
අප්පච්චී අගෝරිස් කපුවා සමඟ ආලින්දයේ දිගු කතාබහක යෙදෙනවා මලින්දට ඇසුණේ හදිසියෙනි. අගෝරිස් කපුවා රත්නපුර වලව්වට වගේම ශ්‍රීජය වලව්වටත් චිරාත් කාලයක පටන් සේවය කරන කෙනෙකි. සේවයට අමතරව මහා ඕපාදූප සේවයකුත් කරන බව මලින්දට මතකය. ඒ බව ශ්‍රීමාල් මල්ලිත් ජයමාල් මල්ලිත් කියා ඇති නිසා මලින්ද මොහොතකට වරින්වර ඒ දෙබසට කන් යොමු කළේ කාටවත් නොදැනෙන ලෙසය.
සාමාන්‍ය කතාබහ මොහොතකින් ඉතා තියුණු වාග් සංග්‍රාමයක් බවට පත්වෙද්දී මලින්ද බැලුවේ අම්මා කොහිදැයි කියාය.
“එහෙම කතා කරන්න එපා හාමු මහත්තයා. ඒ කතාව හරිම අසාධාරණයි. මම ඔක්කොම තීන්දු කරලනේ තිබ්බේ...”
“එහෙම තීන්දු කරලා තිබ්බ නම් මොකක්ද මේ උන්හිටි ගමන් ඇතිවෙච්චි විලම්බෑසිය... ආ.. මේ අගෝරිස්! මං දන්නවා තමුසෙලාගෙ වැඩ.. ඕවා තමුන්ලගෙ ජම්මගති.. හහ්..!...”
ගොඩලියද්ද ආලින්දයේ එහා මෙහා ගියේ ගුගුරමිනි. අගෝරිස් කපුවා ද නාගයෙකු වගේ කිපිලාය.. තමා වෙත කරන ලද චෝදනාව අවමානයක් බව වැටහී ඔහු බොහොම දරුණු වෙයි. ඔහුෙග් උඩු රැවුල නටන්නේ තරහටමය.
“ඇයි මං මොකක් කළාද? හහ්... අප්පලගෙ පුතාලගෙ පට්ටංදර එළිවෙද්දි ඒ මිනිස්සුන්ට මංගල්ලෙ එපා වෙන්න ඇති හහ්...” ඔහුට එසේ කියැවුණේ ඉබේටමය.
“මක් කිව්වා...? බොල... කඩනවා තගෙ කට...! මොකක්ද පට්ටංදර.. ආ.. කියපිය..!”
“පුතංඩියා... කෙල්ලෙක් එක්ක... රෝන්දෙ යනවලු... හා... ඒ මදිට... අප්පා... අ... අප්පා...”
“හහ්... කියපිය... කියපිය... ඇයි ගොත ගහන්නෙ...?”
ගොඩලියද්ද හාමු අගෝරිස් වෙත කඩා පැන්නේ ගහන්න වගේය. අගෝරිස් පුරුෂ ධෛර්ය අරගෙන කෑගසයි.
“හ.. හාමුගෙ දරුවෙක්... චන්ද්‍රලතා... ලෙග ගෙදර... කියලා...”
“ඔව් ඉතින් මගෙ දූ එහෙ එකෙක් එක්ක පැනලා ගියා තමයි... ඒක කවුරුත් දන්නවනෙ... ඉතිං...?”
“එ.. ඒක නෙමේ.. හාමු... චන්ද්‍රලතාගෙ දුව.. ගැන... ඒ කතාව කීවෙ.. ඒ ගොල්ලෝ...!”
එකවරම ගොඩලියද්ද නිහඬ වුණේය.
මේ දෙබසට සවන් දීගෙන සිටිය මලින්ද ගේ අත්දෙත් එක්කම කකුල් දෙකත් වෙව්ලන්නට ආවේය. අමුතු ම විදියේ කම්පනයකින් ඔහු ත්‍රස්ත විය.
ඉක්මනින් කලිසමක් ලා ගත් ඔහු පැති දොරටුවෙන් එළියට ආවේ තම මෝටර් සයිකලය කරාය. සෙනසුරාදාවේ පන්සල් ගොසින් බෝධි පූජාවට සහභාගි වී මෙහෙකාරිය සමඟ එමින් සිටිය අම්මා දැකපු ඔහු තිගැස්සුණි.
අප්පච්චි සමඟ අගෝරිස් කපුවාගේ සංවාදයේ අවසාන හරිය ඇයට ඇසෙන්නට ඇතැයි සිතුනේ අම්මාගේ මූණේ තිබුණු කැලඹිල්ල දැකලාය... එය භයානක කැලඹිල්ලකි... මොහොතක්වත් රැඳී නොසිට මලින්ද තම මෝටර් සයිකලයට නැග ඉගිල්ලී ගියේය. රියැදුරා ගරාජයේ සිට මලින්ද ගිය දිහා බලා සිටියේ කිසිම දෙයක් හිතාගන්නට බැරිවය.
