
ධාතුසේන රජ සමයේ කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ඉදිකළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘතියක් සඳහා හොඳ උදාහරණයකි. වසර එක්දහස් පන්සියයකට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිතවල අසිරිය දකිමින්, ඔවුන්ගේ ජන ජීවිතය, සංස්කෘතික බැඳීම්, පාරිසරික සබඳතා සහ නව ප්‍රවණතා සාකච්ඡා කෙරෙන සංචාරක ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළවිය.
මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යෑම ගැන පළමුවෙන්ම අවධානය යොමු කළේ 1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිත කේ. කනකසභාපති මහතාය. ඉන් අනතුරුව එය ලාංකීය උගත් පරම්පරාව අතර සමාජ කතිකාවතක් විය. සමහර සිංහල නායකයින් එය විවේචනය කළ අතර, නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ උතුරේ ද්‍රවිඩ නායකයන් දකුණෙන් කළ පළමු දේශපාලනික ඉල්ලීම එය විය. අනතුරුව මහවැලි ගඟේ වතුර උතුරට ගෙනයාමේ වුවමනාව 1931 සෝල්බරි කොමිසමේ පවා සංවාදයට ලක්වූ කරුණකි. නිකරුණේ ගලා යන මහ ජලකඳින් නිස්සාර උතුරු පළාත සශ්‍රීක කිරීමේ උවමනාව විද්වතුන් විසින් නිරන්තරයෙන් දේශපාලකයින් වෙත පෙන්වා දෙන ලදි.
නිදහසෙන් පසු 1950දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ආරම්භ කෙරිණි. කොළඹ ක්‍රමය යටතේ මේ සඳහා ආධාර ලැබුණේ කැනඩා රජයෙනි. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP),ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)කළ සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN)බිහි විය.
ඇළ ගලන නැළවිලි ගමන
1970දී ඩඩ්ලි සේනනායක මහතා විසින් පොල්ගොල්ල හැරවුම් සොරොව්ව ඉදිකිරීම ඇරඹීමෙන් මහවැලි ව්‍යාපාරය මෙරට ක්‍රියාත්මක වීම ඇරඹිණි. ඒ අනුව මුලින්ම නිර්මාණය වූයේ මහවැලි ‘එච්’කලාපයයි. මහවැලි එච් කලාපයේ වාරි හා ගොඩ ඉඩම් 1976 වර්ෂයේ දී ප්‍රතිලාභීන් අතර බෙදාදීම සිදුකොට ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත යටතේය. ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් කලාවැව හා බළලුවැව යන ජලාශ යටතේ වාරි ඉඩම් හෙක්ටයාර් 20205 ක් සහ වාසස්ථාන සාදා ගැනීම උදෙසා ගොඩ ඉඩම් කට්ටි 15092 ක් ප්‍රතිලාභීන් 30184 දෙනකු වෙත සින්නක්කර අයිතිය සහිතව පවරා දී ඇත. එසේම රජයේ ඉඩම් ආඥා පනත මගින් ගොඩ ඉඩම් කට්ටි 4332 ක් ප්‍රතිලාභීන් 4332 කු අතර බෙදා දී ඇත. ඉන් ඉඩම් කට්ටි 1700 ක් රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට වෙන්කොට ඇති අතර, සෙසු භුමි ප්‍රමාණය එනම් ඉඩම් කට්ටි 2632 ක් විවිධ ව්‍යාපාර හා කර්මාන්ත ආරම්භ කිරීම සදහා ප්‍රතිලාභීන් වෙත ලබාදී ඇත. ඒ අනුව සම්පූර්ණ මහවැලි ‘එච්’ කලාපයම නිර්මාණය වූයේ යෝධ ඇළ නිම්නයේය. යෝධ ඇළෙන් නැළවිල්ලේ ගලා යන ජලය එතරම් විශාල ඉඩම් ප්‍රමාණයකට නොසෑහෙන බැවින් පොල්ගොල්ල හැරවුමෙන් බෝවතැන්න ජලාශයටත්, එතැනින් කලා-බළලු වැවටත් රැස්වන ජලය තඹුත්තේගම හරහා අනුරාධපුරයට ගෙනයාමට නව ඇළ මාර්ගයක අවශ්‍යතාව මහවැලි ව්‍යාපාරයේ ඉංජිනේරුවන් විසින් පෙන්වා දෙනු ලැබිණි.
