සියවසක අභිමානය නිහඬව දරාගෙන හුදකලා වෙන කොළඹ තැපැල් කණු | සිළුමිණ

සියවසක අභිමානය නිහඬව දරාගෙන හුදකලා වෙන කොළඹ තැපැල් කණු

ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන 144 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙනි

මතක ඇති කාලයක ලියුමක් ලියා තැපැල් කළා මතකද?” යනුවෙන් ඔබෙන් කවරකු හෝ ඇසුවහොත් ඔබ මහත් අසීරුතාවයකට පත්වනු නිසැකය. ඒ අද වනවිට ලියුම් මගින් සිදුකරන සන්නිවේදනය හුදු නෛතික හෝ රාජකාරිමය කටයුතු සඳහා ආයතන - ආයතන අතර සිදුවන කාර්යයක් බවට පත්ව ඇති හෙයිනි. විභාගයකට හෝ වෙනත් රාජකාරි කටයුත්තකට ලිපියක් තැපැල් කරන්නෙක් වුව ද තැපැල් කාර්යාලයකට ගොස් එම කාර්යය කරනු විනා පාරේ ඇති ලියුම් කණුවකට ලියුමක් දැමීම ඉතාම දුර්ලභය.

එහෙත් අප ගමන් ගන්නා වීථියක් වීථියක් පාසා රත් පැහැයෙන් විරාජමානව සිටින ලියුම් කණුවලට නම් ලිපි යවන්නන් අඩුවීම පිළිබඳ වගේ වගක් නැති තරම් ය. ඒවා අනාදිමත් කාලයක සිට තමන් ස්ථානගත කොට පවරන ලද රාජකාරිය අකුරටම ඉෂ්ට කරමින් ඒවා ඔබේ ලියුම් බලාපොරොත්තුවෙන් මුව අයා බලා සිටියි‍.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ගම හෝ නගරය හෝ සීමාවක් නොමැතිව සෑම ජනාකීර්ණ ප්‍රදේශයකම මහජන සේවය සඳහා ලියුම් කණු හෙවත් තැපැල් කණු ස්ථාපිත කර ඇත. ඒවා වර්ග කීපයකි. ෂඩස්‍රාකාර හැඩයකින් යුතු කොන්ක්‍රීට් ලියුම් කණු සුලභව දැකිය හැකි ය. ඕවලාකාර හැඩයක් ගන්නා යකඩ හෝ වානේ ලියුම් කණු ද බොහෝ මාවත් අද්දර සිටුවා ඇත. වඩා විශාල නොවූ එමෙන් ම ආධාරකයක සවිකර ඇති ලියුම් පෙට්ටි ද කලාතුරකින් හෝ ඔබ දැක ඇතුවාට සැක නැත. ඒවා ලාම්පු කණු ලියුම් පෙට්ටි නම් වේ. පොඩි කඩයක හෝ උප තැපැල් කාර්යාලයක හෝ වෙනත් ආවරණයක් සහිත ස්ථාන ස්ථානයක තබා ඇති හෝ බිත්තියක සවිකර ඇති ලියුම් පෙට්ටි ද මහජනතාව වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ලියුම්‍ පෙට්ටි හෝ කණු අතර වේ.

දිවයින පුරා ස්ථාපිත කර ඇති ලියුම් කණු සියල්ල රතු පැහැයෙන් යුක්තය. එය තැපැල් කාර්යාලයටම ආවේණික රතු පැහැයකි. (Post Office Red) එහෙත් කොළඹ නගර සීමාවේ හෝ ප්‍රධාන තැපැල් මධ්‍යස්ථාන ආශ්‍රිතව වර්ණ කීපයක තැපැල් කණු (ලියුම් කණු) දැකිය හැකි ය. මහජනතාවට ලිපිය යවන ගමනාන්තයට අනුව ලිපි යොමු කිරීමට පහසු වන සේම ලිපි තේරීමේ කාර්යයේදී ද කාර්යක්ෂම බව සලකා මෙලෙස වර්ණ යෙදූ ලියුම් කණු හඳුන්වා දී ඇත.

ඔබ හොඳින් නිරීක්ෂණය කළහොත් ලියුම් කණුවක විවිධ සංකේත හා දැනුම්වත් කිරීම් දැකිය හැකි ය. දිවයින පුරා මෙන් ම විශේෂයෙන් කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති ලියුම් කණු පිළිබඳ අධ්‍යයනය කළ හැකි කරුණු බොහෝ ය.

තැපැල් හෝ රාජ්‍ය ලාංඡනය හා ලියුම් ගන්නා වේලාව සටහන් කිරීම ඕනෑම ලියුම් කණුවකට පොදු ලක්ෂණයකි. එහෙත් එම කණු ස්ථාපිත කරන ලද සමය හඳුනාගැනීමට රාජ්‍ය ලාංඡනය, නිදහසින් පසු ජනරජ ලාංඡනය හා වර්තමාන රාජ්‍ය ලාංඡනය යෙදූ ලියුම් කණු ඒ ඒ රාජ්‍ය කාලය තුළ ස්ථාපිත කර ඇති අතර වර්තමානයේ තැපැල් සංකේතය සහිත ලියුම් කණු ද නිෂ්පාදනය වේ.

