
ප්‍රබෝධමත් ගමනාන්තයක් සනිටුහන් කරමින් මුම්බායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපළට අප රැගත් ජෙට් ගුවන් යානය සැපත් වෙද්දී උදෑසන අටට ආසන්නය. අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඇරැයුම් ලැබ පැමිණි අපට එහිදී ලැබුණේ උණුසුම්ම පිළිගැනීමකි. සුවඳවත් පිච්ච මලින් ගෙතූ මල්මාලා ගෙල පලඳා අප පිළිගත්තේ සුන්දර යුවතියකි. ආගන්තුක රටකට පැමිණි විට දැනෙන තනිකම හා පාළුව පරයමින් ලැබුණු ඒ ආගන්තුක සත්කාරය හා උණුසුම් පිළිගැනීම කොතෙක්දැයි විස්තර කළ නොහැකි වුවද එය එක් අතකට අපේ වෙහෙස හා තනිකම සමනය කරන්නට සමත් විය.
අප එලෙස මුම්බායි ගුවන් තොටට ගොඩ බැස්සේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඇරැයුමකට අනුවය. අනාදිමත් කාලයක් පුරා දෙරට අතර වූ මිතුදම ශක්තිමක් කිරීමේ තවත් පියවරක් වශයෙන් ශ්‍රී ලාංකීය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් වෙනුවෙන් එම සංචාරය සංවිධානය කරනු ලැබ තිබිණි. සූදානම් වීමට තරම් කාලයක් නොතිබුණත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කැපවීමෙන් සෑමදේම විධිමත්ව සංවිධානය වී තිබුණේ අප පුදුම කරවමිනි. ගොඩබට වහා ගුවන් තොටුපොළ සිසාරා අප කැටුව ගියේ මුම්බායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සුන්දරත්වය අත්විඳීමට ඉඩහසර සලසමිනි. ඉන්දියාවේ බාහිර කටයුතු අමාත්‍යංශයේ හා බාහිර ප්රචාරක අංශයේ සහයෝගයෙන් මුම්බායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පාලනය වන ජී.වි.කේ. ආයතනය මගින් එය සංවිධානය කර තිබිණි.
පුළුල් පරාසයක් පුරා විහිදුණු මුම්බායි ගුවන් තොට ඉන්දීය අනන්‍යතාව හා රටේ විවිධ ජන සංස්කෘතින් පිළිඹිබු කෙරෙන නන්විධ කැටයම්, මූර්ති හා අතකම්වලින් විසිතුරු කර තිබිණි. රටට ඇතුළුවන විදේශිකයින්ට එරට සංස්කෘතිය හා දේශීයත්වය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා දීම ඉන් කදිමට සිදුවේ. ගුවන් තොටුපොළ රාත්‍රී කාලයේ විදුලි එළියෙන් ඒකාලෝක වෙද්දී මොනරපිලක හැඩය ඉස්මතු කරයි. එය බලන්න ලස්සන දර්ශනයකි. මහත්මා ගාන්ධි දර්ශනයෙන් පොහොසත් ඉන්දියාවේ ගාම්භීරත්වය විදහාපාන මුම්බායි ගුවන්තොටේ දකින දකින අත ඇත්තේ ඉන්දියානුවන්ගේ ඇඟිලි තුඩින් නිමැවුම් සුන්දර අත්කම්, මූර්ති හා කැටයම් නිර්මාණය. එය මේ ගුවන් තොටුපොළට විශේෂයකි. නවීන තාක්ෂණයත් දේශීයත්වයත් එක්තැන් වූ මුම්බායි ගුවන් තොට විවිධත්වයෙන් යුතු ඉන්දීය ජන සම්භවයේ ප්‍රතිමූර්තියක් වැනියැයි මට සිතිණි.
මොහොතින් මොහොත කාලය වේගයෙන් හඹායයි. මුම්බායි ගුවන් තොටුපළින් ඔබ්බට අපි පිවිසියෙමු. ගුවන් තොටින් ඔබ්බට ඇත්තේ ඉන්දිය ජන ජීවිතයේ ඇති නැති පරතරයයි. ගුවන් තොටින් එළියට බට අපට ඒ සියල්ල දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙයි. සිය ජීවිතය ආරම්භයේ පටන්ම දුක හඳුනාගත් පිරිසක් එක් පසෙකත්, සැප සම්පතින් අනූන පිරිසක් තවත් තැනකත් දිවි ගෙවති. ඇති නැති පරතරය ඉතා හොඳින් පෙන්නුම් කරන ඉන්දීය ජන ජීවිතය එක් අතකට පුදුම එළවනසුලුය. ඉටි රෙදි නාවාතැනේ සිට මහා විසල් මැදුරු දක්වා දර්ශනය වන මුම්බායි නගරය ඉන්දියාවේ ජනාකීර්ණ නගර අතර ප්‍රමුඛස්ථානය ගනී. මුම්බායි ගුවන්තොටු පොළින් මුම්බායි සංචාරක පුරවරයට කැටුව ගිය අපට නවාතැන් සපයා තිබුණේ ඉන්දීයාවේ අභිමානය පෙන්නුම් කරන ‘ඉන්දියා ගේට්වේ’ නමින් යුතු දොරටුව අභියස පිහිටි සුවිසල් ‘ටජ් මහල් ටවර්’ නම්වූ හෝටලයේය.
