
අසූ හය වැනි වියේ පසු වුවද ඔහු තවමත් මෙරට සමාජයට සිදු කරන සේවය සුළු පටු නැත. දිසාපතිවරයෙකු, ලේකම්වරයකු හා රජයේ විවිධ නිලතල දැරුවෙකු මෙන් ම සම්මානනීය සාහිත්‍යධරයකු ද වන ඔහු කලාතුරකින් අපට හමුවන සොඳුරු මිනිසෙක් ලෙස හැඳින් වුවද එහි කිසිදු වරදක් නොවේ. ලීල් ගුණසේකර නම් වූ මේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවා පරිපාලන නිලධාරියා ඔහු ගැන කියූ කතාව ඔබේ දිවියට ද ආදර්ශයක් වනු ඇත. රජරට විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වන්නේ ද ඔහුයි.
ඔබේ කුඩා කාලය ගෙවුණු ඒ අතීතයට මුලින් ම ගොඩ වැදෙමු.
මම ඉපදුණේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව කිට්ටුව තිබෙන ජබ්බුරලිය ගමේ. එතකොට එයට ජබ්බුරලිය කියන්නේ එහි තිබුණු ජඹුර ඇළක් නිසයි. ඒ ඇළ වැටෙන්නේ පානදුරා ගඟට. ජබ්බුරලියත් ගොඩමඩ දෙකම සරු සාරය ඵලබරය වගේ ගමක් තමයි. ගොඩයි මඩයි දෙක ම තිබෙනවා. මගේ දෙමවුපියන් ගේ පරම්පරා පහක් ම ගම්මුලාදෑනි ඔක්කොම අපේ ඈයො. අපි පොඩි කාලෙ අපේ මහප්පා, ඊට පෙර මහප්පගේ තාත්තා.
ඒ විදිහට දොන් කියන වාසගම අපිට තිබෙනවා. හපුතන්ත්‍රීගේ දොන් සරණේරිස් ගුණසේකර තමයි මගේ තාත්තගේ නම. අම්මා හපුතන්ත්‍රීගේ දෝන පොඩි නෝනා ගුණසේකර. අපේ පවුලේ අටදෙනෙක් දරුවන් හිටියා. පිරිමි හතර දෙනයි. ගැහැනු හතර දෙනයි. අපි අට දෙනාගෙන් ගැහැනු හතර දෙනාගෙන් තිදෙනෙකුම පසු කලෙක පාසල් ප්‍රධාන ගුරුවරියන් වුණා. පිරිමින්ගෙන් එක් කෙනෙක් සර්වේ කෙනෙක්. අනෙක් දෙන්නත් රජයේ සේවයේ. මම උපන්නේ 1932 දෙසැම්බර් 09 වැනිදා.
ඔබේ අධ්‍යාපනය ගැන කතා කළොත්?
මූලික අධ්‍යාපනය ලැබුවේ ජබ්බුරලියේ මිශ්‍ර පාසලෙන්. ඒකේ අවුරුදු 10 වෙන්න පෙර පහේ පන්තිය සමත් වෙන්න ඕන. ඒ Denham ස්කොලර්ෂිප් එක. එය සමත්වෙන්න ඕන. ‘ඩෙනැම්’ කියන්නේ ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයෙක්. පසුව ඔහු දකුණු අප්‍රිකාවට ගියා. ඉතින් ඩෙනැම් මහත්තය ඇති කරපු ඒ ශිෂ්‍යත්ව ක්‍රමයට අනුව ඒ කාලෙ පහේ පන්තිය සමත් වෙන්නත් ඕන ‘ඩෙනැම්’ විභාගය සමත් වෙන්නත් ඕන.
මේ දෙක ම මම සමත් වුණේ මට අවුරුදු 10 වෙන්නටත් පෙරාතුවයි. එයින් පසුව ඉංග්‍රීසි මාධ්‍යය තිබෙන පාසලකට යන්න ඕන. අපිට තිබ්බේ පානදුර ද සෙන්ට් ජෝන්ස් විදුහල. මගේ තාත්තා මාවත් එයට යොමු කළා. ඒ කාලෙ එහි ඉගෙන ගත් පැරැණි ශිෂ්‍යයො තමයි මහාචාර්ය ගුණසේකර. මහාචාර්ය ජී.ඇල්. පීරිස්, පුංචි බණ්ඩාර සන්නස්ගල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වගේ බහුශ්‍රැත පිරිස් හිටියා. මමත් එහි ශිෂ්‍යයෙක්. ඒ කාලෙ තාත්තා මාව එයට ඇතුළත් කළේ ජනවාරි මාසයක. ඒත් අවාසනාවකට අගෝස්තු මාසයේ මගේ පියා මිය යනවා. පුංචි අපිට කර කියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ තාත්තාගේ මරණයට ආපු මගේ බාප්ප කෙනෙක් හිටියා මාතලේ.
