උසා­විය නැගි­ටින තෙක් දහ­නා­යක හිරේ ගිය හැටි | සිළුමිණ

උසා­විය නැගි­ටින තෙක් දහ­නා­යක හිරේ ගිය හැටි

මෙසේ ප්‍රසි­ද්ධි­යේම සමාව ඉල්ලීම නිසා මෙහිදී එම නඩුව විභාග කළ පී.ඊ. රාජ­කා­රි­යර් නඩු­කා­ර­තුමා කළේ ඒ ඉල්ලීම අනුව සලකා බලා ගාල්ලේ මහ­ජන මන්ත්‍රී දහ­නා­යක මහතා නිද­හස් කිරීම නොවේ. ප්‍රථ­ම­යෙන් උසා­වි­යේ­දීම පොලිස් අධි­කා­රි­ව­ර­යා­ගෙන් වාචි­ක­වම ද සමාව ඉල්ල­න්නට ද කට­යුතු කර පසුව විත්ති­කාර දහ­නා­යක මහ­තාට දඬු­වම් කිරී­මය. 

‍ඕනෑම පැත්ත­කට හැර­විය හැකි ඇට නැති දිවෙන් නොයෙ­කුත් අන්දමේ කාර්ය­යක් කෙරෙ­න්නට පුළු­වන. කතා­වට ප්‍රමුඛ වශ­යෙන්ම මුල්වන එයින් පිට­කෙ­රෙන වච­න­ව­ලින් මිනි­සකු මැනිය හැකි ය. එත­රම් ඇට නැති දිවෙන් - මුවින් කෙරෙන කතාව යහ­පත්ය. එසේම අය­හ­පත් ප්‍රති­ඵල ද ඇති කරන හෙයින් කවුරු කවු­රුත් තැන නොතැන නොබලා කතා කිරී­මේදී ප්‍රවේ­සම් විය යුතු ය.

එසේ කෙටි විව­ර­ණ­යක් සිදු කර­න්නට සිත් වූයේ මෑත ඉති­හා­සයේ කාටත් අම­තක නොවන දේශ­පා­ලන චරි­ත­යක් වූ ගාල්ලේ ඩබ්ලිව්. දහ­නා­යක හෙවත් විජ­යා­නන්ද දහ­නා­යක මැති­තුමා ද සිය කටේ බලය නොනිසි ලෙස පෙන්ව­න්නට ගොස් -උසා­විය ඉදි­රි­යට ද ගොස් සල්ලන් වුණු විත්තිය පිළි­බ­ඳව එත­රම්ම ප්‍රකට නුවූ වාර්තා­වක් පසු­ගි­යදා අපට කිය­ව­න්නට ලැබුණු නිසා ය.

ගාල්ලේ කුල­ගෙ­යක නිවුන් දරු­වන් වශ­යෙන් ඉපැ­දුණු විජ­යා­නන්ද සහ ‍කල්‍යාණ­ප්‍රිය දෙදෙ­නාම පසු­ක­ලෙක ගුරු­ව­රුන් වශ­යෙන් සමාජ භූමි­කා­වට පිවි­සු­ණහ. පසුව මේ වැඩි­ම­හල් විජ­යා­නන්ද දේශ­පා­ලන වේදි­කා­වට පිවි­සියේ එසේ ගුරු­ව­ර­යකු වශ­යෙන් ම ‍උගන්ව­මින් සිටින යුගයේ පට­න්මය.

ඉන් අන­තු­රුව ගාල්ලේ නාග­රික මන්ත්‍රී­ව­ර­යකු ලෙස දේශ­පා­ල­න­යට පිවිසි ඩබ්ලිව්. දහ­නා­යක මහතා ගාල්ලේ නග­රා­ධි­පති ලෙස පත්වූයේ එකල කොළඹ, මහ­නු­වර, ගාල්ල යන ත්‍රිසිං­හ­ල­යේම සිංහල බෞද්ධ නග­රා­ධි­ප­ති­ව­රුන් පත්ව‍ූ ඓති­හා­සික අව­ස්ථා­වේදී ය. ඉන්ප­සුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිලේ ආස­නය වෙනු­වෙන් අතුරු මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වෙන බව ආරංචි ව‍ූ විටෙක බිබිලේ තිබෙන්නේ කොහේද කියා­වත් නොදන්නා දහ­නා­යක මහතා කළේ භූමි සිති­ය­මක් ද රැගෙන හිත­ව­ත­කුගේ මෝටර් රථ­ය­කින් එහි ගොස් ඡන්ද දාය­ක­යන් සමඟ හිත­වත්වී තම කටේ බල­යෙන් ඔවුන් සෑහෙන පිරි­ස­කගේ හිත් දිනා­ගෙන බිබිලේ අතුරු මැති­ව­ර­ණ­යට තරග කිරී­මය.