“යෝධ ඇළේ වතුර අනුරාධපුරේට යන්න සති දෙක හමාරක් විතර යනවා. අතීත යෝධ ඇළේ අරමුණ අනුරධපුරේට වතුර දෙන එක නොවන නිසා ඒක එච්චර ගැටලුවක් නෑ. යෝධ ඇළේ නැළවිල්ලට යන ගමන මහවැලියේ මහමොළ කාරයින්ට ඇල්ලුවේ නෑ…”
1870 දී සහ 1960 දශකයේදී කලාවැව ප්‍රතිසංස්කරණවලදී යෝධ ඇළේ වංගු සහිත ගමන ගැන තේරුම් ගන්නට හැකියාවක් දෙස් විදෙස් ඉංජිනේරුවන්ට නොමැති වීම නිසා, ඔවුන් සිතුවේ මේ වංගු සහිත ගමනට හේතුව ගල් කුළු මඟහැර යෑම වන්නට ඇතැයි කියාය. නමුත් යෝධ ඇළ ආශ්‍රිත ජනයා මේ වංගු සහිත ස්වභාවයට හේතුව පරම්පරානුගතව තේරුම් ගෙන සිටියහ.
"ධාතුසේන රජ්ජුරුවො පරුවත උඩට නැගිලා බැලුවා බෑවුමක් නැති තැනිතලාවේදී ගඟ ගලන්නේ කොහොමද කියලා. ගංගාව වංගු ගහමින් යන බව දුටුවා. වංගු ගැහීමේ අර්ථය මොකක්ද බලන කොට දැක්කේ එම වක්කලම්වල වැදීම නිසා වතුරේ වේගය වැඩිවන බවයි. අන්න ඒ සාස්තරේ කිරියාවට නඟලා යෝධ ඇළ වංගු ගහමින් යන්ට සැලැස්සුවා." පහළ වෙම්බුවේ කරුණාතිලක මාමා යෝධ ඇළේ තාක්ෂණය ගැන තමන්ට හුරු බසින් පැහැදිලි කළේ එලෙසිණි.
දින එකහමාරෙන් ජලය
කෙසේ හෝ පොල්ගොල්ල වේල්ල ඉදිකිරීමෙන් අනතුරුව කලාවැවේ සිට අනුරාධපුරයට ජයගඟ නමින් සෘජු ඇළක් කණින ලදී. රජයේ ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් මඟින් ඉදිකර ඇති මෙම ඇළේ විශේෂත්වය වන්නේ එය යෝධ ඇළ මෙන් තනි වේල්ලක් මත ඉදිවූවක් වෙනුවට, ජලය රැගෙන යන කාණුවක් මෙන් දෙපසම වේලි සහිතව ඉදිවීමය. කෙටි මඟකින් අනුරාධපුරයට යා යුතු නිසා භූ විෂමතා බාධක නොසලකා ගල්කඳු පුපුරවමින්, වැව් සහ විල්ලු වැනි ස්ථානවලදී කොන්ක්‍රීට් ස්ථර මතින් ඉදිවූ මේ ඇළ මඟින් දින එකහමාරක් තුළ කලා වැවේ සිට අනුරාධපුරයට වතුර ලබා දෙන්නට හැකිවිය.
පැරණි යෝධ ඇළ සැතැපුමකට අඟල් හයක බැස්මකින් සැතැපුම් පනස් හතරක් දුර ගෙවා අනුරාධපුරයට යද්දී නව ජයගඟ අනුරාධපුරයට යන්නේ සැතැපුම් තිහක දුරක් ගෙවමිනි. එහි බැස්ම සැතැපුමකට අඟල් පහළොවකි. පැරණි යෝධ ඇළේ පතුලේ පළල අඩි 40ක් වන විට නව ජයගඟේ පතුලේ පළල අඩි 44ක් වේ. ඒ අනුව නව ජයගඟ පළලින් වැඩිය.
මෙම ජයගඟ ඇරඹෙන්නේ කලා වැව බැම්මේ උතුරු කෙළවරිනි. ඒ අසල එක් පසෙකින් ඇත්තේ දහයියාගල කන්දය. අනෙක් පසින් විජිතපුර කන්දේ උතුරු කෙළවරයි. හැත්තෑව දශකයේදී ඉංජිනේරුවන් විසින් ජයගඟ කලාවැවට සම්බන්ධ කරන සොරොව්ව ඉදිකරන්නට පෙර එතැන පෙනෙන්නට තිබුණේ වැව්බැම්ම පමණි. එහෙත් විස්මය දනවන හෙළිදරව්ව සිදුවූයේ එහි කැණීම් සිදුකරද්දීය. එසේ කැණීම් සිදුකරන විට එම ස්ථානයේ තිබි පැරණි සොරොව්වක් මතුවීම එම විස්මය දනවන සිද්ධියයි. එමඟින් පැහැදිලි වන්නේ ධාතුසේන රජු සමයේද වත්මන් ජයගඟ සොරොව්ව අසලින් වාරි ඇළක් ඉදිකර තිබූ බවය. එහෙත් 1872 දී හෝ 1958 ප්‍රතිසංස්කරණවලදී ඒ වාරි ඇළ ගැන කිසිදු හඳුනාගැනීමක් සිදුව නොතිබිණි.
