මර­ණයේ ලකුණු කලින් හෙළි කළ රාජ්‍ය නාය­කයෝ | සිළුමිණ

මර­ණයේ ලකුණු කලින් හෙළි කළ රාජ්‍ය නාය­කයෝ

මිනිස් සිතට දැනෙන ඇතැම් හැඟීම් සහ දැනීම් මඟින් අතිශය පුදුම සිදුවීම් අනාවරණය වේ. කිසිදු හේතුවක් නොමැතිව ඇතිවන එවැනි සිතුවිලි අධිමානසික පර්යේෂණවලට ද යොමුවේ. (TELEPATHIC IMPRESSIONS) යනුවෙන් ද හැඳින්වෙන එවැනි සිදුවීම් ම‍නෝ සංඥා ලෙස පිළිගැනේ. අධිමානසික පර්යේෂණ මගින් නිරීක්ෂණවලට ලක්කළ මනසේ ක්‍රියාකාරිත්වය තුළින් මතුවන එවැනි මනෝ සංඥා (EXTRA SENSORY PERCEPTION) යනුවෙන් ද මනෝ විද්‍යාවට ඇතුළත් වී තිබේ.

ඇතැම්විට තම ඥාතීන්ට සහ හිතමිතුරන්ට සිදුවන අනතුරු පිළිබඳ වෙනත් අයෙකුට ඇති වන සිතුවිලි මනෝ සංඥා ලෙස පිළිගැනීමට සිදුවේ. මේ අතර තමන්ට සිදුවන අනතුර දැනුණු බැව් හෙළි කළ අවස්ථාද ඇත. එවැනි සිදුවීම් මනෝ සංඥා ලැබීම් ලෙස ද අනාවරණය වේ. එවැනි අනතුරු ම‍නෝ සංඥා මඟින් දැනුණු රාජ්‍ය නායකයෝ ද සිටිති. ඔවුන්ට තම මරණය පිළිබඳව සංඥා ලැබුණු බැව් පිළිගැනෙන සිදුවීම් ඇමෙරිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙන් ද අනාවරණය විය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්, ඉන්දියාවේ හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යන රාජ්‍ය නායකයන්ගේ එවැනි මනෝ සංඥා පර්යේෂණ අතරට එක්වී තිබේ. මහත්මා ගාන්ධි ද එවැනි ම‍නෝ සංඥාවක් ලද අයෙකු ලෙස ද අනාවරණය වේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්වී ඝාතනය වූයේ 1865 අප්‍රේල් 15 වැනිදාය. ඒ වන විට පනස් හය වැනි වියේ පසුවූ ලින්කන් ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා විය. ඔහුගේ මරණයට පෙර දින සිහිනයක් මඟින් දක්නට ලැබුණු සංඥාවක් මනෝ විද්‍යා පර්යේෂණ අතරට එක්වී තිබේ. ඔහු නිදි යහනේ සිටියදී දක්නට ලැබුණේ ‘වයිට් හවුස්’ නමින් හැඳින්වෙන ජනාධිපති මැදුරේ මළ සිරුරක් තබා ඇති අයුරුයි. ඒ කුමක්දැයි ඔහු රැස්ව සිටි අයෙකුගෙන් විමසීය. ජනාධිපතිවරයාගේ සිරුර යයි පිළිතුර ලැබිණි. තමා දුටු දර්ශනය ලින්කන් සිය ආරක්ෂක නිලධාරියෙකුට ද පැවසීය.

පසු දින ලින්කන් ජනාධිපතිවරයා රාත්‍රී නාට්‍ය ශාලාවක පැවැත්වෙන නාට්‍යයක් නැරඹීමට යෑමට සූදානම් විය. ආරක්ෂක නිලධාරියා පැවසුවේ එම ගමන අවලංගු කරන ලෙසය. එහෙත් තම බිරියට ද එම ආරාධනාව ලැබී ඇය ද එහි යෑමට සූදානමින් සිටින නිසා ගමන අවලංගු කළ නොහැකි බැව් ඔහු පැවසීය. බිරිය සමඟ නාට්‍ය නරඹමින් සිටි ලින්කන් ජනාධිපතිවරයා සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්විය. ලින්කන් දුටු අයුරින් ම ඔහුගේ දේහය පසු දින වයිට් හවුස් මන්දිරයේ තැබීමට සිදුවූයේ අතිශය පුදුම අයුරිනි. ලින්කන්ගේ මෙම සිදුවීමත් සමඟම ඔහුගේ මුවින් පිටවූ වදනක් ද විශේෂත්වයක් විය. එනම් රාත්‍රී කාලයේදී ඔහු ආරක්ෂක අංශවලින් පිටත්වන විටදී ආරක්ෂකයන්ට ‘ගුඩ් නයිට්’යනුවෙන් සුබ පතා සමුගැනීම සිරිතය. එහෙත් එදා ඝාතනයට ලක්වූ දිනයේ ඔහු ඔවුන්ගෙන් සමුගනු ලැබුවේ ‘ගුඩ් බායි’යනුවෙන් පවසමිනි. ජනාධිපතිවරයා සමීපව ඇසුරු කළ අයට ඒ වදන් ද පුදුමයක් වූ බව පළවිය.

