භක්ති­යෙන් අන්ධ වූ බෞද්ධ­ය­න්ගෙන් ඈත් වන සැබෑ බුදු­ද­හමේ ප්‍රායෝ­ගික යථා­ර්ථය | Page 2 | සිළුමිණ

භක්ති­යෙන් අන්ධ වූ බෞද්ධ­ය­න්ගෙන් ඈත් වන සැබෑ බුදු­ද­හමේ ප්‍රායෝ­ගික යථා­ර්ථය

බුදු­ද­හම වූකලි භාව­නා­නු­යෝගි මුනි­ව­ර­යාට පම­ණක් නොව, ගිහි­ගෙයි වාසය කරන කාම­භෝගි ගිහි­යා­ටද අදා­ළය. එය ගුප්ත, ගූඪ, පුද්ග­ලයා සමා­ජ­යෙන් දුරස් කර ලන සර්ව-අශු­භ­වාදි දහ­මක් නොවේ. සෝවාන්, සකෘ­දාමි, අනා­ගාමි, අර­හත් මාර්ග­ඵල ලැබූ තැනැ­ත්තාද ජීවත් වන්නේ සමා­ජ­යේය. අදින් ඇරැ­ඹෙන මේ ලිපි පෙළ බුදු­ද­හම ප්‍රායෝ­ගික ජීවි­තය හා සම්බන්ධ කර­ගත හැකි ආකා­රය පිළි­බඳ කෙරෙන සමා­ලෝ­ච­න­යකි.

දිල්ශාන් මනෝජ් රාජ­පක්ෂ
කථි­කා­චාර්ය,
බෞද්ධ දර්ශ­නය අධ්‍ය­යන අංශය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලය.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෝක යථා­ර්ථය එම­ඟින් අන්ත­වාදි වී සමාජ සුභ­සා­ධ­නය ප්‍රති­ක්ෂේප කළ යුතු නැත. සෝවාන්, සකෘ­දාමි, අනා­ගාමි, අර­හත් මාර්ග­ඵල ලැබූ තැනැ­ත්තාද ජීවත් වන්නේ සමා­ජ­යේය. හෙතෙම සමා­ජය නමැති හොඳ-නරක මිශ්‍රිත මඩ වගු­රක හැදී-වැඩී එය තව­දු­ර­ටත් මඩ­ව­ගු­රක් නොකොට විලක් බවට පත් කරන්නේ දියෙහි නොගැටී දිය මතින් පොපි­යන නෙළු­මක් විල­සය. බුදු­ර­දුන්ද එබඳු නෙළු­මකි. සියල්ල දේශනා කළේ සමාජ ප්‍රග­ති­යෙ­හිලා විනා, දුග­තිය පිණිස නොවේ.

“පුණ්ඩ­රීකං යථා­වග්ගු - තෝයේන නූප­ලි­ප්පති

නූප­ලි­ත්තොම්හි ලෝකේන - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්ම­ණාති” මෙයින් පැහැ­දිලි වන්නේ බෞද්ධ ඉගැ­න්වී­ම්වල අර­මුණ පුද්ගල ජීවි­තය දෙ-අංශ­ය­කින් සංව­ර්ධ­නය කිරී­මයි. එනම්:

1. මෙලොව ජීවි­තය

2. පර­ලොව ජීවි­තය

“දිට්ඨ­ධ­ම්මෙ­හිච සම්ප­රා­යේ­හිච පර­ම­ත්ථේ­හිච යථා­රහං අනු­සා­ස­තීති”

