සැත්කම් කාමරයේ කාටත් නොපෙනී බලා හිටියේ කවුද? | සිළුමිණ

සැත්කම් කාමරයේ කාටත් නොපෙනී බලා හිටියේ කවුද?

මිනිසාගේ ශරීරය කරජ කාය (භෞතික කාය) මනෝමය කාය හා චිත්තජ කාය යන කාය තුනකින් යුක්තය‍. මෙයින් චිත්තජ කාය මනෝමය කායත් සමඟ ම පවතී. කෙනෙකුගේ මරණයේ දී සිදුවන්නේ කරජකාය විනාශයට පත් වන අතර මනෝමය කාය චිත්තජ කායත් සමඟ මේ භෞතික ශරීරය අතහැර ඉවත්ව යෑමයි.

එසේ ඉවත්ව යන මනෝමය කාය ගන්ධබ්බ නාමයෙන් ද හඳුන්වයි. අපේ පියවි ඇසට නොපෙනෙන ඉතා සියුම් වූ තත්මාත්‍රමය රූපයක් ඊට ද ඇත. ගන්ධබ්බයා මව් කුසක පිළිසිඳ ගන්නවාය කියන්නේ මාතෘ පීතෘ ධාතූන්ගේ ඉතා සියුම් කුඩා ඒකකයක් මවගේ ගර්භාෂයේ ඇලීමයි. තමන්ට සුදුසු මවක් සොයමින් කර්මානුරූප උපහස් (ජාතියක්) සොයමින් සිටිනා ගන්ධබ්බයෙන් එතැනට පැමිණ පදිංචි වෙයි. ගන්ධබ්බයෙක් පැමිණෙනවාය කියන්නේ විශ්වයේ සැරිසරමින් සිටි වත්ථු රූපයක් (හෘදය) හා ජීවිතේන්ද්‍රිය රූපයක් පෙර පසු නොවී එකට ම මව්කුසට පැමිණීමය‍.

ඉහත කී මනෝමය කාය තුළ ද ලෝභ, ද්වේශ, මෝහ ක්‍රියාත්මක වේ. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ශක්තීන් ද ක්‍රියාත්මකවේ.

නුදුරු දිනයක සිදුවූ සත්‍ය සිද්ධියක් ඔබට ඉදිරිපත් කරමි. මේ අඟුරුවාතොට, රෙමුණ, වැවපාරේ පදිංචි නන්දනී නානායක්කාර (54) මහත්මිය දුරකතනයෙන් ද විස්තර කොට දෙවනුව ලියා එවූ අත්දැකීමකි. ඇය රෙමුණ මහා විද්‍යාලයේ ගුරුවරියකි. ඇය Multiple Fibroids ෆයිබොයිඩ් - ගර්භාෂයේ පැලෝපීය නාල ඩිම්බකෝෂ ඉවත් කිරීමේ සැත්කමකට ලක්විය. ඒ හොරණ මූලික රෝහලේ දී 2018.08.14 දාය. ඇගේ අවසරය ඇතිව ඇගේ වචනයෙන් ම සිද්ධිය මෙසේය.

“2018.08.14 දා දහවල් 12.00 ට පමණ ශල්‍යාගාරයට ඇතුළු විය. සයනය මතට ගිය විට මට තදම තද සීතලක් දැනී ගැහෙන්නට වුණා. ශල්‍යාගාර හෙදියක් මා සැත්කමට සූදානම් කළා. කැනියුලා යොදා සේලයින් බට දමා E.C.G යන්ත්‍රයට මා සම්බන්ධ කළා. E.C.G යන්ත්‍රය තිබුණේ ඇඳ අසලම අඩි 5 ක් පමණ උසිනි. මුහුණු ආවරණ යොදා මගේ සිහිය නැති කරන විට ම මම ‘බුදුසරණයි’ අධිෂ්ඨාන කළෙමි. මට මතක එපමණය.

මට දැන් කාලයක් වේලාවක් දැනෙන්නේ නැත. මම දැන් සිටින්නේ ඊ.සී.ජී. යන්ත්‍රයට සම්බන්ධව බව හොඳින් පැහැදිලිවම දැනෙයි. මා දැන් කොයි ආකාර දැයි ස්වරූපයක් නොදැනෙයි. සීතල උණුසුම, ආලෝකය අඳුර නොදැනෙයි.‍

ප්‍රධාන වෛද්‍යවරයා, දොස්තර පබා, දොස්තර දුලානි ලහි ලහියේ සැත්කම පටන් ගත්හ. ඔවුන් කොළ පැහැති කබා හැඳ හිස් වැසුම් ලා සිටිති. ප්‍රධාන වෛද්‍යවරයා කැපීම් සිදු කරයි. අනිත් අය උදව් කරති. කැපුවේ සියුම් තලයක් සහිත පිහියකින් බව දකිමි. අග නැමුණු දිග කතුරු දෙකක් හා අඬුවක් දිටිමි. ලේ ඉවතට යන බටය පෙනෙයි‍. ක්‍රමයෙන් ගැඹුරට කප කපා මැහුම් දමන අයුරු, මස් වැදලි ඉවත් කරන අයුරු දිටිමි. මට කිසිම වේදනාවක් හෝ බියක් දැනුණේ නැත. මගේ දෙපතුල්වල සිට ඒ පැත්තේ බිත්තියට අඩි දහයක් පහළොවක් පමණ දුර ඇත.