වල් වැදුණු පරණ සොරොව්වක්
“වාරිමාර්ග දෙපාර්තමේන්තුව 1958 ඇඳපු සිතියම්වලවත් අතුරු වැව්බැම්ම, පැරණි ජයගඟ සෙරොව්ව සටහන් වෙන්නේ නෑ. 1970 වෙන කොට අපේ තාත්තලා වැව් බැම්මත් අල්ලගෙන තමයි වගා කරගෙන හිටියේ. ඒ අතරේ තමයි 70 දශකයේ මැද භාගයේදී ජයගඟ සෙරොව්ව හදන කොට පැරණි සොරොව්ව හමු වුණේ. පස්සේ ඒක එතනම ලස්සනට සවිකරලා තිබ්බා. අදටත් ජයගඟ සොරොව්ව ළඟට යන කෙනෙකුට ඒක බලන්න පුළුවන්.”
අපිද ජයගඟ ඇරඹෙන තැන දකින්නට කලාවැව බැම්ම දිගේ ඉදිරියට ගියෙමු. පිවිසුම් දොරටුව වසා ඇතත්, අසලින් වූ අතුරු මාවතක ඉදිරියට ගිය විට ජයගඟ සෙරොව්ව අසලට යන්නට පුළුවන් විය. වගාව සඳහා ජලය නිකුත් කරන දිනයක් වූ බැවින් අප පළමු වර එහි යද්දී ජයගඟේ ජලය යහමින් තිබිණි. එහෙත් පසු දවසක එහි යද්දී ජලය නිකුත් නොකරන දිනයක් වූ බැවින් සොරොව්ව අසලටම බැස සිරි නරඹන්නට හැකියාව අපට ලැබිණි.
“මෙතැනින් හැතැප්ම භාගයක් යද්දි, කලාවැවේ තවත් පරණ සොරොව්වක් බලන්න පුළුවන්. ඒකත් වල් වැදිලා තිබ්බ එකක්. හොයාගත්තේ 1974දි. ඒකෙන් පුලියන්කුලම වැවට වතුර ගෙනියන්න පුළුවන්. ඒත් දැන් ඒ සොරොව්ව ගොඩ වෙලා තියෙන්නේ. වැව හෑරුවනම් එතැනින් එල්ලංගා දිගේ මිහින්තලේට යනකම්ම වතුර ගෙනියන්න පුළුවන්. ගොවි සංවිධාන කොච්චර කිව්වත් මහවැලි නිලධාරීන් ඒ දේවල් කනකට ගන්නේ නෑ. වාරිමාර්ග ඇමැතිකමත් අනුරාධපුරේට තියෙන වෙලාවක මේ දේවල් නොකෙරුණොත් ආයේ කවදාවත් කෙරෙන එකක් නෑ…” කලාවැවදී අපට නවාතැන් සැපයූ ගාමිණි එදිරිසිංහ මහතා ජයගඟේ පැරණි සොරොව්වත්, කලාවැවේ ගොඩ සොරොව්වත් ගැන වගතුග කීවේ එලෙසය.
අපි කලාවැව අතුරු බැම්මක් දිගේ ඉදිරියට ගොස් ගොඩ සොරොව්වද දැක ගත්තෙමු. දැන් ඉන් වතුර ගලායාමක් නැත. ඒ නිසා පුලියන්කුලම වැවට කලාවැවෙන් වතුර ගලායෑම නැවැතී ඇත. ධාතුසේන රජ දවස කලාවැවෙන් අරමුණු කල යම් සේවාවක් වේ නම්, දැන් එය මුළුමුනින්ම ඉටු නොකෙරෙන බවට මේ ගොඩ සොරොව්ව සාක්ෂියකි.
“කලාවැවෙන් තිසාවැවට දියවර ගෙනියන එක රාජකාරියකට එහා ගිය පූජාවක් විදිහට තමයි සිද්ධ වුණේ. නියෝගයක් වුණා නම් ඒක කවදහරි දවසක වෙනස් වෙන්න තිබ්බා. ඒත් පූජාවක් විදිහට කෙරුණු නිසා කවදාවත් වෙනස් වුණේ නෑ…” අමණක්කට්ටුව ගොවි සමිතියේ සභාපති ඇතිපොල මහතා පැවසීය.