පර­ලොව සාධ­නය පිණිස ක්‍රියා කරන ඕනෑම පුද්ග­ල­ය­කුට ඒ සඳහා සුදුසු පරි­ස­ර­යක් තිබිය යුතුය. එබැ­වින් යහ­පත් පරි­ස­ර­යක් (පති­රූ­ප­දේ­ස­වා­සෝච) ගොඩ­න­ගා­ගැ­නීම ප්‍රථ­ම­යෙන් කළ යුතු වන්නේ යහ­පත් සමා­ජ­යක් පිණි­සය. පුද්ගල මනස පිළි­බඳ පිරි­සිඳ දත් බුදු සමය සමා­ජය තැනීම ආරම්භ කරන්නේ සම­ස්ත­යෙන් නොව, එක් එක් ඒකක වශ­යෙන් ප්‍රයෝ­ගි­ක­වය. තව­දු­ර­ටත් පෘථ­ග්ජන ගිහියා විසින් නිතැ­තින් බිඳ­ද­මන සමා­ජයේ යහ­පත් වෙන­ස්වී­මක් සඳහා භික්ෂු­ව­ටද වග­කීම් පව­රන බුදු­ර­දුන් සිගා­ලෝ­වාද, ගිහි­අ­නු­ක­ම්පක ආදි සූත්‍ර­වල කරුණු රැසක් පෙන්වාදී තිබේ.

ආගම පිළි­බඳ ඉති­හා­ස­ය­ටත්, දර්ශ­නය පිළි­බඳ ඉති­හා­ස­ය­ටත් අයත් වූ බුදු­ද­හම සූත්‍ර දේශ­නා­වල අන්ත­ර්ග­තය අනුව බුදුහු ධර්මය, ආර්ය ධර්මය, අන­වද්‍ය ධර්මය, අප­ච්‍ය­ගාමි ධර්මය, ශුක්ල ධර්මය, සද්ධ­ර්මය, සත්පු­රුෂ ධර්මය, ආර්ය මාර්ගය, මධ්‍යම ප්‍රති­ප­දාව, ධර්ම-විනය ශාස­නය, සුගත විනය යනාදි ලෙස හඳුන්වා තිබෙනු දැකිය හැකිය. වසර සිය දහස් ගණ­නක් පුරා භාර­තීය චින්ත­ක­යන්, පූජ­ක­යන් අතින් ගොඩ­නැ­ඟුණු අති­වි­ශාල දර්ශ­න­වාද, ආගම් අතු­රෙන් බුදු­ද­හම විශේ­ෂ­වන්නේ හුදෙක්ම අනී­ශ්ව­ර­වා­දය, අනා­ත්ම­වා­දය හා නිර්වා­ණය දේශනා කළ හෙයින්ම නොවේ. ඒවා යථා­ර්ථ­වාදි පද­න­මින් ජන­යාට තේරුම් කර දුන් බැවිනි. එබැ­වින් බුදු­ද­හම වනාහි භාර­තයේ පහ­ළව අතු­ප­තර විහිදී ගිය දර්ශ­න­වාද, ආගම්, චින්තන නමැති මහා­වෘ­ක්ෂයේ ඉහ­ළින්ම වික­සිත, සුව­දා­යිම පුෂ්ප මක­ර­න්ද­යයි.

