
ගයනි කුමුදු කුමාරි, තවමත් අවුරුදු 23 ක ළාබාල තරුණියක්. ඇය උපන්නේ අම්පාර උහන දුෂ්කර ප්‍රදේශයක. කුඩා කල සිටම ගයනිට කොළඹ කියන්නේ සිහිනයක්. ඒත් ඇයට ඒ කොළඹට ඒමේ සිහිනය සැබෑ කරගන්න එතරම් කාලයක් ගත වුණේ නෑ. ඇගේ ඒ සිහිනය සැබෑ කළේ ගුවන් හමුදාවේ සෙබළියක ලෙස ලද පත්වීමයි. දුෂ්කර පළාතක ජීවත් වූ ඇය එම පත්වීම ලබා ගත්තේත් හරිම ආයාසයකින්. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමට ඇය කොළඹ පැමිණියෙත් තනියෙන්නම් නෙවෙයි. ඒත් පත්වීම ලැබුණාට පස්සේ ඇගේ පස්සෙන් තනියට එන්න අය හිටියේ නෑ. එතැන් පටන් ගයනිට කොළඹ එන්න වුණේ තනියමමයි.
ගයනි මේ ලෙස කොළඹට සේන්දු වුණත් ඇගේ අම්මා තාත්තා, අක්කා හා මල්ලි තවමත් ඉන්නේ උහන අලි ගහන දුෂ්කර ගමේ කුඩා නිවෙසකයි. කොළඹ පැමිණි ගමන ගයනිගේ සිතට එතරම් සතුටක් ගෙන නොදුන්නේ ඇයගේ නිවෙසේ අය විඳින දුෂ්කර ජීවිතය ගයනි හොඳින් දැන සිටි නිසයි. ඒත් ඇය කොළඹට පය ගැසිය යුතුමයි. ගයනි කොළඹ එන ගමනේ මඟ දිගට හරස්වෙන වන අලින්ගෙන් නිතරම එල්ල වුණේ බාධා. ඒ ගමන එතරම්ම දුෂ්කරයි. ඒත් ගුවන් හමුදා සෙබළියක ලෙස ලද පත්වීම ගයනිට මහමෙරක් වගෙයි.
අම්පාරේ සිට කොළඹ එන ගමනේ ගයනි වැඩියෙන්ම කරදර වුණේ ගමනේ තියෙන දුෂ්කරකමයි. පත්වීම ලැබ කොළඹට එන ගයනි අවදි වුණේ මහ පාන්දර. උදෑසනින්ම අම්පාරෙන් පිටත් වෙන්න ආවත් සමහර දිනවල බස් නැහැ. පාරටම ගෙවෙන ජීවිතය එපා වෙන්න ගයනිට වැඩි දවසක් ගියේ නැහැ. ඒ වගේම ගෙදර අය ළඟ නිතර රැඳෙන්නත් ගයනි කැමතියි. සෙබළියක ලෙස කරන රාජකාරි ජීවිතයේදී නිතර ගෙදර දුවන්න නොලැබෙන බව දැන සිටියත් ගයනි උත්සාහ කළේ නිවාඩුවක් ලැබෙන හැම මොහොතෙම පවුලේ අයත් සමඟ ගත කරන්නයි.
මේ ගැන කුමක්ද කරන්නේ යන්න ගැන ගයනි හැම වෙලේම ඉහමොළ ගැට ගහමින් කල්පනා කළා. දෙවරක් නොසිතා සිය මුල්ම පඩියෙන් යතුරු පැදියක් මිලට ගන්න ගයනි තීරණය කරන්නේ ඒ අනුවයි. ඇය මේ ගමන මුලදි ගියේ පාපැදියෙන්. ඒ පාපැදියත් ඇයට ලැබුණේ ගුවන් හමුදාවෙන්. සයිකලයක් මිලදී ගන්න හිතුවත් එකවර මුදල් ගෙවා එය මිලදී ගන්න තරම් ඇයට වත්කමක් තිබුණේ නැහැ. ගයනිට යතුරු පැදිය ගැනීමේ අවශ්‍යතාව වගේම අම්මාගේ අතට මාසේ වියදමට කීයක් හරි දෙන්නත් ඕනෑමයි. ඊට පිළියමක් ලෙස ඇය තීරණය කළේ කෙසේ හෝ ගෙවන්නට බයිසිකලයක් මිලදී ගැනීමටයි.