ඔහු මාව මාතලේට එක්කගෙන ගියා. බාප්පා තරමක් පොහොසතෙක්. ඔහු විඩ්මෝ කොටේජ් කියන බංගලාවේ තමයි ජීවත් වුණේ. තවමත් එය එහි තිබෙනවා. බාප්පගෙ ගෙදර මං වගේ දරුවන් දෙදෙනෙක් හැදිලා තියෙනවා. කිසි ම වියදමක් බාප්පට දෙන්නේ නැතිව. මම තමයි දෙවැනියා. මම පසුව මාතලේ සෙන් තෝමස් විදුහලට ඇතුළත් කරනවා. තාත්තා නැති මම අධිෂ්ඨානයෙන් ඉගෙන ගත්තා. ඉගෙනීම අත් හැරියේ නැහැ. 1945 දි මට ඩබල් ප්‍රමෝෂන් දෙකක් හිමි වෙනවා විදුහලෙන්.
ඊට පස්සේ මම ඇතුළත් වෙනවා නුවර සිල්වෙස්ටර් විදුහලට. මම මාතලේ ඉඳන් නුවරට එන්නේ කෝච්චියේ. ඉතින් ඒ හැම දවසක ම මම කාලය අපතේ හැරියේ නැහැ. හරියට පොත් කියෙව්වා. දවසක් මම කෝච්චියේ සීට් එකක ඉඳගෙන පොත් කියවනවා. ඒක දැකපු ගාඩ් කෙනෙක් මට කතා කළා. ඔහුගේ නම ඔගස්ටින් පට්රිච්. ලන්දේසි ජාතිකයෙක්. “you follow me” කියල මට කතා කළා. මමත් පසු පසින් ගියා. දුම්රියේ හැම දෙනාම හිතුවේ මම ටිකට් නැතුව අහුවෙලා කියලා.
මාව ගාඩ්රූම් එකට එක්කගෙන ගිහින් සීට් එකක තිබුණු අඟුරු පිහදාලා “After this you can read your books here” කියලා ඒ ආසනය පෙන්වලා කිව්වා. ඉන්පසුව මාතලේ ඉඳල නුවර යන විටයි නුවර ඉඳල මාතලේ යන විටයි මම වඩි වුණේ මෙතන. “කෝච්චියේ යන එනකොට මම දැක්ක පොත් කියවන එකම කෙනා ඔබයි” කියලා ඔහු මට කිව්වා. ඉතින් මේ ගමන හින්දම මම හරි පොත් කාවෙක් වුණා. මට උගන්වපු සිංහල සාහිත්‍ය මාස්ටර් ගුණරත්න.
ඔහු අලුත් පොතක් පුස්තකාලයට ආ සැණින් ම මට කියනවා මේ පොත හොඳ පොතක් අද ගෙනිහිල්ලා සඳුදාට ගෙනත් දෙන්න කියලා. ඒ වගේම මට මේ පොතේ තිබෙන කතාව ගැනත් කියන්න කියලා. 1952 දි සෙන් සිල්වෙස්ටර් විදුහලෙන් මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. ඊළඟට වසරකින් අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාරු වුණා කොළඹින්. අපේ බැච්වල හිටපු ඈයො ආපහු හැරිල බලන කොට හැම දෙනාම වගේ රටේ ලොකු ලොකු තානාන්තර දැරුවා.
දිසාපති වෙලා ගියා. මම ලංකා සිවිල් සර්විස් විභාගය 1957 දි සමත් වෙනවා. මගේ මිතුරන් හතර දෙනෙකුත් සිවිල් සර්විස් සමත් වෙනවා. අපි අතරින් ලංකාවේ ජනතාව හොඳින් ම දන්නේ මා ගැන පමණයි. ඒ දන්නේ මා ලියූ ත්‍රිකෝණ අරගලය, පෙත්සම, අත්සන පොත් නිසයි.
