පැල්පතක උපන්නත් රජ මැඳුරට යවන ‘පාසා’ ලකුණ ධනයයි බලයයි ගෙනෙන හැටි | සිළුමිණ

පැල්පතක උපන්නත් රජ මැඳුරට යවන ‘පාසා’ ලකුණ ධනයයි බලයයි ගෙනෙන හැටි

අල්ලේ වැටෙන රේඛා විශේෂ බොහෝය. ඒවා විවිධ හැඩ හා විවිධාකාර ලක්ෂණයන්ගෙන් යුතු වන්නේය.

යමකුගේ අල්ල මැද ඕවලාකාර හෝ කවාකාර හෝ ලක්ෂණයක් ඇත්නම් ඊට භාරතීය සෘෂීවරුන් පවසන්නේ “පාසා යන” නාමයයි.

කිසියම් හස්තයක පාසායාන ලක්ෂණය වැටුණු විට එවැනි අය තුන් ලෝකයම ජයගන්නා බව කියති. ඒ මනුෂ්‍ය, දිව්‍ය හා බ්‍රහ්ම යන ලෝක තුනය. සක්විති රජෙකු හා සමානය.

පාසා යානය යමෙකුගේ අතේ පිහිටා ඇත්නම් ඔවුහු ඉතා පින්වන්තයෝය. මෙලොව පිළිබඳ බොහෝ දේ දනිති . සියලු ශාස්ත්‍රයන්හි නිපුණත්වයක් ලබයි. ධනය සෞභාග්‍යය ලබයි. තම ධනය හා කාලය අන්‍යයන්ගේ යහපතට යොදවයි. යුත්තිසහගතව කටයුතු කරන මහජන නියෝජිතයෝය. ධාර්මිකව කටයුතු කරන රාජ්‍ය පාලකයින්ට මේ “පාසා” ලකුණ වැටේ.

එවැනි ලකුණක් වැටුණු විට පැල්පතක උපන්නත් රජ මැදුරකට යන්නේය. (අංක1) මෙය සිංහාසන යෝග ලක්ෂණයයි. මෙය බලවත්ව සිංහාසන යෝගයකි. මෙවැනි කෙනෙකු රටක රාජ්‍යයක පාලනයට දෙවියන් විසින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස එවන අයෙකු සේ සාමුද්‍රිකා සෘෂීන් විසින් පෙන්වා දී ඇත. කාන්තා අල්ලක මේ ඕලා ලකුණ හෙවත් පාසා ලකුණ වැටුණි නම් නිතැතින්ම ඇය මහා ධනවන්තියක් වන්නීය.

පින්වන්ත කෙනෙකුගේ අල්ලේ වැටෙන අනෙක් රේඛාව ‘මහි’ රේඛාවයි. එය කෙනෙකුගේ අල්ලේ වැටෙන සෞභාග්‍යය දැක්වෙයි. එය වැටෙන්නේ සුළඟිල්ල ආශ්‍රයේ සිට චන්ද්‍ර මංඩලයේ ඉහළ කොටසටය. (අංක 2) මෙය විවාහ රේඛාවලට යටින් විකෘති කුජ මංඩලය තුළින්ද වැටේ. සමහර විට අපේ රටේ හස්ත රේඛා විද්‍යාඥයෝ එය මහා ඥානකාරී රේඛාව ලෙස ද ස්ථානෝචිත ප්‍රඥා රේඛාව ලෙසද දක්වති. මෙය පුරෝහිත බ්‍රාහ්මණයින්ට ර‍ාජ්‍ය පාලකයින්ගේ උපදේශකයින්ටද පිහිටයි.

පුරාණ සාමුද්‍රිකා ඉර්ෂිවරු අල්ලේ චන්ද්‍ර මංඩලය කොටස් තුනකට බෙදා දක්වති මුල් කොටස අත්කරේ අධ්‍යාත්මික ශක්තිය ලෙසත් දෙවන කොටස ධන ශක්තිය ලෙසත් ඉහළ කොටස පරිසාරික ස්වභාව ධර්මයේ වාසනා ශක්තිය ලෙසත් දක්වති.

මෙවැනි රේඛා යම් අල්ලක වැටේද ඔවුහු යාන වාහනාදිය ඇතිව උයන්වතු මැද ස්වභාව ධර්මය විසින් ජීවත් කරවන්නාහ. තමා දන්නා දේ අන්‍යයින්ට බෙදා දෙති. එවැනි අය සමාජය තනන යහපත් ගුරුවරුය. මෙම ලක්ෂණය යුතු දරුවෝ පොත්පත් රුසියෝ ය. න්‍යාය ධර්ම දත් මහාචාර්ය වරුය.

කිසියම් අල්ලක මාතෘත රේඛාවේ සුළඟිල්ල යට විවාහ රේඛාවලට යටින් (බුද මංඩලයේ) වැටෙන ඉදලක ආකාර රේඛා සටහන් තිබේ නම් එයින් කියවෙන්නේ ධර්ම කර්ම යෝගී රේඛාවයි. (අංක3) එය පෙර භවයේ කුසලා කුසල සටහනයි. පින් ඇති බවයි. මෙම රේඛාව වැටුණු විට ජීවිතය දැහැමිව ගෙන යති. එවැනි අයගේ දබරැඟිල්ලේ ඉහළ පුරුකේ (නිය පිහිටා ඇති තැන) කුන්තායුධ ලක්ෂණය වැටේ. මෙම පුරුක උත්පත්ති ස්ථානය නියෝජනය වෙයි (අංක 4) මෙම ලක්ෂණය භාරතීය සෘෂීන් විසින් “දේවී” රේඛා ලක්ෂණය ලෙස නම් කරනු ලැබ තිබේ. ඉතා යහපත් චරිතය හා රූමත් බවින් යුතුය. සමාජයේ ඉහළ තලයකට පත්වන ලකුණකි. එහෙත් ආත්මාර්ථකාමීය.