දැන් ගයනිට හරිම සතුටුයි. ඉන්පස්සේ සවස 5 ට පමණ සිය රැකියා මුරය අහවර වූ ගමන්ම ගයනි තමන් අලුතෙන්ම මිලදී ගත් යතුරු පැදිය පණ ගන්වන්නේ අම්පාරේ අලි ගහන කැලේ මැද්දේ දුෂ්කර ජීවිතයක් විඳින තම දෙමවුපියන් දකින්න යන්නය. නුවර, දහඅටවංගුව, හසලක, මහඔය හා පදියතලාව අලි ගහන මාර්ගය හරහා වු කැලෑ මඟ පසුකරමින් පුරා රාත්‍රියක් මුළුල්ලේ තනිවම දුෂ්කර ගමනක් ගෙවමින් යන ගයනි උහනට ළඟා වෙන්නේ එළිවෙන ජාමයේ. දැන් ඇයට ඒ ගමනේ බියක් ඇත්තේම නැතිතරම්. දිනපතා කොළඹ සිට අම්පාරටම රෑ දෙගොඩ හරියේ බයිසිකලය පැද යන මේ ‘අපූරු කෙල්ල’ ගැන සිළුමිණට අනාවරණය කළේ ජාතික පිහිනුම් සංසදයේ ජාතික පුහුණුකරු රෝෂාන් විජේසිංහ මහතායි.
“ කිසිම භයක් නැතිව තනියම කොළඹ ඉඳලා අම්පාරට බයිසිකලයක් පැදගෙන යන යක්ෂ කෙල්ලෙක් ඉන්නවා. පිහිනුම් වලට ඇය පුහුණු වෙන්න අම්පාරේ ඉඳන් එන්නේ බයිසිකලය පැදගෙන. දැන් ඇය ජාතික පිහිනුම් ශූරියක්.” ගයනි පිළිබඳ මුලින්ම තොරතුරු දුන් රෝෂාන් මහතා පැවැසුවේ එලෙසිනි.
දුෂ්කර ගමක දැඩි දුෂ්කර දිවියක් ගෙවූ ගයනි පාසල් ගියේද අම්පාර උහන දුෂ්කර පාසලක් වූ දෙමටමල් පැලැස්ස විදුහලටය. උපතින්ම නැති බැරිකම දායාද කරගත් ගයනිගේ මෙන්ම සහෝදරයාගේත් සහෝදරියගේත් පාසල් දිවියේ මුහුණ දුන් දුෂ්කරතා බොහෝය. මුලින්ම පවුලේ බර කරට ගනිමින් සහෝදරිය පාසල් ගමන නතර කරමින් ඇඟලුම් කම්හලක සේවයට ගියාය. එහෙත් ඇයගේ ප්‍රශ්න එතැනින් නිමා වූයේ නැත. දිනෙන් දින පැමිණි අගහිඟතා එන්න එන්නම වැඩිවිය. මේ හේතුවෙන් පාසල් පාසල් ගමන පසෙක ලා දෙමවුපියන්ට සරණක් වන්නට ඇය සාමාන්‍ය පෙළ විභාගය ලිවීමත් සමඟ පාසල් ගමන නැවැත් වූවාය. සම්මාන හතයි - හතරයි. ප්‍රතිඵල ලැබෙද්දි සිටියේ ඇගැලුම් කම්හලක සේවය කරමිනි.