ඔබේ රාජකාරි දිවියේ ඇරැඹුම?
මට පළමු පත්වීම ලැබුණේ මහභාණ්ඩාගාරයට. පසුව කෙඩෙට් නිලධාරි වශයෙන් මන්නාරමට මාව ඇරියා. කෙඩෙට් වුණාට තනතුර උනේ උපදිසාපති පදවියයි. මන්නාරමේ පත්වීම මට ලැබුණා.
ඇයි ඔබ මන්නාරමට ගියේ?
ඇත්ත වශයෙන්ම, මම ඉල්ලුවේ මන්නාරම. මොකද, අපේ බාප්පා මට නිතර ම කිව් දෙයක් තිබුණා. ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කියලා. මම එහි යන විට මන්නාරමේ සිංහල මිනිස්සු පස් දෙනයි ටවුමේ හිටියේ ඒ කාලෙ. ඉතින් අපි ඒ අයට හරි වැදගත්. නුවරට ගියා නම් සිංහලයො පිරිලා.
ඊට පෙර මං මාතලේ විජය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළා. ඒ ඉස්කෝලෙත් මම හොඳට වැඩ කළා. ඉස්කෝලෙ දියුණු කරන්න කටයුතු කළා. ඉන්පස්සේ තමයි සිවිල් සේවයට මම එකතු වුණේ. මට මතකයි මම දිසාපති හමුවෙලා මන්නාරමේදී වැඩ භාර ගත් මොහොත. එතෙන්දි මං ඉස්සෙල්ල ම කළේ කවියක් ලියපු එකයි.
මන්නාරමේ ඔබ ලද අත්දැකීම් මොන වගේද?
බොහොම හොඳයි. මන්නාරම් වැසියන් මට හොඳට සැලකුවා. ඒ සේවයේදී මම දෙමළ භාෂාවත් ඉගෙන ගත්තා. එහේ තිබුණා තිරුකතිශ්වරම් කියලා කතරගම දේවාලයක්. මං ඒකට නිතර යනවා. මගේ මිතුරෙක් හිටියා විශ්වනාදන් කුමාරස්වාමි කියලා. ඔහුත් සමඟ තමයි යන්නේ. ලංකාවේ සෑම වසර දහයකට වරක් ම ගංවතුරක් එනවා. 1958 දී මන්නාරමට ගංවතුර ආවා. මන්නාරමේ යෝධ වැව කඩාගෙන ගියා. ඒත් එක්කම අනුරාධපුරේත් කලා වැව කඩාගෙන ගියා. මම මන්නාරමට සේවයට ගියේ හයමාසයකට වුණත් මේ සිදුවීම් එක්ක තවත් මාස තුනක් මන්නාරමේ ඉන්න කියලා කොළඹින් දැනුම් දුන්නා.
එහිදී මිනිස්සුන්ට ගෙවල් හදා දෙන්න, ඔවුනට කෑම බීම, යෝධ වැව යළි පිළිසකර කරන්න මේ හැමදේටම මුල්වෙලා මම කටයුතු කළා. මේ කර්තව්‍යයෙන් පසුව මට කොළඹට යන්න සිදු වුණා.
ඒත් ඔබ අනුරාධපුරයට අතිරේක දිසාපති ලෙස පත්වෙනවා?
කොළඹ සේවය කරමින් ඉද්දී මට හිතුණා ගංවතුරින් පසුව නැවතත් අනුරාධපුරයට යන්න ඕන කියලා. මම එහෙට ගියා. දිසාපතිවරු කවුරුත් හිටියෙ නැහැ. සෙනඟ තැන තැන නිදි. මිනිස්සු විලාප තියෙනවා. ගෙවල් කඩාගෙන ගිහිල්ලා. ඉතින් මම ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින්, රුවන්වැලිසෑයත් වැඳලා, භාරයකුත් වුණා. මට මීළඟ පත්වීම අනුරාධපුරේට ම ලැබෙන්න කියලා. ඒ මේ අසරණ ජනතාවට පිහිට වෙන්න ඕන කියලා හිතුණු නිසා. මම හිතපු විදිහට ම අනුරාධපුරේට ම මට අතිරේක දිසාපති ලෙස පත්වීම ලැබුණා.
