ආර්. පාස්කරලිංගම් යනු මිනිස් මහිමයකි | සිළුමිණ

ආර්. පාස්කරලිංගම් යනු මිනිස් මහිමයකි

ආර්. පාස්කරලිංගම් මේ කාලයේ විවාදිත චරිතයකි. ලබු කබල් යට යමින් කළු ගල් දියෙහි පා වෙන මේ අවදියේ පාස්කරලිංගම් පිළිබඳ පැරැණි මතක කිහිපයක් සිහිපත් කිරීමට අවශ්‍ය වේ. ඊට හේතුව දේශපාලනය ඉස්මුරුත්තා වීමෙන් සිදුවන විපරීතයයි. ලබු කබල් යට යමින් දිය මත කළු ගල් පාවෙනු දැකීම හැමදාම සිදුවේ.

නිදහස් ලංකාවේ රාජ්‍ය සේවයෙහි ස්වර්ණමය යුගය ලංකා සිවිල් සේවයේ විශිෂ්ටයන් විසින් වර්ණවත් කළ බව අද පරපුරේ බොහෝ දෙනා නො දනිති. ආර්. පාස්කරලිංගම් යනු එකී විශිෂ්ට සිවිල් සේවයේ පහන් කණුවකි. ඔහු නිවාස හා ඉදි කිරිම් අමාත්‍යාංශයේ ලේකම්ව සිටි අවදියේ මට ඔහු හමුවීමට හා ඔහු සමඟ වැඩ කිරීමට අවකාශ සැලසිණ. 1975දී නිකුත් වූ ලංකා පරිපාලන සේවා නිලධාරි නාම ලේඛනයේ ආර්. පාස්කරලිංගම් පිළිබඳ සටහන පටන් ගන්නේ මෙසේය.

“පාස්කරලිංගම්, රාමලිංගම් බී.ඒ. ගෞරව (ලංකා) 1959 අප්‍රේල් මස 15 දින ලංකා සිවිල් සේවයේ ආධුනිකයෙකු ලෙස භාණ්ඩාරයට අනුයුක්ත කරන ලදි. 1959 මැයි මස 25 දින කුරුණෑගල කච්චේරියට අනුයුක්ත කරන ලදි.” මේ ආදි ලෙස කෙරෙන පෙළ ගැස්ම 1975 සැප්තැම්බර් මස 01 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යනුවෙන් අවසන් වේ. පාස්කරලිංගම් රාජ්‍ය සේවයෙහි විශිෂ්ට සේවා වාර්තාවක් තැබූ විශිෂ්ටයෙකි. මානව දයාවෙන් පිරුණු මහත්මයෙකි. 1965-70 කාලයේ අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්තව සේවය කළ ඔහු බෙහෙවින් විවාදාත්මක භූමිකාවකි. එකල අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල අධ්‍යාපන අමාත්‍යවරයා විය. ඒ යුගයේ අධ්‍යාපන අමාත්‍යාංශය ගැන පාර්ලිමේන්තුවේ පවා නිතර ප්‍රශ්න කෙරිණ.

අගමැති ආර්. ප්‍රේමදාස යුගයේ නිවාස හා ඉදි කිරිම් අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස පත්වුණේ ආර්. පාස්කරලිංගම් ය. සත්‍ය ලෙසම පාස්කරලිංගම් ගැන රට කතා කළේ එතැන් පටන්ය. ඔහුගේ කඩවසම් පෙනුමට පැවති එකම බාධාව හිසෙහි කෙස් අඩුකමය. ආර්. පාස්කරලිංගම් පෙනුමෙන් මෙන්ම ඉංග්‍රිසි හැසිරවීමෙන්ද සුද්දෙකු වැනිය. ඔහුගේ ඉංග්‍රිසි කතාව ඇසීමට තරුණ අප තුළ පැවතියේ මහත් ආසාවෙකි. එහෙත් කිසි විටෙක ඔහුට මුහුණ දීමට අපට අවශ්‍ය නොවිය. හේතුව ඔහුගේ ඉංග්‍රිසියෙන් අප කැපෙතැයි පැවති බිය නිසාය. යාපනේ ඉපිද එහිම පාසල් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවයට එක්වූ බොහෝ ද්‍රවිඩ නිලධාරින් ඉතා චතුර ලෙස ඉංග්‍රිසිය හැසිරවීම විස්මයක් නොවීය. ඒ පරම්පරාවේ දකුණේ අපි අපේ මව් බසවත් හරියට ලියා ගත නොහැකිව සිටියෙමු.

