ලැසීගේ කුඩ්ඩන් එක්ක ඩීල් දැමූ බව කී ගාල්ලේ ජේලර්ට පොලිස් දැල වැටුණු හැටි... | සිළුමිණ

ලැසීගේ කුඩ්ඩන් එක්ක ඩීල් දැමූ බව කී ගාල්ලේ ජේලර්ට පොලිස් දැල වැටුණු හැටි...

  • කරන්දෙනිය හිතහොඳ දොස්තර ඝාතන සැකකරු යළිත් දැලේ
  • පොලිස් වීඩියෝවෙන් ලොකු සාක්කියක්

පාතාලයන් ප්‍රධාන ලෙස ආදායම් ලබන්නේ කුලියට මිනී මැරීමෙන්, කප්පම් ගැනීමෙන් සහ මත්කුඩු ජාවාරමෙනි. ඒ සියලු පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව වැට බැඳීමට පොලිස් නිලධාරින් මෙහෙයුම් දියත් කරන්නේ තමන් සතුව සිටින පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ද සහාය ලබා ගනිමිනි.

පසුගිය දිනෙක මීටියාගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වරුෂවිතාන මහතාට තොරතුරක් ලැබෙන්නේ ඔහු විසින් මෙහෙයවනු ලබන පෞද්ගලික ඔත්තුකරුවකු ගෙනි.

“සර්... මහවෙල පැත්තෙ ගෙදරක සැක කටයුතු යමක් වෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි නේද?” ඒ ලබා දුන් හෝඩුවාවයි. ඒ අනුව අදාළ නිවෙස ගැන විපරම් කිරීමට අවැසි උපදෙස් සඳහා අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාරව දැනුවත් කළේය.

පසුව ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ ප්‍රධානත්වයෙන් වැඩ බලන ඇල්පිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ සහ ඇල්පිටිය 2 සහකාර පොලිස් අධිකාරි සමන් පුස්සැල්ල මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ටී.එම්. තුෂාර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් වූ 58954 රංජිත්, 72485 ජයසූරිය, 8416 සරත්, 64850 ප්‍රියන්ත සහ 72779 දිනේෂ් ඇතුළු නිලධාරින් ඒ සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළෝය.

ඒ අනුව පසුගිය 19 වැනිදා අදාළ නිවෙස සොයා ගිය නිලධාරීහු නිවෙස වැටලීමට පෙර හොර රහසේ නිවෙස අවට වීඩියෝ කළහ. අනතුරුව නිවෙස වැටලූ නිලධාරින්ට කාමරයක් තුළ හෙරොයින් තොගයක් පැකට් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එසේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් ග්රෑම් 6 යි මිලිග්රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට පත්වූයේ 34 හැවිරිදි විජිත් ආනන්ද සොයිසා හෙවත් රංජි ලොක්කා සහ 22 හැවිරිදි සජිත් සමන් ප්‍රියන්ත හෙවත් සමන් ලොක්කා යන දෙදෙනා ය. ඔවුන් දෙදෙනාට අමතරව නිවෙසේ ආනන්දගේ බිරිය සහ තවත් පුද්ගලයෙක් විය. ඒ මොහොතේ දෙදෙනා ම පරීක්ෂා කළ ද කිසිදු සැක කටයුතු යමක් හමු නොවූ හෙයින් මුදා හැරිණි.

විජිත් ආනන්ද යනු 2011 සැප්තැම්බර් 25 කරන්දෙනිය බොරකන්ද රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනය වූ හිත හොඳ දොස්තර නමින් ප්‍රකටව සිටි ප්‍රියන්ත ප්‍රසාද් ජයසිංහ වෛද්‍යවරයා ඝාතනය සහ 2010 දෙසැම්බර් 5 වැනි දින අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය ඉන්දික ද සොයිසා, ඔහුගේ බිරිය සහ සිවු හැවිරිදි පුතු ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත්ව සිට මීට ටික දිනකට පෙර ඇප මත නිදහස ලබා සිටි අයෙකි.

මීටියාගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අත්අඩංගුවට පත්වූ සමන් ලොක්කා ද 2016 ජනවාරි 9 වැනි දින අම්බලන්ගොඩ සුසන්ත මෙන්ඩිස් හෙවත් සුසා ඝාතනයට බන්ධනාගාරගතව ඇප පිට ‘එළියට’ විත් ටික දිනකි.