දැනට ලොව අති­වි­ශාල සංඛ්‍යා­ව­කින් යුත් ආගම් ප්‍රමා­ණ­යක් දක්නට ලැබේ. ඇතැ­ම්විට හුදී ජන විමු­ක්ති­ගාමී ආධ්‍යා­ත්මික වග­කීම් සියල්ල තමන් යට­තට ගන්නා මේ ආගම් ආක­ර්ෂ­ණී­යව, මන­හර ලෙස ක්‍රම­බද්ධ න්‍යායන් භාවිත කර­මින් කරුණු ඉදි­රි­පත් කරන නමුත්, ඒවා ප්‍රායෝ­ගික නොහොත් එදි­නෙදා ජීවන ක්‍රමය තුළ සාමාන්‍ය ජන­යාට ක්‍රියා­ත්මක කර­ගත නොහැකි වනු ද පෙනේ. භෞති­ක­ත්වය ඉක්මවා ගිය (පාර­භෞ­තික), ලෞකික ජීවි­ත­යට අදාළ නැති (පාර­ලෞ­කික), ගුප්ත, ගූඪ භක්තික ආග­මක් හෝ ඉගැ­න්වී­මක් අනු­ග­ම­නය කර ඉන් ලැබෙන ඵලය මර­ණ­යෙන් මතු­වට අත්පත් කර­ගැ­නීම පිළි­බඳ සැක කිරීම අයා­ස­යෙන් යට­පත් කර­ගත් පිරිස් අද­ටත් භක්තිය පෙරටු කර­ගෙන වාසය කරති. එහෙත් එහි පැවැත්ම රඳා­ප­වත්නේ ස්වකීය භක්තියේ පැවැත්ම රඳා පවත්නා තාක් පමණි. පර­ලො­වදී ලබන සැප උදෙසා කට­යුතු කර­මින් එමෙන්ම ජීවත්ව සිටින තාක් සුවසේ සමෘ­ද්ධි­මත්ව වාසය කර­මින් සිය අභි­ප්‍රා­ය­යන් හෙවත් ලෞකික අර­මු­ණුද මුදු­න්පත් කර­ග­නි­මින් ආගම ඇද­හී­මට කවු­රුත් කැමැ­තිය. එබඳු අපේක්ෂා ඇති පිරිස් ක්‍රි.පූ. 6 වන සිය­ව­ස­යේත් වාසය කළ බව දීඝ­ජානු කෝලිය සිටු පුත්‍ර­යාගේ ප්‍රකා­ශ­යෙන්ද පැහැ­දිලි වේ.

“මයං භන්තේ ගිහි­කා­ම­භෝගි පුත්ත සම්බා­ධ­ස­යනං අජ්ඣා­ව­සාම කසි­ක­ච­න්දනං පච්ච­නු­භෝම, මාලා­ගන්ධ විලේ­පනං ධාරා­යාම, ජාත­රූප රජතං සාදි­යාම, තෙසං නොභන්තේ, භගවා තථා ධම්මං දේසේතු, යේ අම්හාකං අස්සු ධම්මා දිට්ඨ­ධම්ම හිතාය දිට්ඨ­ධම්ම සුඛාය සම්ප­රාය හිතාය සම්ප­රා­යසු ඛායාත...”

(“වහන්ස, ගෘහස්ථ කාම­භෝගි වන අපි පුත්‍ර­දා­ර­යන් විසින් සම්බාධා ඇති සය­න­යෙහි වස­න්නෙමු. කසි­සළු හා සඳුන් පරි­භෝ­ජ­නය කර­න්නෙමු. මාලා ගන්ධ විල­වුන් දර­න්නෙමු. රන් හා රිදී හා ඉව­සම්හ, වහන්ස, ඒ අපට අපගේ පර­ලොව හිත­සුව පිණිස, පර­ලොව සැප පිණිස, යම් ධර්ම­යක් වේ නම්, එය දෙසන සේක්වා...”)

දීඝ­ජානු කෝලිය සිටු පුත්‍රයා නැඟූ මේ ප්‍රශ්නය පොදුවේ මාන­ව­යාගේ සිතින්ද මුවින්ද නැගෙන ඉතා වැද­ගත් පැන­යකි. එය දීඝ­ජානු කෝලිය සිටු­ව­ර­යාට පෙර වසර දහස් ගණ­නක් පෙර සිටි මාන­ව­යාත්, ඉන් වසර දහස් පසුව උදා වී ඇති මෑත­කා­ලීන මාන­ව­යාත් ආගම සම්බ­න්ධ­යෙන් පොදුවේ විම­ස­න්නකි. මේ පැන­යට ප්‍රති­ජා­නා­ත්මක පිළි­තු­රක් දිය නොහැකි ආග­මක් වේ නම් එහි පැවැත්ම ඉතා කෙටි­කා­ලීන වන අතර, මේ පැන­යට බියෙන් අස­ර­ණව ආනු­භ­වික පිළි­තු­රක් දිය නොහැකි කල භක්තිය නම් වීදුරු මාලි­ගාව වෙත පැමිණ පිළි­තුරු දීමට දේව­වාදි ආග­ම්ව­ලට සිදු වී ඇත. මිනිසා නිර්මා­ණය කරන ආගම මිනි­සාගේ ජීවි­ත­යට අදාළ නොවේ නම් (man makes a religion does not make man) නියත වශ­යෙන් එබඳු ආගම් න්‍යායට පම­ණක් ගොනුවී භක්තිය මත ජන හද­වත් බැඳ තබා ගනී. එබඳු ආගම් පිළි­බඳ මාක්ස්වාදී චින්ත­නය තර­මක් විවේ­ච­නා­ත්ම­කව වීම ඇතැම් විට සාධා­රණ බව පෙනේ.

