ලකුණක් දෙකක් අඩුවුණා කියලා ඇත්තටම අපි ෆේල්ද? | Page 2 | සිළුමිණ

ලකුණක් දෙකක් අඩුවුණා කියලා ඇත්තටම අපි ෆේල්ද?

එක්තරා වසරක ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවේදී එක්තරා සිසුවකු සිය ප්‍රශ්න පත්‍රයේ තමා කලින් ලියූ පිළිතුරු සියල්ල කපා නැවතත් වැරදි පිළිතුරු සටහන් කර ඇති අන්දම නිරීක්ෂණය වීමත් සමඟිනි. මෙහිදී පිළිතුරු පත් සමීක්ෂකයන්ට පෙනී ගියේ ඒ සිසුවා විසින්ම කපාදමා තිබුණු පිළිතුරු එයාකාරයෙන්ම තිබුණා නම් ඔහු ලකුණු 80කට එහා හිමි කරගනු ඇති බවයි. එහෙත් දැන් ඔහුට හිමිව ඇත්තේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකි. මේ අනුව දක්ෂ දරුවකු බව පෙනී ගිය මේ සිසුවා එසේ කළේ කිනම් හේතුවක් මතදැයි විමසීමට විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය ඔහු විභාග දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට පියවර ගත්තේය. එහිදී මේ සිදුවීම පිළිබඳ දරුවා කළ විග්‍රහයෙන් විමර්ශන නිලධාරීහුද නිරුත්තර වූහ.

“ඇයි පුතේ ඔයා හරි උත්තර කපලා වැරදි පිළිතුරු සටහන් කළේ?” විමර්ශන නිලධාරීහු විමසූහ.

“මගේ අම්මට හොඳ පාඩමක් උගන්වන්න හිතාගෙනයි මම එහෙම කළේ. අපේ අම්මා නිසා මට විභාගයම එපා වුණා.”

ඒ වැඩිහිටියන්ට ඇවැසි වූ, එහෙත් දරුවන්ට එපා වූ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ පුංචි දරුවකුගේ හැඟීම්ය. ඒ දරුවාගේ ප්‍රකාශය වැඩිහිටියන්ට දෙවරක් සිතන්නට දෙයක් තිබෙන අතර ඉන් සමස්ත දරුපරපුරේ එක්තරා ඛේදවාචකයක් නිරූපණය කරයි.

දැන් කියන්නට යන සිදුවීම පසුගියදා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දැරියකු වෙතින් අනාවරණය කරගත හැකි වූයේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන මහත්මියටය.

කොළඹින් දුර බැහැර පාසලක අධ්‍යාපනය ලබන ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් හිමි කරගනිමින් ඉහළින්ම සමත් වී ඇත. එහෙත් ඇය මේ යහපත් තත්ත්වයට පත් කරගන්නට හැකිව ඇත්තේ මනෝ උපදේශනයේ පිහිටෙනි. ශිෂ්‍යත්ව විභාගයට මාස දෙකක් පමණ තිබියදී මේ දැරියගේ හැසිරීම් සියල්ල වෙනස් වන්නට විය. ධනවත් පවුලක දැරියක වූ ඇයගේ මේ වෙනස දෙමවුපියන්ට ඉමහත් වේදනාවත් විය. සමහරක අවස්ථාවල මේ දියණිය මව මරන්න පිහියක් ගතිතාය; තවත් විටෙක මවගේ සාරි සියල්ල කතුරකින් කපාදමා විනාශ කළාය. දැරිය පරීක්ෂා කළ මනෝ වෛද්‍ය උපදේශිකාවට පෙනී ගියේ ඇය මෙසේ කරන්නට වූයේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් මව එල්ල කළ දැඩි පීඩනය නිසා බවයි. කිසිදු ඖෂධයක් ලබා දීමකින් තොරව පරිසරය, ඇයගේ දෛනික ක්‍රියාකරකම් හා අවේග ආදිය වෙනස් කරමින් ටිකෙන් ටික දරුවාව සාමාන්‍ය තත්ත්වයට ගන්නට ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා ඉෂාමා කාරියකරවන මහත්මියට හැකි විය.

මේ උදාහරණ කිහිපයක් පමණි. පහ වසරේදීම නැති නම් යන්තම් දස හැවිරිදි වියේදීම දරුවකු මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරවන්නට තරම් මේ ශිෂ්‍යත්ව විභාගයේ පීඩනය ඉහළ ගොස් ඇත්තේය. වත්මන් තත්ත්වය අනුව හොඳ පාසලකට යෑමට සිටින දරුවකුට එක් විෂයයකට ලකුණු 80ක් ගත්තත් හොඳ පාසලකට තබා කඩඉම් ලකුණින් හෝ එතෙර වන්නට හැකියාව නැත.

මේ විග්‍රහය ශිෂ්‍යත්වය ගැන දෙවරක් හිතන්නට කාරණාකාරණ මතු කරවන්නේය.


ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය ජී. බී. ගුණවර්ධන

 

වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තදබල විවේචන පවතිනවා. ඒ කොතරම් විවේචන තිබුණත් පාසල් පද්ධතියේ විෂමතා නිසා මෙය තවදුරටත් පවත්වාගෙන යන්න සිදු වී තිබෙනවා. පළමු ශ්‍රේණියේදී තම දරුවා හොඳ පාසලකට ඇතුළත් කරගන්න නොහැකි වූ දරුවන්ට ලැබෙන දෙවැනි අවස්ථාව මෙයයි. මේ නිසා ශිෂ්‍යත්ව විභාගයට දරුවන් යොමු කරවීම ගැන දෙමවුපියන්ට දොස් කිව යුතු නැහැ. එහෙත් මෙවැනි විභාගයක් පවත්වාගෙන යෑමෙන් දරුවන්ට සිදු වන්නේ සහනයක් නොවෙයි. මෙමඟින් දරුවාගේ ශක්තිය සහමුලින්ම ගෙවී යනවා. ඒ වගේම දරුවාගේ ක්‍රියාශීලි බව නැති වී යනවා. හොඳ පාසලක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශිෂ්‍යත්ව විභාගයට ලියූවත් ඒ අරමුණ කරා යා හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ඒ වගේම ළමයාට අපේක්ෂිත කඩඉම් ලකුණ කරා එන්න නොහැකි වුව හොත් එයින් සමාජය තීරණය කරන්නේ ළමයා අසමත් ළමයකු ලෙසයි. මේ මානසිකත්වයෙන් දෙමවුපියන් හා දරුවන් ගලවා-ලිය නොහැකියි.

මේ නිසා මීට විසඳුම් යෙදිය යුත්තේ පාසල් පද්ධතියේ විෂමතා දුරු කිරීමෙන් පමණයි. පාසල් පද්ධතියේ විෂමතා නිසා හොඳ පාසලකට තම දරුවා ඇතුළත් කරගත හැකි නම් ඒ දෙමවුපියන්ගේ සතුට අසීමිතයි. එහෙත් මෙමඟින් පීඩාවට පත් වන පිරිස අතිවිශාලයි. මේ නිසා අසමත්යැයි සැලකෙන පිරිස වෙත මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කළ යුතුයි.


ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන

දක්ෂයන් මෙන්ම අතිදක්ෂයන් තෝරාගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්වය පැවැත්වීමේ කිසිදු වරදක් මා දකින්නේ නැහැ. එහෙත් වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඒ අරමුණ සාක්ෂාත් වෙයිද? එතැනයි ප්‍රශ්නය ඇත්තේ. වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයට දරුවා තල්ලු කරනු ලබන්නේ දරුවාගේ කැමැත්තෙන් තොරවයි. දරුවන් මේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අධික ලෙස පීඩාවට පත් වන්නේ ඇයි? වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් නැතිව යන්නේ දරුවාගේ සමාජීය ජීවිතයයි. එයට දරුවාගේ අධ්‍යාපනය සේම පෞරුෂය, ක්‍රීඩා, නින්ද, විවේකය මෙන්ම පෝෂණය වැනි කරුණුද එක් කරනවා. දින චරියාව තුළ මේ කටයුතු කරන්නත් දරුවාට නිශ්චිත කාලයක් වෙන් විය යුතුයි. දරුවකුගේ යම් යම් හැකියා වර්ධනය වන්නේ ඔහුගේ වයස අවුරුද 10ත් 12ත් අතර කාලයේදීයි.

ශිෂ්‍යත්වයෙන් හැම අංශයෙන්ම දක්ෂ දරුවකු මතු කරගත යුතුයි. එසේ වීමට නම් දරුවාගේ ජීවිතය සමබර විය යුතුයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න දරුවාට අවස්ථාව සලසා දිය යුතුයි. සෞන්දර්ය, ක්‍රීඩා කුසලතා මෙන්ම විවේකය ඒ සඳහා ලබා දිය යුතුයි.


මෙවර ශිෂ්‍යත්වය සමත් ප්‍රමාණය ඉහළයි

ාර්තාව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගේ අධීක්ෂණය යටතේ විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර ඇත්තේය. ඒ අනුව සෑම වසරකම ලක්ෂ 3කට අධික දරු පිරිසක් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අතර මේ වසරේදීද අපේක්ෂකයන් 350,191 දෙනෙක් විභාගයට මුහුණ දී තිබේ. ඒ පිරිසෙන් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 බැගින් ලකුණු 70ක් ගෙන ශිෂ්‍යත්වය සමත් වී ඇත්තේ අපේක්ෂකයන් 276,978 දෙනෙකි. 2018 වසරේ සමත් එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හොත් එය 79.09%ක් වන අතර, 2013දී 69.44%ක්ද 2014දී 78.96%ක්ද, 2015දී 76.33%ක්ද, 2016දී 75.67ක්ද, 2017දී 69.40%ක්ද වී ඇති බව මේ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් පිරිස පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබීම සතුටට කරුණක් වී ඇත.