අනුරාධපුරය පූජා නගරයක් කරන්නේ ඔබ අතිරේක දිසාපති ලෙස සේවය කරත්දියි?
ඔව්, එයත් දෛවෝපගත සිදුවීමක්. මොකද මට මෙතැනදී එක් සිදුවීමක් මතක් වෙනවා. ඒ කුඩා කාලයේදී අනුරාධපුරයේදි කුලුන විවෘත කරන උලෙළට මගේ බාප්පටත් ආරාධනාවක් ලැබිලා තිබුණා. ඔහුත් සමඟ ඒ අවස්ථාවට මට යන්න සිදු වුණා. එය විවෘත කරන්න පැමිණියේ බණ්ඩාරනායක මහත්තයා. එතුමා ඇවිත් චතුර ලෙස කතා කළ හැටි දැකලා මගේ බාප්පත් මට ප්‍රාර්ථනාවක් කළා. “ළමයෝ උඹටත් මේ වගේ ම මේ නගරයේ දී ම මේ විදියට කතා කරන්න වාසනාව ලැබෙන්න ඕනැ කියලා.” මොකද මමත් ඉගෙනීමට හපනෙක් නිසා. එදා බාප්පා කළ ප්‍රාර්ථනාව පසුකලක සඵල වුණා. මම 1958 දි අනුරාධපුරයේ අතිරේක දිසාපති ලෙස වැඩ භාර ගත්තා. මේ කාලයේ දී අනුරාධපුර නගරය පූජා භූමියක් බවට පත්කරන්න අපිට හැකි වෙනවා. එදා මිනිස්සු මේ කාර්යයට ඉහළින් ම කැමැති වුණා. මොකද හැමතැනම අනුරාධපුරයේ මස්කඩ පිරී තිබුණා. ජය ශ්‍රී මහා බෝධිය අවටත් පොල් අතු මඩුවල ඌරු මස්, හරක් මස් විකිණුවා. ඒවා සියල්ල ඉවත් කරලා අනුරාධපුරය අපි පූජා නගරයක් බවට පත් කළා.
ඔබගේ සාහිත්‍ය නිර්මාණවලට මේ නුවර කලාවිය බොහෝ සේ ප්‍රස්තුත වෙනවා නේද?
රජරට ගෙවුණු ජීවිතය ඇත්තට ම මගේ සාහිත්‍ය හැඟීම් තවතවත් වැඩි දියුණු කළා කිව්වොත් හරි. එයට බලපෑවේ ඒ රජරට ජීවත් වුණු ගැමියන්ගේ අවිහිංසක අව්‍යාජ දිවිපෙවත. ඒ ජීවිතවල පුදුමාකාර දුක්ඛ දෝමනස්සයන් තිබුණා. ඒ වගේ ම ඔවුන් තුළ පුදුමාකාර හොඳ ගතිත් පැවැතුණා. මේ ජීවන රටා දැකීමෙන් මගේ සිත කම්පනයට පත් වූ වාර අනන්තයි. ඒවා තමයි පසුකලෙක මගේ නවකතාවලට, කවි පොත්වලට පාදක වෙන්නේ.
ඒ කාලෙ ලෝකෙ තිබුණු ලොකු ම වැව තමයි බසවක්කුලම. රුවන්වැලි සෑය මෙහායින් තිබුණා. ඒ දාගැබට ගහන්න කිසිම දාගැබක් අදටත් නැහැ. එතරම් ම සුන්දරත්වයක්, වටිනාකමක් එය සතුයි. මම ඒ පූජනීය බව කවියට නැගුවා.
