
මෙංග් හොංග්වෙයිගේ අතුරුදන් වීම විසින් නැවතත් පැහැදිලි කරන ලද්දේ චීනය අන්තර්ජාතික ආයතන පිළිබඳව කිසිදු ගරුසරුවක් නොමැතිව කටයුතු කිරීමට නොපැකිළෙන බව ය. නමුත් අන්තර්ජාතික ප්‍රජාව මවිත කරමින්, එයින් අනිවාර්යයෙන් ම මතුවන විරෝධය ද නොතකමින් මෙවන් පියවරක් ගත්තේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න තවමත් නොවිසඳුන ගැටලුවකි.
මෙංග් හොංග්වෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වූ අතර කලක් තිස්සේ එරට මහජන ආරක්ෂාව පිළිබඳ උප ඇමතිවරයකු ද වූයේ ය. ඔහු 2016 සිට ඉන්ටර්පෝල් ආයතන ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. පසුගිය සැප්තැම්බර් 25 වනදා ඔහු අතුරුදන් වූයේ චීනයට පැමිණි අවස්ථාවක ය. මෙංග්ගේ බිරිය ග්‍රේස් මෙංග් මේ වනවිට ජීවත් වන්නේ ඉන්ටර්පෝල් මූලස්ථානය පිහිටි ප්‍රංශයේ ය. ඇය ඔක්තෝබර් 4 වනදා මෙංග් හොංග්වෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශ පොලිසියට පැමිණිලි කළා ය. මේ අතර හොං කොං හි පළ වන "සවුත් චයිනා මෝර්නිං පෝස්ට්" පුවත්පත ඔක්තෝබර් 5 වනදා ප්‍රකාශ කළේ මෙංග් චීනයේදී අත්අඩංගුවට ගන්නා ලද බවට තම පුවත්පත වෙත තොරතුරු ලැබුණ බව යි. මේ අතර ඉන්ටර්පෝල් ආයතනය සිය සභාපතිවරයා පිළිබඳ විමසීමක් චීනය වෙතින් නිල වශයෙන් සිදු කළේ ය. ඔක්තෝබර් 7 වනදා ග්‍රේස් මෙංග් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය සැමියාගේ ජීවිතය අනතුරේ විය හැකි යයි ප්‍රකාශ කළා ය.
ඔහු අතුරුදන් වීමට ස්වල්ප වෙලාවකට පෙර තමන්ට පිහියක ඡායාරූපයක් එවූ බව පැවසූ ඇය කියා සිටියේ එ් පණිවිඩය ඔහුගේ ජීවිතය අනතුරේ වන බවට කෙරෙන අනතුරු ඇඟවීමක් විය හැකි බව ය. එමෙන්ම ඉන්ටර්පෝල් ආයතනය එදිනම නිවේදනය කළේ මෙංග් හොංග්වෙයි සිය තනතුරින් ඉල්ලා අස්වන බව තමන්ට දන්වා එවන ලද බව ය. මේ දැනුම් දීම කරන ලද්දේ ඔහු අතුරුදන් වී සති දෙකකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු, ඉන්ටර්පෝල් ආයතනය විසින් එ් අතුරුදන් වීම පිළිබඳව නිල විමසීමක් චීනයෙන් කළ පසු ය. එතෙක් එවන් දැන්වීමක් සිය ආයතනය වෙත යොමු කිරීමට මෙංග් හොංග්වෙයිට අවශ්‍යතාවක් නොවී ය; නැතහොත් අවස්ථාවක් නොවී ය. ඔක්තෝබර් 8 වනදා චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ මෙංග් හොංග්වෙයිට එරෙහිව දූෂණ චෝදනා මත පරීක්ෂණ කෙරෙන බව ය. ඒ පිළිබඳ වැඩි තොරතුරු චීනය විසින් හෙළි නොකෙරුණි.
දූෂණ විරෝධී මෙහෙයුම්
ඉන්ටර්පෝල් ආයතනයේ සභාපති මෙංග් හොංග්වෙයි අතුරුදන් වීම පසුගිය සති කිහිපයේදී ලෝක දේශපාලන ක්ෂේත්‍රය කැළඹූ සිදුවීමක් විය. මේ අතුරුදන් වීමට චීනය සම්බන්ධ යැයි මුල පටන් ම සැක කෙරුණ ද ඒ බව සනාථ වූයේ සති දෙකක් ඉක්ම ගිය තැන ය. ඒ, ඉන්ටර්පෝල් ආයතනය ඒ පිළිබඳ මැදිහත්වීමක් කළ පසුව ය.
