
ඉස්සර කුඹුරුත් අපේ. යෝධ ඇළත් අපේ. කැලෙත් අපේ. ඒ නිසා අපි කැලෙත් රැක්කා. යෝධ ඇලත් රැක්කා. කුඹුරුත් රැක්කා. කැලේ අයිතිය ආණ්ඩුවට ගත්තා. නීති රිති වැඩි වුණා. අන්තිමේ කැලේ නැතිවුණා. දේශපාලකයෝ ඒවා එළි කරලා ජනපද බිහි කළා. යෝධ ඇළ මහවැලියෙන් අයිති කරගත්තා. උඹල බදු ගෙවපල්ලා හරක් ටික අයින්කරගනිල්ලා. අපි ඇළ රකින්නම් කිව්වා. දැන් ඇළ විනාසෙට ගිහිං. ධාතුසේන රජතුමාගෙ ඇළ විනාශ කළා කියන අපවාදෙන් ගැලවෙන්න නමට විතරක් අවුරුද්දට පාරක් ඇළ සුද්ද කරනවා. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක පාරක් ඇළ හෑරුවා. දැන් සමහර තැන්වල ඇළේ වතුර කුඹුරට ගලනවා වෙනුවට කුඹුරෙන් වතුර ඇළට ගලනවා.
කලා කරඹෑව හන්දියෙන් යළිත් යෝධ ඇළ බැම්මට පිවිසි අපට ඊළඟට හමුවන්නේ තල් ගස් මණ්ඩියකි. එම ගස් පැසුණු සහ ඉදුණු තල් ගෙඩිවලින් පිරී තිබේ. ගස් අසල බිම වැටී ඇත්තේද ඉදුණු තල් ගෙඩිය. ඒවා ගවයින්ගේත්, රිළවුන්ගේත්, වඳුරන්ගේත් රස කෑමකි.
වව්නියාවෙන් උතුරට යද්දී නම් තල් ගසටත්, එහි ගෙඩිවලටත් ලැබෙන්නේ ඉහළ තැනකි. එහෙත් නුවර කලාවියේදී එයට එතරම් සැලකිල්ලක් නැති හැඩය. ඉංග්‍රිසියෙන් පැල්මයිරා ලෙස හඳුන්වන තල් ඉතා ගුණදායක පලතුරක් ලෙස සැලකේ. එය වඩාත් ජනප්‍රිය ‘තල් කිරි’ ලෙසය.
“හොඳට ඉදුණු තල් ගෙඩියක් ගිනි අඟුරු උඩ දාලා ටික වේලාවක් වටේ පලහා ගන්නව. එතකොට තමා තල් ගෙඩියේ ඉස්ම හොඳට එන්නේ. තල් ගෙඩිය නිවුණාට පස්සේ ඒකේ ලෙල්ල ගහගෙන තල් ගෙඩිය ඇතුළේ තිබෙන ඇට තුන හිමින් අරගෙන භාජනේකට දාලා වතුර ටිකක් දාගන්නවා. ඊළඟට අතෙන් හරි හැන්දකින් හරි තල් ඇට වටේ කෙඳිවල රැඳිලා තිබෙන ඉස්ම ටික හුරා ගන්නවා. බොහොම ඉවසීමෙන් වෙලා අරන් කළාම හොඳට ඉස්ම මිරිකෙනවා. තල් ඇටවල තියෙන ඉස්ම සේරම අරගෙන ඒකට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා හොඳට කලවම් කර ගන්නවා .
( හරියට අපි දිවුල් කිරි හදා ගන්නවා වගේ ) පස්සේ කෙඳි ටික අයින් වෙන්න පෙරා ගන්නවා. සීනිත් එක්ක හරි හකුරු කෑල්ලක් එක්ක හරි බොනවා.” අස්වැද්දුමේ පදිංචි කරුණාතිලක මාමාගේ ඇඹණිය, මුතුමැණිකා මහත්මිය තල් කිරි රසවත්ව සාදාගන්නා ආකාරය අපට පැවසූවේ එසේය.
දේශීයව සහ විදේශීයව ඇති ඉල්ලුම සලකා තල් අස්වැන්න එක්රැස් කරගෙන අලෙවිය සඳහා යොමුවන්නට කිසිවෙකුට හැකිනම් එයද හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වන්නට ඉඩ තිබේ. තල් කිරි රසය හිතින් මවා ගනිමින් අපි යළිත් පාපැදියට නැගුණෙමු.