“ආගම යනු පීඩිත ප්‍රාණි­යාගේ සුසුම්ය. හද­ව­තක් නැති ලෝකයේ හද­ව­තයි; හැඟී­මයි; ආත්ම­යක් නැති ස්වභා­වයේ ආත්ම­යයි. එය ජන­තා­වගේ අබිංය. ජන­තා­වගේ මායා­මය සන්තු­ෂ්ටිය ලෙස පවත්නා ආගම විලෝ­ප­නය කිරීම ඔවුන්ගේ සැබෑ ප්‍රීතිය උදෙසා අවශ්‍ය වූවකි...”

එහෙත් බුදු­ද­හම වනාහි භක්තික දහ­මක් නොව, ඥානික දහ­මකි. එය ඊශ්ව­ර­වා­ද­යක් හෝ අනී­ශ්ව­ර­වා­ද­යක් නොවන අතර, නිර්වා­ණික දහ­මකි; හුදෙක් න්‍යායික දහ­මක් නොව ප්‍රායෝ­ගික දහ­මකි. යමක් එදි­නෙදා ජීවි­ත­යට අදාළ කර­ගත නොහැකි වන්නේ නම්, තම ජීවිත කාලය තුළ ක්‍රියා­වට නැංවිය නොහැකි නම්, තමාට එල්ල වන අභි­යෝග, ප්‍රශ්න, ගැටලු ජය ගැනී­මට, විස­ඳී­මට උප­යෝගි කර­ගත හැකි නොවන්නේ නම්, එහි ප්‍රායෝ­ගික (practical) අග­යක් නැත්තේය. ප්‍රායෝ­ගි­ක­තාව අඩු-වැඩි වශ­යෙන් සාපේ­ක්ෂතා පද­න­මින් යුතු වුව‍ද, දෛනික ජීවි­ත­යට උප­යෝ­ගිතා පද­න­මින් යොදා­ගත හැකි විය යුතු අතර, එය නිබ­ඳව භාවිත කළ (practice) හැකි විය යුතු ද වේ. බුදු­ද­හම එවැනි දහ­මකි. බුදු­ද­හ­මෙන් එදි­නෙදා ජීවි­ත­යෙහි ගැටලු, ප්‍රශ්න, අභි­යෝග ආදිය සඳහා පිළි­තුරු, විස­ඳුම්, ජය අත් කර­ගත හැකිය. මෙහිදී ඉදි­රි­පත් වන මූලික කරු­ණක් නම් ප්‍රායෝ­ගි­ත්ව­ය­කින් තොර බුදු­ද­හ­මක් පිළි­බඳ කතා කළ නොහැකි බව ය. ප්‍රායෝ­ගික බව හා බුදු­ද­හම ගසට පොත්ත මෙනි. බුදු­ද­හ­මෙහි ප්‍රායෝ­ගික අගය මෑත­කා­ලී­නව කිසි­වකු විසින් ගොඩ­න­ගා­ගන්නා ලද ආක­ස්මික සංක­ල්ප­යක් නොවේ. එය බුදු­ද­හම හට­ගන්නා විටම ඇති වූවකි.