ඉන්දියාවේ හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධිගේ මරණය සම්බන්ධව සිදුවූවක් ද මනෝ සංඥා අතරට ඇතුළත්වී තිබේ. ඇය වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වූයේ 1984 ඔක්තෝබර් 31 වැනිදාය. ඒ වන විට ඇය 67 වැනි වියේ පසු වූවාය. නවදිල්ලියේ ඇගේ නිවෙසේ සිට නිවෙස ආසන්න කාර්යාලය වෙත ගමන් ගනිමින් සිටියදී ඇයට වෙඩි තබනු ලැබීය. වෙඩි ප්‍රහාරයෙන් සිහිසුන්වූ ඇයට ශල්‍යකර්මයක් සිදු කළ නමුත් දෙපැයක් ඇතුළත ඇගේ මරණය සිදුවිය.

මරණය සිදුවීමට පෙර දින ඇගේ මුවින් පිටවූ වදනක් ද මනෝ සංඥාවක් ලෙස අවධානය යොමු විය. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පැවති රැස්වීමකදී ඇය කළ ප්‍රකාශය අතිශය පුදුම උපදවන සුලුවිය. එම රැස්වීමේදී ඇය ප්‍රකාශ කළේ ඇගේ සිරුරින් පිටවන හැම ලේ බිඳුවක් ම ජාතියේ බලයක් බවට පත්වන බවය. එම ප්‍රකාශය ඇය විසින් සිදුකරනු ලැබුවේ දැඩි ලෙස හැඟුම්බරවය. සිරුරේ රුධිරය සිහිපත් කරමින් ඇය මීට පෙර කිසිදු ස්ථානයකදී එවැනි ප්‍රකාශයක් කර නොතිබිණි. එම ප්‍රකාශය ඇගේ දේශපාලන ආධාරකරුවන්ගේ ද මවිතයට හේතු වී තිබිණි. එම ප්‍රකාශය සිදු කර දිනක් ඇතුළත වෙඩි ප්‍රහාරයෙන් ඇගේ සිරුරෙන් රුධිරය ගලා යෑමත් සමඟ ඇය මරණයට පත්වූයේ එම ප්‍රකාශය මරණය පිළිබඳව සිදු කළ මනෝ සංඥාවක් බවට පත්කරවමිනි.

මහත්මා ගාන්ධිගේ මුවින් පිටවූ වදනක් ද මනෝ සංඥාවක් සිදුවූවක් ලෙස පර්යේෂණ අතරට එක්වී තිබේ. තම මරණය සිදුවන අවස්ථාවකදී ‘රාම් රහීම්’ යනුවෙන් දෙතොලෙන් පිට කිරීමට ඉඩක් ලදොත් මරණය සතුටින් විඳ දරාගත හැකි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව 1948 ජනවාරි 30 වැනි දින ගාන්ධිට වෙඩි තැබීම සිදුවිය. එදින වෙඩි ප්‍රහාරය ලැබීමෙන් පසු දෙතොල් මුමුනමින් එම වදන් ප්‍රකාශ කිරීමට ඔහුට හැකියාව ලැබිණි. ඔහු අවසන් හුස්ම හෙළුවේ ‘රාම් - රහීම් ’යන වදන් මුමුනමිනි. ගාන්ධිගේ ම‍නෝ සංඥාවක් ලෙස පිළිගනු ලැබූ එම ප්‍රකාශය ග්‍රන්ථයක සඳහන් වන්නේ (EVEN I AM KILLED I WILL NOT GIVE UP REPEATING THE NAMES OF RAM AND RAHIM WHICH MEAN TO ME THE SAME GOD. WITH THESE NAMES ON MY LIPS, I WILL DIE CHEERFULLY)යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඝාතනය වූ ප්‍රථම රාජ්‍ය නායකයා වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. 1959 සැප්තැම්බර් 25 වැනිදා සාහසික වෙඩි පහරකට ලක්වූ බණ්ඩාරනායක මහතා දිවියෙන් සමුගත්තේ හැටවැනි වියේදීය. ඔහුගේ මුවින් පිටවූ වදනක් ද අතිශය පුදුම මනෝ සංඥාවක් බවට පත්වීය. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගීවීමට යෑමට දින තුනකට පෙර බණ්ඩාරනායක මහතාගේ මුවින් පිටවූ වදනක් එවකට අග්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ ද පුදුමයට හේතුවක් විය.

