පොත් සල්පිලට BMICH ආ ‘අහංගම’ හා ‘බලංගොඩ’ අය | සිළුමිණ

පොත් සල්පිලට BMICH ආ ‘අහංගම’ හා ‘බලංගොඩ’ අය

වසන්තයක් ළඟ එනවා. කාටද කියන්න පුළුවන් ඒ මොකක්ද කියලා කවුරුන් හෝ විසින් දැමූ මේ පෝස්ටුව මුහුණු පොතේ දකින්නට ලැබුණේ ගෙවුණු සැප්තැම්බර් මාසය එළැඹෙන්නට දින දෙක තුනකට පමණ පෙරය. එයට බොහෝ දෙනා විවිධ දේ ලියා තිබුණි. සැබැවින්ම වසන්තය පැමිණියේය. පුරා සති දෙකක් පැවැති වසන්තය ඊළඟ වසරෙත් පැමිණෙන අරමුණින් යන්නට ගියේය. ඒ සාහිත්‍යයට පෙම් බඳින්නන්, පොත් ප්‍රකාශකයන්, පාඨකයන් ආදරයෙන් බලාගෙන සිටි පොත් වසන්තයයි.

“කාලෙකට පස්සෙ ලේඛකයෝ, පාඨකයෝ හමුවන්න මෙය හොඳ අවස්ථාවක්. පරණ යාළුවෝ හමුවෙනවා. අනේ අපි නම් පොත් ගන්නවටත් වඩා එන්නේ අන්න ඒ අත්දැකීම ලබන්න.”

පොත් සල්පිල පිළිබඳ කතා කළ විට මිත්‍රයකු පැවැසුවේ එසේය. කොහොම වුණත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් සල්පිල සඳහා මෙවරද සුවිශාල ජනතාවක් රටේ සිව් දිගින්ම පැමිණ සිටියහ. ආරම්භක දිනයේ සිටම කිහිප දිනක්ම විටින් විට එහි යන්නට අපට අවස්ථාව ලැබිණි.

“ඉස්සර වගෙ නූල්ඩ්ස් එක රහ නෑ.. ඔය තියෙන තියෙන හැම ජාතියෙන්ම වගේ කාලා බැලූවා. තිබහට බීමත් බිව්වා. පොත් ගන්න ලොකු සල්ලි නැති නිසා. අඩුම ගාණට තියෙන පොත් ස්ටෝල් ගාණේ ගිහිල්ලා පරණ පොත් ටිකක් හොයා ගත්තා. වට පිට ඇවිදලා බලලා දැන් මේ යන්න හදන්නේ” පොත් සල්පිලේදී හමු වූ පාඨකයකු අප මඟහැර යමින් කීවේ මැසිවිලි හඬිනි.

බොහෝ ‌ෙදනා BMICH පැමිණියහ. සැබැවින්ම ඔවුන් පැමිණියේ පොත් ගන්නටමද? නැත්නම් පොත්වල හැඩ බලන්න ද?

ඇය අමිතා කුමාරි දිවාරත්න. විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමියක්. පොත් සල්පිලේදී අපට ඇය හා කතා බහ කරන්නට අවස්ථාව ලැබිණි.

“අපේ තරුණ කාලේ මෙහෙම පොත් සල්පිල් තිබුණේ නැහැ. නමුත් අපි බොහෝම පොතපතට ළැදි වුණා. එහෙම පොත් පත් කියවන්න අපට හුරු කළේ අපේ ගුරුවරු දෙමවුපියෝ. නමුත් දැන් දරුවන්ට එහෙම වෙන්නේ නැහැ. දැන් ළමයි අන්තර්ජාලයට, මුහුණු පොතට යොමුවෙලා. ඉන්නේ. පොත්වලට තියෙන ආශාව නිසයි අද මෙහෙ ආවේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන ලැබූණු පොත් වගේම තවත් කැමති ලේඛකයන්ගේ පොත් කිහිපයක්ම ගත්තා. මම ටිකක් වෙලා පැත්තකට වෙලා බලන් හිටියා. තරුණ ළමයි එනවා යනවා පමණයි. ඒක මේ අයට විනෝදයක් වගෙයි. නමුත් තවමත් අපේ වයසේ ඉන්න අය පොත්වලට කැමතියි. ඒක තමයි පුරුද්ද.” දිවාරත්න මහත්මිය පවසන්නීය.

උදෑසනම බොහෝ දුර බැහැර සිට පැමිණි මේ මවත් පුතාත් අපට හමු වූයේ පොත් කුටි අතරින් පොත් පිරවූ විශාල මල්ලක් බිම දිගේ ඇදගෙන යන අතරේය.

“ඔන්න ඔය කෙනා හැම අවුරුද්දෙම වගේ පොත් ගොන්නක් ගෙනියනවා..”

පොත් හිමිකරුවකු පැවැසුවේ බොහෝ විශ්වාසයෙනි.