*******
“ගොඩාක් දවසකට පස්සෙ නෙ බං අපිට මෙහෙම ජොලියක් දාන්න වුණේ... බලපං... එක දිගට ම පොත්වල ඇලිලා ඇලිලා ඉන්නා අපට.. ජීවත්වෙනවා කියලා දැනෙන්නේ මේ වගේ ජොලියකින් තමා... හහ්...!”
ශ්‍රීමාල් කීවේ උදම් සිතිනි. බෝඩිම් කාමරය තුළදී දැමූ සංගීත සාජ්ජය බොහොම අපූරු එකක් වුණේ බෝඩිම් අයිතිකාරියත් මඟුල් ගෙදරක ගිහිල්ලා නිසාය. සංජය නැවතත් අලුත් නාට්‍ය සින්දුවක් පටන් ගත්තේ සාජ්ජයට නව නැම්මක් එක්කරමින්ය.
“දන්න වංහුං අප කන්දසාමි... රාජ ධූරයේ...
රාජ ධූර... රාජ ධූර... රාජ ධූරයේ//....”
නට නටා ගිය ශ්‍රීමාල් ද චතුරගේ උරිස්ස අල්ලාගෙන ම කෙළින් ම ඇඳ මත පිනුමක් ද ගැසුවේ උද්දාමයෙනි.
සිනා හඬත් අත්පොළසන් හඬත් පැතිරෙද්දී ශ්‍රීමාල්ගේ ජංගම දුරකතනය නාද වෙයි.
“ඔන්න ඔය කං කරච්චලේ ඕෆ් කරපං.. බං...!”
සිරිනාත කෑ ගෑවේ සතුටට බාධා කරන සතුරෙක් ආවා වගේය. දුරකතනය ක්‍රියා විරහිත කරන්න ගිය ශ්‍රීමාල්ට පෙනුණේ ඇමතුම මලින්ද අයියාගෙන් බවය. සෙස්සෝ නැවත ගීතය පටන් ගනිද්දී ශ්‍රීමාල් කාමරයෙන් එළියට ගියේ ඝෝෂාව නිසා ඇමතුමට බාධා හෙයිනි.
එහා පැත්තේ සිට මලින්ද කතා කළේ හැඬුම්බරවය. ශ්‍රීමාල් තිගැස්සුණේ ඒ නිසාය.
“කියන්න මලින්ද අයියා... මොකද කරදරයක් ද... සුදු නැන්දාටවත් ආයෙ අසනීපෙ ඇවිල්ලද?”
“මට මේවා මෙහෙම කියන්න බෑ මල්ලි... මං මේ එන ගමන්. වරෙන් ටවුමට.. අපේ අර ස්පොට් එකට...! මට හදිසියි.”
ශ්‍රීමාල් ඒ ක්ෂණයෙන් ම ඇඳුම් මාර කරගත්තේ හිත කලබලයෙනි. යහළුවන් හැම දෙනාම සින්දුව නවත්වා කෑ ගසයි.
“මොකක්ද බං.. උඹ ජොලිය කෑවා! මෙච්චර ම මේ වැඩේ උත්සන්නෙන් යද්දි...උඹ දුවනවා.. කෙල්ල බලන්න.. උඹට පිස්සුද?”
“කෙල්ල නෙමේ බං...! අපේ මලින්ද අයියට මොකක්දෝ ලෙඩක් වැටිලා.. මං හිතන්නෙ එයාගෙ මංගල්ල කතන්දරයක් වෙන්න ඇති ගෙදර ප්‍රශ්නයක්.. උඹලා ඕක කරගෙන පලයල්ලා මං ගිහිල්ලා බලලා එන්නම්..” ශ්‍රීමාල් කතා නැතිවම පාරට යද්දී සිරිනාත මද දුරක් ඔහුගේ පස්සෙන් එයි.
“කලබල නොවී හිමීට... හිමීට...!”
එහෙම කියද්දිත් ශ්‍රීමාල් ත්‍රීවිලරයකට අත දමා එහි නැගලාත් ඉවරය!
*******
රත්නසේකර හාමු බිරිය සමඟ කතා කරමින් සිටියේ සෑහෙන දවසකට පස්සේ වගේය. මාතෘකාව ශ්‍රීමාල් පුතාගේ සහ ජයමාල් පුතාගේ අනාගත ය. එවැනි පොදු මාතෘකාවක් තෝරා ගත්තාම.. පරණ නෝක්කාඩු ටික අමතක කරන්න ලේසිය. ඒ බව ඔහු පළපුරුද්දෙන් ම දනී.