නුග ගස් සෙවණක නැවැත්වූ පා පැදි දෙකකි. ඇළ බැම්ම දිගේ දෙපසකට යන්නට පැමිණි දෙදෙනා මිතුරන් වූ නිසාවෙන් නැවතී සල්ලාපයකය. බුලත් විටක් ඒදමින් සිදුවුණු ඔවුන්ගේ සල්ලාපයට ආගන්තුක අපිද එක්වූයෙමු. අලුත් අක්කරයේ පදිංචි සුනිල් පෙරේරාත්, කරඹෑවේ පදිංචි අයිවන් පෙරේරාත් මිතුරන් වන්නේ යාබද කුඹුරු යායවල හිමිකරුවන් නිසාය. එකම ගොවි සංවිධානයේ සාමාජිකයින් නිසාය.
“ඉස්සර කුඹුරුත් අපේ. යෝධ ඇළත් අපේ. කැලෙත් අපේ. ඒ නිසා අපි කැලෙත් රැක්කා. යෝධ ඇලත් රැක්කා. කුඹුරුත් රැක්කා. ඊට පස්සේ කැලේ අයිතිය ආණ්ඩුවට ගත්තා. නීති රිති වැඩි වුණා. කැලේ අපේ නොවෙයි කියල හිතන තැනට වැඩ සිද්ධ වුණා. අන්තිමේ කැලේ නැතිවුණා. දේශපාලකයෝ ඒවා එළි කරලා ජනපද බිහි කළා.
ඊට පස්සේ යෝධ ඇළ. ඒක මහවැලියෙන් අයිති කරගත්තා. උඹල බදු ගෙවපං. හරක් ටික අයින්කරගනිං. අපි ඇළ රකින්නම් කිව්වා. අපි අක්කර බදු ගෙව්වා. ඇළට බදු ගෙව්වා. හරක් ටික මස් කඩේට වික්කා. දැන් ඇළ විනාසෙට ගිහිං. නමට විතරක් අවුරුද්දට පාරක් සුද්ධ කරනවා. ධාතුසේන රජතුමාගෙ ඇළවිනාශ කළා කියන අපවාදෙන් ගැලවෙන්න.
එක පාරක් ඇළ හෑරුවා. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. දැන් සමහර තැන්වල, ඇළේ වතුර කුඹුරට ගලනවා වෙනුවට කුඹුරෙන් වතුර ඇළට ගලනවා.
පැලැස්තර දාන්නේ නැතිව යෝධ ඇළ උඩහ ඉඳන් පහළට ප්‍රතිසංස්කරණය කරන එක වැඩපිළිවෙළක් ඕන. නැත්නම් තව අවුරුදු දහයක් යන්න කලින් මේක ගොඩ වෙනවා. යෝධ ඇළක් නැති වෙනවා.”
ගොවීන් කියන දේත් අහන්න
උපන්දා සිට යෝධ ඇළේ පිහිටෙන් එහි වාසය කළ ඔවුනට යෝධ ඇළ සිය නෑයෙකු මෙන් වටින්නේය. අද දවසේ මතුව ඇති ගැටලුව සමනයට ගත යුතු පියවර ගැන ඔවුන් කියන දේ ගැන බලධාරීන් අවධානය යොමු කළ යුතුමය.
දැන් අප සිටින්නේ අස්වැද්දුමේය. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට පිපිඤ්ඤා, බණ්ඩක්කා සහ කිලෝ පේර රැගෙන යන ඩිමෝ බට්ටෙකු යෝධ ඇළ බැම්මේදී අපට හමුවිය.
“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානෙට කංකුං යන්නේ යෝධ ඇළෙන්. දවසකට මිටි දාහක් විතර අරගෙන යනවා. දඹුල්ලට, මුළු රටට විතරක් නෙවෙයි, චීනෙට දෙන්නත් ඇති තරම් කංකුං යෝධ ඇළේ තියෙනවා. හරි විදිහට කරනවා නම් ඒකත් හොඳ වෙළඳාමක් තමයි.”
1958 ගංවතුර රජරටට දරුණු විනාශයක් ගෙන ආවේය. කලාවැව වානද කැඩී බිඳී ගල්නෑව, බුල්නෑව, තලාව අවට ප්‍රදේශයද යටවූ ඒ මහා ගංවතුර ට යෝධ ඇළේ බැම්මද ස්ථාන කිහිපයකින් බිඳ දමන්නට හැකිවිය. අස්වැද්දුම ගම්මානයේද එසේ යෝධ ඇළේ බැම්ම බිඳී ගිය ස්ථානයක් අද ද හඳුනාගත හැකිය.
