
නව අග විනිසුරුතුමා පත්වීම සම්බන්ධව වඩාත් දොඩමලු වුණේ නීතිඥ වෘතිකයන් විය හැකිය. ඔවුහු අග්‍ර විනිශ්චකාර ධුර ඉතිහාසයේ සමහර පැරණි සිද්ධි නැවත සිහිපත් කළහ. අග විනිසුරු ශීරාණි බණ්ඩාරනායක මැතිනිය ධුරයෙන් පහ කිරිම කළු පැල්ලමකි. සත්තකින්ම එය කළු පැල්ලමක් වන්නේ ලංකා දේශපාලනයෙහි මිස අධිකරණ ඉතිහාසයෙහි නොවේ. ආණ්ඩු පෙරළන්න බස් ගිනි තැබූ දේශපාලනඥයන් විසින් අග විනිසුරු ශීරාණි බණ්ඩාරනායක මැතිනිය ධුරයෙන් පහ කිරීම ඉස්කෝලේ අටේ පන්තිය තෙක් උගත් කෙනෙකු හෝ අනුමත කරන්නේ නැත.
එකී අපකීර්තිමත් සිද්ධියේදී ආණ්ඩුවට එරෙහිව 99%ක්ම නීතිඥ ප්‍රජාව පෙළ ගැසිණ. නීතිඥයන් කිහිප දෙනෙක් පමණක් ආණ්ඩුව ශක්තිමත් කළහ. එක් නීතිඥ සංගම් නිලවරණයක් අතර, අපේක්ෂකයෙක් ස්වකීය සහෝදර වෘත්තිකයෙකු වෙත ගොස් සහාය අපේක්‍ෂා කළේය.
“අපි යාළුවෝ.....” අපේක්ෂක නිතිඥ සගයා කතාව පටන් ගත්තේය. අනෙකා සිනාසිණ.
“මට උදව් ඕනැ... ඔයා මං ගැන කතා කරන එක මට ලොකු ශක්තියක් වෙනවා.”
“ අපි යාළුවෝ හැමදාම.. හැබැයි මේ ඡන්දෙදි හැර.”
“ඇයි ඒ....”
“හේතුව ශීරාණි බණ්ඩාරනායක සිද්ධියේදී ඔබ රාජපක්ෂලා සමඟ සිට ගැනීමයි”
කතාව එතැනින් අවසන් විය. අවසානයේ අර අපේක්ෂකයා ජය ගත්තේය. ඒ දෙදෙනා අදටත් යහළුවෝ වෙති. ආචාර්ය ශීරාණි බණ්ඩාරනායක අර්බුදය සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය ශ්‍රී ලංකා නීනිඥ සංගමයේ සභාපති පදවියට පත්විය. ඒ වනවිට අග විනිසුරු මොහාන් පීරිස්ය. ශ්‍රී ලංකා නීනිඥ සංගමයේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීම සාම්ප්‍රදායික උත්සවයකි. එහි ප්‍රධාන අමුත්තා වන්නේ අගවිනිසුරුය. ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී විශාල වැඩ කොටසක් කළ උපුල් ජයසුරිය විශ්වාස කළේ අහෝසි නොවූ තනතුරක මොහාන් පීරිස් රැඳී සිටින බවය. උපුල් තම පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා කළේ මොහාන් පීරිස්ට නොවේ. ආචාර්ය ශීරාණි බණ්ඩාරනායකටය. වචනාර්ථයෙන්ම ස්වාධීන ශ්‍රී ලංකා නීනිඥ සංගමයේ හැසිරීම දෙස බලා සිටිනවාට වඩා කළ හැකි යමක් නොවීය. එකී උත්සවයට පැමිණිය යුතු අධිකරණ ඇමති රවුෆ් හකීම් පැමිණි සැණින් නික්ම ගියේය. ජනවාරි පෙරළියට පසුව, මොහාන් පීරිස් තනතුරෙන් ඉවත් කර ආචාර්ය ශීරාණි බණ්ඩාරනායක පත් කිරීම ආදී ක්‍රියාවලියේ මූලිකව ක්‍රියා කළේ ශ්‍රී ලංකා නීනිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය යි.
මේ සියල්ල මෙසේ සිදුවන අතර, නීතිඥ වෘත්තිකයන් බොහෝ දෙනාට විමතිය ඇති කළ සිද්ධි බොහෝ විය. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කළ අවස්ථාවේ උපුල් ජයසුරිය එකී පත්වීමට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීය. ඒ උපුල් ජයසුරිය, අග විනිසුරු ශීරාණි බණ්ඩාරනායකට එරෙහිව රාජපක්ෂ පාලනය ක්‍රියා කළ අවස්ථාවේ ආචාර්ය ශීරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටීමය. ඉහතින් විස්තර කළ පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය පත්වූ උළෙලට ආරාධනා කළේද තමන් මුලින් එරෙහිවූ ආචාර්ය ශීරාණි බණ්ඩාරනායකටය.
ඒ අතර, ජනාධිපති නීතිඥ මොහාන් පිරිස් උපුල් ජයසුරියගේ ආසන්න මිත්රයෙකි. නීතිඥ කලණ ජයසුරිය එනම් උපුල්ගේ පුතා නීතිඥ පුහුණුව සඳහා භාර කර තිබුණේ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්ටය. මේ සියල්ල අතර, කලණ ජයසුරියගේ විවාහ උත්සවය එළඹිණ. එකී උත්සවයට ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් සහ එම මැතිනිය ආරාධනා ලැබ සිටියහ. එහෙත් එකී ආරාධනා ලැයිස්තුවේ ආචාර්ය ශීරාණි බණ්ඩාරනායකගේ නම තිබුණේ නැත.
ඒ ගැන මම වරක් උපුල් ජයසුරියගෙන් විමසා සිටියෙමි. ඔහු මට දුන් පිළිතුර මෙසේය.
“මොහාන් මගේ හොඳ යාළුවෙක්. මම දරණ මතය කිසවිටෙකත් වෙනත් සම්බන්ධකම් සමඟ පටලා ගන්නේ නැත.” ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ මුල් පත් කිරීමට විරුද්ධ වූ උපුල් ඇයගේ තනතුර ආරක්‍ෂා කර දීමට සටන් කළේය. ඒ අවස්ථාවේ මොහාන් පීරිස් සහ තමන් අතර පැවති සබඳතා ගැන කල්පනා කල්පනා කළේ නැත. මේ මිනිස් හැසිරීම් ගැන සමහරු මවිත වෙති. එහෙත් අප මවිත විය යුත්තේ මේ ආකාරයට කල්පනා කිරීමට බැරිකම ගැනය. උපුල් මොහාන්ට වඩා රටේ පවත්නා ක්‍රමයට ආදරේ කළේය. එසේම මා දන්නා පරිදි නීතිඥ කලණ ජයසුරිය කිසි දිනෙක මේ ගැටලුවට මැදිහත් වුණේ නැත.
චන්ද්‍රසිරි සෙනෙවිරත්න