හිටි හැටියේ ඒ බිත්තියෙන් වෙනත් වර්ණයක් මතු විය. මම ක්ෂණිකව ඒ දෙස බැලීමි. එතැන වයස අවුරුදු 30 – 35 පමණ වූ ප්‍රසන්න කාන්තාවක් සිටී. සිහින් රැළි සහිත දිග කළු සායක් සහ සුදු අත්දිග හැට්ටයක් ඇඳ සිටී. ඉතා රූමත් ඇය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය. තද කළු කැරලි ගැහැනු කොණ්ඩය දෙපසින් පහළට කඩා වැටී ඒ මැදින් පැහැපත් මුහුණ දිස්වෙයි. ඇය හැට්ටය සායට යට කොට මනාව හැඳ සිටියාය. අඩි පහක් පමණ උස ඇගේ සිරුර සිහින් ය.

ඇය හිටි හැටියේ මුහුණ තුළ නපුරු පෙනුමක් මවා ගෙන රෞද්‍ර බැල්මකින් යුතුව සයනය මත තිබූ මගේ සි‍රුරෙහි තුවාලය දෙස ඍජුව බලාගෙන ඉදිරියට ආවාය. ඇගේ දෑස් ඉතා රතු ය. කෝපාන්විතය. ඇය සෙමෙන් පැමිණ ප්‍රධාන වෛද්‍යවරයාගේ ඇ‍ඟේ හැපුණාය. වෛද්‍යවරයාට එය දැනුණු බවක් නොතේරිණ. ඇය මගේ සැත්කම් තුවාලය දෙස එබී බලා සිටී. ඇය දැන් මගේ තුවාලයට කුමක් කරයි දැයි මම විමතියෙන් බලා සිටියෙමි. මේ වනතුරුත් වෛද්‍යවරු මගේ අවයව කොටස් ඉවත් කරමින් සිටිති. එහෙත් මගේ අවධානය එම තැනැත්තිය වෙතම රඳවා සිටිමි.‍

ඇය ආපසු නොහැරී පසු පසට පස්සෙන් පස්සට ගොස් බිත්තියේ හැපී අතුරුදන් ව‍ූවාය.

ඒ සමඟ දොස්තර පබා “ඔයාගෙ ප්ලාස්ටරය ඔයාගෙ ට්‍රොලියට දැම්මා” යි කියනු ඇසුණි. මෙතෙක් ඊ.සී.ජී. යන්ත්‍රය මත සිටි ‘මම’ දැන් මගේ සිරුර තුළ බව මට දැනුණි. මගේ ශරීරය ප.ව. 2.10 ට 4 වාට්ටුවේ ඇඳකට ගෙනැත් දමා ඇති බව පසුව දැන ගතිමි. මෙතෙක් කිසිවක් මා දන්නේ නැත.

පසු දින මම මෙම සිදුවීම දොස්තර පබා සමඟ ක‍ීවෙමි. ඊටත් පසු දින වැඩිහිටි හෙදියන් දෙදෙනෙකුට පැවසීමි. මීට පෙරත් මා සැත්කම් දෙකකට මුහුණදී ඇතත් මෙවැනි අත්දැකීමක් නොවීය.

මම අන්තරාභවය, මනෝමය කාය, වැනි දේ ගැන ලියැවී ඇති සංසාර මන්දිර - බ්‍රයිඩේ මර්පි ආදී පොත්පත් බොහෝ කියවා ඇත.

සැත්කම සිදු කළ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ මහත්මයෙකි. පසුදිනක එතුමා මුණ ගැසී මේ ගැන කීවෙමි. “ගෑස් එක මුහුණට ඇල්ලුවාම සිහි නැති වෙනවා. එතකොට දෙවැනි තලයකට යනවා. ඕවා හීන. අපි ගණන් ගන්නේ නැහැ” යි ඔහු කීවේය.

මෙවැනි දේ ගැන ගුප්ත විද්‍යා ගවේෂණයෙහි යෙදෙන, ලියන, මතුගම මහින්ද විජේතිලක මහතාටත්, රත්නපු‍රේ ජී. හල්ගස්වත්ත මහතාටත් ලියා යැවීමි.

මේ නන්දනී නානායක්කාර මහත්මිය ලියා එවූ කතාවයි.

නන්දනීගේ සිහි මුර්ජා වන විටම භෞතික කාය සයනය මත තිබියදී මනෝමය කාය ඊ.සී.ජී. යන්ත්‍රය මතට ගොස් ඇත. එය ඇගේ උත්සාහයකින් හෝ අධිෂ්ඨානයකින් හෝ තොරව සිදුව ඇත.