“ අපි ගොඩාක්ම දුප්පත්. අපේ තාත්තට අපි පාසල් යවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ නිසා මම සාමාන්‍ය පෙළ කරලා අවුරුදු 16 න්ම ගාමන්ට් ගියා. මගේ එකම ආසාව තිබුණේ ගුවන් හමුදාවට බැඳෙන්න. එත් අපි වගේ දුෂ්කර ගමක අයට කොහෙද එහෙම තැනකට යන්න වාසනාව තියෙන්නේ. අඩුගානේ සම්මුඛ පරීක්ෂණවලට යන්නවත් අපට සල්ලි තිබුණේ නැහැ. තාත්තා ගොවිතැන් කළත් අලි ගොවිතැන් පාළු කරනවා. මේ නිසා ප්‍රශ්න ගොඩාක් මැදයි අපි ජීවත් වුණේ. මේ වෙනකොට මම ගුවන් හමුදාවට බැඳෙන්න තිබුණු ආසාව නිසා බොරු වයසක් දාලා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. නමුත් අවස්ථාව ලැබුණේ නැහැ . පස්සේ මම අවුරුදු 18 සම්පූර්ණ වෙනකම් ගාමන්ට් එකේම හිටියා. ඒත් මගේ වාසනාවකට වගේ මේ කාලයේ අපේ ගමේ හිටියා ෆ්ලයිට් සාජන්ට් කෙනෙක්. අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ අර ෆ්ලයිට් සාජන්ට් මහතා මට ගුවන් හමුදාවට බැඳෙන්න උදවු කළා. මගෙන් ඇහුවා ඔයාට මොනවද පුළුවන් කියලා. මට ඕන වුණේ ගුවන් හමුදාවට බැඳිලා ක්‍රීඩා කරන්න. මම ඔහුට බොරුවට කිව්වා මට පිහිනන්න පුළුවන් කියලා. ඒත් මට පිහිනන්න බැහැ. මම දැකලා තිබුණේ ගමේ ඇළ විතරයි. ගමේ ඇළේ පිහිනපු මට ගුවන් හමුදාවේ පිහිනුම් කරන්න අපහසු වුණා. කොළඹ ආවත් නිතරම මතක් වුණේ ගෙදර. ඒත් යන්න විදියක් තිබුණේ නැහැ. මම මුලින්ම ගුවන් හමුදාවට බැදුණු ගමන්ම කළේ රුපියල් 8000 ගානේ පඩියෙන් කැපෙන්න බයික් එකක් ගන්න එක. ඒ උදේ හවස බස් එකේ ගමේ යන්න අමාරු නිසයි” ගයනි පවසන්නිය.
ගයනිගේ කතාවේ රසවත් කොටස ඉස්මතු වන්නේ එතැන් සිටය. සවස 5 ට සේවය අවසන් කරන ගයනි අම්පාරට යන්නේ මෝටර් සයිකලයෙනි. කාන්තාවකට නුහුරු නුපුරුදු මේ ගමන ගයනිට අලුත් අත්දැකීමක් වූයේ මුලදී පමණය.
“ මට ඕන වුණා ඉක්මනට ගෙදරට යන්න. බස් එකේ යන්න ගියෙත් දිගු වෙලාවක් යන නිසා මම බයික් එකේම ගෙදර යන්න පටන් ගත්තා. නිවාඩු ලැබුණු හැම වෙලාවෙම මම කරන්නේ බයිසිකලයේ තනියම අම්පාරේ යන එක. මුලදි මේ විදියට එනවට ගෙදර අය අකමැති වුණා. හවස 5 ට පමණ වැඩ අවසන් වුණත් මම අම්පාරේ යන ගමන ආරම්භ කරන්නේ රෑ 9 ට විතර. මොකද ට්‍රැෆික් අඩු වෙනකම් ඉන්නවා. නුවරට යනකොට රෑ 12 විතර වෙනවා. කිසිතැනක නවත්වන්නේ නැහැ. එකදිගටම එළවනවා. රෑ 1 ට විතර හුන්නස්ගිරියේ කඩයක නවත්වනවා රොටී කාලා තේ බොන්න. මේ කඩේ හැර වෙන කොහේවත් නවත්වන්නේ නැහැ. නවත්වන්න බයයි. ඊළඟට දහඅට වංගුව. කළුවරේ කිසිම දෙයක් පේන්නේ නැති නිසා හරීම බයෙන් තමයි පදවන්නේ. තේ බොන්න නැවැත්තුවහම සමහර අය අහනවා නංගි ඔයා කොහොමද මේ මහ රෑ යන්නේ කියලා. ඒත් මේ ගමන මට දැන් හුරුයි. වෙහෙසයි. භයකුත් දැනෙනවා. බයිසිකලය කැඩුණොත් මම හදන්නවත් දන්නේ නැහැ. ඒත් මොනවා කරන්නද. මට ඕන වුණේ ඉක්මනට ගිහින් වැඩි වෙලාවක් ගෙදර ඉන්න. මේ නිසා කොහොම හරි පාන්දර 3 - 3.30 වෙනකොට මම උහනට යනවා” ගයනි පවසන්නීය.
ගයනි මේ අපූරු ගමනේ දී ලද අපූරු අත්දැකීම්ද එමටය.