එක් දවසක මාසික සමාලෝචන රැස්විම අතර, ලැබෙන මහජන පෙත්සම්වලට උත්තර නො යැවීම ගැන කරුණු සාකච්ඡා විය. එහිදි අමාත්‍යාංශ ලේකම්වරයා වෙතින් බොහෝ උපදෙස් ලැබිණ. ඔහු යම් අවස්ථාවක උදාහරණයක් දැක්වීමට අමාත්‍යාංශයට ලැබුණු පෙත්සමක් සිය ලිපි ගොනුවකින් අතට ගත්තේය. ඉහතින් විස්තර කළ ආකාරයට කතා කළේම ඉංග්‍රිසියෙනි. අර පෙත්සම අතට ගත් පාස්කි (කේ. එච්. ජේ. විජේදාස හා ඩන්ස්ටන් ජයවර්ධන ආදි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ලේකම්වරයා හඳුන්වනු ලැබුවේ එසේය.) සිංහලෙන් ලියා තිබූ ඉහත කී පෙත්සම වේගයෙන් කියවාගෙන ගියේය. එහි සමහර ඡේද නැවත කියවමින් යම් යම් කරුණු විස්තර කළේ අප විස්මයට පත් කරවමිනි. ඔහුගේ සිංහල දැනුම අප දැන ගත්තේ එදාය. ආර්. පාස්කරලිංගම් එහෙමය.

මගේ සේවා කාලය තුළ දඹුලුගම සහ පණ්ඩුලගම ගම්උදා සංවත්සර භාරව ක්‍රියා කිරිමට සිදු විය. ඒ නිසා බොහෝ අවස්ථාවල පාස්කරලිංගම් හමුවිමට ඉඩකඩ ලැබිණ. දඹුල්ල ගම් උදා වැඩ බිම පරීක්‍ෂාවට අගමැති ප්‍රේමදාස ඇතුළු ඉහළ නිලධාරිහු පැමිණීයහ. පැය දෙකකට සීමාවූ වැඩ බිම් නිරික්‍ෂණය සහ සාකච්ඡාව අවසන් වූ වහාම බොහෝ නිලධාරිවහු ආපසු කොළඹ යාමට නියමිතව සිටියහ. නිරීක්‍ෂණය සඳහා පැමිණෙන පිරිසට යම් සංග්‍රහයක් කළ යුතු විය. වෙනත් තැනකට මේ පිරිස කැඳවාගෙන යෑමට ඉඩකඩ නො ලැබෙන හෙයින් වැඩ බිමේදීම සියලු දෙනාට තැඹීලි ගෙඩියකින් සංග්‍රහ කිරිමට අවශ්‍ය කටයුතු කළෙමි.

සාකච්ඡාව ආරම්භ විය. තෝරාගත් වට්ටක්කා යාය ඉඩම මිරිස්ගෝනියා ඔයේ වම් ඉවුරේ පිහිටා තිබිණ. එකී ස්ථානය වසර කිහිපයකට වරක් ගංවතුරට යටවන බව කී මම එකී ස්ථානය තෝරා ගැනීම අයහපත් බවට කරුණු දක්වා සිටියෙමි. කිසිවෙකු ඊට කන් දුන්නේ නැත. හේතුව ඒ 9 පාරෙ අයිනේ පිහිටි භූමිය ප්‍රදර්ශනයක් සඳහා උචිත වීමය. එකී මතයෙහි වඩාත් දැඩිව සිටියේ අගමැතිවරයා ය. එහෙත් ගම්උදා ප්‍රදර්ශන භූමියක ඉදි කෙරෙන පළමුවෙනි ස්ථීර ගම්මානය දඹුල්ලේ ඉදි කිරීමට නියමිතව තිබිණ. නැවත මම වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ගංවතුර වාර්තා අනුව 1949 වසරේ සිට මේ ස්ථානයට ගංවතුර බලපෑ හැටි තහවුරු කළෙමි. මා අසල සිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩන්ස්ටන් ජයවර්ධන මහතා “අකුළා ගන්නවා ඔය කෙහෙල්මල ලොක්කාට තද වෙලා” යැයි මගේ කනට කර කීය. සාකච්ජාව අවසන් විය. අගමැති ප්‍රේමදාස හැර අන් සියලු දෙනාම මගේ තැඹිලි සංග්‍රහය වින්දාහ.