“මම නම් හිතන්නෙ අපෙ මහත්තයා... අගෝරිස් ගෙනාපු අර කුරුණෑගල පැත්තෙ කටයුත්ත හොඳයි කියලා. ඒ ගෑනු දරුවත් හොඳට ඇහැට කනට පේන දරුවෙක්.. අපෙ අයියලගෙ සමන්ති දුව වගේ. අපේ වලව්වටම ගැළපෙන පෙනුම තියෙන්නෙ..”
“මට තේරෙන විදියට නම් මැණිකෙ ලොකු පුතාට කලින් අපේ දෙවැනියාට මොකක් හරි හොයලා දෙන්න වෙයි වාගෙ..”
“හෑ.. ඒ මොකෝ...”
“මට අගෝරිස් තමා කීවෙ.. ජයමාල් හාමු කෙල්ලෙක් එක්ක තැන් තැන්වල ඇවිදින්න යනවා එයාට ආරංචියි කියන්නෙ..”
“මොන කෙප්පයක් ද අපෙ මහත්තයා.. ඔය කපුවන්ගෙ වැඩ ඔහොමමයි. මඟුල් ඉක්මන් කොරවලා ගතමනාව ඩැගැහන්නනේ එයාලගෙ කල්පනාව...!”
දැන් රත්නසේකර තම බිරිය දිහා බලන්නේ දෙගිඩියා ඇහෙනි. ඉස්සරට වඩා මැණිකෙගෙ මොළේ පෑදිලා තියෙන බව තේරී ඉහමොළත් රත්වෙයි. ගෑනුන්ට මොළේ පෑදෙන එක එක අතකට මහාම කරදරයකි.
“ඇයි අපෙ මහත්තයා?”
දෙදෙනා කතා කරන තැනට තේ බඳුනක් රැගෙන එන්නේ කුමාරය.
“ආ.... කුමාර... අද පන්ති එහෙම නැද්ද...”
“අද නිවාඩු හාමු මහත්තයා.. තාත්තට ටිකක් උණගතිය නිසා මම අද මෙහේ වැඩට ආවා.. අම්මයි කීවෙ...”
“හා.. ඒකට කාරි නෑ.. හා.. ඔහොම තියලා පලයංකො එහෙනං..”
කුමාර එතැනින් මෑත් වෙද්දී රත්නසේකර ජෝඩුව මූණට මූණ බලයි.
“ඒ කොල්ලා... අපේ උන් වගේ නෙවි... හරිම කීකෝරු...”
නිර්මලා මැණිකේ තේ එක තොලගාන්නේ කතාවක් නැතිවමය.
“හා... මැණිකේ දන්නවද අගෝරිසා තව දෙයක් කිව්වා නේ.. මට මේ ඒක විස්වාස කරන්න බැරිවයි ඉන්නෙ.. මැණිකෙ කළබල වෙන්නත් එපා. මේක අහලා..”
“මොකක්ද අපෙ මහත්තයා!”
“අපේ ශ්‍රීමාල් පුතාටත් සම්බන්ධයක් තියෙනවාය කියන්නෙ..කවුදෝ.. මේ කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක...”
නිර්මලා මැණිකේ තේ කෝප්පයත් අරගෙන නැගී සිටියේ හරියට විදුලි සැරයක් වැදුණු ගානටය.
“ඒක නම් කීයටවත් වෙන්න බෑ..! ඒ දරුවා අපට එහෙම දෙයක් කොරන්නෙ නෑ...!”
“මෙන්න මේ පන්සලකදි දෙන්නා තව යාළුවො රංචුවක් එක්ක කතා කර කර ඉඳලා තියෙන්නෙ.. මල් පහන් එහෙමත් පූජා කර කර”
දැන් නිර්මලා මැණිගේ හාන්සි පුටුවේ එහෙම ම ඉන්දවෙයි. එවිට ම මහා හඬින් සාලයේ දුරකතනය නාද වෙද්දී... කුමාර කොලුවා කෑ ගසයි.
“හාමු මහත්තයා... හාමු මහත්තයා.. මේ.. කෝල් එකක්.. හදිසි කෝල් එකක්.. රත්නපුරේ හාමු මහත්තයාගෙන්...!”
රත්නසේකර අඩියට දෙකට ඇවිද ගොස් රිසීවරය කනේ තබා ගනියි.
“මොනවා... ! මොනවා.. අයියේ.. දෙයියනේ.. ! නෑ...!”
“මොකක්ද අපේ මහත්තයා.. මොකක්ද.. වෙලා තියෙන්නේ...” නිර්මලා මැණිකේ තව පොඩ්ඩෙන් ඔසරියත් පැටලිලා වැටෙන්න ගියේ එතැනට දුවගෙන යද්දීය.
ලබන සතියට...