මුම්බායි නගරය දහවලේදී මෙන්ම රාත්‍රියේදීද අතිශයින් කාර්ය බහුලය. මුම්බායි නගරයේ මුහුදු මායිමත් කලපුවත් ආසන්නයේ පිහිටි විසි වන සියවසේ නිමැවුම් වු ඉන්දියා ගේට්වේ දොරටුව මුම්බායි නගරයට පිවිසෙන සංචාරකයින්ගේ තෝතැන්නකි. රාත්‍රියේදි අලංකාර වර්ණයෙන් දිස්වන මේ දොරටුවේ දර්ශනය මුම්බායි නගරයේ රාත්‍රිය ගත කරන්නෙකුට සිය ජීවිතයේ විඳින්නට ලැබෙන අපූරු අත්දැකීමකි. අලංකාර ඡායාරූපයන්ට මෙන්ම අමරණීය මතකයන් අතරට එක්කරවන මුම්බායි නගරයේ රාත්‍රිය වර්ණවත් කරන්නට මේ ගේට්වේ ඉන්දියා දොරටුව සමත්ය. මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයට ඇතුළුවීමේ දොරටුවක් වශයෙන් අතීතයේදි ඉන්දියානු ජන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වු මේ දොරටුව අඩි 85 කින් උසය.
දිවා කාලයේදී සංචාරකයින්ගෙන් පිරී යන ‘ඉන්දියා ගේට්වේ’ දොරටුව තවත් සංචාරක ගමනාන්තයක ආරම්භයක් සනිටුහන් කරන්නකි. අපේ ගමනේ පෙර මං කරුවන් වූයේ ආචාර්ය රාජු පත්තෝඩ්කාර් මෙන්ම එෆ් ඒ අහමද් ය. උපරීම ආරක්ෂාවත්, නිරන්තර සත්කාරයත් වෙනුවෙන් මේ දෙපෙල අපට නිරන්තරයෙන්ම සමීප විය. මුම්බායිහි ගතකළ දෙවැනි දිනය තරමක් වෙනස් වන්නට විය. ‘එලිෆන්ටා කේව්’ මුම්බායිහි තවත් සුන්දර සංචාරක ගමනාන්තයකි. ‘ඉන්දියා ගේට්වේ’දොරටුවෙන් එහා නෙපෙනෙන මහ මුහුදේ බලන්නට තවත් දේ ඇතැයි සිතන්නට නොහැකිය. එහෙත් කිසිදු හැඟීමකින් තොරව මහ මුහුදේ නවතා ඇති සංචාරක බෝට්ටුවලට බොහෝ සංචාරකයින් ගොඩ වන්නේ එලිෆන්ටා දූපතේවූ අපූරු ගුහා මූර්ති සිතුවම් නැරඹීමටය.
මහ මුහුදේ කිලෝ මීටර් දහයක පමණ දුරක් පැය එකහමාරක් පමණ එක දිගට යන ගමනේදී ඈතට දිස්වන මුම්බායි නගරය දැකුම්කලුය.දූපතේ ජැටියට ගොඩ වුණද අප මේ යන්නේ කොතැනටදැයි යන්න ගැන කිසිදු අවබෝධයක් අපට නැත. දෙපසින් හමන්නාවූ මුහුදු සුළඟින් ගතට කිසිදු වෙහෙසක් නොදැනෙයි. බැලූ බැලූ අත දූපත පාළුය. යුනෙස්කෝ ලෝක උරුම යටතට ගැනෙන මේ ගුහා නැරැඹීමට යන ගමන තරමක් දුෂ්කරය. ගල්පඩි නැඟ බසිමින් එක් එක් අතට විහිදුණු මාවත් හරහා යන දුෂ්කර වුවද මුම්බායි නගරයට පැමිණෙන්නකු මෙය නරඹා නොයෑම අනුවණකමකැයි රාජු පැවසීය. මේ ගුහා නැරඹීමට යන විදේශිකයින්ගේ පහසුව සලසන්නට වෙහෙසෙන්නේ මේ එලිෆන්ටා දූපතේම වැසියන්ය. බීමට සිසිල් පානයක්, හපන්නට අඹ මල්ලක් නැතිනම් රසවත් පලතුරක් සුළු මුදලකට විදේශකයන්ට ලබා දෙන්නට මඟ දෙපස ඉදිවූ කඩපිල්ය. ගුහා නරඹන්නට අපහසු විදේශිකයන්ට ගමන් පහසුව සලසන්නට තැනින් තැන හැරමිටි කඩය. ඒ සියල්ල මුදලටය. එසේම ඇවිද යෑමට නොහැකිනම් පුටුවක හිඳුවා කර තබාගෙන යන්නට මඟ දෙපස ගම්මු බලා සිටිති. ඒ ද මුදලටය.
