දෑත - දෙපය ඇති අය හට දිනූෂා කියා දෙන පාඩම... | සිළුමිණ

දෑත - දෙපය ඇති අය හට දිනූෂා කියා දෙන පාඩම...

සමස්ත ලංකා තරග ජය

ඉපදී දින කිහිපයකින් ළමා නිවාසයට

කටින් පෑන හසුරුවමින් චිත්‍ර අඳියි .

''මේ දරුවා තමයි කටින් චිත්‍ර අඳින හා අකුරු ලියන අපේ පාසලේ සිටින එකම ළමයා. අපේ පාසලෙන්ශි ෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් අතුරින් ලකුණු 145ක වැනි වැඩි ලකුණු ලබාගත් එකම

දරුවාත් ඇයයි. දිනූෂා ශිෂ්‍යත්වයෙන් සමත් වුණේ නැති වුණත් ඇය අත්පා ඇති දරුවන් හා සම කරද්දී ලැබුවේ සුවිශේෂ ජයක්''

 

දෑත පමණක් නොව, දෙපාද අහිමි මේ දියණිය ගැන මීට කලින් රටම කතා කළේ කටින් පෑන් තුඬු හසුරුවමින් දක්ෂ සිතුවම් කරන්නියක ලෙසිනි. එසේ සිතුවමට පෑන් තුඬ හැසිරවූ ඇය පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී ද දක්ෂ ලෙස සිය පෑන හැසිරවූයේ හොඳින් පිළිතුරු සපයා ඉහළ ජයක් ලබන්නටය. අවසානයේ සිය ආබාධිතබව පරයමින් ඇය සිය අභියෝගය ජය ගත්තාය. මේ ඇයගේ කතාවයි.

 

බොහෝ අය ජීවිතය ජය ගන්නේ දෑතේ වීරියෙනි; නැතිනම් සිතේ දිරියෙනි. එහෙත් දෑතේම ක්‍රියාකාරිත්වය අහිමිව, තම සිතේ ධෛර්යයෙන් පමණක් යමකු ජීවිතය ජය ගන්නට වැර දරයි නම්, එය එය එක්තරා ආකාරයක ආශ්චර්යයකි.

මාවනැල්ල, කොටගල විශේෂ පාසලේ අධ්‍යාපනය ලබන දිනූෂා බණ්ඩාර දියණිය පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු සැපයූවේ කටින් පෑන් තුඩ හසුරුවමින් දැඩි දුෂ්කර ක්‍රියාවක නිරත වෙමිනි. දෑත තිබුණද ඇඟිලි නැති ඒ අප්‍රාණික දෑත දකින වාරයක් වාරයක් පාසා සිය බිඳුණු ළාබාල මනසට අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්කරවන්නට විය. අවසානයේ ලකුණු 145ක් හිමි කරගනිමින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නට ඇය සමත් වූවාය.

“මේ දරුවා තමයි කටින් චිත්‍ර අඳින හා අකුරු ලියන අපේ පාසලේ සිටින එකම ළමයා. අපේ පාසලෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් අතුරින් ලකුණු 145ක වැනි වැඩි ලකුණු ලබාගත් එකම දරුවාත් ඇයයි. දිනූෂා ශිෂ්‍යත්වයෙන් සමත් වුණේ නැති වුණත් ඇය අත්පා ඇති දරුවන් හා සම කරද් දී ලැබුවේ සුවිශේෂ ජයක්. අපේ දිනූෂා විභාගයට අකුරු ලිවේ කටින්. මෙවර ලංකාවේ එවැනි හපන්කමක් කර ඇති එකම දරුවාත් ඇය බව අපේ විශ්වාසයයි.

ඇයගේ මේ දක්ෂතාව ගැන අපෙන් ගොඩාක් අය කතා කරලා අහනවා වගේම දිනූෂා දියණිය බලන්නත් එනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේ පාසලෙන් දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වුණා.