ප්‍රති­ඵ­ලය ව‍ූයේ බිබිලේ බස් හිමි­යකු ව‍ූ එස්.ඒ. පීරිස් මහතා ඡන්ද 2387 ක් ගනිද්දී ඡන්ද 2113 ක් ලබා­ගත් දහ­නා­යක මහතා වැඩි ඡන්ද 274 කින් පරා­ජය වීමය. මෙසේ තමන් නන්නා­ඳු­නන ප්‍රදේ­ශ­ය­කට ගොස් කටේ බල­යෙන් එත­රම් ඡන්ද ප්‍රමා­ණ­යක් හෝ ඔහු ලබා­ගැ­නීම ද විශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් විය. එහෙත් කිසි­යම් හේතු­වක් මුල් කර­ගෙන ජය­ග්‍රා­හ­ක­යාට විරු­ද්ධව ඡන්ද නඩු­වක් දැමී­මට දහ­නා­යක මහතා සමත් විය. එයින් සිදු වූයේ ඇස්. ඒ. පීරිස් මහ­තාට ආස­නය අහි­මි­වී­මය. එහෙත් යළි තරග කිරී­මට බලය ලැබී­මය. මෙවර ගාල්ලේ ඩබ්ලිව්. දහ­නා­යක මහතා කළේ පෙර වතා­ව­ටත් වඩා උද්‍යෝ­ගි­මත්ව ඡන්දය ඉල්ලා යළි පැවැ­ත්වුණු අතුරු මැති­ව­ර­ණ­යට ද තරග කිරී­මය.

එහි ප්‍රති­ඵ­ලය ව‍ූයේ දහ­නා­යක මහතා ඡන්ද 2948 ක් ලබා ජය­ග්‍රාහී වෙද්දී හිටපු මන්ත්‍රී පීරිස් මහතා ඡන්ද 1840 ක් ලබා වැඩි ඡන්ද 1108 කින් බිබිලේ මන්ත්‍රී­ව­රයා වශ­යෙන් දහ­නා­යක මහතා පත්වී­මය.

එකල බිබිලේ පැණි දොඩම් වගාව ඉතා සරු­වට කෙරී තිබුණු හෙයින් දොඩම් පිට­රට පැට­වීම උදෙසා බිබි­ලේට වරා­යක් ද ලබා­දෙන බවට ද ඡන්ද­දා­ය­ක­යන් හමුවේ දහ­නා­යක මහතා පොරොන්දු වූ බවට කතා­වක් ද පැතිර ගොස් තිබිණ. එහෙත් රට මැද නග­ර­යක් ව‍ූ බිබි­ලේට වරා­යක් ලබා­දෙන්නේ කෙසේ දැයි එතු­මා­ගෙන් විම­ස­න්නට තරම් බුද්ධි­ම­තකු බිබිලේ නොසිටි බව හෙළි විය. එහෙත් යමෙකු එසේ ඇසුවා නම් එයට ද දීමට උත්ත­ර­යක් දහ­නා­ය­කගේ කටේ තිබෙ­න්නට ද පුළු­වන.

එසේ උඩින් ගොස් බිබිලේ ආස­නය දිනා­ගත් නිසා මන්ත්‍රණ සභාවේ දහ­නා­යක මන්ත්‍රී හැඳි­න්වූයේ ‘බිබිලේ උකුස්සා’ නමිනි.

ඉන්ප­සුව ගාල්ලේ දහ­නා­යක දේශ­පා­ලන භූමි­කා­වට පත් වන්නේ වර්ෂ 1947 තේ පැවැති මහා මැති­ව­ර­ණ­යෙනි. එතෙක් වර්ෂ 1936 මහ මැති­ව­ර­ණයේ සිට ගාල්ලේ මන්ත්‍රී­ව­ර­යාව සිටි මහා ධන කුවේ­ර­යකු වූ එච්.ඩබ්ලිව්. අම­ර­සූ­රිය මහතා සමඟ ගාල්ල ආස­න­යට තරග කරන ලද ඩබ්ලිව්. දහ­නා­යක මහතා වැඩි ඡන්ද 2496 කින් එහි මන්ත්‍රී­ව­රයා ලෙස පත්වන්නේ ද තම කටේ බලය පාවිච්චි කර­ගෙන ය‍. හිටපු මන්ත්‍රී අම­ර­සූ­රිය මහතා ඡන්ද 14, 092 ක් ලබා­ග­නිද්දී දහ­නා­යක මහතා ඡන්ද 16,598 ක් ලබා ගාල්ල මන්ත්‍රී­ව­රයා බවට පත්වන්නේ ය.