ඒ අසලින්ම හමුවන්නේ කාගම ඩී-13 ඇළ මාර්ගයයි. මෙම ඇළ මාර්ගය දිගේ හැරී යන්නේ නම් අලුත් ගන්තිරියාගම, සේනපුර හරහා අලුවිහාරේගම දක්වාම යා හැකිය. එහි අරුත නම් යෝධ ඇළේ වතුර කඳ අතුරු ඇළ මාර්ග ඔස්සේද බොහෝ කුඹුරු ප්‍රමාණයක් සරු කරන බවය.
අප ඊළගට ගියේ අස්වැද්දුම ප්‍රගති ගොවි සංවිධානයේ සභාපතිවරයා හමුවන්නටය. ගොවීන් දෙසීයක් පමණ සාමාජිකත්වය දරණ එම සංවිධානයේ මඟ පෙන්වීමෙන් අක්කර 300ක් පමණ වගා කරන බව එහි සභාපතිවරයා වන ආර්.එම්.එස්.බී රාජපක්ෂ මහතා අප සමඟ පැවසීය.
නිසි ප්රතිසංස්කරණයක් ඕනෑ
“වරින් වර ගොවි සංවිධානේ සාමාජිකයෝ එකතු වෙලා යෝධ ඇළ ශුද්ධ කරනවා. ඒත් නිවැරදි සලැස්මකින් එන මහා පරිමාණ යෝධ ඇළ ප්රතිසංස්කරණයක් මේ මොහොතේ අවශ්‍යයි.” ඔහු අපට කීවේ කාගම ඩී-13 ඇලට වතුර සපයන යෝධ ඇළෙහි සොරොව් දොරෙහි රැදී ඇති කංකුං වැස්ම පෙන්වමිනි.
කාගම ඇළෙන් පසු යෝධ ඇළෙහි බැම්ම යළිත් ජනාකීර්ණය. තැන තැන නිවාසය. නැතහොත් වගාවකි. මෙතෙක් අපට යෝධ ඇළ ආශ්‍රිතව හමු නොවූ වර්ගයේ වගාවක් අස්වැද්දුම ගමේදී දැකිය හැකි විය. ඒ දුම්කොළ වගාවකි. යෝධ ඇළ ඉහත්තාවේ තිබූ ඒ දුම්කොළ වගාව දකින්නට නම් යෝධ ඇළෙන් එතෙර විය යුතුය.
දුම්කොළ වාර්ෂික බෝගයකි. ඒ අනුව වසරින් වසර වගා කළ යුතුය. ගසම සම්පූර්ණයෙන් ගලවා කොළ වෙන්කර වේලා ගැනීමෙන් දුම්කොළ පරිභෝජනයට ගත හැකි පරිදි සකස් කර ගනී. මෙරට දුම්කොළ වගාව සඳහා වඩාත් ප්‍රසිද්ධ උතුරු පළාතේ යාපනයයි. එහෙත් රජරට සහ ඌවේ සමහර පැතිවලද දුම්කොළ වගාකරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 2500 ක පමණ දුම්කොළ වගා කර තිබේ. බොහෝ ඇමෙරිකානු ස්වදේශිකයන්ද අතීතයේ සිට දුම්කොළ භාවිත කර ඇත. ඇමෙරිකානු ආදිවාසී ජනයා දුම්කොළ භාවිතය ආශ්‍රිත විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුමගමනය කරති. එහෙත් ලංකාවේ දුම්කොළ වගාව 2020 දී නතර කරන්න තීරණය කර තිබේ. ඒ දුම්කොළ භාවිතය නිසා මහජනයාට සිදුවන සෞඛ්‍ය හානිය මැඩපැවැත්වීමේ අරමුණෙනි.
අප බයිසිකල් මේ ඉවුරේ නවතා, යෝධ ඇළට බැස ඉන් එගොඩව ගොස් දුම්කොළ වගාව නැරඹුවෙමු. අප එහි පිවිසෙන විට වගා බිමෙහි කිසිවෙකු සිටියේ නැත. අනවසරයෙන් ඇතුළු වූ වරදට දඬුවම් ලබන්නට පෙර , හැකි ඉක්මනින් ඡායාරූපයක් ද ගෙන ඉන් පිටවූ අප යළිත් යෝධ ඇළෙන් මෙගොඩ පැමිණියෙමු.