“ එක දවසක් පාන්දර දහ අට වංගුවෙන් යද්දි මට බයිසිකලය පැදලාම මහන්සියට නින්ද ගියා. මගේ වෙලාවටම හෙළ පැත්තට පෙරළෙන්නේ නැතුව බයිසිකලය කටු අකුලකට වැටුණා. පිටි පස්සෙන් ලොරියක ආපු පිරිසක් මාව කෙළින් කරලා ටිකක් වෙලා තියාගෙන යන්න දුන්නා. පදියතලාව මහඔය හරියේ යද්දි පාරේ අලි ඉන්නවා. මේ නිසා ගොඩාක් කල්පනාවෙන් තමයි යන්න ඕන. සමහර වෙලාවට යනකොට පාර මැද අලි ඉන්නවා. මේ පාරේ නිතරම වැලි ලොරි යනවා. බාගේ වෙලාවට අලියෙක් හිටියොත් මම යන්නේ නැහැ. වැලි ලොරියක් එනකම්ම ඉඳලා ඒ පිටිපස්සෙන් තමයි යන්නේ. මම කවදාවත් ගෙදර එනවා කියලා අම්මලට කියන්නේ නැහැ. තවත් දවසක මම අම්මලාට නොකියා මේ විදියට ගෙදරට යනකොට වත්තට අලි ඇවිත්. තාත්තා හුළු අතු පත්තුකර ගෙන අලි එළවනවා. ඒත් එළවන්න බැහැ. මම බයික් එකේ ලයිට් එක පත්තුකරගෙන වේගයෙන් සද්දේ දාගෙන අලියා ඉන්න දිහාවට බයික් එක පැදෙව්වා. ඒ සද්දේට අලි වත්තෙන් ගියා. මුලදි මගේ බයිසිකලයට ලයිසන් තිබුණේ නැහැ. අම්පාරේ යද්දි තුන් පාරක්ම ඇල්ලුවා. බොරු කියලා බේරිලා ගියා.” ගයනි පවසන්නීය.
ගයනිගේ මේ අපූරු හැකියාව කාන්තාවකට නුහුරුය. නුපුරුදුය. එහෙත් නැති බැරිකම ඇයට ධෛර්යයකි. ඇය යතුරු පැදිය පමණක් නොව පාපැදියද දක්ෂ ලෙස පදවන්නීය. එක දිගට කිලෝ මීටර් 90 ක් පමණ පාපැදිය පදවා ඇය වාර්තා තබා ඇත්තේය. දැන් ඇය දක්ෂ පිහිනුම් ශූරියකි. අපට මේ තොරතුරු ලබා දුන් ජාතික පිහිනුම් සංසදයේ ජාතික පුහුණුකරු රොෂාන් විජේසිංහ මහතා යටතේ පිහිනුම් ඉගෙන ගන්නා ඇය ඉදිරියේදී පිහිනුම් ලෝක ශූරතාවය සඳහා සහභාගි වන්නට අවස්ථාව උදා වී ඇත්තේය. ‘වෝටර් පෝලෝ’ ජාතික කණ්ඩායමේ නායිකාව වන්නේද ගයනිය. එපමණක් නොව තුන් ප්‍රයාම ක්‍රීඩාවටද ඇය දක්ෂය. මේ සෑම ක්‍රිඩාවක් වෙනුවෙන්ම ඇය සහභාගි වන්නේ අම්පාරත් කොළඹත් අතර පාපැදි ධාවනයෙන්මය. ඇයට ශක්තිය වී ඇත්තේද එයමය.
“වෙනත් රටකට යනව කියන එක අපේ ජීවිතවලට සිහිනයක් විතරක්ම වුණා. ඒත් මම අද ක්‍රිඩා තරඟවලට රට රටවල් කිහිපයකටම ගිහින් ජය ගෙන තියෙනවා. නැතිබැරිකම තමයි මගේ ජීවිතයට ශක්තියක් වුණේ. කිසිම දෙයක් නොතිබුණු මට අද පාපැදියකුයි යතුරුපැදි දෙකකකුයි, ත්‍රීවීලර් එකකකුයි තියෙනවා. ඒ හැම දේම ගත්තේ මගේ මහන්සියෙන්. ඒ හැම දේම තිබුණත් අදටත් මගේ රාත්‍රි කාල බොහෝමයක්ම ගෙවෙන්නේ කොළඹ අම්පාර මාර්ගයේ.” ගයනි පවසයි.
නැති බැරිකම ජීවිතයට ශක්තියක් කරගත් මේ අපූරු තරුණිය ගැන කියන්නට බොහෝ දේ ඇත්තේය. ඇය මෙවැනි අපූරු දේ කරන්නේ ජාත්‍යන්තරයේ නමක් රඳන්නට නෙවේ. ඇයට ඇවැසි වන්නේ නැතිබරිකමට අඩ තියන්නට පමණි. ගුවන් හමුදාවටද එකසේ ඇලුම් කරන ඇයගේ ජීවිතය බොහෝ දෙනෙකුට ආදර්ශයකි.
සුභාෂිණී ජයරත්න