නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

බිය පහ වීම

අම්මා අප හැමෝ­ටම සමු­දුන්නේ සමු ගැනීමේ සාදය­කදී සමු­දෙ­න්නාක් මෙනි. ඒ සමු දීමෙන් පමණක් නොව තමා බය නැතැයි පුන පුනා කීමෙන් ද ඇය අපේ බිය දුරු කළා ය. මේ සිදු­වී­මෙන් පසු අර කාලා­න්ත­ර­යක් තිස්සේ මගේ හිතේ පැල­ප­දියං වී තිබූ අහේ­තුක බිය ද හි‍රු දුටු පිනි සේ පලා ගියේ ය.

මම ජීවි­තයේ හැම ප්‍රශ්න­ය­කට ම නොබි­යව මුහු­ණ­දුන් කෙනෙක්මි. එහෙත් කලක පටන් මගේ යටි හිතේ හැංගුණු බියක් විය. ඒ, මගේ විය­පත් මෑණි­යන් හෙට දවසේ මිය ගිය විට ඒ අව­ස්ථා­වට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

අම්මාත් මාත් අතර වූයේ ඒ තරම්ම සියුම් බැඳී­මකි.

කුඩා කල අප පියා මිය ගිය පසු මා ඇතුළු සහෝ­දර සහෝ­ද­රි­යන් හත් දෙනෙකු ලොකු මහත් කර­න්නට, ඔවුන්ට උග­න්ව­න්නට ඔවුන් රැකි­යා­ව­ලට යොමු කර­න්නට මෙන් ම ඔවුන් විවාහ දිවි­යට ඇතුළු කර­න්නට ඇය ගත් වෙහෙස අප­ම­ණය.

අම්මා ඇගේ දූ පුතුන් විවාහ වී රටේ විසිරී සිටි­යත් ඒ අය සමඟ පම­ණක් නොව ඒ අයගේ දරු පැට­වුන් සමඟ ද සමීප සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගියා ය. මට හිතෙන්නේ ඇය සෙසු අයට වඩා කිට්ටු සබ­ඳ­තා­වක් මා සමඟ පැවැත්වූ බව ය. අනිත් අයට ද ඒ අයු­රින් ම සිතෙනු ඇත. මන්ද ඇය ඔවුන් සමඟ ද එබ­ඳුම සබ­ඳ­තා­වක් පවත්වා ඇති බැවිනි.

ඇය බොහෝ විට මට දුර­ක­තන­යෙන් අම­ත­මින් හිතට එන හැම දෙයක් ම වාගේ කීවාය. පොඩි අමා­රු­වක් ඇති වුණත් ඇය මා ඇම­තු­වාය. කොළඹ සිටින මට අම්මා සොයා සිංහ­රා­ජය පැත්තට ළඟා­වීම ලෙහෙසි නැත.

“එහෙනං බල බලා ඉන්ඩ එපා! මං එනකං දොස්තර මහ­ත්ත­ය හම්බ වෙන්ඩ. මම දොස්තර මහ­ත්ත­යට කතා කරල කිය­න්නකො” මම කියමි.

“ඕන්නෑ... වැඩි අස­නී­පෙ­කුත් නෑ. ඔයත් එක්ක ටිකක් කතා කරන කොට ඒක ඇරිල යයි” ඇය කියයි.

ඇතැම් දිනෙක ඇය විටින් විට කතා කරයි.‍ ඉන් මගේ රාජ­කා­රි­යට ද බාධා ඇති වෙයි‍. එහෙත් මම ඒ බව නො අඟවා ඇගේ හිත සන­ස­න්නට උත්සාහ ගතිමි.

ඇතැම් විට ඇය මාතෘකා කර ගන්නේ ඥාති­යකු ගේ ප්‍රශ්න­යකි.

“අපි පොඩ්ඩක් ඉව­සල ඉම්මු! ඒගොල්ලො ඕකට විස­ඳු­මක් හොයා ගනී. බැරි වුණොත් විත­රක් අපි මැදි­හත් වෙමු.” මම කියමි. එවිට ඇය මට දොස් කියා කතාව නවත්වා දමයි. ඒ ටික­කින් යළි මා අම­තයි.

“මොකද ඒ ගමන?” මම අසමි.

“නෑ ඉතිං ඔයා කිව්වත් වගේ අපි පොඩ්ඩක් බලමු. ඒක හොඳයි” ඇය මගේ නිග­ම­නය අනු­මත කරයි.

ඔයින් මෙයින් අම්මා වඩාත් විය­පත් වූවා ය. එහෙත් වයස නොතකා එතෙක් ඇය ගෙද­රට වී කර­ගෙන ආ ජ්‍යොතිෂ කට­යුතු ද කර­මින් දරු­වන්ට බරක් නොවී යමක් උපයා ගත්තා ය.

හොඳින් සිටි අම්මා හිටි හැටියේ අස­නීප වී රෝහ­ල්ගත කළ බව දැන­ගත් හැටියේ මම දරු පවුල ද කැටුව ඇය බැලී­මට ගියෙමි.