ෂී ජින්පිං මේ වන විට සමකාලීන චීන නායකයකුට ළඟා කරගත හැකි උපරිම තත්ත්වයට සිය බලය ඉහළ නංවාගන තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ඔහුට පෙනෙන තෙක් මානයේ තර්ජනයක් නොමැත. ජනාධිපති ධුරය සඳහා වූ සීමා ඉවත් කිරීම මඟින් ඔහු අවශ්‍ය නම් ජීවිතාන්තය තෙක් බලයේ රැඳී සිටීමට අවශ්‍ය පසුබිම ද සකසාගෙන ඇත. චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා ඔහුගේ දර්ශනය ඇතුළත් කිරීමට කොමියුනිස්ට් පක්ෂ අනුමැතිය හිමි විය. චීනයේ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණයන්ට සම්බන්ධ ව මීට පෙර ද ප්‍රකට පුද්ගලයෝ මෙසේ අතුරුදන් වූහ. සුප්‍රකට නිළි ෆැන් බිංග්බිංග් අතුරුදන් වීම මේ අතර කැපී පෙනුණ සිද්ධියකි. ජූලි මාසයේ සිට ඔක්තෝබරය තෙක් මාස තුනක පමණ කාලයක් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොවී ය. ඉන්පසු හෙළි වූයේ ඇය බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවකට ලක්ව දඬුවම් ද නියම කෙරුණ බව ය. ගැටලුව ඇත්තේ මෙවන් ක්‍රියාමාර්ගයන්හි දී ගනු ලබන අධිකරණ ක්‍රියාවලීන් කෙසේ සිදු වන්නේ ද යන්න ය. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රික රටවල පිළිගත් අධිකරණයේ නිසි ක්‍රියා පටිපාටිය චීනයේදී අනුගමනය නොකෙරෙන බවක් දිස් වේ.
චීන ජනාධිපති ෂී ජින්පිං යටතේ එරට දූෂණ විරෝධී මෙහෙයුම් තීව්‍ර වී තිබේ. වසර කිහිපයක් තිස්සේ රජයේ ප්‍රධාන දේශපාලකයන් ඇතුළු විවිධ කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කරන ලදී. කෙසේ වෙතත් මේ මෙහෙයුම් විවේචනය කරන්නන් සඳහන් කරනුයේ තම විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ෂී ජින්පිං මේ මෙහෙයුම් භාවිත කළ බව ය.
ඒ කෙසේ වෙතත් මෙසේ පුද්ගලයන් අතුරුදන් කිරීම තුළ චීන රජයේ අවශ්‍යතාව කුමක්ද යන්න ගැටලු සහගත ය. සාමාන්‍ය චීන නීතිය අනුව යම් අයකු අත්අඩංගුවට ගෙන පැය 24 ක් තුළ ඒ බව ඥාතීන්ට දැන්විය යුතු ය. නමුත් ඒ කිසිවක් මේ ක්‍රියාවලීන්වලදී සිදු වන බවක් නොපෙනේ. මෙංග් හොංග්වෙයිගේ සිද්ධියේදී ඔහුගේ බිරිය ග්‍රේස් මෙංග්ට මේ පිළිබඳ මේ වන තෙක් නිල වශයෙන් දන්වා නොමැත.
අන්තර්ජාතික ප්‍රජාව
ජාත්‍යන්තර ආයතනයන් හි චීන සහභාගීත්වය පිළිබඳ පැහැදිලි ගැටලුකාරී තත්ත්වයක් මෙයින් ඇති කරයි. චීනය වෙළෙඳ සබඳතා ඔස්සේ ලෝකයේ බොහෝ රටවල් හා සම්බන්ධ වෙමින් සිටින යුගයක මෙවන් සැකයක් ජනිත වීම එතරම් සුබදායී නොවේ.
මීටත් වඩා බරපතළ ප්‍රශ්නය වනුයේ ඉන්ටර්පෝල් වැනි ආයතනයක් සම්බන්ධයෙන් චීනය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිය ය. ඉන්ටර්පෝල් යනු ජාත්‍යන්තර පොලිස් කටයුතු පිළිබඳ ප්‍රධානම ආයතනය ය.
එහි ප්‍රධානියා රඳවා තබාෙගන ඒ බව එම ආයතනයට දැන්වීමට සති දෙකකට ආසන්න කාලයක් ගැනීම සහ එ් ආයතනයෙන් ම නිල විමසුමක් එනතෙක් ඒ බව හෙළි නොකිරීම එවන් ආයතනයකට කෙසේ බලපානු ඇතිද යන්න චීන රජයට වැදගත් නොවන බව මින් පෙනී යයි.
මෙංග් හොංග්වෙයිගේ අතුරුදන් වීම විසින් නැවතත් පැහැදිලි කරන ලද්දේ චීනය අන්තර්ජාතික ආයතන පිළිබඳව කිසිදු ගරුසරුවක් නොමැතිව කටයුතු කිරීමට නොපැකිළෙන බව ය. නමුත් අන්තර්ජාතික ප්‍රජාව මවිත කරමින්, එයින් අනිවාර්යයෙන් ම මතුවන විරෝධය ද නොතකමින් මෙවන් පියවරක් ගත්තේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න තවමත් නොවිසඳුන ගැටලුවකි.
ප්‍රශ්නය වන්නේ එවන් අවදානමක් ගැනීමට තරම් මෙංග් හොංග්වෙයි චීන රජයට වැදගත් වූයේ ඇයි ද යන්න ය. දූෂණ චෝදනා මත පමණක් ඔහුව රඳවා ගත්තේ නම් මෙතරම් බරපතළ පියවරකට යාමට අවශ්‍ය යැයි සිතිය නොහැකිය.