මෙම­ගින් බුදු­ර­දුන් ඉගැන්වූ දහම සාක­ල්‍ය­යෙන්ම ප්‍රායෝ­ගික ප්‍රති­ප­ත්ති­යක් හෙවත් ක්‍රියා­ත්මක කළ යුතු ආචාර ධර්ම පද්ධ­ති­යක් බව අව­ධා­ර­ණය වන්නා සේම බුදු­ද­හම වූකලි භාව­නා­නු­යෝගි මුනි­ව­ර­යාට පම­ණක් නොව, ගිහි­ගෙයි වාසය කරන කාම­භෝගි ගිහි­යා­ටද අදාළ බවත්, එය ගුප්ත, ගූඪ, අස­මා­ජීය, පුද්ග­ලයා සමා­ජ­යෙන් දුරස් කරන සර්ව අශු­භ­වාදි දහ­මක් නොවන බවත් නිරා­යා­ස­යෙන්ම සනාථ කර­න්න­නේය.

බුදු­ද­හමේ උදාව හා එහි පද­න­මින් පැනෙන ප්‍රායෝ­ගි­ක­ත්වය

බොහෝ­විට මිනි­සුන් ආග­මික ජීවි­ත­යට යොමු වන්නේ ජීවි­තයේ සැඳෑ­ස­මය නොහොත් මර­ණ­යට ආසන්න වය­ස්ගත අව­ධිය වන විටය. මේ අවි­ඥා­නක ආක­ල්පය සමඟ මතු වන ප්‍රධාන කරු­ණක් නම්, ආගම යන්න මිනිසා බෝහෝ විට හඳු­නා­ගෙන ඇත්තේ එය වඩාත් අදාළ වන්නේ පර­ලොව සුග­තිය උදෙසා බවයි.

ආගම යන්න නිර්ව­ච­නය කරන ඇතැම් උග­තුන් පවා එහි ඇති පර­ලොව සුග­තිය පිළි­බඳ උප­යෝ­ගි­තාව සැල­කි­ල්ලට ගෙන ඇත්තේ එබැ­විනි.

අධි­භෞ­ති­ක­වාදි විශ්වාස හා ගුප්ත දෑ ආගම යන්නෙන් පිළි­බිඹු වනු දැක සම­ස්ත­යක් ලෙස ආගම පර­ලොව සුග­තිය පිණිස වෙන් වූ සංක­ල්ප­යක් ලෙස හුවා දක්වන සංක­ල්ප­යක් බුදු­ද­හම තුළ දක්නට නැත. මෙලොව, පර­ලොව යන දෙලො­වම අර්ථ­වත් කර­ගැ­නීම උදෙසා ක්‍රියා­ත්මක කළ යුතු ධර්ම පද්ධ­ති­යක් පෙන්වා­දෙන බුදු­ස­මය විශ්වාස හෝ ඇද­හිලි පද්ධ­ති­යක් නොව ක්‍රියා­කා­ර­කම් සමු­දා­යක් බව පැහැ­දි­ලි­වම පෙනේ.

අති­ශ­යින් සුව­ස­ම්පන්න ජීවි­ත­යක් ගත කළ සිද්ධාර්ථ තවුසා කුඩා කල පටන් චතු­ර්වේ­දයේ හා මුල් උප­නි­ෂද් චින්ත­න­යෙන් යුත් බ්‍රාහ්මණ සාහිත්‍ය, ආගම, දර්ශ­නය, සමාජ හා දේශ­පා­ලන දර්ශ­නය, නිරුක්ති, ව්‍යාක­රණ, ශබ්දාර්ථ විභා­ගය ආදිය ඇතු­ළත් ෂඩ් වේදාංග පිළි­බඳ දැනුම ලබා තරුණ වියේදී සිය පිය රජ­තු­මාගේ අනු­ශා­සක වූ කාල­දේ­වාල වැන්නන් යට­තේද ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම ලැබු­වේය. සාම්ප්‍ර­දා­යික සමාජ රටාව නම් වූ තිඹිර පට­ල­යෙන් වසන් කර තිබූ මනුෂ්‍ය ජීවි­ත­යෙහි ප්‍රායෝ­ගික හරය පිළි­බඳ ප්‍රශ්න කළ හෙතෙම දියෙ­ත්තක මසුන් මෙන් තෘෂ්ණා­දි­යෙන් සැලෙන සත්ත්ව­යන් උනුන් හා ගැටෙ­මින් ජීවත් වනු දැක බියට පත් වූයේය.