ආනන්ද සහ සමන් ලොක්කා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු වූ මනෝජ් මෙන්ඩිස් ඝාතනය ඇතුළු තවත් ඝාතන සහ අපරාධ චෝදනා රැසක් ම එල්ලවී තිබෙන දකුණේ ප්‍රබල පාතාලයකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී නමැත්තාගේ ගෝලයින් දෙදෙනකු බවද වාර්තා වේ.

මොවුන් දෙදෙනා බෙදා හැරීමට සකස් කරමින් තිබූ හෙරොයින් පොඩි ලැසී විසින් බන්ධනාගාරයේ සිට මෙහෙය වන මත්කුඩු ජාවාරමේ මත්ද්‍රව්‍ය බව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි විය. පොලිසිය ඉදිරියේ දෙදෙනා දිගින් දිගට ම පාපොච්චාරණය කර තිබුණේ තමන්ට හෙරොයින් සැපයෙන්නේ පොඩි ලැසීගේ මත්කුඩු ජාලයෙන් බව ය.

“අපිට බන්ධනාගාරයේ ඉන්න ලැසී කෝල් කරලා කියනවා අහවල් තැනට යන්න... ‘කෙනෙක් ඒවි. පාර්සලයක් දෙයි’ කියලා. අපි ඒ පණිවුඩය අනුව කියන තැනට යනවා. ඒ එන කෙනා කවුද කින්ද මන්ද මුකුත් අපි දන්නෙ නැහැ. කියන තැනට ගිය ගමන් විනාඩි ගාණකදී බයික් එකක් එනවා. ‘ලැසීගෙ පණිවුඩය නේද’ කියා අහනවා. පාර්සලේ දීලා යනවා. අපි ඒවා කුඩා පැකට්වලට අසුරලා බෙදා හරිනවා. මේ බිස්නස් සියල්ල සිදුවන්නේ ලැසීගෙ මෙහෙය වීමෙන්.” කියැවෙන්නේ ගාල්ල බන්ධනාගාරය තුළ සිට තවමත් සක්‍රීයවන කුඩු ජාවාරමේ තොරතුරු ය.

‍ඔවුන්ගේ පාපොච්චාරණය අතරේ පොලීසිය වැටලීම කිරීමට පෙර රූගත කළ වීඩියෝ දර්ශන පොලිස් නිරීක්ෂණයට ලක් විය. එහිදී එ් නිවෙසේ ‍මිදුලේ යතුරු පැදියක් නතර කර තිබෙනු දක්නට ලැබිණි. වීඩියෝ රූප රාමුවල මනාව දිස්වන එහි අංකය වූ SP BDN 1696 වූයේය. එම අංකය දරන යතුරුපැදිය ගැන පොලිස් නිලධාරීන් විපරම් කරන්නට වූයේ ය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සෝදිසි කර බැලීමේදී යතුරු පැදිය තිළිණ රුවන් තිහාර ජයරත්න නමැත්තෙක්ගේ නමට ලියාපදිංචි කර තිබිණි. බැලීමේදී අනාවරණය වූයේ තිළිණ යනු ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකු බවයි. ඔහු නිකම්ම නිකම් ජේලර්වරයකු නොව ගාල්ල බන්ධනාගාරයට මෑතකදී පැමිණි ප්‍රධාන ජේලර්වරයා ලෙස ද වාර්තා වේ. එහෙත් ඔහුට තවම ප්‍රධාන ජේලර් තනතුර නොලැබී තිබෙනුයේ හිටපු ප්‍රධාන ජේලර් මාස තුනකට තම සේවය දීර්ඝ කර ගැනීම නිසා ය.

පොලීසිය නිවෙස වටලන මොහොතේ එ් නිවසේ සිට නික්ම ගිය තැනැත්තා වූයේ 43 හැවිරිදි තිළිණ රුවන් ජේලර්වරයා බව පොලිසිය අනාවරණය කර ගත්තේ ය. පොලීසියට කුකුසක් වූයේ ඔහු එ් නිවෙසට ආවේ ගියේ කුමටද කියා ය.