බසවක්කුලම වැව් කණ්ඩිය එහා කොණේ
හිස ඔසොවා රන්වැලි සෑය පෙනේ
දෙස රැස බසට පෙර සිහලුන් තිබුණ සෙනේ
ඇස හැර නොබැලුවත් රජ රට තවම පෙනේ
දවසක් උදේ දහයට විතර මම අලුත් කාර් එකක් අරගෙන කලා වැව කණ්ඩිය දිගේ පදවාගෙන යනවා. මම දැක්ක සුන්දර යුවතියක් දිය නානවා. මට කවියක් පබදින්න මොහොතයි ගියේ. (ඔහු තාලයට ගීතය ගයයි)
ලස්සන යුවතියක් පිනවන තරුණ හද
දැක්කෙමි නානවා තනියම වැවේ අද
එක්කරගෙන යන්න සිතුමුත් අතින් ඇද
රැක්කෙමි දිසාපතිකම දුක් විඳල ලද
මේ කවිය කියවලා ජනාධිපතිතුමා බොහොම හොඳයි කිව්වා. ඒ මගේ 82 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැති උපහාර උලෙළේදියි. (ඔහු හිනැහෙමින් පවසයි)
අනුරාධපුරයේදී තමයි මම දිසාපතිවරයෙක්, සාහිත්‍යකරුවෙක් විදිහට හුඟක් ප්‍රසිද්ධ වෙන්නේ. එයට හේතු වුණා මම රචනා කළ පෙත්සම කෘතිය. ඒ වගේ ම, මිනිස්සුන්ට මම කරපු උදව් පදව්. රජ රට හුඟක් වැව් හැදුවා. ගම්මානවල ඇළ වේලි පිළිසකර කළා. ගෙවල් හදලා දුන්නා. ඉඩම් ලබා දෙන්න කටයුතු කළා. මිනිස්සු අදටත් මගෙන් වූ සේවය ගැන කතා කරනවා. ඒ වගේ ම අදටත් මම රජරටට සේවය කරනවා. දැන් මම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කරනවා.
මම පෙත්සම නවකතාව ලියන්නේ 1960 දියි. 1906 දි ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිසාපතිව සිටිමින් ‘විලේජ් ඔෆ් ද ජන්ගල්’ කෘතිය රචනා කළා. ඒ ඉංග්‍රීසියෙන්. ඉන් පසුව මම තමයි දිසාපතිවරයෙක් ලෙස පළමුවරට තමන්ගෙන් පාලනය වන මිනිසුන් ගැන සිංහලන් නවකතාවක් රචනා කරන්නේ. ඒ තමයි පෙත්සම නවකතාව. මේ දිනවල මම එය ඉංග්‍රිසියට පරිවර්තනය කරනවා.
මේ කෘතියෙන් කතාබහට ලක් වෙන්නේ මොනවද?
රජරට ජනතාවට රජය පෙනෙන හැටියි. ඊට අමතරව ‘අත්සන’ කෘතියෙන් කියන්නේ රජයට ජනතාව පෙනෙන හැටි ගැනයි. මේ කෘති දෙක ම හුඟක් ජනප්‍රිය වුණා.
‘මං නැතිදා’ වැනි නවකතා, ත්‍රිකෝණ අරගලය කවි පොතත් මම රචනා කළා. ‘පෙත්සම’ කවි පොතට සම්මාන පවා හිමි වුණා.
ඔබේ ජීවිතය ත්‍රිකෝණ අරගලයක් බව ඔබ පවසනවා. කවි පොතකින් ම?
ඇත්තට ම මේ අදහස මට විතරක් පොදු දෙයක් නෙමෙයි. අපි කාගේත් ජීවිත ගත්ත ම මේ වගේ. දවසක් දයානන් ගුණවර්ධන මට කිව්වා ඔබ තුමාගෙ ජීවිතේ ත්‍රිකෝණ අරගලයක් වගේ නේද කියලා. මං කිව්වා ඒක නම් සහතික ඇත්ත කියලා. මොකද එකක් තමන්ගේ පවුල හා නෑදෑයින්. එය රැක බලා ගන්න ඕන. අනෙක රැකියාව. තුන්වෙනි එක සංස්කෘතික වැඩ, අනං මනං දේවල්. මේ විදිහට තමයි කෙනෙකුගේ ජීවිතය ත්‍රිකෝණ අරගලයක් බවට පත්වෙන්නේ. මෙයට මම ත්‍රිකෝණ අරගලය නමින් කවි පොතක් ලිව්වා. එයට විවිධ ප්‍රස්තුත ඇතුළත් වුණා. නුවර කලාවියේ මිනිස්සු මට ලියූ කවි, මම ඔවුනට ලියූ කවි, ගුරු වෘත්තිය, වැඩ භාර ගත් මොහොත මේ ආදී වශයෙන්.
ඔබ දිසාපති පදවියට අමතරව රජයේ ප්‍රධාන පෙළේ නිලතල දැරුවෙක්?