ඒත් සම­ඟම සත්ත්වයා පිළි­බඳ හෙළි කර­ගත යුතු ප්‍රායෝ­ගික යථා­ර්ථ­යක් වෙත යොමු වූ සිද්ධාර්ථ තවුසා “මේ ලෝවැස්සා පත්ව ඇත්තේ අවා­ස­නා­වන්ත තත්ත්ව­ය­ක­ටය. හෙතෙම උප­දියි; වය­සට යයි; මිය යයි; මෙලො­වින් ඉවත් වෙයි; නැවත පැමි­ණෙයි. වය­සට යෑම, මිය යෑම නමැති මේ දුකින් නිද­හස් වීමක් කෙසේ වේද?” යන ප්‍රශ්නය අප්‍ර­මා­දිව විස­ඳා­ගත යුතු නොවන්නේ කවර හේතු­වක් නිසාද යන්න විම­සු­වේය. ඒ අනූව පුළුල් ගවේ­ෂ­ණ­යක් කර සත්ත්වයා පිළි­බඳ මේ ගැඹුරු එමෙන්ම පොදු, ප්‍රායෝ­ගික ගැට­ලුව සිදු­හත් තවුසා විස­ඳූයේ මුළු­ම­හත් මානව වර්ග­යා­ගේම විමු­ක්තිය සට­හන් කර­මිනි. ඉප­දීම, ලෙඩ වීම, ජරා­වට පත් වීම යනා­දිය අප සැමට පොදුවේ එදි­නෙදා ජීවි­ත­යේදී මුහුණ පාන්නට සිදු වන දුක්ය. සත්‍යා­ව­බෝ­ධ­යෙන් මේ ප්‍රශ්න­යට පිළි­තුරු හෙළි කර­ගත් බුදු­ර­දුන් ලෝවැසි ජන­යාට ඉගැ­න්වූයේ සියලු දුක් නැති කර නිවන් අත් කර­ගැ­නී­ම­ටය. එබැ­වින් බුදු­ද­හම හට­ග­න්නේම ප්‍රායෝ­ගික පද­න­ම­කිනි.

දුක නැති කිරීමේ ප්‍රති­ප­දාව පුද්ග­ලයා තමා විසින් තමන්ගේ ජීවි­තය ඇසු­රෙන් ක්‍රියා­ත්මක කළ යුත්තකි (අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝ­සියා). එසේම බුදු­ව­රුන් මඟ පෙන්වා දෙන නමුත් එම­ඟෙහි ගමන් කළ යුත්තේ තමා­මය (තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛා­තාරෝ තථා­ගතා).

එබැ­වින් පුද්ග­ල­යාට විමු­ක්ති­මා­ර්ගය පෙන්වා දෙනු වස් බුදු­ර­දුන් සෑම කල්හිම දේශනා කළේ දුකත් එහි නිරෝ­ධ­යත් පමණි (පුබ්බේ­චාහං ඒත­රහි ච දුක්ඛං ඒව පඤ්ඤාමි. දුක්ඛස්ස ච නිරෝධං). එබැ­වින් බුදු­ර­දුන් දේශනා කළ මූලික ඉගැ­න්වීම නම් චතු­රාර්ය සත්‍ය­යයි. ලෝකයා හමුවේ පවත්නා මේ ප්‍රායෝ­ගික ගැට­ලුව තව­දු­ර­ටත් පැහැ­දිලි කර, ඉන් නිද­හස් වීමේ මඟ ඇතු­ළත් මෙහි පළමු (ප්‍රශ්නය පෙන්වා­දීම) හා දෙවන (ඊට පද­නම් වන හේතුව පැහැ­දිලි කිරීම) සත්‍ය­ව­ලින් න්‍යායා­ත්මක පද­න­මත්, තෙවන (විස­ඳුම පෙන්වා­දීම) හා සිව්වන (විස­ඳුම අත්පත් කර­ගැ­නී­මට පිළි­පැ­දිය යුතු ප්‍රති­ප­දාව) සත්‍ය­ව­ලින් ශීල, සමාධි හා ප්‍රඥා යන ත්‍රිශි­ක්ෂාව අනුව ක්‍රියා­ත්මක කළ යුතු ප්‍රායෝ­ගික පද­න­මත් පෙන්වා දීමෙන් මේ බව මනාව පැහැ­දිලි වේ.