වෛද්‍යවරයා “අපි ඕවා ගණන් ගන්නේ නෑ” යි කියා ඇත්තේ ඔහුගේ දර්ශනය අනුවය. එහෙත් භෞතික ශරීරය සහනය මත තිබියදී ඊ.සී.ජී. යන්ත්‍රය මතට ගියේ කවුද? සිහි නැති කළ පසු දෙවැනි තලයකට යනවා යැයි කී දෙවැනි තලය කුමක්ද? මේවා විමසා බැලිය යුතු ය.

අපේ පිළිගැනීම නම් ඊ.සී.ජී. යන්ත්‍රය මතට ගියේ නන්දනීගේ මනෝමය කායයි.‍ මනෝමය කාය සමඟ චිත්තජ කාය ද ඇති බැවින් ඇය වර්ණ රූප දැක්කේය. වර්ණ රූපයක් ආලෝකයෙ උදව්වෙන් චක්ඛු ප්‍රසාද රූපයේ (ඇසේ) ගැටුණු විට අරූපමය ශක්තියක් හටගනී. ඒ චක්ඛු විඤ්ඤාණයයි. “ඔයාගෙ ප්ලාස්ටරය ඔයාගෙ ට්‍රොලියට දැම්මා” යි කී දොස්තර පබා ගෙන් පිට වූ ශබ්ද රූප නන්දනීගේ ශ්‍රෝත ප්‍රසාද රූප (කන) සමඟ ගැටීමෙන් බිහිවූ අරූපමය ශක්තිය ශ්‍රෝත විඤ්ඤාණයයි. ඒ ‘දැක්කා’ කියන සිත හා ‘ඇහුණා’ කියන සිතයි. මේ කරුණු බාර ගෙන තැන්පත් වූයේ නන්දනීගේ මනෝද්වාරයෙනි. දැකීම් හා ඇසීම් වත්ථු රූපයේ ගැටීමෙන් මනෝ විඤ්ඤාණ පහළ විය. එහෙත් මේ අවස්ථාවේ නන්දනීට ස්පර්ශ‍යන් දැනී නැත. ශීත උෂ්ණාධිය, සැත්කමේදී කපන වේදනා ඒ අවස්ථාවේ ඇයට දැනී නැත. ඒ සියුම් මනෝමය කායේ ස්වභාවයයි.

මනෝමය කාය හා භූතාත්ම අතර බොහෝ වෙනස්කම් පවතී. භූතයා තුළ රාග - ද්වේෂ - මෝහ බලවත්ව ක්‍රියාත්මක වේ. සමහර භූතයෝ (පෝටග්‍රීස්) සහ ද්‍රව්‍ය එහා මෙහා ක්‍රියාත්මක කිරීමට ද පෙළඹේ. භූතයෝ සාමාන්‍ය පියවි ඇසට නොපෙනේ. ඔවුන් මිනිසුන් ඉදිරියේ පෙනී නොසිටින්න හේතු ද ඇත. සමහරුන්ට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කර්මානුරූපව ලැබී නැත. සමහරුන්ට පෙනී සිටින්නට හැකියාව ඇතත් ඔවුන් එසේ පෙනී නොසිටින්නේ පෙනී සිටීම සඳහා විශාල ශක්තියක් ගොඩ නඟා ගත යුතු ය. එසේ දැඩි වෙහෙසකින් ගොඩ නගාගන්නා ඒ රූපය ආපසු ලිහිල් වනවිට භූතයාට මහත් වේදනාවක් දැනේ‍. එය හරියට මැටි බඳුනක් හෝ වීදුරු තහඩුවක් බිඳී යන්නා සේ ඝන රූප සියුම් රූප බවට පත්වීමේදී ඔවුන්ට දැනෙන ‍වේදනාව විශාලය.

කෙසේ නමුත් නන්දනීගේ මනෝමය කාය ක්‍රියාත්මකව තිබියදී ඒ මනෝමය කාය තුළ චක්ඛු ප්‍රසාද රූප, ශ්‍රෝත ප්‍රසාද රූප හා වත්ථු රූප (හදය වත්ථු රූප) ද ක්‍රියාත්මකවූ බව පැහැදිලිය. ජීවිතේන්ද්‍රිය ‍රූපය ද නාම ජීවිතේන්ද්‍රිය හා රූප ජීවිතේන්ද්‍රිය යැයි ද්විවිධ වේ.

මනෝමය කාය යළිත් නන්දනීගේ භෞතික ශරීරයට නැවත ආවේ ඇයි? වෙනත් තැනකට පලා නොගියේ ඇයි? ඒ වත්ථු රූපයත් ජීවිතේන්ද්‍රිය රූපයත් සම්බන්ධ ‘රිදී හූය’ හෙවත් Silver Cord නම් වූ සිහින්, ඉතාමත් සිහින් සියුම් නූලක් වැනි දෙයක් කොඳු ඇට පෙළ මැදින් ක්‍රියාත්මක බැවිනි. ඒ නූලට සැතපුම් දහස් ගණන් දිගට ඇදී යා හැකි ය. එය චක්‍ර පද්ධතියට ද සම්බන්ධකම් ඇත. නන්දනී නොමළ ජීවියෙක් බැවින් එය ක්‍රියාත්මක විය. නන්දනී නානායක්කාර මහත්මියගේ හෙළිදරව්වට ස්තුති කරමු.

Comments