කොළඹ ආශ්‍රිත ලියුම් කණු බොහෝමයක සුවිශේෂම ලක්ෂණය වනුයේ එම කණුව ස්ථාපිත කළ ඉංග්‍රීසි ආණ්ඩු සමය සංකේත මඟින් දක්වා තිබීමයි. ඔබ නිතර යනෙන මාර්ගයක ලියුම් කණුවක බඳ මත පහත ඉංග්‍රීසි අකුරු ප්‍රදර්ශනය වන්නේ ද බලන්න.

‘ER’ නම් ඒ එඩ්වඩ් රජුගේ මෙරට රාජ්‍ය පාලන සමයයි.‘GR’ නම් ඒ ජෝර්ජ් රජතුමාගේ පාලන සමයයි. ‘VR’ නම් ඒ වික්ටෝරියා රාජිනියගේ රාජ්‍ය පාලන සමයයි.‍

VI වැනි ‍ජෝර්ජ් රජසමය ආදි වශයෙන් රෝම ඉලක්කම් පවා යොදන ලද ලියුම් කණු ද අපට කොළඹ නගරයේදී හමුවේ.

මෙම රාජ්‍ය කාල වකවානු සලකා බලන කල දැනට ද සක්‍රීයව සේවය ලබා දෙන මේ ලියුම් කණුවල ඓතිහාසික වටිනාකම කෙතෙක් දැයි ඔබට අවබෝධ වනු නිසැකය. පුරාවිද්‍යා ආඥා පනත අනුව වසර 100 කට වැඩි පෞරාණික භාණ්ඩයකට හෝ ස්ථානයක ආරක්ෂාවට සුවිශේෂී නීති පනවා ඇත. එ‍හෙත් ඔ‍ෙබ් ලිපි පමණක් බලාපොරොත්තුවෙන් මංමාවත් අයිනේ බලා සිටින මේ ලියුම් පෙට්ටිවලට ඇති එකම ආරක්ෂාව වසරකට වරක් තැපැල් දෙපාර්තමේන්තුව සිදු කරන පින්තාරුව පමණි.

කොළඹ නාගරික සීමාවට අයත් බොහෝමයක් ලියුම් පෙට්ටිවල භාරකාරිත්වය පවත්නේ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුවටයි. කොම්පඤ්ඤවීදිය, වැල්ලවත්ත හා කොටහේන හා බොරැල්ල ප්‍රදේශවල ලියුම් කණු හා ලියුම් පෙට්ටිවල නගර වගකීම එම ප්‍රදේශවල තැපැල් කාර්යාල විසින් දරනු ලබයි. මෙම ලියුම් කණුවලින් ලියුම් එකතු කර ගන්නා නියමිත වේලාවන් පවතියි. එම ලියුම් පෙට්ටිවල යතුරු එම ලියුම් කණුවල භාරකාරිත්වය දරන තැපැල් කාර්යාලවල ඇති අතර මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි හා ඔවුන්ට ලියුම් දැමීමට විශ්වාසයක් ඇති වන පරිදි තැපැල් කණු හා ඒ අවට පිරිසිදුව තබා ගැනීම ලියුම් එකතු කරන හෝ ලිපි බෙදන තැපැල්කරු‍ගේ වගකීම වේ.

ලියුම් කණුවලින් ලියුම් එකතු කරන තැපැල්කරු සතු යතුරු කැරැල්ල නැති වුවහොත් එය හමු වූවෙකුට අදාළ තැපැල් කාර්යාලයට ගෙනැවිත් දීමට මෙන් ම එලෙස ගෙනැවිත් දුන් අයට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ද අතීතයේ තිබුණු බවට තැපැල් කාර්යාලීය නීති රීතිවල අදට ද අඩංගු ය. යතුරු කැරැල්ලට සම්බන්ධකර තිබූ කුඩා පුවරුවක් මඟින් (Reward lable) මෙම කාර්යය සන්නිවේදනය කරන ලදී.

ලියුම් තැපැල් කරන කාර්යයට භාවිත වන නමුත් ලියුම් කණු නැතහොත් තැපැල් පෙට්ටිවලින් නගර අලංකරණයට ද ගෙන එන්නේ කදිම ආලෝකයකි. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර නඩත්තු කරනු ලබන නමුත් ලියුම් කණු සවිකර ඇත්තේ අප වෙනුවෙන් සේවය කරන්නට ය.

බුලත් කා ඇඟිල්ලේ ඉතිරිවන හුණු ටික තවරන්නට හෝ මරණ දැන්වීම් ඇලවීමට හෝ ඉවත ලන කුණු සඟවන්නට ආවරණ ස්ථානයක් ලෙස ලියුම් කණුව යොදා ගැනීමට අප සිතුවහොත් ඒ අප අපට සේවය කරන ස්ථානයකට අපරාධයකි. එමෙන් ම අප ආසන්නයේ තිබෙන ඓතිහාසික ‘ජාතික උරුමයක් නොතකා ඇරීමකි. එබැවින් ඔබ යනෙන මාවත අද්දර තැපැල් කණුව විමසිල්ලෙන් නිරීක්ෂණය කර එහි වටිනාකම හඳුනාගන්න. එය සුරක්ෂිත කර එහි අලංකාරය ලොවට බෙදා දෙන්න.

සේයාරූ අන්තර්ජාලයෙනි

Comments