“ඔන්න මම සල්ලි ගහක් හෙල්ලුවා. ඕන තරම් සල්ලි අහුලා ගනිල්ලා” යනු­වෙන් දහ­නා­යක මහතා තම ඡන්ද රැස්වී­ම්ව­ලදී සිය ඡන්ද දාය­ක­යන්ට ආයා­චනා කළ බව ද ඒවා නිසි ලෙස ඉෂ්ට වී දහ­නා­යක මහ­තාට ‘කරල පෑදී’ මන්ත්‍රී­ව­රයා වීමට ඉඩ සැල­සුණ බව ද කියැ­විණ. ලංකා සම­ස­මාජ පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු ලෙස මන්ත්‍රණ සභාව සිය කටේ බල­යෙන් ගිගුම් ගැන්වූ දහ­නා­යක මහතා එකල එහි දීර්ඝම කතාව පැවැත්වූ මන්ත්‍රී­ව­රයා ලෙසට ද වාර්තා ගතව සිටියේ ය. එය එසේ වූයේ වර්ත­මාන සමයේ මෙන් නොව මන්ත්‍රී­ව­රු­නට සභාව අමතා කතා කිරී­මෙන් කාල සීමා ඉති­රිව තිබුණු යුගය නිසා ය‍. එසේ රාජ්‍ය මන්ත්‍රණ සභා­වේදී ද පසුව ප්‍රථම පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කළ ගාල්ලේ ඩබ්ලිව්. දහ­නා­යක මහතා පසු­ක­ලෙක ප්‍රකට වූයේ පුදුම සහ­ගත දෛව බල­යක් ඇති අයකු හැටි­යට ය. එතු­මන්ට බලපෑ විශේෂ අවස්ථා නිසා ය.

වරෙක දහ­නා­යක මහතා ලංකා සම­ස­මාජ පක්ෂ­යෙන් නෙරපා හරින ලද්දේ ඔහු තම කටේ බල­යෙන් කරන ලද කතා­වක් නිසා නම් නොවේ. එයට හේතු වූයේ රටේ අග­මැ­ති­තුමා වශ­යෙන් 1953 දී ගාල්ලට පැමිණි ඩඩ්ලි සේනා­නා­යක අග­මැ­ති­තු­මාට මල් මාල­යක් දමා පිළි­ගැ­නීම නිසා ය. දහ­නා­යක මහතා එසේ කළේ තමන් නියෝ­ජ­නය කරන ගාල්ලේ ජන­තාව වෙනු­වෙන් රාජ්‍ය නාය­කයා පිළි­ගැ­නී­මක් වුව ද එය සම­ස­මාජ න්‍යායන් අනුව බල­වත්ම වර­දක් සේ පිළි­ගැ­නුණ නිසා ය. එම නිසා ම දහ­නා­යක මහතා සම­ස­මාජ පක්ෂ­යෙන් නෙරපා දමන ලද්දේ ය. එය ද එතු­මාට ඉන්ප­සුව අධ්‍යා­පන අමාත්‍ය වරයා වීමට ද බලපෑ බව කිව හැක්කේ සම­ස­මා­ජයේ ම සිටියා නම් එතු­මාට 1956 මැති­ව­ර­ණ­යේදී බණ්ඩා­ර­නා­යක මැති­තු­මාට සහය දීමට නොහැකි වන බැවිනි. එතු­මාගේ කැබි­න­ට්ටුවේ අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා වීමට ඔහුට අව­ස්ථාව සැල­සුණේ ඒ නිසා ය.

