
- ආවේ සාමකාමී විරෝධයකට
- ගැටුමකට ගියේ ෙද්ශපාලකයන් නිසයි
''වතුකරයට කිඹුල් කඳුළු හෙළන දේශපාලකයන්ටත්, වතුකම්කරුවන් පාවාදී ලාබ උපයන වෘත්තිය සමිතිවලටත්, වතුකම්කරු ශ්‍රමය සූරාකමින් කෝටි ගණන් හම්බ කරන වතු හාම්පුතුන්ටත් විරෝධය දක්වමින්, වතු කම්කරු දෛනික වැටුප දහස දක්වා වැඩි කරන්නැයි බල කරමින්, වතුකරයේ තරුණ-තරුණියන් පිරිසක් පසුගිය 24 දා ගාලුමුවදොර පිටියට පැමිණියේ අලුයම පහේ සිටය''
මසකට අධික කාලයක් තිස්සේ මුහුණුපොත (facebook) ඔස්සේ ‘වතුකම්කරුවන්ගේ අයිතීන් සුරකිනු - කම්කරු දෛනික වැටුප දහසක් දක්වා වැඩි කරනු’ යන ඉල්ලීම් වෙනුවෙන් ‘කළු පැලඳුම් එකමුතුව’ නමින් සංවිධානය වූ තරුණ-තරුණියන් පිරිසක් ඉකුත් දා අගනුවරට රැස්ව කළ උද්ඝෝෂණය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ඔවුන්ගේ ඉල්ලීම්වල වූ අතිශය මානුෂික භාවය නිසාමය.
මෙරට දමිළ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ මූලිකත්වය මත ක්‍රියාත්මක වූ වතුකම්කරුවන් උදෙසා වූ මේ සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කළ සටන අතිසාර්ථක වූයේ මෙරට වතු කම්කරුවන්ගේ දූදරුවන් ඥාතීන් රැසක්ම කොළඹ රැකියාවන්හි නිරත වීමත් සමගය. මේ විරෝධතාවට සම්බන්ධ වූවෝ කිසිදු දේශපාලන පක්ෂයක හෝ වතු වෘත්තිය සමිතියක හෝ සාමාජිකයෝ නොවෙති. ඔවුහු කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවාවන්හි නිරත, වතුකරයේ වතු කම්කරුවන්ගේ දරුවෝ වෙති. සමහරු වතු කම්කරුවන්ගේ පීඩාව මනසට වැදුණු තරුණ-තරුණියෝය. තවත් සමහරු මුහුණුපොතෙන් දැක මේ සමඟ සම්බන්ධ වූහ.
වතුකම්කරු පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික වශයෙන් කිසිදු භේදයක් නොදක්වා සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමද සුවිශේෂය. රටේ ජාතීන් අතර සංහිඳියාව මනාව ඇති බව එම වතුකම්කරුවන් වෙනුවෙන් දියත් කළ අරගලය මඟින් ලෝකයද වටහාගෙන හමාරය.
වතු කම්කරුවන් යනු ‘වත්තේ උදවිය’ යි කියා ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන උසස් මාන්නය හිසේ තබා ගනිමින් හැසිරෙන මිනිසුන්ට මේ තරුණයන් කියා දුන් පාඩම අගය කළ යුතුයි. කොතරම් උසස් තැනක හිටියත් තමන් අවදි වූ විට බොන්නේ මේ මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් නිපදවන තේ බව ගාලුමුවදොර විරෝධතාව දෙස සානුකම්පිතව බැලු සියලු දෙනාගේම අදහස විය. මෙරට රාජ්‍ය හා පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු ආශ්‍රිතව සේවය කරන වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 730ක පමණ සුළු මුදලකි. දින ඉහළ යන දෛනික වියදම් හමුවේ මේ රුපියල් 730න් දවස ගැට ගසා ගැනීම ඉතා අසීරුබව ඕනෑම කෙනකුට වැටහෙන කරුණකි. දෛනිකව ලැබෙන 730ක මුදල සැකසෙන්නේද ඵලදායී දීමනා හා දිරි දීමනාද ඇතුළුවය. එනම්: වතු කම්කරුවකුගෙන් අපේක්ෂිත තේ දළු ප්‍රමණයක් නෙළී ඇත් නම් පමණක් මේ දීමනාව එකතු වේ. එමෙන්ම දිරි දීමනාව ලැබීමට නම් දින 24ක් අනිවාර්යෙන්ම සේවය කළ යුතුය.