“පුස්තකාලයකට ගෙනියනවා වෙන්නැති නේද?.” මම කීවෙමි.

“නැහැ කතා කරලම බලන්නකෝ.” මිතුරා කීය.

අපි ඇය හා කතා කළෙමු.

ඇය පබා විජේගුණසේකර.

“අපි ආවේ රත්නපුරේ ඉදලා. මම පුංචිකාලේ සිටම කියවන්න ආසයි. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. එයාලත් පුංචි කාලේ ඉඳලම කියවන්න පුරුදු වෙලා ඉන්නේ. ඒනිසා අපේ ගෙදර හැමෝම පොත් කියවනවා. අද මම රුපියල් පනස්දාහකට වැඩියෙන් පොත් ගත්තා. වැඩිපුරම ගත්තේ පරිවර්තන පොත්. අතට හම්බවෙන එක කීය කීය හරි අවුරුද්ද පුරාම එකතු කරලා තමයි පොත් ගන්න එන්නේ.” පබා පවසන්නේ පොත් ගොන්නක් තමන් සතු කර ගැනීමේ සතුටිනි.

තනි තනිව පැමිණෙන්නන්ට වඩා අපට පොත් සල්පිලේදී හමුවුයේ සාමුහික පිරිස්ය. මේ අතර පවුල්පිටින් පැමිණියෝද සිටියහ. ඇතැම් තැනෙක හෙවණක වාඩි වී අත්තම්මා කෙනෙකු මිනිබිරියක නළවමින් සිටියාය.

“දුවලට එන්න ඕනම කිව්වා. පොඩි එක්කෙනාවත් අරගෙනම ආවා. සෙනඟ අස්සේ තෙරපෙන්න බැරි නිසා මම මේ හෙවණක වාඩි වුණා.”

කවුරුන් මොනවා කීව ද අපේ රටේ ඇත්තෝ තවමත් පොත්වලට ඇල්මක් දක්වති. නවකතා, පරිවර්තන කතා පමණක් නොව බෞද්ධ පොතපතට මෙන්ම විවිධ විෂයන් සඳහා ලියැවූණ පොත්වලට ඇල්මක් දක්වන්නෝ මෙන්ම විදෙස් කෘති සොයා යන එන්නෝද වූහ. කොහොම වුණත් පොත් සල්පිලට ආ ගිය සෑම දෙනකුම පාහේ පොදුවේ පැවසූ දෙයක් සඳහන් නොකරම බැරිය. ඒ පොත් සඳහා මෙවර ලබාදෙන වට්ටම මෙවර සියයට විස්ස ප්‍රමාණවත් නැති බවය.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේ කවියෙකු මෙන්ම ලේඛකයකු වන මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චිය.

“ඉස්සර නම් පොත්වලට සියයට තිහක තිස්පහක වගේ ඩිස්කවුන්ට් එකක් ලැබුණා. බොහෝ දුර බැහැර ඉදලා ඇවිල්ලිත් දැන් පාඨකයන්ට ලැබෙන්නේ සියයට විස්සයි. එය මීට වඩා වැඩි වෙනවා නම් හොඳයි. ඒ කොහොම වුණත් කලකට පෙර සාහිත්‍යය කන්නද කියලා අහපු රටක ලේඛකයො පාඨකයෝ මේ විදිහට එක තැනක දකින්නට ලැබීම සතුටක්. අපේ අනාගත පරපුර මේ පොත් සුවඳ විඳින්න එන එකම සතුටක්. වසරකට වරක් සති දෙකක් පොත් ගැන කතා බහ කිරීම වඩ වඩාත් වටිනවා. අපේ බාල පරම්පරාවට ගෙදරින් පාසලෙන් පොත පත කියවන්න හුරුකළ යුතුයි.”

නවකතා, කෙටිකතා, කවි හා පරිවර්තන කෘති පමණක් නොව පාසල් පතපොත මෙන්ම ලිපි ලේඛන ද්‍රව්‍ය ද මෙහි විකිණීමට තිබිණි. පාසල් යන වයසේ දරුවන් සිටින දෙමවුපියන් වැඩියෙන්ම ගැවසෙනු දැකිය හැකි වූයේ ඒ ඒ කුටිවලය.

“පොත් ගන්නම නෙමෙයි ආවේ. යාළුවොත් එක්ක ආවා. අනිත් එක දැන් සල්ලි දීලා පොත් ගන්නම ඕනම නැහැනේ. ඉන්ටර්නෙට් එකෙන් පොත් කියවන්න පුළුවන්.”

යහළු යෙහෙළියන් රෑනක් සමඟ පැමිණ සිටි අංජු පැවැසුවේ හිනැහෙමිනි.