මම දිසාපතිවරයෙක් විදිහට මන්නාරම, අනුරාධපුරේ, කෑගල්ලේ, රත්නපුරේ, කළුතර, මේ හැම පළාතක ම වැඩ කළා. කළුතර දිසාපති ලෙස කටයුතු කරන සමයේ තමයි එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් මණ්ඩලයේ ලේකම් ලෙස මට කටයුතු කරන්න සිදුවුණේ.
ඒ කාර්යය ලේසි වුණාද ඔබට?
ඒ කැබිනට් මණ්ඩලයත් මහ අමුතු එකක් වුණා. මොකද එවකට හිටි දැවැන්ත ම චරිත තමයි එහි හිටියේ. මැතිනිය, මෛත්‍රීපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න, බදුර්දීන් මොහොමඩ්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කේනමන් වගේ අය. ඒ අයගෙ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීමත් භාග්‍යයක්. ඊට වඩා භාග්‍යය තමයි මැතිනිය සමඟ වැඩ කරන්න ලැබීම.
රට පාලනය කිරීමේදී ඔබ මැතිනිය දකින්නේ කොහොමද?
මැතිනිය මිනිස්සු හිතන තරම් දුර්වල කෙනෙක් නෙමෙයි. ලොකු ලොකු විභාග පාස් නොකෙරුවා කියලා එතුමිය ගේ දැනුමේ කිසිම අඩුවක් නැහැ. කෙනෙක්ට බනින්න ඕන නම් මට කියනවා කැබිනට් රැස්වීමෙන් පසුව අහවලාට මාව හමුවෙන්න කියන්න කියලා. මමත් ඉතින් පණිවුඩය කියනවා. ඇමැතිවරු මගෙන් අහනවා ලේකම්තුමා ලොකු ප්‍රශ්නයක් ද කියලා. මමත් ඉතින් කියනවා “ප්‍රශ්නෙ නම් ටිකක් ලොකු වගේ පෙනෙනවා. මම ඔබ තුමාට උපදෙසක් දෙන්නද කියලා අහනවා. අනේ දෙන්න කියලා ඔවුන් මට කියනවා.
“මැඩම් ෙමාන දේ කිව්වත් ඒ කියන දේ හොඳට අහගෙන ඉඳලා පසුව මැතිනිය කතා කරලා ඉවර වුණාම මමත් දෙයක් කියන්න ද කියලා අහලා උත්තර දෙන්නක කියලා.” ඒ විදිහට ඔවුන් කටයුතු කරනවා. ප්‍රශ‍්නෙත් විසඳගන්නවා.
මීට අමතරව මම විදේශ කටයුතු හා ආරක්ෂක අතිරේක ලේකම් ලෙසත් කටයුතු කළා. ඒ කාලයේ තමයි 71 කැරැල්ල ඇති වුණේ. එහිදී මට මාස දෙකක් පමණ පොලිස්පතිවරයා ලෙසත් කටයුතු කරන්නට සිදුවුණා. 71 කැරැල්ලේදී තරුණයන් විසි දහසක් පමණ පුනරුත්ථාපනය කළා. මම ඒ කාර්යය හොඳට කෙරුවා කියලා එංගලන්තෙ ආණ්ඩුවෙන් මට දකුණු ආසියා ශාන්තිකර කලාපයේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ධුරය පිරිනැමුවා. එහි වසර තුනක් පමණ මම කටයුතු කළා. ඉන්පසුව සංස්කෘතික අධ්‍යක්ෂක, සමාජ සේවා අධ්‍යක්ෂක, ළමා රක්ෂණ අධිකාරියේ කොමසාරිස් වැනි තනතුරු බොහොමයක් මම හෙබවූවා. 1988 දි මම රජයේ සේවයෙන් විශ්‍රාම ලැබුවත් අද දක්වා ම මගේ සේවය මම මේ රටට ලබා දෙනවා. දැන් මගේ වයස අවුරුදු 86 ක්.
ඔබේ ජීවිතේ දෙස ආපසු හැරී බලත්දී මොකද හිතෙන්නේ?
මම රටට කරපු සේවය ගැන මට ම සන්තෝෂ වෙන්න පුළුවන්. අදටත් මිනිසුන් මා ගැන හුඟක් හොඳ කියනවා. ඊට වඩා සතුටක් ඉතින් වෙන කොයින්ද?