ඉන් පසුව ද දහ­නා­යක ඇමැ­ති­තු­මාගේ ජීවි­ත­යට ලැබුනේ එතු­මන් හෝ වෙනත් කිසි­වකු කව­දා­වත් නොසිතූ අන්දමේ ජය­ග්‍ර­හ­ණ­යකි. සභා­නා­යක පද­වියේ සිටි සී.පී. ද සිල්වා ඇමැ­ති­තු­මාට වස කිරි වීදු­රු­වක් පෙවී එංග­ල­න්තයේ ආරෝග්‍ය ශාලා­ව­කට යන්නට වූවා­යින් පසුව වැඩ­බ­ලන සභා­නා­යක බවට පත්ව‍ූයේ විජ­යා­නන්ද දහ­නා­යක ඇමැ­ති­තුමා ය. බණ්ඩා­ර­නා­යක මැති­තුමා විදෙස් ගත­වී­මට පෙර සභා­නා­යක දහ­නා­යක මහ­තාට නාය­ක­ත්වය පවරා තිබිණ‍. බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තු­මාගේ ඝාත­න­යෙන් පසුව එතුමා අග­මැ­ති­ව­රයා වූයේ ඒ අනු­වය. ලංකාවේ පස් වැනි අග­මැ­ති­තුමා වීමේ භාග්‍යය මෙතු­මාට හිමි­විය. එය අග­මැති පද­විය කුරු­ඳු­ව­ත්තෙන් දකුණු පළා­තට යෑමේ ප්‍රථම අව­ස්ථාව වශ­යෙන් ද ගණන් ගැනිණ.

ඇත්තෙන්ම මේ කොහේදෝ සිටි පුද්ග­ල­යෙක් ර‍ෙට් අග­මැ­ති­ව­රයා වශ­යෙන් පත්වීම සෙසු අමා­ත්‍ය­ව­රු­නට ද පුදු­ම­ය­කට හේතු­වක් වූයේ එය කිසි­වකු කිසිදා නොසිතූ තත්ත්ව­යක් ද වූ හෙයිනි. විජ­යා­නන්ද දහ­නා­යක නම් මේ සුවි­ශේෂී පුද්ග­ලයා සිය කටේ බල­යෙන් එසේ ජය කෙහෙළි නැඟූ අන්දම ගැන කියා ලියා දැක්වූ­විට එතුමා සිය කටේ බලය අනිසි ලෙස පාවිච්චි කර හිරේ ගිය විත්තිය ද දැන් පාඨක මනස හමුවේ අපට දැක්විය හැකි ය.

මෙහිදී දහ­නා­යක මැති­තුමා හිරේ ගියා යැයි කියන කතාව එතු­මන් ගැන හොඳ හැටි දන්නා කාහට වුව ද පුදු­ම­ය­කට හේතු­වක් වන්නට ද පුළු­වන‍. එතු­මාට එසේ වූයේ යමෙ­කුට අප­හාස කර නඩු­වක් වැටීමේ හේතුව නිසා ය. එය මෙසේ ය. 1949 වසරේ දිනෙක දකුණු පළාත භාර වැඩ­බ­ලන පොලිස් අධි­කාරි ඩී.එස්.ඊ. විජේ­සූ­රිය මහතා වෙත දුර­ක­ත­න­යෙන් කතා කළ ගාල්ලේ මන්ත්‍රී ඩබ්ලිව්. දහ­නා­යක මහතා බර­ප­තළ කතා­වක් කර සිටියේ ය. එය සාප­රාධී බැණ වැදී­මකි. එහෙ­යින් මෙසේ ගාල්ලේ මන්ත්‍රී­වර ඩබ්ලිව්. දහ­නා­යක මහතා තමන්ට බැණ වැදුණේ යැයි චෝද­නාව කර­මින් පොලිස් අධි­කා­රි­ව­රයා කළේ ගාල්ලේ උසා­වියේ නඩු­වක් පැව­රී­මය.

චෝද­නාව වූයේ “වැඩ­බ­ලන පොලිස් අධි­කාරි විජේ­සූ­රිය මහ­තාට ගාල්ලේ පැටි මහ­ත්තයා විසින් මැනිං තුරග තරග පිටියේ බෝඩි­මේදී රුපි­යල් දස දහ­සක අල්ලස් මුද­ලක් දුන් බව මාහට දැන­ග­න්නට ලැබී තිබේ. මේ නිසා ඔබ එක්සත් ජාතික පාක්ෂි­ක­යන් බේරා ‍එයට විරු­ද්ධව වාමාං­ශි­ක­යන්ට හිරි­හැර කිරී­මට හා ඔවුන් සිර­භා­ර­යට ගත­යුතු යැයි ද ගාල්ලේ පොලි­සි­යට නියෝ­ග­යක් නිකුත් කර ඇත. මේ චෝද­නාව පොලිස් ඉන්ස්පෙ­ක්ටර් ජන­රා­ල්ව­රයා විසින් ම විභාග කරනු ඇතැයි මම බලා­පො­රොත්තු වෙමි.

මේ චෝද­නාව මට ඔප්පු කරන්න බැරි වූයේ නම් මට විරු­ද්ධව නඩු ගැනී­මට පොලිස් ඉන්ස්පෙ­ක්ටර් ජන­රාල් වර­යාට පිළි­වන. ඩී.එස්.ඊ. විජේ­සූ­රිය මහතා අල්ලස් ගන්නා බව මම නිසැ­ක­වම කියමි” යන්නය.

