහු ඇසුර ගාමි­ණී­ටත් තිබුණා. මේ නිසා සියල්ල අත­හැ­රලා මෙහෙම ගිහිල්ලා ඉන්න ආසාව ගාමිණී ෆොන්සේකා කියන මහා නළු­වාගේ හිතෙත් තිබුණා.

වෛද්‍ය­ව­ර­යෙක් ලෙස රටට ඔබෙන් සිදුවූ සහ සිදු­වන සේවය?

මගෙ මූලික ඇරැ­ඹුම හෘද ශල්‍ය අංශය‍. ඒ කාලෙදි හුඟක් බයි­පාස් සැත්කම් සඳහා මම දායක වුණා. තිය­ටර් එකට ගියාම කීයට එළි­යට එන්න වෙයිද දන්නෙ නැහැ. සාමාන්‍ය ඔප­රේ­ෂන් එක­කට පැය 7 ක් 8 ක් යනවා. අවු­රුදු 3 ක් විතර වෙහෙ­සෙ­මින් ඉතාම දුෂ්කර කාල­යක් ගත කළා. මට සන්තෝ­ෂයි.

ඉන්ප­සුව මම 2000 වසරේ ප්‍රජා වෛද්‍ය විද්‍යා­වෙන් පශ්චාත් උපා­ධිය හැදෑ­රුවා. ඉන්පසු විද්‍යා­පති උපා­ධිය, දර්ශ­න­පති උපාධි සම්පූර්ණ කළා. ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙක් ලෙස පත්වීම් ලැබුවා. ඉන්ප­සුව වෛද්‍ය පරි­පා­ලන සේව­යට එක්කාසු වුණා. 2010 දී වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ අධ්‍ය­ක්ෂ­ව­රයා බවට පත්වුණා.‍

එහිදී ඔබ සිදු කළ මෙහෙ­වර?

වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ රටට සමා­ජ­යට තිබුණු ප්‍රති­රූ­පය සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් කරලා ජාත්‍ය­න්තර තල­යට ගෙන යන්නට මට හැකි වුණා. එහි වසර 5 ක් පමණ මම කට­යුතු කළා. මේ වන­විට බස්නා­හිර පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස මම කට­යුතු කර­නවා.

ඔබ බස්නා­හිර සෞඛ්‍ය­යට අලුත් සංක­ල්ප­යක් රැගෙන ආවා.

පසු­ගිය වසරේ ඩෙංගු රෝගය නිසා විශාල ප්‍රශ්න­ය­කට බස්නා­හිර පළා­තම මුහුණ දුන්නා. එය යම් ආකා­ර­ය­කට පාල­නය කර­න්නට මට හැකි වුණා. මේ වන­විට ඩෙංගු රෝගීන් විශාල වශ­යෙන් අඩුවී තිබෙ­නවා. ඒ වගේ ම ‘බස්නා­හි­රින් පස් පව් දුර­ලමු’ කියන සංක­ල්පය අද අපි ක්‍රියා­වට නංවා තිබෙ­නවා. රිය අන­තුරු, ඩෙංගු රෝගය, එච්.අයි.වී. මර්ධ­නය දිය­වැ­ඩි­යාව තුරන් කිරීම මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවි­තය නතර කිරීම යන දිගු­කා­ලීන ගැට­ලු­ව­ලට විස­ඳුම් සෙවී­මට කට­යුතු කර­නවා. මේ ගැන ප්‍රජාව දැනු­ම්වත් කර­මින් බස්නා­හි­රින් මේ පස් පව් දුර­ලමු කියන සංක­ල්පය අපි ජන­තා­වට ලබා­දෙ­නවා. එයත් මගේ සංක­ල්ප­යක්. එය ක්‍රියා­ත්මක වෙනවා.

ඔබේ ජීවි­තය ගලා යන්නේ කොහො­මද?

මම අති­ශය කාර්ය­බ­හුල චරි­ත­යක්. ඒත් මම හැම­වි­ටම සන්තෝ­සෙන් ඉන්න එකයි කරන්නේ. මගේ ගාවට හුඟක් ජූනි­යර් වෛද්‍ය­වරු පුහු­ණු­වට එනවා. ඒ අය මගෙන් අහන ප්‍රශ්න­යක් තියෙ­නවා. කොහො­මද සර් මේ තරම් සතු­ටින් ඉන්නේ කියලා. ඒකට හේතුව වෙලා­වට මම වැඩ කර­නවා. මම කැමැ­තියි නොදන්න අයට උදව් කරන්න. අද සමා­ජයේ හුඟ දෙනෙක් නොදන්න අයට උදව් කරන්නෙ නැහැ. මම කියන්නේ ඕනෑම කෙනෙ­කුට කිසිම හේතු­වක් බලා­පො­රොත්තු නොවී ‍උදවු කරන්න කිය­ලයි.

ඡායා­රූප - නිශ්ශංක විජේ­රත්න

Comments