ඒ අනුව පොලිසිය පසුගිය 22 වැනිදා සවස තිළිණ රුවන් ජේලර්වරයා මීටියාගොඩ පොලීසියට කැඳවීය. පැය 4 ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිණි. එහිදී ඔහු පවසා තිබුණේ ආනන්ද තමන් දන්නා කෙනෙක් බව ය. ඔහුව හඳුනාගත්තේ ඔහු බන්ධනාගාරගත ව සිටි අවදියේදී බව ය. සම්බන්ධය ඇති වී තිබුණේ ඔහුව අධිකරණයට රැගෙන යන එන අතරතුරදී ය. තමාගේ බිරිය කතෝලික භක්තිකයකු හෙයින් බිරිය යනෙන පල්ලියේ පැවැත්වෙන උත්සවයකට අවශ්‍ය කරන කුකුළු මස් තොගයක් ලබා ගැනීමට එදින ආනන්දගේ නිවෙසට ගිය බව ය.

එහෙත් ආනන්දගේ නිවෙස සතර දිග්භාගයේ ම කුකුළු ගොවිපොළක් නම් නොමැති බව පොලීසිය අනාවරණය කරගත්තේ ය. නමුත් ආනන්ද මීට වසර පහකට හයකට පෙර කුකුළු ගොවිපොළක සේවය කළ අයෙක් වූයේ ය. එම ‍හෝඩුවාව අනුව ජේලර්වරයා මේ කතාව ගොතන්නට ඇතැයි පොලිසිය සැක කරන්නේ ය. ආනන්දගේ නිවෙසට කිලෝමීටර 15 ක පමණ දුරකින් වෙසෙන ජේලර්වරයා ගැන සොයා බලන බව පවසන මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා,

“අපිට ඒ ප්‍රකාශය එක එ‍ල්ලේ විශ්වාස කරන්න අමාරුයි. අපි ඔහුගේ දුරකථන තොරතුරු ඇතුළු සියලුම තොරතුරු ගැන සොයා බලනවා. මේ වන විට බොහෝ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ළඟදී ම ඒ ගැන පවසන්නම්.” යැයි කියන්නේය.

එසේම පොලීසිය විසින් තිළිණ රුවන් ජේලර්වරයා සේවය කළ සියලු බන්ධනාගාර ස්ථාන පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වෙයි. ජේලර්වරයා පොලිසිය ඉදිරියේ ප්‍රකාශය ලබා දෙද්දී පවසා තිබුණේ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තමා මෑතකදී ස්ථාන මාරු ලබා ගාල්ල බන්ධනාගාරයට පැමිණි පසු හඳුනාගත් බවකි. එහෙත් රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසුවන ආනන්ද සහ සමන් ලොක්කා කියා තිබුණේ ජේලර්වරයා 2011 වසරේ පමණ සිට දන්නා බව ය. 2011 කාලයේදී ඔවුන් කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ මේ ජේලර්වරයා තම පිරිස ලෙඩ රෝගවලට බෙහෙත් ගැනීම සඳහා ‍රෝහල් කරා ‍රැගෙන ගිය බව ඔවුන් කියන්නේය. එම ප්‍රකාශයෙන් ජේලර්වරයා සහ මොවුන් අතර තිබූ ‘ගනුදෙනුව’ කෙතරම් කලක සිටද යන්න අනාවරණය කරගන්නට පොලිසිය සමත් වී තිබේ. පසුගිය සමයේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් සමඟ බන්ධනාගාර නිලධාරින් කරන ‘සෙල්ලම්’ බොහොමයක් හෙළි විණි. ඒ අනුව මේ නිලධාරියා ද බන්ධනාගාරයේදී හඳුනා ගත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එවැනි ‘සෙල්ලමක්’ කරන්නේ ද යන්න නුදුරේදී ම අනාවරණය කරගත හැකි බව පොලිසිය පවසයි.

රැඳවියන්ට සුරසැප ලබා දෙමින් ඔවුන්ගේ වරප්‍රසාද වරදාන ලබාගෙන රටට ම වින කටින ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම වගකිවයුතු පාර්ශව කටයුතු කරමින් ඇති අයුරු පෙනේ. එය යහපත් පෙරනිමිත්තකි.

ඡායාරූප - අනුරාධ ප්‍රියදර්ශන

Comments