අප හිතු­වාට වඩා අම්මාගේ තත්ත්වය බර­ප­තළ බව වෛද්‍ය නිග­ම­නය විය. ඇයට නිව්මෝ­නි­යාව වැලඳී තිබිණ. වකු­ගඩු ද නරක් වී ඇතුවා මදි­වාට හද­වත් රෝග­යක් ද ඇතිවී තිබිණි.

ඒ ඇසූ හැටියේ මම ඇතු­ළ­තින් හඬා වැටු­ණෙමි. මට යළි අර අතීත බය ඇති විය. සෙසු සහෝ­දර සහෝ­ද­රි­යන් කතා කළේ ද හිතේ හට­ගත් බිය සඟ­වා­ගෙන බව පෙනිණ.

දින කිහි­ප­යක් රෝහල් යහනේ දෑස පියා­ගෙන ම සිටි අම්මා හදි­සියේ අවදි වූවා ය. අපි ඇය වට­ කර ගතිමු.

“ඔයාල කිසි කෙනෙක් බය වෙන්ඩ එපා! මම බය නෑ. මම බය නැතුව ඕනෑම තත්ත්ව­ය­කට මූණ දෙනව. ඒ ශක්තිය මට තියෙ­නවා.” අප පුදු­ම­යට පත් කර­ව­මින් ඇය කීවාය.

අපේ හිත් මල් පිපී ගියේය.

“මට ඔයාල ඔක්කෝම බලන්ඩ ඕනෑ. එන්ඩ මා ළඟට!”

ඇය කීවාය.

මම ඇයට ළං වීමි.

“තව පාත් වෙන්ඩ!” ඇය කීවාය.

මම ඇගේ මුහු­ණට පාත් වීමි. ඇය මා සිම්බාය.

“බය වෙන්ඩ එපා!” ඇය කීවාය.

“කෝ දැං ඔයාල හැමෝම මට ළං වෙන්ඩ!” ඇය අන් අයට ද කීවාය. ඒ අනුව මගේ සහෝ­දර සහෝ­ද­රියෝ ළඟට ගෙන සිඹ­ගත් ඇය ඉන් පසු ඒ අයගේ සැමි­යන් හා බිරි­යන් හෙවත් තමාගේ බෑනලා සහ ලේලිලා ද සිඹ අව­සා­නයේ මුනුපුරු මිනි­පිරි­යන් ද සිම්බා ය.

අම්මා අප හැමෝ­ටම සමු­දුන්නේ සමු ගැනීමේ සාද­ය­කදී සමු­දෙ­න්නාක් මෙනි. ඒ සමු දීමෙන් පම­ණක් නොව තමා බය නැතැයි පුන පුනා කීමෙන් ද ඇය අපේ බිය දුරු කළා ය. මේ සිදු­වී­මෙන් පසු අර කාලා­න්ත­ර­යක් තිස්සේ මගේ හිතේ පැල­ප­දියං වී තිබූ අහේ­තුක බිය ද හි‍රු දුටු පිනි සේ පලා ගියේ ය.

ඉක්බිති ඇය දෑස පියා ගත්තා පම­ණක් නොව ඒ අයු­රින් දෙදි­නක් ම ගත කළා ය.

මගේ සොහො­යු­රකු ගේ අති­වි­ශේෂ මිතු­රෙක් සිටියි. ඔහු භාවනා කරන අයෙකි‍. ඔහු සිය භාව­නාව මගින් ඉහළ තැන­කට සපැ­මිණ ඇති බව අපගේ විශ්වා­ස­යය.

ඉතින් අප අම්මා ළඟ මෙසේ සිටින විට අට භාවනා මිතු­රා­ගෙන් මා සොයු­රාට දුර ඇම­තු­මක් ආයේ ය. ඒ ඇම­තුම නිමා වූ හැටියේ සොහො­යුරා නින්දේ සිටින අම්මාට ළං වී මෙසේ ඇම­තුවේ ය.

“අම්මේ, මගෙ අර භාවනා කරන යාළුව දැන් කතා කළා. එයා කිව්වා එයා භාවනා කරද්දී අම්මව දැක්ක කියලා. ඔටුනු වගේ දේවල් දාගත්තු දෙවි­වරු වගේ කට්ටි­යක් අම්ම ළඟ ඉන්නව කියල එයා කිව්වා.”

අම්මා දෑස නොඇ­රම ඊට ප්‍රති­චාර දැක්වූ­වාය.

“එයා එහෙම කිව්වද?”

“ඔව් අම්මේ එයා මේ දැන් එහෙම කිව්වා.”

“එහෙනං තව කෙනෙක් ඒක දැකල!

අම්මා එසේ කියා නිහඬ වූවාය. එහි තේරුම ඇය ද ඒ තත්ත්වය අත්ද­කි­මින් සිටි­නවා යන්නය.

ඉන්පසු ඇය කතා නොක­ළාය. ඇය මේ භව­යෙන් නික්ම ගොස් ඇති බව අප දැන­ගත්තේ ඊළඟ මොහොතේ ය.

මුළු ජීවිත කාල­යක් පුරාම අපට ශක්ති­යක් වූ අපේ අම්මා සිය අව­සාන මොහොතේ ද අපට ශක්තිය දුන්නා ය.

අන­න්‍ය­තාව හෙළි කිරී­මට අක­මැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද සට­හ­නක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments