
මිනිසුන්ට එපා වී ගිය යෝධ ඇළේ දුක්මුසු කතාව...
කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතුසේන රජ සමයේ ඉදිකළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘතියක් සඳහා හොඳ උදාහරණයකි.
යෝධ ඇළට ඇත්තේ එක් බැම්මකි. නමුත් ජයගඟට වම් ඉවුරක් සහ දකුණු ඉවුරක් තිබේ. අපි මෙතෙක් පා පැදිවලින් පැමිණියේ එහි වම් ඉවුරෙනි. ජයගඟට උඩින් වැටී ඇති රේල් පාලම නිසා දැන් අපට අවශ්‍ය නම් එහි දකුණු ඉවුරට මාරු විය හැක. නමුත් යෝධ ඇළට වඩා කෙටිම මාර්ගය වැටී ඇත්තේ වම් ඉවුරෙන් බව අප සතුව ඇති 150000 සිතියමෙන් හඳුනාගත හැකිවූ නිසා අපි වම් ඉවුර දිගේම යන්නට තීරණය කළෙමු. දකුණු ඉවුරේ ඇත්තේ මෑතදි නිර්මාණය වූ නව ගොවි ජනපදයකි. ඒ නිසාම එම ගම්මානය හැඳින්වෙන්නේ අලුත් අක්කරය නමිනි.
දුම්රිය මාර්ගය අසල කුඹුරුයායක් සහ හේනකි. කුඹුරු යායෙහි ගොයම් කපා ඇත්තේ මෑතකය. එහි හිමිකරු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් වසමක කෘෂි උපදේශකවරයෙකි. නමින් ජනක බණ්ඩාරය. ඔහු සමඟ ඒ මොහොතේ සිටි මිතුරාද ගොවියෙකි. හේ නමින් කේ. එම්. කරුණාතිලකය.
“මහා සාගරේ කොච්චර වතුර තිබ්බත් පිපාසෙට බොන්න බෑ වගේ තමයි, අපේ ඉඩම් දෙපැත්තෙන් යෝධ ඇළයි, ජයගඟයි ගියාට අපේ වගාවට තියෙන්නේ අහස් දියේ පිහිට විතරයි. ජයගඟේ කොන්ක්‍රීට් පාදමට යටින් පුලියන්කුළම වැවේ ඉඳන් එන පැරණි වතුර පාර තිබ්බට, කලාවැවෙන් පුලියන්කුළම වැවට වතුර එන ගොඩ සොරොව්ව වැහිලා ගිහින් නිසා පුළියන්කුළම වැවට තියෙන්නෙත් අහස්දියේ පිහිට විතරයි. දැන් අවුරුදු තුනකින් හරි හමන් වැස්සක් නෑ. නොමැරී ජීවත්වෙන්න ඕන නිසා අයථා ක්‍රමවලින් හරි ජයගඟෙන් වතුර අරගෙන මේ මිනිස්සු වගාකරනවා.” ඔවුන්ගේ අදහසද අසමින්, ළඟ එන මෝසම් වැස්සෙන් පණ ගසා නැඟී එනු පිණිස හිටවන්නට සැරසෙන මෑ වගාවටද ආසිරි පතමින් අපි ඔවුනගෙන් සමුගත්තෙමු.
ජයගඟේ වම් ඉවුර දිගේ ඊළඟට ඇත්තේ නැග්මකි. කොන්ක්‍රීට් ඇතිරූ පාර දිගේ අපි මේ නඟිමින් සිටින්නේ අතීතයේ පැවැති ස්වාභාවික ගල්කන්දකි. එහෙත් දැන් එය ජනාවාස වී තිබේ. මේ කොටසේදි ජයගඟ පොළෝ මට්ටමෙන් අඩි හැටකට පමණ පහළින් ගලා යන්නේ යන්ත්‍රානුසාරයෙන් දෙබෑ කරනු ලැබූ කෘත්‍රිම නිම්නයක් දිගේය. කඳුගැටය අවසානයේ හමුවන්නේ වැව්තාවුල්ලකි. ඒ පූගොල්ලාගම වැවයි.
අහස් දියෙන් පිරෙන පූගොල්ලාගම වැව හිඳී ගොසිනි. බැම්මට ආසන්නව ඇති කුඩා පූවලක තරමක වතුරක් ඇත. ඒ ජල තලය ආසන්නයේ කිරළුන් කිහිප දෙනෙකුත්, කොරවක්කන් කිහිප දෙනකුත් සිටි අතර ගොඩවූ වැව් පිටියේ තැනින් තැන බටු හරකුන් කිහිප දෙනෙකු දැකගන්නට පුළුවන් විය.
පූගොල්ලාගම වැව් බැම්ම දිගේ ගියවිට යෝධ ඇළට ළඟාවිය හැකියි. අපි ඒ මඟ තෝරාගතිමු. අතරමඟ හමුවූ නිවෙසක ඉදිරිපස විවෘත භූමියේ දේශිය බටු හරකුන් සහ එළදෙනුන් රඳවා සිටිනු පෙනේ. ආචාර්ය මූමා මහවැලි කළාප වල හරකුන් ඇති කිරීම තහනම් කරන්නට නිර්දේශ කළද තවමත් හරක් පට්ටි පවත්වාගෙන යන ගොවීන් සිටිනු දැකීම සතුටට කරුණකි.
කිරි කර්මාන්තය නැංවීමට
අපට මේ චාරිකාවේදී මෙතෙක් හමුවූ බොහෝ පරිණත ගොවීන් පිරිසක ගේ පොදු අදහස වූයේ ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීමට සුදුසුම බිම් ප්‍රදේශයක් ලෙස යෝධ ඇළටත්, ජයගඟටත් මැදින් කලාවැවේ සිට මහඉලුප්ලමට විහිද ඇති බිම් කොටස යොදාගත හැකි බවයි. මෙම බිම් තීරුව ප්‍රමාණයෙන් වර්ග කිලෝමිටර් විස්සක් පමණ වනු ඇත. එමඟින් යෝධ ඇළේ වැවෙන ආක්‍රමණශීලී කංකුං වගාව පාලනයත්, යෝධ ඇළ ගොඩවීම වැළැක්වීමත් යන කාරණා දෙකම, අතුරු අරමුණක් ලෙස ඉෂ්ට කරගත හැකි බව ඔවුනගේ අදහසයි.
බොහෝ නිවෙස්වල ඉදිරිපිට වී වේලන්නට දමා තිබේ. මෝසම් වැස්ස ආරම්භයට පෙර ගොයම් කපා පාගා, ගෙට ගැනීම කාගේත් වුවමනාවය. තවත් සමහර කුඹුරු මේ වන විට කැපෙමින් තිබේ. අතීතයේ මෙන් නෙළුම් කවි දැන් රජරටින් ඇසෙන්නේ නැත. අත්තම් දකින්නටද නැත. වයෝවෘද්ධ යුවළක් තමන්ගේ කුඹුර තනිවම කපන හැටිද අපි දැක්කෙමු.
අපි යෝධ ඇළට යන අතරමඟ පූගොල්ලෑව මංසන්ධියේදී හමුවූයේ අත් ට්රැක්ටරයකි. කලකට ඉහත ඈත රජරට දුෂ්කර පාරවල් සහිත ප්‍රදේශවල නිරන්තරයෙන් දක්නට ලැබුණු අත් ට්රැක්ටරය දැන් ක්‍රමයෙන් වඳ වී ගෙන යන වාහනයකි. මගී ප්‍රවාහනයට ත්‍රිරෝද රථයත්, භාණ්ඩ ප්‍රවාහනයට බට්ටා ලොරියත්, කොළ මඬින්නට සුනාමියෝත්, භූතයෝත් රජරට ගොවි බිම්වලට බැස ඇති නිසා අත් ට්‍රැක්ටරයට ඇති ඉල්ලුම අඩුවී ගොස් තිබේ.
රජරටට ආ සුනාමියෝ හා භූතයෝ
“දැන් ඉතින් අත් ට්‍රැක්ටර් ඕන නෑ.. හැමෝටම වගේ බයිසිකල් ත්රීවිලර්, ලොරි වගේ වාහන තියෙනවා… කුඹුරු වැඩ කාලෙට පොළොන්නරුවෙන්, දඹුල්ලෙන් සුනාමි මැෂින් එනවා. ඉස්සර මේ වගේ තමා දරුවෝ හම්බුවෙන අම්මලා පවා ඉස්පිරිතාලෙට අරන් ගියේ. අපි ඉස්සර වන්දනාවෙත් ගියේ අත් ට්රැක්ටර්වල” පූගොල්ලෑව මංසන්ධියේ සිට අත් ට්රැක්ටරය ඡායාරූප ගත කරන අප දුටු කඩේ මුදලාලි හාමිනේ පැවසුවාය.
පූගොල්ලෑව කඩමණ්ඩිය අසල මංසන්ධියේ පසෙක තැනූ තාවකාලික කුටියක, සුදු පැහැ ආලේප කළ කළුගලක් මත තබා ඇත්තේ ගණ දෙවි රූපයකි. එහි විශේෂත්වය වනුයේ එය ලීයෙන් නිර්මාණය කොට තිබීමයි. ඒ අසල වරින්වර පුද පූජා පවත්වනු ලබන බවට සලකුණූ දකින්නට හැකිය. ඒ අනුව පූගොල්ලෑවෙන් ඔබ්බට අපිට හමුවන්නේ ඝණදෙවි අඩවිය යි. ඝන දෙවියන් හඳුන්වන තවත් නමක් වන්නේ ‘පුල්ලේයාර්’ යන්නය.
ගණ දෙවි ඇදහිලි හා විශ්වාස
මෙරට ගණපති දෙවියන් පිළිබඳ විශ්වාසය ඇතිවූයේ ක්‍රි.ව. 2 වැනි සියවසේ දී පමණ බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි. එයට ප්‍රධාන වශයෙන් ම අදාළ පුරා විද්‍යාත්මක සාධක ලැබෙන්නේ අනුරාධපුර මිහින්තලයෙනි. මිහින්තලයේ කණ්ඨක චේතිය අධෝභාගයේ මූර්තිමත් කර ඇති කැටයම් රූ අතර ඇති එක් දළයකින් යුත් රූපය ගණේශ හෙවත් ගණ දෙවිඳුගේ යැයි විශ්වාස කෙරේ. බ්‍රාහ්මණ හින්දූන්ට අනුව ගණේශ දෙවියන් බාධක ඉවත් කරන බුද්ධිය මුවහත් කරන කරුණාවන්ත දෙවියා ය. මහනුවර යුගයේ සිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ දෙවියන් ලෙසත් ඥානයට අධිපති දෙවියන් ලෙසත් ගණ දෙවියන් හඳුන්වයි. එය හින්දු බලපෑම නිසා ඇති වූ විශ්වාසයකි.
පුල්ලෙයාර් දෙවියන් හා ගණ දෙවියන් යනු එකම දෙවි කෙනෙකු ලෙස පිළිගත්තද වන්දනා කිරීමේදී ඒ ඒ ජන කොටස් වල චාරිත්‍ර වාරිත්‍ර එකිනෙකට වෙනස් වේ. හේනේ කුඹුරේ ආරක්ෂාවත් ගව මහේෂාදීන්ගේ ආරක්ෂාවත් සඳහා පොල් ගෙඩියක් වෙන්කොට පුල්ලෙයාර් දෙවියන්ට භාර වී එය ඔප්පු කිරීම සඳහා කිරි උතුරුවා දෙවියන් පිදීම පුල්ලෙයාර් වන්දනය නම් වේ. අනුරාධපුර, පොළොන්නරුව හා යාපනය ආදි ප්‍රදේශවල ජනතාව ගණ දෙවියන් පුල්ලෙයාර් දෙවියන් නමින් හඳුන්වමින් වන්දනාමාන කරති.
අතීතයේ පැවැති ‘අයියනායක’ දෙවි ඇදහිල්ල පසුකාලීන හින්දු බලපෑම මත ‘පුල්ලෙයාර්’ ඇදහීම දක්වා වෙනස් වී ඇතැයි සිතිය හැක. මන්ද දේශීය දේවතාවකු වන අයියනායක දෙවියන්ගේ අඩවිය ලෙස සැලකෙන්නේ රටේ දැදුරු ඔයෙන් ඉහළ කොටසයි. යෝධ ඇළ පිහිටි නුවර කලාවියද පිහිටා ඇත්තේ දැදුරු ඔය නිම්නයට ඉහළිනි.
ඊළඟ මොහොතේදී අප සමීප වූයේ යෝධ ඇළ අසලටය. යෝධ ඇළට ආසන්නව ගම්මානයක් හමුවනතුරු මෙතැන් සිට කලා කරඹෑව දක්වා කිලෝමිටර් දෙකක පමණ දුරක් තිබේ. ඒ දුර යන අතරතුර යෝධ ඇළේ ආරම්භයේ පැවැති ප්‍රභාමත් බව වියැකී යන අයුරු පැහැදිලිව හඳුනාගත හැකිය. සමහර තැනකදී යෝධ ඇළ හඳුනාගන්නට පවා අපහසු වන ලෙස වල් බිහිවී තිබේ. යෝධ ඇළ කණ්ඩියේ ඇති මහා නුග ගස් ගිනි දමා විනාශ කොට තිබේ. යෝධ ඇළ අසලට ගෙනැවිත් දමා ඇති අපද්‍රව්‍යද තැනින් තැන දැකිය හැකිය. ඒ අතර ආපනශාලා අපද්‍රව්‍ය, කේශාලංකරණ ශාලාවක අපද්‍රව්‍ය ආදියද දැකිය හැකි විය.
පාළු මාවතේ ඒ ගැන විමසන්නට කිසිදු ගැමියෙකු නොවූ තැන අපි කලා කරඹෑව දක්වාම බයිසිකලය පැද ගියෙමු. කලාකරඹෑව මංසන්ධියේදී අපට හමුවූයේ අයිවන් පෙරේරා මහතාය.
“ඉස්සර මේවා සුද්ධ කළේ ගොවි සංවිධානෙන්… දැන් ඒවා කොන්තරාත් දෙන්නේ ….. කොන්තරාත් කාරයා පොඩි බැකෝ එකක් අරන් ඇවිත් ඒකට පුළුවන් තරම් දුරින් තියෙන වල් පැළ ටික විතරක් උදුරලා ඇළ කණ්ඩියේම ගොඩගහල යන්න යනවා… ආයෙම මාස දෙක යද්දි වැවිලා…”
ඔහු කියනා පරිදි කොටසින් කොටස ශුද්ධ කිරීමෙන් වල් වැවීමේ ව්‍යසනයෙන් යෝධ ඇළ බේරාගන්නට පුළුවන්කමක් නැත. ඒ සඳහා සංවිධානාත්මක වැඩ පිළිවෙළක් අවශ්‍යය. මහඉලුප්පල්ලමේ සිට අමණක්කට්ටුව දක්වාම පහළ සිට ඉහළට ශුද්ධ කිරීම සිදු කළ යුතුය. ගොඩවූ යෝධ ඇළ පතුලේ ඇති මඩ ඉවත් කළ යුතුය. යළි වල් නොවැවෙන්නට නම් 1977ට පෙර කළ පරිදිම දේශීය ගව පාලන කටයුතු යෝධ ඇළ ඉහත්තාවේ ඇරඹිය යුතුය. කනගාටුවට කරුණ නම් ගොවීන්ට අවබෝධ වන මේ යථාර්ථය මහවැලි බලධාරින්ට සහ දේශපාලන අධිකාරියට නොතේරීමය.