දිනූෂා දියණිය විභාගයට මුහුණ දුන්නේ බලවත්ගම මහා විද්‍යාලයේ තිබූ විභාග ශාලාවේදීයි. කායික අබාධිත දරුවකු නිසා විනාඩි 10ක අමතර කාලයක් දීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා, ” යි එම පාසලේ විදුහල්පතිනිය වන ඒ.එස්. සිරිවර්ධන මහත්මිය පැවැසීය.

දිනූෂා දියණිය මෙහි මවු ආයතනය වන ප්‍රීතිපුර ළමා නිවාසයට පැමිණ ඇත්තේ ඉප දී දවස් කිහිපයකිනි. ඇයගේ දෙමවුපියන් සිටින්නේ කුරුණෑගලය.

කොළඹ ජාතික රෝහලේ දී දැරිය ඉපදුණු පසු ඇයගේ කායික අබාධිත තත්ත්වය දැක දෙමාපියෝ දැඩි වේදනාවකට පත්ව ඇති අතර රෝහලේ වෛද්‍යවරුන්ද පවසා ඇත්තේ ඇය ජීවත් කරවීමට අපහසු බවයි. රෝහලෙන් කළ දැනුම් දීමකට අනුව ප්‍රීතිපුර ළමා නිවාසයේ පිරිස් රෝහලට පැමිණ දරුවා භාර ගෙන තිබේ.

මේ වන විට දිනූෂා දියණිය කටින් පෑන හසුරුවමින් චිත්‍ර ඇඳ සමස්ත ලංකා තරග පවා ජයග්‍රහණය කර ඇත. ඇය එසේ පළමුවම ජයග්‍රහණය කළේ අවුරුදු 5දීය. කටින් පෑන ගෙන ඇය ලියන අකුරුද චිත්‍ර සේම ලස්සනය.

“ඇයට කටින් චිත්‍ර ඇඳීම වඩාත් පහසු වෙන්න කියලා අපි ඇගේ නළලට උපකරණයක් සවි කළා. ඒත් ඇයට එය කරදරයක් වුණා. බෙල්ල ගොඩාක් වෙහෙසට පත් වන නිසාම නැවත වතාවක් කටින් ඒ කාරිය කරන්න ඉඩ දුන්නා. චිත්‍රයට අවශ්‍ය පාට පවා පාට පෙට්ටියෙන් එකින් එක තෝරාගන්නේ කටින්. පුදුමයට කාරණය වන්නේ කිසිදු කටු සටහනක් නොගසා පාට එකින් එක තෝරමින් ඇය චිත්‍රයේ වැඩ කොටස් අවසන් කරන ආකාරයයි, ” විදුහල්පතිනිය පවසන්නීය.

දිනූෂා වැනි කායික ආබාධ සහිත දියණියක ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී මෙවන් ලකුණු ප්‍රමාණයක් ලැබීම සාමාන්‍ය දරුවකුගේ ක්‍රියාවට ඔබ්බට ගිය කටයුත්තකි.

මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දෙසට ගමන් කරන විට අල්පිටිය ගම්මානයේ ප්‍රධාන පාරට සම්බන්ධ වන මංසන්ධියෙන් හැරී කිලෝ මීටර 4 ක් පමණ වූ කඳු මුදුන් කොටස පසු කරමින් උස්බිම් කඩක පිහිටි මේ පාසලට යා යුතුව ඇත. එහි මේ දරුවන් තම ජල අවශ්‍යතා සපුරාගන්නේ ස්වාභාවික ජල උල්පත්වලිනි.

එසේම ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගන්නේත් මේ ආයතනය පවත්වාගෙන යන්නේත් මේ මධ්‍යස්ථානය සතුව පවතින රබර් ඉඩම්වලින් ලැබෙන ආදායමෙනි. මෙවන් දරුවන් මෙන්ම එවැනි දරුවන් සුරකින මෙවන් ආයතනද සුරැකීම අපගේ ජාතික වගකීමය.

තොරතුරු හා ඡායාරූප - සමන් විජය බණ්ඩාර, මාවනැල්ල විශේෂ

Comments