දූපත හරහා පැයක පමණ ගමනකින් පසු අප එළැඹියේ දිගු පඩිපෙළකටය. ගුහාවට ඇතුළුවීමට ඒ පඩිපෙළ ද නැඟ යා යුතුය. එතැනින් පිවිසෙන්නේ විශාල ලෙන්වලින් පිරි පරිශ්රයකටය. එහි තැනින් තැන පිහිටි විශාල ගුහා කීපයකි. මේ ගුහා ඇතුළත ඉතා පැරැණි මූර්ති හා කැටයම්වලින් ශිව දෙවියන්ගේ පිළිරූ නිමවා තිබේ. ඊට අමතරව අපේ පන්සල්වල මෙන් විවිධ ආකෘතියේ බෝසත් පිළිම බොහොමයකි. මේ මූර්ති පස්වැනි සියවසට අයත් යැයි පැවසුණද එය නිශ්චිත නැත. කලකට පෙරදී මෙතැන වූ පිළිම බොහොමයක් විනාශවී ඇති අතර ඉන්දීය පුරා විද්‍යා ආයතනය මගින් මේවා ලෝක උරුම ලෙස සංරක්ෂණය ආරම්භ කර ඇත්තේ 1970 වසරෙන් පසුවය.
මුම්බායිහි ගතකළ දින කිහිපය අපට බොහෝ අත්දැකීම් එක් කළේය. බී.ඒ.ආර්.සී හෙවත් බාබා න්‍යෂ්ටික පර්යේෂණාගාර සංකීර්ණය එහිදී අප දුටු තවත් එක් වැදගත් ස්ථානයකි. සංස්කෘතික වශයෙන් පමණක් නොව නවීන තාක්ෂණයෙන්ද පොහොසත් ඉන්දියාවේ ඉදිරි ගමන් මඟ වේගවත් කරන මෙන්ම ඔවුන් ලෝකයා හා කරන ගනුදෙනුවලදී භාවිත කරන නවීන මෙවලම් නිපදවෙන්නේ මෙම ස්ථානයේය. භෝග කල්තබා ගැනීමේ ක්‍රමවේද මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් භාවිත කෙරෙන නවීන මෙවලම් නිපදවෙන්නේ ද මෙතැනය. ඉන්දියාව නවීන තාක්ෂණය අතින් ලෝකයේ ඉදිරියට ගෙනයන බොහෝ උපාංග නිපදවන්නේ මෙම පර්යේෂණාගාරයේය.
බොම්බේ කොටස් වෙළෙඳ පොළ මෙන්ම එක්සීම් බැංකු ගනුදෙනු පිළිබඳවද ජනමාධ්‍යවෙදීන්ට මෙහිදී පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවිය.
මුම්බායි නගරය හා නගර වැසියන් ඒ දිනවල යුහුසුලුව සිටියේ දීවාලි උත්සවය සැමරීමටය. එනිසා නගරය මෙන්ම කඩ සාප්පුද ජනාකීර්ණය. දිවා රාත්‍රී කඩසාප්පු ජනයාගෙන් පිරී ගොසිනි. හින්දු ජනයාට විශේෂ වූ දීවාලි උලෙළේ සැරසිලිවලින් අප නැවතී සිටි හෝටල් පරිශ්‍රය මෙන්ම මඟතොට ද අලංකාරවී තිබිණ.
අලුත් අත්දැකීම් ගොන්නක් අපට එක්කරමින් නිමා වූ මුම්බායි නගරයෙන් අප සමුගත්තේ බුද්ධගයාව හා එතැනින් දිල්ලිය කරා යෑමටය.
ගුවන් ගමන් දෙකකින් බුද්ධගයාවට - ලබන සතියේ.