චෝදනාවක්

මෙවර ශිෂ්‍යත්වයේ ජනප්‍රිය හා ශිෂ්‍යාධාර ලබාගැනීමේ ඉහළම කඩඉම් ලකුණ වූයේ 168ක් වන අතර, එය බොහෝ ඉහළ අගයකැයි බොහෝ දෙන චෝදනා කරති. පසුගිය වසර හා සසඳන කල එය යම්තාක් දුරකට සත්‍යයකි. 2017දී එම අගය 164ක්ද, 2016දී 159ක්ද, 2015දී 160ක්ද ආදි වශයෙන් පසුගිය වසරවල කඩඉම් ලකුණු වාර්තා විය. එහෙත් විභාග දෙපාර්තමේන්තුවේ ‍සමාලෝචන වාර්තාවට අනුව පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ශිෂ්‍යාධාර හා ජනප්‍රිය පාසල්වලට පිවිසීමේ කඩඉම් ලකුණින් සමත් ප්‍රතිශතයද ඉහළ අගයක් ගෙන තිබේ.

මේ වසරේ විභාගයට පෙනී සිටි ඇයැදුම්කරුවන් 350,191 දෙනා අතුරින් 36144 දෙනකු - එනම්: 10.32%ක් මේ කඩඉම් ලකුණ ජය ගෙන ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හා ශිෂ්‍යාධාරවලට සුදුසුකම් ලබා ඇත. 2017දී 9.46%ක්ද, 2016දී 9.50%ක්ද, 2015දී 9.55%ක්ද, 2013දී 10.12%ක්ද ‍ලෙස මේ අගය වාර්තා විය. ඒ අනුව මෙවර පසුගිය වසරවලට සාපේක්ෂව වැඩි සිසු පිරිසකට ජනප්‍රිය පාසල් මෙන්ම ශිෂ්‍යාධාර සඳහා ඇයැදුම් කිරීමේ අවස්ථාව හිමිව ඇත. මේ අනුව කඩඉම් ලකුණු ඉහළ ගියද කඩඉම් ලකුණින් සමත් පිරිසේ වැඩි වීමක් මිස අඩු වීමක් පෙන්නුම් කර නැත.

නිකවැරටිය අධ්‍යාපන කලාපය ඉදිරියෙන්

මෙවර ශිෂ්‍යත්වය සමත් පිරිසෙන් ලකුණු 70ට වඩා ලබමින් ඉහළම ස්ථානයේ සිටින්නේ නිකවැරටිය අධ්‍යාපන කලාපයයි. දෙවනුව තංගල්ල හා තෙවැනිව කෑගල්ල අධ්‍යාපන කලාපයි. ගම්පහ 5 වැනි ස්ථානයටද කොළඹ 69 වැනි ස්ථානයටද මහනුවර 11 වැනි ස්ථානයටද පත්ව ඇති අතර, මෙමඟින් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ශිෂ්‍යත්වයේ සමතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් නගරයෙන් බැහැරට ගොස් ඇති බවයි.

ඒ හා සමානවම අධ්‍යාපන කලාප අතරින් කඩඉම් ලකුණින් මුල් ස්ථානයේ ඇත්තේ යාපනයයි. දෙවැනි තැන තංගල්ලද තෙවැනි තැන ගම්පහද වන අතර, නිකවැරටියට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. කොළඹට 68 වැනි ස්ථානය හිමිව ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට 45 වැනි ස්ථානය හිමිව ඇත.

මෙම ගණනය කිරීම් සමඟ විභාග දෙපාර්තමේන්තුව 2018 වසරේදී ශිෂ්‍යත්ව කාර්යසාධක දර්ශකය අනුව ඉහළින්ම සිටින පාසල් වර්ගීකරණයක්ද කර තිබේ. ඒ අනුව 2018 වසරේ ඉහළ කාර්යසාධක දර්ශකයක් පෙන්වා ඇති පාසල් අතර ඉහළින්ම සිටින්නේ කුලියාපිටිය විශාකා බාලිකා විදුහලයි. දෙවැනි තැනට පත්ව ඇත්තේ ගල්ගමුව සිරිමාවෝ බාලිකා ප්‍රාථමික පාසලයි. තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ගම්පහ සුමේධ විදුහල, යාපනය ‍ශාන්ත ජෝන්ස් බොස්කෝ විදුහල හා ඇහැටුවැව ප්‍රාථමික විදුහලයි. මෙම ඉහළම කාර්ය දර්ශකයක් පෙන්වූ පාසල් අතර නාගරික සීමාවන්ගෙන් යුතු පාසල් ඇත්තේ ඉතා අඩු ප්‍රමා්‍ණයක් වන අතර, කොළඹ නගරයේ පිහිටි කිසිදු පාසලක් ඊට අයත් නොවීමද විශේෂත්වයකි.

Comments