
සැතපුම් තුන-හතරක් දුරට ඇළ දිගු කළොත් අපටත් වතුර ලැබෙයි.
ගොවීන්ගේ ඉල්ලීම් සාධාරණයි
- වාරිමාර්ග ඉංජිනේරු
වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින් වගා බිම් හෙක්ටයාර් 12 500 ක් සංවර්ධනය වනු ඇත. ගොවි පවුල් 13,000 ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයේ. පානීය ජලය ඇතුළුව ප්රතිලාභ ලබන සම්පූර්ණ පවුල් සංඛ්‍යාව 40,000 කි. මී ඔය හා හක්වටුනාඔය යටතේ වයඹට ජලය සැපයේ. වයඹට ජලය ලෙසින් පැවසුණද මේ ව්‍යාපෘතිය යටතේ ජලය නොලබන පිරිසක් වයඹ පළාතේ වෙති. ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් හාර දහසකට අධික සංඛ්‍යාවක ජනතාව ඉල්ලා සිටින්නේ මේ වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ තම ප්‍රදේශයට ද ජලය ලබාදෙන ලෙසය.
ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපයේ අක්‍රිය වී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණ කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹූ ව්‍යාපෘතියකි. වැවකට වැවක් සම්බන්ධ කරන එල්ලංගා වැව් පද්ධතිය ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණ ක්‍රමවේදයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ද මෙය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ. ඉන් වසර 50 කට අධික කාලයක් වයඹ ජනතාව දකිමින් සිටි සිහිනයක් මල් ඵල ගැන්වෙනු ඇත. එහෙත් කුරුණෑගල දිසාවේ අති දුෂ්කර ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙමඟින් ජලය නොලැබෙන බවට ජනතාව මැසිවිලි නඟති. එම කොට්ඨාසයේ කුඹුරු අක්කර 5000 කට පමණ මෙම ව්‍යාපෘතිය මඟින් ජලය ලබා දීම සඳහා සැලැස්ම සකස් කර දෙන ලෙස ගිරිබාව වැසියෝ අයදිති.
විශ්‍රාමික ග්‍රාම නිලධාරි ඉහළ ගිරිබාව ‘පැරකුම්’ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්. එම්. කේමරත්න බණ්ඩාර මහතාය.
“බොහොම හොඳ වැඩක් වයඹට ජලය ලබාදීම. රජයට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඇයි මේ ව්‍යාපෘතියට ගිරිබාව ඇතුළත් නොකළේ. හිටපු ඇමති එච්. එම්. ඒ. ලොකු බණ්ඩා මහත්තයා යු.එන්.පි. ආණ්ඩුව කාලෙ වයඹට ජලය දෙන්න සැලසුම් කරලා මිණුම් කටයුතු පවා කරලා තිබ්බා. පහුගිය රජය කාලේ එය ක්‍රියාත්මක වුණේ නෑ. මේ අලුත් සැලැස්මේ ගිරිබාව අතහැරලා. ගිරිබාව තියෙන්නෙ කුරුණෑගල, පුත්තලම හා අනුරාධපුර කියන දිස්ත්‍රික් තුනටම මායිම්වයි. මේ මොන දිස්ත්‍රික්කයට වැස්සත් ගිරිබාවට වැහි නෑ. ගිරිබාවට කුඩම්මාගේ සැලකිලි නොදක්වා වයඹ ඇළ මඟින් ජලය ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ.”
ගොවිතැනේ බොහෝ අත්දැකීම් ඇති ඉහළ ගිරිබාව ඩබ්.එම්. වික්‍රමසිංහ කලක් සාර්ථක ගොවියෙකි. එහෙත් දැන් කන්න පහක හයක සිට හෙතෙම වගා කටයුතුවල නොයෙදෙයි.
“අපි ඉල්ලන්නෙ ස්ථිර ජල මාර්ගයක් විතරමයි. අපට වෙන මොනවත් ඕනෙ නෑ. වතුර තියෙනවා නම් දෙවියන්ගෙ පිහිටයි අපට කාටවත් අත නොපා ජීවත් වෙන්න මාර්ග ඕනතරම් තියෙනවා. අපිට දැදුරු ඔයෙනුත් ජලය නෑ, අපි මහවැලියටත් නෑ. රාජාංගනයටත් නෑ. අවසානෙ අපි මොරගහ කන්දටත් නැතුව ගියා. වැස්ස තියෙන කන්නවල අපි එක අක්කරයකින් වී බුසල් 150, 160 අරගත්තා. රාජාංගන වැවෙන් එක කන්නකට අපේ වැව වගේ වැව් සිය ගණනක් පුරවන්න වතුර ස්පිල් එකෙන් අපතේ යනවා. ඒ අපතේ යන වතුර ගිරිබාව මහ වැවට ගන්නත් ඉස්සර සැලැස්මක් තිබුණා. අද ඒ මොනවත් නෑ.”