සැප්තැම්බර් 24 වැනිදා වනවිටත් බණ්ඩාරනායක මහතා රටින් පිටවන විටදී වැඩ බලන රාජ්‍ය නායකයෙකු නම් කිරීමක් සිදුවී නොතිබිණි. 24 වැනිදා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රැඩ්මන් වීරකෝන් මහතා බණ්ඩාරනායක මහතා හමුවිය. වැඩබලන රාජ්‍ය නායකයෙකු පත් කිරීමට සිදුවන්නේ රාජ්‍ය නායකයා රටින් පිටවන අවස්ථාවකදී සහ ඔහු කිසියම් දුබල භාවයකට පත්වූ අවස්ථාවකදීය. ඒ අනුව බණ්ඩාරනායක මහතා රටින් පිටව ගිය විට වැඩබලන රාජ්‍ය නායකයා ලෙස පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න බ්‍රැඩ්මන් අගමැති බණ්ඩාරනායක මහතාගෙන් විමසීය. එය සිදුවූයේ 24 වැනිදා සවස් වරුවේ පාර්ලිමේන්තුවේ එතුමාගේ කාර්යාලයේදීය.

ඩබ්ලිව් දහනායක මහතා පත්කරන ලෙස අගමැතිවරයා බ්‍රැඩ්මන්ට නියෝග ක‍ළේය. ඒ අනුව වැඩබලන රාජ්‍ය නායකයා ලෙස දහනායක මහතා පත්කිරීමේ ලිපිය සකස් කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එම ලිපිය ද රැගෙන අත්සන් ලබා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතා වෙත ගියේය. ඔහු සකස් කළ ලිපියේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයෙකු පත්කිරීමේ වගන්තිය යටතේ ඇති රටින් පිටවීම හෝ දුබලතාවයට පත්වීම පිළිබඳව සඳහන් කර තිබිණි. දුබලතාවයට පත්වීම ලෙස තිබූ වදන වූයේ INCAPACITATION යනුවෙනි. ලිපිය කියවා බැලූ බණ්ඩාරනායක මහතා INCAPACITATION යන වදන දෙවරක් ම හඬ නඟා කියවීය. නැවතත් එදෙස බැලූ බණ්ඩාරනායක මහතා (TEMPORARY INCAPACITATION) “ටෙම්පරරි ඉන්කැපසිටේෂන්” යනුවෙන් පවසා සිනහවක් ද පා බ්‍රැඩ්මන් දෙස බලා ලිපියට අත්සන් තැබීය.

එවැනි වදනක් බණ්ඩාරනායක මහතා දෙවරක්ම හඬ නඟා ප්‍රකාශ කිරීම බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ පුදුමයට හේතු විය.

බණ්ඩාරනායක මහතාගේ අත්සන සහිත ලිපිය වහාම එවකට අග්‍රාණ්ඩුකාර වූ සර් ඔලිවර් ගුණතිලක මහතා වෙත බාර දුන් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පසු දින එනම් 25 වැනිදා උදේ සිය කාර්යාලයේ වැඩ කරමින් සිටියේය. ඒ සමඟම බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා දුරකථනයෙන් දන්වා සිටියේ බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඇති බවය.

බණ්ඩාරනායක මහතා කලින් දින අත්සන් කර තිබූ ලිපියේ සඳහන් පරිදි අගමැතිවරයා දුබලතාවට පත්වීම නිසා ක්ෂණිකව දහනායක මහතා වැඩබලන රාජ්‍ය නායකයා ලෙස පත්කිරීමට අග්‍රාණ්ඩුකාරවරයාට හැකිවිය. මේ අයුරින් මරණය පිළිබඳව ඇතිවන සංඥා ලෙස මෙම රාජ්‍ය නායකයන්ගේ සිදුවීම් ද පර්යේෂණ අතරට එක්වී තිබේ.

 
 
 

Comments