බුදු­ද­හම ජීවන ප්‍රති­ප­දා­වකි

දුක නමැති මූලික ගැට­ලුව විස­ඳන අත­ර­තුර බුදු­ස­මය මනු­ෂ්‍ය­යාට එදි­නෙදා ජීවි­තයේ නොයෙක් අංශ සාර්ථක කර­ගැ­නී­මෙ­හිලා අවශ්‍ය පරි­චය ගෙන දෙන්නේ ඒ ඒ අංශ­වල පරි­පූර්ණ අව­බෝ­ධ­යක් අත් කර දෙමිනි. බුදු­ද­හ­මෙහි ප්‍රායෝ­ගික අදා­ළ­ත්වය සනාථ කරනු පිණිස ඒ ඒ අංශ සම්බ­න්ධ­යෙන් බෞද්ධ විව­රණ ස්වල්ප­යක් දක්වනු විනා, පහ­තින් දැක්වෙන අනු­මා­තෘකා ඒ පිළි­බඳ බෞද්ධ විග්‍ර­හය මුළු­ම­නින්ම විග්‍රහ කිරී­මට ගන්නා ලද උත්සා­හ­යක් නොවනු ඇත. එයට හේතුව නම්: පහත අනු­මා­තෘකා අර­බයා මෙබඳු ශාස්ත්‍රීය ලිපි­ය­කින් සාකච්ඡා කර අව­සන් කළ නොහැකි තරම් කරුණු සම්භා­ර­යක් බුදු දහ­මෙහි පවත්නා බැවිනි.‍

I. පවුල් සංස්ථාව පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

II.සමාජ සංව­ර්ධ­නය පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

III. ස්වස්ථ­තාව පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

IV. අර්ථි­කය හා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ

බෞද්ධ ඉගැ­න්වීම්

V. දේශ­පා­ල­නය, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නීතිය, අප­රාධ හා දඬු­වම්, සාමය හා ගැටුම් නිරා­ක­ර­ණය, මානව අයි­ති­වා­සි­කම් හා සමා­නා­ත්ම­තාව පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

VI. පරි­ස­රය පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

VII. අධ්‍යා­ප­නය පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

VIII. සන්නි­වේ­ද­නය පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

IX. සදා­චා­රය පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

X. පවුල් සංස්ථාව පිළි­බඳ බෞද්ධ ඉගැ­න්වීම්

ආර්ථික වශ­යෙන් හා දරු­වන් හදා­ව­ඩා­ගැ­නී­මේදී සහ­යෝ­ගිව කට­යුතු කරන්නා වූත්, සිය­ල්ලන්ම හෝ වැඩි දෙනකු පොදු නිවෙ­සක් තුළ ජීවත් වන්නා වූත්, විවා­හක යුව­ළක් හෝ පිරි­පුන් වය­සැති ඥාතීන් සමූ­හ­යක එක­තුව පවු­ලයි. දේව­නි­ර්මා­ණ­වාදි අද­හස් ඉවත දමන බුදු­ද­හම පවුල යන සංක­ල්පයේ ඇති වීම සමාජ අව­ශ්‍ය­තාව අනුව හේතු-ඵල විද්‍යා­නු­කූ­ලව හට­ගෙන විකා­ශය වන බව පෙන්වා­දෙයි. පෙළ දහ­මට අනුව ස්ථාවර හා සමෘ­ද්ධි­මත් පවුල් පරි­ස­ර­යක් උදෙසා ස්වාමි-භාර්යා සබැ­ඳි­යාව හා මාපිය-දූදරු බැඳීම අති­ශය වැද­ගත්ය. නූත­නය වන විට දක්නට ලැබෙන සමාජ, ආර්ථික, දේශ­පා­ල­නික හේතු නිසා අංස­වි­ධිත, අවුල් සහ­ගත පිරිහී ගිය පවුල් සංස්ථාව නැවත යහ­පත් කර­වී­මට මේ පිළි­බඳ බුදු­ද­හ­මින් නිර්දේ­ශිත ප්‍රායෝ­ගික ඉගැ­න්වීම් භාවිත කළ හැකිය.