ඩබ්.එම්. චන්ද්‍රදාස මහතා ගිරිබාවට ජලය ගෙන යා යුතු ක්‍රමයක් සිය අත්දැකීම් ඔස්සේ මෙසේ විස්තර කළේය.
“ගොවි සංවිධාන 17 ක් ගිරිබාවට ජලය ලබාගන්න මේ වැඩසටහන ඍජුවම එක්වෙලා ඉන්නවා. වයඹ ඇළ මඟින් ජලය ගල්ගමුවේ අරසන්වැවට එනවා. එතැනින් තවත් සැතපුම් තුන හතරක් දුරට ඇළක් කපලා කප්පර වෙල්ලියට වතුර ගෙනාවා නම් එතන ඉඳලා එල්ලංගා වැව් පද්ධතිය තියෙන්නෙ. ඉහළ ගිරිබාව, පහළ ගිරිබාව, පොතානේගම, සෝලෙ වැව දක්වා මේ එල්ලංගා වැව් පද්ධතිය දිගේ වතුර යනවා. මොලෑව කල්ලංචිය, තඹුත්ත, අලියා වැටුණු වැව, වරවැව, බඹර, පතන හා කලාඔය දක්වා ම මේ වයඹ ඇළේ ජලය ගෙන යා හැකියි. තව පොඩි මුදලක් වැය කරලා ඔයකියන ඇළ කපලා ඒ වැව් ටික හැදුවා නම් මේ අති දුෂ්කර ගිරිබාව කොට්ඨාසයේ තවත් ගොවි පවුල් හාර පන්දහසකට බඩට බත්ටික ලැබෙනවා.”
ඩබ්. එම්. විජේකෝන් බංඩාර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. හෙතෙම වයඹට ජලය යටතේ ගිරිබාවට ජලය ලබා ගැනීමේ සටනේ පෙරමුණේ සිටියි.
“පොලොන්නරු යුගයේ මහා පරාක්‍රම රජ සමයේ සිට ම ගිරිබාවට ජලය ලබා දෙන ක්‍රමවේදයක් තිබී තියෙනවා. තබ්බ, ගිරිබ කියලා වැව් දෙකක් තිබූ බවට ඉතිහාසය සාක්ෂි සපයනවා. එහි ගිරිබ යනු ගිරිබාවයි. විත්ති පොත්වල මේ සියලු විස්තර තිබෙනවා. අද මේ වැව් සියල්ල ම ගොඩ වෙලා. අද ගිරිබාව හුදකලා ප්‍රදේශයක් බවට පත්වෙලා. අලි කරදර උපරිමයි. ආර්ථික පීඩනයෙන් දිවි ගෙවන ගිරිබාවේ මිනිස්සුන්ගෙ පවස නිවා ගන්නට වයඹ ඇළ යටතේ ගිරිබාවටත් ජලය දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ. ගිරිබාව වයඹට අයිති නැද්ද?”
විශ්‍රාමික ග්‍රාම නිලධාරි ඩබ්.එම්. ටිකිරිබණ්ඩාර ගිරිබාව මහතා පොදු සංවර්ධන කටයුතුවලදී ගිරිබාවේ සංවර්ධනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන අයෙකි.