“ඒ කොහොමද? “
“කලාවැවෙන් තිසා වැවට ජලය යැව්වේ ජය ශ්‍රී මහා බෝධියට කරපු පූජාවක් විදිහට… ඒ නිසා කලාවැවෙන් හැමදාම අඩි අටක ජල කඳක් තිසා වැවට යවන එක සිද්ධ කලේ පූජාවක් විදිහට හිතලයි. 1979 න් පස්සේ අඩි 8ක් කියන මිනුම වෙනස් වුණත් කලාවැවෙන් තිසා වැවට වතුර යවන එක වෙනස් වුණේ නෑ.”
ජය ශ්‍රී මහා බෝධියට පැන් සැපයීම
පෙර රජ දවස තිසා වැවෙන් ජය ශ්‍රී මහ බෝධියට පොළොව යටින් ජල මාර්ග සකසා තිබී ඇත. ඒ ජය ශ්‍රී මහා බෝධියට පැන් සැපයීමත්, එහි පොළොවේ තෙතමනය රඳා සිටුවීමත් පිණිසය. ධාතුසේන රජ සමයේ මෙම කාර්යය වෙනුවෙන් කලාවැවේ වතුර තිසා වැවට යවන්නට තීරණය කර එය පූජාවක් ලෙස ජන සම්මත කර තිබේ. එනිසා ජයගඟ ඉදිකෙරෙන තුරුම කලාවැවත්, යෝධ ඇළත්, තිසා වැවත් සම්ප්‍රදායක් ලෙස රැකී පැවතිණි.
ආරම්භයේදී තරමක් ඇතින් ගැලූවද, යෝධ ඇළත් ජයගඟත් ගලන්නේ එකිනෙකට ආසන්නයෙනි. සමහර තැනකදි මේ ජල මාර්ග දෙක අතර දුර කිලෝමීටරයක් තරම් වෙද්දී, සමහර තැනෙක මීටර් තුන්සියයක් වත් දුර පරතරය නොපවති. නුවර කලාවියේ මිනිසුන්ගෙන් වඩාත් වාසනාවන්තම පිරිස මේ ජල මාර්ග දෙක අතර ජීවත් වන්නවුන් යැයි පැවැසූවහොත් එය නිවැරදිය. මන්ද තෙත් කලාපයේ තරම් සිසිලසත්, ඕනෑම බෝගයක් වැවිය හැකි මහ පොළොවත්, පොළොව සරු කරගන්නට ඇතිතරම් වතුරත්, දරුණු වන සත්ව පීඩාවන් නොමැති වීමත් යන කරුණු නිසා මේ දෙගම්බඩ තැන්නේ වැසියෝ හරි හරියට වගා කරති.
එහෙත් ඔවුනටද කරන්නට චෝදනා බොහෝය. මේ එවන් චෝදනාවන් කිහිපයක සාරාංශයයි.
“ඇත්තම කිව්වොත් අපි ඉන්නේ යෝධ ඇළට ඉහළින්. ඒ නිසා ඇළේ තෙතමනය අපේ ඉඩම්වලට උරණ එක හැබෑව. ඒත් මහ ජල කඳක් අරගෙන ගලන ජය ගඟෙන් එක අතු ඇළක් වත් අපිට දීලා නෑ. ඒ ඔක්කොම යන්නේ මහඉලුප්පල්ලමෙන් එහාට. ඒ නිසා අප “අහස් දිය ගොවියෝ” හැටියටයි වර්ග කරලා තියෙන්නේ… අපට ලැබෙන පොහොර සහනාධාරය පවා අඩුයි.”
“වතුර ගන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද?”
“නෑ… ඒත් අපි ජයගඟට බට දාලා වතුර ගන්නවා… අරගෙන වගා කරනවා… ඒත් හැමදාම හොරු වගේ වතුර ගන්නවා වෙනුවට, අපිට වතුර දෙන පිළිගත් ක්‍රමයක් අවශ්‍යයි… එහෙම වුණානම් අපි තව තවත් උනන්දුවෙන් වගා කරනවා….”
යෝධ ඇළ දිගේ සංචාරය සේම ජයගඟ වේල්ල දිගේ සංචාරයද එක සේ ප්‍රිය උපදවන ගමනකි. වේල්ලට පහළින් ඇත්තේ කුඹුරු යායකි. නැත්නම් මෑ, බණ්ඩක්කා වැනි වගාවකි. නැතහොත් සරුසාර පොල් වගාවකි. අතරින් පතර වනරොදකි. මේ සියල්ල පසු කරමින් කිලෝමීටර් දෙකක් පමණ දුරට පාපැදිය පැද යන අපේ මඟ හරස් කළේ දුම්රිය හරස් මඟකි.
කඩවර දේවතා අඩවිය පැන පුල්ලෙයාර් මුත්තාගේ අඩවියට
(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)
ඡායාරූප -චතුර හේමාල්