දෙවි­යක හා දෙව­ඟ­නක ලෙස වාසය කළ යුතු අඹු-සැම් යුවළ එකි­නෙකා වෙනු­වෙන් යුතු­කම් ඉටු කළ යුතු ආකා­රය සිගා­ලෝ­වාද සූත්‍ර­යේදී පෙන්වා දී ඇත. එමෙන්ම සමා­ජයේ කුඩාම ඒක­කය වන පවුල යහ­පත් මිනි­සුන් තැනිය හැකි තෝතැ­න්නකි. දරුවෝ වනාහි මවු­පි­යන්ට තිබෙන උසස්ම වස්තු­වයි (පුත්ථා­වත්ථු මනු­ස්සානං). එබැ­වින් දරු­වන්ට බොහෝ උප­කාර ඇති මවු­පි­යන් දරු­වන් ඇති දැඩි කර­මින් ලොව පෙන්වා­දෙ­මින් ඔවුන් යහ­ප­තට යොමු කළ යුතුය (බහු­කාර භික්ඛවේ මාතා පිතරෝ පුත්ථානං ආපා­දකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේ­තාරා). මවු­පිය-දූදරු සබ­ඳ­තාව තර කරනු වස් බුදු­ර­දුන් එකි­නෙකා වෙනු­වෙන් යුතු­කම් කළ යුතු අයුරු සිගා­ලෝ­වාද සූත්‍ර­යේදී පෙන්වාදී තිබේ. බුදු­ද­හ­මට අනුව සම­ස්ත­යක් ලෙස බලන විට පවු­ලෙන් ඉටු විය යුතු කාර්ය­භාර පහත පරිදි පිඬු කර දැක්විය හැකිය.

01. දරු­වන්ගේ උපත හා හදා­ව­ඩා­ගැ­නීම,

දරු­වාගේ පෝෂ­ණය, සෞඛ්‍යය හා සමා­ජා­නු­යෝ­ජ­නය

02. අධ්‍යා­ප­නය, සදා­චාර වර්ධ­නය හා ශිල්පීය පුහු­ණුව

ඇතු­ළත්ව දරු­වාට සංස්කෘ­තිය භාර­දීමේ කාර්යය

03. පවුලේ සාමා­ජි­ක­යන්ගේ අන්‍යෝන්‍ය ආද­රය,

පිළි­ගැ­නීම ඇතු­ළත් චිත්ත­වේග වර්ධ­නය සහ ආර­ක්ෂාව

04. පර­පුර පව­ත්වා­ගැ­නීම හා ලිංගික ආරක්ෂා සපුරා ලීම

05. ආර්ථික පද­නම සකස් වීම සහ

සාමා­ජි­ක­යන්ගේ නඩ­ත්තුව

06. වය­ස්ගත වැඩි­හි­ටි­යන් රැක­බ­ලා­ගැ­නීම

07. සෞන්දර්ය වින්ද­නය ඇතුළු කුස­ලතා වර්ධ­නය

පවුල් ජීවි­තය සාර්ථක කර­ගැ­නීම උදෙසා

මෙවැනි ප්‍රායෝ­ගික උප­දෙස් රැසක් දේශනා කර ඇති බව සූත්‍ර දේශනා පිරි­ක්සී­මෙන් පැහැ­දිලි වේ.

මතු සම්බ­න්ධයි . . .

Comments