මෙම චෝදනා පත්‍රය ගාල්ලේ උසා­විය හමුවේ ඉදි­රි­පත් වූ අව­ස්ථා­වේදී දහ­නා­යක මන්ත්‍රී තුමා විත්ති කූඩු­වට නැඟ කියා සිටියේ තමන්ට නැඟී තිබෙන මේ චෝද­නාව සම්පූ­ර්ණ­යෙන්ම අසත්‍ය බව නොවේ. එතුමා විසින් කියා සිටියේ තමන් මෙසේ පොලිස් අධි­කා­රි­තුමා හමුවේ කියා සිටි බව ඇත්තක් බවද එහෙත් පසුව එය පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් සොයා බලන විට එවැ­න්නක් සිදුවී නොමැති හෙයින් එය දූෂ­මාන ආරං­චි­යක් බව ය. එය නිසා පොලිස් අධි­කා­රි­තු­මාට දුර­ක­ථ­න­යෙන් බැණ වැදීම ගැන දැන් තමන් කණ­ගාටු වන බවත්, එම නිසාම මෙසේ උසා­විය ඉදි­රියේ සමාව අයැ­දිණ බවත්ය.

එවේලේ එහි රැස්ක­මින් සිටි එතු­මාගේ ආධාර කරු­වන් සහ විරුද්ධ පාක්ෂි­ක­යන් මෙය කිසි විටෙක බලා­පො­රොත්තු දෙයක් නොවූ හෙයින් ඔවුහු අති­ශ­යින්ම මවි­ත­යට පත් වූහ.

මෙසේ ප්‍රසි­ද්ධි­යේම සමාව ඉල්ලීම නිසා මෙහිදී එම නඩුව විභාග කළ පී.ඊ. රාජ­කා­රි­යර් නඩු­කා­ර­තුමා කළේ ඒ ඉල්ලීම අනුව සලකා බලා ගාල්ලේ මහ­ජන මන්ත්‍රී දහ­නා­යක මහතා නිද­හස් කිරීම නොවේ. ප්‍රථ­ම­යෙන් උසා­වි­යේ­දීම පොලිස් අධි­කා­රි­ව­ර­යා­ගෙන් වාචි­ක­වම ද සමාව ඉල්ල­න්නට ද කට­යුතු කර පසුව විත්ති­කාර දහ­නා­යක මහ­තාට දඬු­වම් කිරී­මය.

දඬු­වම වූයේ රුපි­යල් දහ­සක දඩ­යකි. ඉන්ප­සුව ‘උසා­විය නැගි­ටින තෙක් හිරේ’ ට නියම කිරී­මය. එසේ කියැ­වුණේ ‘එදා උසාවි කට­යුතු අව­සන් වන තෙක්’ දහ­නා­යක මහතා සිර­කූ­ඩුවේ සිටිය යුතු බවය. එම තීන්දුව ඇසූ උසා­වියේ සිටි පක්ෂ විපක්ෂ ඇත්තෝ පුදු­ම­යට පත්වූහ. එම දඬ­වම දහ­නා­යක මහතා මැදි­හත් සිතින් පිළි­ගත් බව ද පෙණින. එයට අභි­යෝග කර­න්නට ගියේ ද නැත.

එවේලේ දහ­නා­යක මන්ත්‍රී­තුමා උසා­වි­යේදී තම වරද එසේ පිළි­ගෙන පැමි­ණිලි කාර සහ­කාර පොලිස් අධි­කාරි වර­යා­ගෙන් සමාව නොඉ­ල්ලුවා නම් එය දිගින් දිග­ටම ගොස් නඩු විභා­ග­යෙන් දහ­නා­යක මහ­තාට බර­ප­තළ වැඩ ඇතිව සිර­ගෙ­දර තපි­න්නට ද ඉඩ තිබිණ.

එ ම වාර්තාව වර්ෂ 1951 ජන­වාරි 10 වැනි දින ‘දින­මිණ’ පත්‍රයේ මුල් පිටුවේ ද ජන­වාරි 11 වැනිදා ‘ලංකා­දීප’ පත්‍ර­යේත් මුල් පිටුවේ පළ­ව‍ූයේ දහ­නා­යක මන්ත්‍රී ‘උසා­විය නැගි­ටි­න­තෙක් හිරේ’ යන සිර­ස්ත­ල­යෙන් යුතු­වය.

සෝම­සිරි කස්තු­රි­ආ­රච්චි

Comments