වතු කම්කරුවන්ට මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිලි දැක්වීම නිසා අද වතුකරයේ බොහෝ දෙනා වතු කර්මාන්තයෙන් ඈත්ව වෙනත් රැකියා කරා යොමුව තිබේ. මෙනිසා අද තේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇත. තවමත් වතු ආශ්‍රිතව සේවා කරන වතු කම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් දී කඩාවැටීමට යන තේ කර්මාන්තය කඩාවැටීමෙන් බේරාගත යුතුය. ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසෙන් කොටසක් දහවල් 12.00 වන විට ඉවත්ව ගිය අතර, සෙසු පිරිස දිගටම උද්ඝෝෂණය කරමින් සිට දහවල් 1.45 වන විට මාර්ග අවහිර වන ආකාරයෙන් පාරට පැනීම නිසා එය වළක්වා ලීමට ගිය පොලිසිය සමඟ ඔවුහු වාද කරන්නට වූහ. උද්ඝෝෂකයන් තවදුරටත් ඉදිරියට පැමිණිය හොත් වළක්වාලීමට පියවර ගැනීමට සිදු වන බව පොලිසිය ප්‍රකාශ කළත් එය නොසලකා පිරිස් ඉදිරියට ඇදෙන්නට වූහ. ඔවුන් ජනාධිපති කාර්යාලය දෙසට පැමිණීම වළක්වා ලීමට මාර්ග බාධක යෙදවුණු අතර, ඒ අසල පැය තුනක පමණ කාලයක් උද්ඝෝෂණය කළ පිරිස නික්ම ගියහ.
මෙරට වතු කර්මාන්තය යම් මට්ටමකින් වැසී ගියත් වතුකරයේ නිෂ්පාදිත තේ අපනයනයෙන් විශාල මුදලක් රටටත් වතු හාම්පුතුන්ටත් ගලාගෙන එන බව නොරහසකි. එය කම්කරු ශ්‍රමය සූරා කමින් උපයාගන්නා ආදායමක් බව කම්කරුවන්ගේ අදහසය. එමෙන්ම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින බව කියන වතු වෘත්තීය සමිතිද මේ කම්කරුවන්ට ලැබෙන පඩියෙනුත් රුපියල් 150ක සාමාජික ගාස්තුවක් අය කරගන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියමිනි!
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම් ඇතුළු සුබසාධන කටයුතු සම්බන්ධයෙන් දෙවසරකට වරක් ප්‍රධාන වතු වෘත්තිය සමිති ද්විත්වය සමඟ අස්සන් කරනු ලබන සාමූහික ගිවිසුම 2016 වසරින් පසු මෙතෙක් අස්සන් තබා නැත. එය මේ වන විටත් කල් ඉකුත් වී ඇත්තේ කම්කරු වැටුප 1000ක් කිරීමට වතු හාම්පුතුන් දක්වන අකැමැත්ත නිසාය. වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික සංගමය වැනි දේශපාලන බලධරයන්ද එදා සිට අද දක්වාද සිදු කරන්නේ වතු කම්කරුවන් පාවා දී තම අවශ්‍යතා ඉටු කරගැනීමය.
විරෝධතාව සංවිධානය කළ කණ්ඩායම ඍජුවම චෝදනා කර සිටියේ මේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලිය කඩාකප්පාල්කාරීන් එවා නොසන්සුන්කාරි තත්වයකට පත් කරන ලද බවයි. ෆේස්බුක් සමාජය සංවිධානය කළේ කලහකාරිත්වයකට නොයන ලෙස විරෝධතා කිරීමට වුවත් පොලීසිය උරණ කරගනිමින් විරෝධතාව ජල ප්‍රහාර හා පොලිස් බැටන් ප්‍රහාර එල්ල වන තැනටම ගෙන ගියේ යම් දේශපාලකයන් පිරිසක් බවට ඔවුහු චෝදනා නඟති.
කෙසේ වෙතත් මේ විරෝධතාව මඟින් මනාව පැහැදිලි වූ කරුණක් වනුයේ වතුකරය තුළ දෙමළ දේශපාලකයන් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී තිබෙන බවයි.