“ලබන මාසෙත් අපි තැඹිලි බොන්න දඹුල්ලට එනවා.” සාකච්ඡාව අවසානයේ අමාත්‍යාංශ ලේකම් ආර්. පාස්කරලිංගම් එසේ කියා මට ස්තුති කළේය. ඔහු එහෙමය. නිවාස දස ලක්‍ෂය ආරම්භ කළ 84 ගම් උදා සංවත්සරය අනුරාධපුරේ පැවැත්විණ. පණ්ඩුලගම නව ගම්මානය ඇතුළු නිවාස 4000ක් ඉදි කිරීමේ දිස්ත්‍රික් වැඩ සටහන මා භාරයේ පැවතිණ. ව්‍යාපෘති සැලැස්ම අනුව සියල්ල මාස 7කින් අවසන් කළ යුතු විය. නිවාස ණය හාර දහසක් දී නිවාස නිම කිරිම බෙහෙවින් අසීරු කරුණක් විය. එහෙත් ප්‍රේමදාස ක්‍රමය අනුව, දුෂ්කරතා නො සැලකේ. නෑ බෑ බැරිය. වැඩ නොකළොත් වගකිව යුත්තා ගෙදරය. පදවිය කැබිතිගොල්ලෑව ආදී ඈත නිවාස තනන්නන්ට නිකුත් කළ චෙක්පතක් මුදල් වී ප්‍රතිලාභියා අතට යෑමට මාස එක හමාරක් ගතවිය. චෙක්පත් අනුරාධපුර බැංකු ශාඛාවට එන්නේ තැපෑලෙනි. ඒවා සහතික කළ නිලධාරින්ගේ අත්සන් සාම්පල තිබුණේ අනුරාධපුරේ පමණකි. අද මෙන් පරිගණක සහ අන්තර් ජාල පහසුකම් නො වීය. මෙසේ කාලය ගෙවුණා මිස අපේක්‍ෂිත ඉලක්ක වෙත ළඟා වීම අසීරු විය. බැරිම තැන රුපියල් දස ලක්‍ෂයක් මුදල් ගෙනැවිත් නිවාස ලාභීන්ට මුදලින් නිවාස ණය නිකුත් කළෙමි. පරමාර්ථය හොඳ වුණාට මගේ තනතුරට එවැනි මුදල් ප්‍රමාණයක් ඍජුව හැසිරවීමේ බලය නොතිබිණ. මේ කාලයේ දිස්ත්‍රික් ගණකාධිකාරිවරිය පසුව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියක ලෙස සේවය කළ එම්. නන්දනි ශ්‍රීයාලතාය. මේ සිද්ධිය මට එරෙහි මූල්‍ය විෂමාචාරයක් වීමට ඉඩ තිබිණ. එහෙත් මා බේරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඩන්ස්ටන් ජයවර්ධන සහ අමාත්‍යාංශ ලේකම් ආර්. පාස්කරලිංගම් නිසාය.

ආර්. පාස්කරලිංගම් තමන් යටතේ සේවය කළ නිලධාරීන්ට සැලකුවේ මහත් ළෙන්ගතුකමකිනි. වරක් ඉහළ කළමනාකාරිත්වය එක්තරා නිලධාරියකුට නිවෙසක් තනා ගැනීමට නිවාස දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කට්ටියක් වෙන් කිරීමට තීරණය කළේය. එකී ඉඩම් කට්ටිය තක්සේරු කිරීමට තක්සේරු ගාස්තු ගෙවන ලෙස එම නිලධාරියාට දන්වා තිබිණි.

ඊට ආසන්න දවසක අමාත්‍යාංශ ලේකම් හමුවන ලෙස එම නිලධාරියාට පණිවිඩයක් ලැබිණ. නිලධාරියා වහාම ලේකම් ආර්. පාස්කරලිංගම් මුණ ගැසුණේය.

“ඉඩමට ලැබෙන තක්සේරුව ගෙවන්න එපා. අපි දුප්පත් රජයේ සේවකයන්. තක්සේරු මුදල අඩු කරන්න කියලා අභියාචනයක් එවන්න.” පළමු තක්සේරුව අනුව එම නිලධාරියා එක් පර්චසයක් සඳහා රුපියල් 1807. 23ක් ගෙවිය යුතු විය. ඉඩමේ පිහිටීම අනුව ඉදි කිරීමට ආරක්‍ෂිත වැටි ඉදි කිරීම ආදි ගැටලු දක්වා තක්සේරු මුදල සංශෝධනය කරන ලෙස ඉල්ලා නිලධාරියා අභියාචනා ලිපියක් ඉදිරිපත් කළේය. අභියාචනයෙන් පසුව, එක් පර්චසයක වටිනාකම රු 997. 99ක් ලෙස සංශෝධනය විය. ආර්. පාස්කරලිංගම් ගැන මෙවැනි කතා බොහෝය. ආර්. පාස්කරලිංගම් යනු සත්තකින්ම මිනිස් මහිමයකි. ඔහු ලංකාවේ උතුර දකුණ යා කළ මිනිස් පුතෙකි.

Comments