අල්ලේ දබරැඟිල්ල යට හා මහපට ඇඟිල්ලට කිට්ටුව භාරත සෘෂීහු මාළුවකුගේ ලාංඡනය වැටුණු විට එය “රාගධන්තික” රේඛාව ලෙස හඳුන්වති. එය අර්ථයෙන් ධර්මයෙන් යුක්තිගරුකව රටක් රාජ්‍යයක් පාලනයට දෙවියන් විසින් මවනු ලැබූවකි. සියලු වස්තු ධන සම්පත් මෙවැනි රේඛා හිමි අයට ලැබේ. ධනට පිනට සිය වස්තු දන්දෙන්නෝය. ජනතා මෙහෙවරහි යෙදෙන ජන නායකයින්ට මෙය පිහිටයි. (අංක 5) යම් කාන්තාවකගේ අල්ල තුළ මෙම රේඛා සටහන වැටේ නම් ඉතා රූමත්ව යහපත් සැමියෙකු ලබන වාසනා වන්තියකි.

මැදඟිල්ලේ මැද පුරුකේ වැටෙන දම්වැල් ලක්ෂණය “රාජි” රේඛාවයි. (අංක 6) මෙම ලක්ෂණය යම් අල්ලක වැටේ නම් පියකරු නිවාස ධන සම්පත් යාන වාහනයක් එවැනි සම්පත් ලැබේ. මෙය රාජ යෝගයකි. බොහෝ ධනවත්ය. ප්‍රසිද්ධියට පත්වේ.

අල්ලේ වැටෙන ගුප්ත ත්‍රිකෝණය අල්ල මැද පිහිටයි. මෙම ලක්ෂණය වැටුණු විට එවැනි අය කිසිදා ප්‍රති උපකාර නැතිව අන්‍යයින්ට උදව් කරයි. (අංක 7 ) ජීවිතය ප්‍රීතියෙන් ගෙන යයි. සමාජයට තරාතිරම නොබලා උතුම් ලෙස සලකන්නෝය.

රවි ධන රේඛාව කරු බෙදී අතු දෙකක් වැටීම පර ධන රේඛාවයි. (අංක 8) රවි හා විකෘති කුජ මංඩලවලට වැටීම අන්සතු ධනය ලබන බලවත් යෝගයකි.

ලෝකයේ බලවත් කීර්තිමත් වෙළඳ ‍ව්‍යාපාරිකයින්ගේ අල්ලේ බොහෝ විට මෙවැනි රේඛා වැටේ. කුංචායුධ රේඛාවද රවි මංඩලය යට වැටේ. අන්සතු වස්තුවලට හා ඉඩ කඩම් ලැබීමටද මෙවැනි රේඛා වැටුණු විට හේතුපල වේ. (අංක 9)

සුළඟිල්ලේ අග පුරුකේ පුරුක් හරස් අතට පිහිටා අග කොටස ඇසක් ලෙස දිස්වෙන රේඛාව භාරත සාමුද්‍රිකා සෘෂීන් හඳුන්වා දී ඇත්තේ “දාමිලා” රේඛාව ලෙසයි. එය බොහෝ විද්‍යා ශාස්ත්‍ර ඉගෙන ධනවත් වන ලකුණකි. (අංක 10)

අල්ලේ ගුරු මංඩලය තුළ තාරකා ලකුණ වැටීම උසස් ප්‍රේම සම්බන්ධයකට, රැකියා, ධනය, කීර්තිය ලබන ලකුණකි. එවැන්නෝ ජීවිතයේ සියලු අභිමතාර්ථ ඉටු කර ගනිති. (අංක11)

අල්ල මැදින් වැටෙන සෙනසුරු රේඛාව මැදඟිල්ල මුලට වැටීම චන්ද්‍ර මංඩලයේ සිට වෙදැඟිල්ල යටට චන්ද්‍ර කීර්ති රේඛාව වැටීම ධන බලය හා කීර්තිය ලබන විශේෂ ලකුණකි. එවැනි අය රටක රාජ්‍යයක පාලන බලය උසුලන්නෝය (අංක 11)

අල්ලේ සෙනසුරු (ශනි රේඛා දෙකක් වැටීම (භගිති රේඛාවක්) ජීවන මඟට නව එළියක් ගෙන දෙන්නකි. මාරක අපලවලින් මුදවා හරී. මෙය රටක රාජ්‍යයක පාලනය යහපත්ව ගෙන යන නායකයෙකු හඳුනා ගන්නා ලක්ෂණයකි.

ජීවන රේඛාව ද්විත්ව වීමද යහපත් ය. එයින් කියැවෙන්නේ පෙර ආත්මවල කරන ලද කුසල් බලය මේ ආත්මයේදී සියල්ල ආරක්ෂා කරන බලවේගයයි. (අංක 12)

මැදඟිල්ලේ මුල පුරුක තුළ වැටෙන ජය රේඛාව (අංක 13) කිසියම් අල්ලක වැටේ නම් ඔහු රාජ්‍ය තන්ත්‍රයට පත්වේ. රජයේ නිලතල ලබයි. රැකියා වාසනා ඇති කාලයට මෙය රෝස පැහැයෙන් දිස්වේ. අත්කරේ වැටෙන නෙළුමල් පද්ම රේඛා ලක්ෂණය විශිෂ්ට ජීවන දර්ශනයක් මතුවන කාලයට වැටේ. මෙය රටක රාජ්‍යයක ප්‍රතාපවත් පාලනයක් ගෙන යන පාලකයෙකුට පිහිටයි. (අංක 14)

Comments