අප ඇළෙන් මෙගොඩ වූ තැන ඇළ බැම්මට ගොඩවෙන තැන අත්තික්කා ගසෙකි. කඳ දිගේ තැනින් තැන හට ගන්නා කොළපැහැති කුඩා ගෙඩි නිසා එම ගසෙහි සුවිශේෂත්වයක් ඇතිවේ. දේශිය වෙදකමේදී රෝග රැසකට ගුණ දෙන අත්තික්කා ගස පාමුල සවිකර ඇත්තේ වතුර මෝටරයකි. විමසා බැලීමේදී ඉන් ජලකඳ ගලා යන්නේ යෝධ ඇළ බැම්මෙන් පහළ ගොවි බිමකටය.
“යෝධ ඇළ බැම්ම ළඟ වුණාට මේ හරිය කන්දක්. ඉතින් ස්වභාවික ඇළ මාර්ගයකින් මේ හරියට යෝධ ඇළේ වතුර ගන්න බෑ. ඒ නිසා අපි මෝටරයක් දාලා ඇළෙන් වතුර ගන්නවා. ගොවි සංවිධානේ හරහා මහවැලියට දන්වලා තමයි තියෙන්නේ.” එම ගොවිබිමේ හිමිකරු මෝටරයකින් වතුර ගන්නට සිදුව ඇති හේතුව විස්තර කළේ එලෙසිනි.
යෝධ ඇළ මායිමේ වසන බොහෝ දෙනාගේ මුල් ගම් බොහෝ දුරකය. ඉරණම යැයි නම් කළ හැකි කිසියම් හේතුවක් නිසාවෙන් ඔවුන් අද දවස වන විට යෝධ ඇළ අයිනේ එහි නෑසියන්ව දිවි ගෙවයි. ඔවුන්ට ඔවුනගේ ඉරණම ද්‍රෝහී වු බවට කිසිදු සාක්ෂියක් හමු නොවේ. පසු විමසීම් කරන අපට හමුවන්නේ ඔවුන්ගේ ඉරණම ඔවුනට උසස් ලෙස සලකා තිබෙන ආකාරයයි.
අස්වැද්දුමේ වෙසෙන හැත්තෑ හය හැවිරිදි කරුණාරත්න සූරියබණ්ඩාර මහතා සිය තරුණ ජීවිතය අරඹා ඇත්තේ ගෙන්දගම් පොළොවේ මැනිං මාර්කට් හී කඩ බක්කියකිනි. ඉන්පසුව තරුණ වියේදිම හේන් වවන්නට කලාවැවට පැමිණි ඔහු දැන් දරු මුනුබුරන් මැද සිය ඇඹණිය සමඟ සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වේ.
“මට දරුවෝ අටක්. මට මේ ඉඩම ලැබුණේ අනුරාධපුර දිසපති විදියට හිටිය මඩුගල්ලේ මහත්තයාගෙන්. මගේ දරුවෝ අට දෙනාම ලොකු මහත් කළේ මේ ඉඩම වගා කරලා. මම කුඹුර කරන්නේ අඳේට. නිමල් පෙරේරා මහත්තයාගේ අඳ ගොවියා මම. එදා ඉඳන් අද වෙනකම් මට යෝධ ඇළේ වතුර කඳ අඩුවක් නැතිව පිහිට වුණා.”
මේ කතා බහ අතරතුර දර සොයන්නට ගොස් ආපසු පැමිණි ඇඹණියගෙන් අසා දැනගත් “තල් කිරි” සැකසීමේ වට්ටෝරුව ලිපියේ මුලින් සඳහන් කළෙමි.
යෝධ ඇළ අපට හැමදා පිහිට වුණා
“දැන් නම් වෙලාවක් නෑ. ආයෙම දවසක එනවනම් තල් කිරි ටිකක් රසට හදල දෙන්නම්”
ඇගේ ඒ ආරාධනය පිළිගනිමින් අපි සමුගත්තේ යෝධ ඇළ දිගේ යන ගමනේ ඉතුරු දුර යන්නටය.
යෝධ ඇළ දිගේ යන අපට ඊළගට හමුවන්නේ පහළ වෙම්බුව ගම්මානයයි. ලෝකයටම කාබනික පලතුරු, පොල් සහ එළවළු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලංකික සමාගමක සැකසුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මේ ගමේය. යෝධ ඇළටත්, ජයගඟටටත් මායිම්ව පිහිටි සැන්මික් ආයතනය දැකගනිමින් අපි පහළ වෙම්බුව මංසන්ධියේ පිහිටි ලෑලි කඩයට ගොඩවුණෙමු.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.
(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)
යෝධ ඇළ දිගේ ගන්තිරියාගම වැව පසුකර මානෑවට ගිය ගමන ලබන සතියේ….
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