මහා ගස් ගිනි තියමින් අපද්‍රව්‍ය ඇළට
“මේ නුග ගස් ගිනි තියන්නේ යෝධ ඇළෙන් වතුර ටික නාන මිනිස්සුම තමයි. දවල්ට හෙවණට වෙලා සුනාමි යෙන් කොළ මැඩෙව්වහම පිදුරු ටික ගොඩගැහෙන්නේ ගහක් පාමුල. පිදුරු පොහොරක් විදියට භාවිතා නොකරන නිසා, ආයේ කුඹුරට ඇදිල්ලක් නෑ. හවසට යෝධ ඇළ බැම්මේ බයිසිකලයක් දෙකක් නවත්තගෙන අඩියක් ගහන ගමන් බයිට් එකට ගන්නේ අර පිදුරු කන්ද. ඕකට ගින්දර තියල යනවා. ඈත ඉඳන් බැලුවහම ඒ ගින්න ලස්සනයි තමයි. ඒත් රජකාලේ ඉඳල බැම්මේ තියෙන අවුරුදු දාහක් හමාරක් පරණ ගහ පැයකින් දෙකකින් මැරිලා යනවා.”
තමන්ගේ ගොයමට පණ දෙන, වතුර කඳ රැගෙන යන යෝධ ඇළට නූතන නුවර කලාවියේ ඇත්තෝ සලකන්නේ එලෙසය. තමන්ගේ කුඹුරට බැත සපයන්නට උදව් දුන් ගවයාට පවා වැදුම් පිදුම් කළ ජාතියක වත්මන් හැසිරීම එලෙස වේ නම්, ඔවුනගෙන් ආභාසය ගන්නා අනාගත පරපුරේ හැසිරීම සිතාගන්නට පවා අපහසු වන ලෙස පිරිහෙනු ඇත. ඒ ගැන කනගාටුවෙන් යතුවම අපි කලාකරඹෑව යෝධ ඇළ පාලමෙන් එතෙරව නුදුරෙන් ගලන ජයගඟේ හැඩ සොබා දැකගන්නට ගියෙමු.
යෝධ ඇළ පාළුවට ගියද, ජයගඟ ජනාකීර්ණය. උදේ වරුවේ වුවද, ඒ වනවිටත් ජයගඟේ නාන තොටුපොළ අසල ලොකු සෙනඟකි.මෙහි නාන්නට එන්නේ කලින් යෝධ ඇළේ නාන්නට ගිය පිරිසය. ජයගඟේ ගමන වේගවත් නිසාත්, අවහිරතා නොමැති නිසාත් වතුරේ පිරිසිදු බව පැහැදිලිව පෙනේ. ඒ නිසා එහි නාන්නට බොහෝ දෙනා කැමැතිය. ඒ කැමැත්තම යෝධ ඇළේ පරිහානියට හේතුවන ජරාජීර්ණ වීමට මං විවර කර ඇත. ප්‍රදේශයේ මිනිසුන්ට යෝධ ඇළේ අවශ්යත නැති වූ විට යෝධ ඇළ රකින්නට හැඟීමක්, ඔවුන් කිසිවෙකුට මතුවන්නේ ද නැත.
ජයගඟ අසලම ඇත්තේ ලෑලිවලින් තැනූ කුඩා කඩයකි. ප්‍රදේශයේ වැවෙන පතෝල, පිපිඤ්ඤා, බඩ ඉරිඟු ආදිය එහි විකුණන්නට තිබේ. තැම්බූ ළපටි බඩ ඉරිඟුද එහි තිබේ. චතුරත් මමත් උණු උණු බඩඉරිඟු කරල බැගින් කා යළිත් පාපැදියට නැංගේ යෝධ ඇළ දිගේ ඉදිරියට යන්නටය.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.
(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