“අවුරුදු ගණනාවකින් ගිරිබාවේ මේ කුඩා කුඩා වැව් පිළිසකර කර නෑ. ගිරිබාවේ ග්‍රාමසේවා වසම් 38 න් 18 ක් ම පුරාණ ගම්. මොරගහකන්ද ජලය කප්පර වෙල්ලිය හරහා එල්ලංගා පද්ධතිය ඔස්සේ කලාඔය දක්වා ම ලබාදීම කළ හැකියි. එහෙම නැතිනම් ගිරිබාව මහ වැවට ජලය දැම්මොත් ගම්පොල, මරදන්කල්ල, යන්තම්පලගම, මාදුරුවාගම, සේරුගස්වැව, ඉහළ මරදන්කඩවල, වැලිකැන්දෑව, ගම්පොල, ගල්කැටියාව, හෙට්ටි ආරච්චිගම දක්වාත් වේලි සකස් කර ජලය රැගෙන යා හැකියි. ඒ ගම්වලත් පවුල් 5000 කට වැඩිය ඒ ජලයෙන් පෝෂණය වෙනවා. තව සුළු මුදලකින් මේ ව්‍යාපෘතිය යටතේම මේ අති දුෂ්කර මුළු ගිරිබාවට ම ජලය දෙන්න පුළුවනි. මේ ගැන හිතන්න කියලයි අපි කියන්නෙ.”
ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරු කෝසල නාරංගම්මන මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“ගිරිබාව දුෂ්කර ප්‍රදේශයක්. මේ ගොවීන්ගෙ ඉල්ලීම සාධාරණයි. මේ ව්‍යාපෘතියට ගිරිබාව සම්බන්ධ කරගෙන නෑ. වර්ෂා ජලයත් ගිරිබාවේ සිට එක් පසෙකින් මී ඔයටත් අනෙක් පසෙන් කලා ඔයටත් ගලා බසින ආකාරයේ උස් භූමියක් ගිරිබාව. මේ භූ විෂමතාවය මෙහිදී හරස් වෙන්න ඇති. ගොවි ඉල්ලීම් ලද හොත් අදාළ අංශ වෙත ඉදිරිපත් කරන්න පුළුවනි.”
වයඹ ඇළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා ගිරිබාවට ජලය ලබා දීමේ ගැටලු මෙසේ විස්තර කළේය.
“මේ ව්‍යාපෘතියේ සැලසුම් හදන්නෙ මහවැලි අමාත්‍යාංශයේ වෙන ම උපදේශක මණ්ඩලයක් මඟින්. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සලකා බලන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඉන් පළමු වැන්න මහවැලියෙන් ලැබෙන ජල ප්‍රමාණයයි. වර්ෂයකට මහවැලියෙන් ජලය අක්කර අඩි 105000 ක් ලැබෙන ලෙසයි මෙම ව්‍යාපෘතිය සකස් කර තිබෙන්නෙ. අනෙක තමයි භූ විෂමතාවය. ගිරිබාව තරමක් උසින් යුක්තව තමයි පිහිටා තිබෙන්නෙ. ජාතික මට්ටමේ ජල තුලන අධ්‍යයනයක් මඟින් තමයි ව්‍යාපෘතිය සකස් කර තිබෙන්නෙ. එහිදී මහවැලියෙන් ලැබෙන ජල ප්‍රමාණය බෙදා දිය හැකි වපසරිය තුළට ගිරිබාව ඇතුළත් නොවීමත්, ගිරිබාව උසින් යුක්තව පිහිටා තිබීම් හේතු වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් දේශපාලන අධිකාරිය හරහා ඉල්ලීමක් ලැබුණොත් උපදේශක කමිටුවට ඉදිරිපත් කරන්න පුළුවනි. ගොවියාට ජලය ලබාදීම තමයි අපේ වගකීම. එය උපරිමයෙන් ඉටු කරනවා.”
ගිරිබාව අයත් ගල්ගමුව සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගල්ගමුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක මොහාන් පෙරේරා මහතා ය.
“ගිරිබාව මගේ මැතිවරණ කොට්ඨාසයේ දුෂ්කරම කොට්ඨාසයයි. මොරගහකන්ද ව්‍යාපෘතියට ගිරිබාව ඇතුළත්ව නොමැති බව දැනගත්තා. මේ පිළිබඳව ගරු අගමැතිතුමා සමඟත් සාකච්ඡා කළා. අතිගරු ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කර ගිරිබාව ජනතාවගේ ඉල්ලීම උපදේශක කමිටුව වෙත ඉතා ඉක්මනින් ඉදිරිපත් කරනවා. ඒ මඟින් ගිරිබාවට ජලය ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. මටත් අවශ්‍ය ගල්ගමුව, ගිරිබාව සියලු ජනතාවට ජලය ලබා දීමයි. ඒ සඳහා උපරිමයෙන් කැප වෙනවා.”
අනිල් ගාමිණී විජේරත්න
ඡායාරූප - අඹන්පොල සමූහ