“අපොයි අපොයි ඒ කතාව වැරදියි. පොතක් අතට අරගෙන බලනවා වගේ සතුටක් නැහැ, අන්තර්ජාලයෙන් පොත් බලද්දි. මම නම් ආවෙම පොතක් දෙකක් ගන්නමයි.” සඳමාලි පැවැසුවේ තම යෙහෙළියගේ කතාවට එරෙහි වෙමිනි.

පොහෝ දිනයේදි මෙන්ම ඉරිදා සහ සෙනසුරාදා දිනවල BMICH ආවගියෝ බොහෝය. වැස්ස බාධාවක් වුව ද ඇතැම් තැනෙක බිම වාඩි වී තරුණයෝ ගී ගයමින් සංගීත භාණ්ඩ වාදනය කරමින් සතුටු වූහ. ඇතැම් විටෙක කාලෙකින් හමු වූ ලේඛකයකු වට කරගෙන පාඨකයෝ සතුටු සාමිචියේ යෙදී සිටියහ. ඇතැමෙක් සෙල්ෆි ගැසූහ. එසැණින් ඒවා අන්තර්ජාලයේ මුහුණු පොතට ද මුදාහැර තිබිණි.

කුමන ප්‍රශ්න ගැටලු තිබුණ ද පාඨකයන්ම නොවූවද බොහෝ දෙනෙක් පොත් සල්පිලට ආ ගියහ.

කුරුණෑගල පී. ටී. කේ. රත්නායක මහත්මිය ඇතුළු පිරිස පැමිණ සිටියේ පුස්තකාලයට පොත් රැගෙන යෑම සඳහාය.

“අපි පුස්තකාලයේ පොතක් දාලා තියෙනවා පාඨකයන්ට. ඒ අයට අවශ්‍ය පොත් ලියන්න කියලා. පාඨකයෝ ඒ පොතේ ලියපු පොත් තමයි අපි අරගෙන යන්නේ. හැබැයි ඉතින් තව ටිකක් ඩිස්කවුන්ට් දුන්න නම් තමයි හොඳ.”ඇය අප හා පැවැසුවාය.

“පොත් සල්පිලට පැමිණි හැමෝම පොත් කෙරෙහි ඇල්මක් දැක්වූවෝමද?”

කලක් තිස්සේ හඳුනන පොත් ප්‍රකාශයකුගෙන් සුහද කතාව අතරතුර අපි ඇසුවෙමු.

“මෙහෙමයි වැඩිපුරම එන්නේ ඉතිං අහංගම අයයි බලන්ගොඩ අයයි තමයි.”

“ඒ පළාත් දෙකෙන් වැඩිපුර එන්න විශේෂත්වය මොකක්ද?” මම විමසුවෙමි.

පොත් මිතුරා හිනැහෙන්නට විය. අහංගම කියන්නේ අහලා යන අය. බලන්ගොඩ කියන්නේ බලලා යන අය. මේ දෙගොල්ලෝ තමයි වැඩිපුර එන්නේ. අලුත් පාඨකයෝ හැදුණද කියන එක ප්‍රශ්නයක්. අම්මලා තාත්තාලාගේ අතේ එල්ලිලා පොත් ගන්න ආව පොඩි අය දැන් ලොකුයි. ඒ ගොල්ලෝ තමයි දැන් පොත් ගන්න එන්නේ. අවුරුදු දහ අටක් තිස්සේ ලබපු අත්දැකීමෙන් තමයි මං මේ කියන්නේ.” මිත්‍රයා පැවැසුවේ පොත් වෙළෙදාම ද කරගෙන යන අතරතුරදීය.

දැන් පොත් මාසය අවසන්ය. මේ එළැඹ ඇත්තේ කියවීමේ මාසයයි. ගෙදර ගෙනා හැම පොතක්ම කියවනවාද? මේ පොත් ගෙදර අරන් ගියවිට කාට කාටත් ඇතිවන ප්‍රශ්නයකි. “කීයවීම මිනිසා සම්පූර්ණ කරයි”

එය සනාථ කිරිමට නම් අපි පොත් කියවිය යුතු වෙමු. එය බාල වියේ සිටම නිවෙසින් හුරුකළ යුත්තකි . රූපවාහිනියට අන්තර්ජාලයට හා බාල ටෙලිනාට්‍යවලට හුරුවී සිටින දරුවන් ඉන් මුදා ගැනීමට නම් උසස් රසවින්දනයක් හුරුකරවීමට, සංවේදී හැඟීම් දැනීම් ඇති මේ මහපොළව මත පය ගසා ජීවත් වන පරපුරක් බිහි කිරීමට නම් පොත පත පරිශීලනය කිරීම හුරුකළ යුතුය.

වසරකට වරක් පැවැත්වෙන පොත් සැණකෙළිය එක්තරා උත්තේජනයකි. එය පාඨකයන්ට මෙන්ම හොඳ නිර්මාණයක් කිරීමට ලේඛකයන්ද දිරි ගන්වන්නකි.

ඡායාරූප - තුෂාර පුනාන්දු

Comments