පොලිස්පතිකම හරියට රිලේ තරගයක් වගේ | සිළුමිණ

පොලිස්පතිකම හරියට රිලේ තරගයක් වගේ

  • වැරැද්ද බඳවා ගැනීමේ
  • කුඩු නායකයන් ඉන්දියාවට පලා ගියා
  • අපරාධ අඩු නැහැ

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වන්නේ පොලිස්පතිවරයා හා පොලිසිය හා බැඳුණු සිදුවීම්ය. පොලිසිය සම්බන්ධව වැඩියෙන්ම කතාබහට ලක් වන මේ සිදුවීම් මෙන්ම පොලිසියේ ගමන කොයිබටද යන්න ගැන සිළුමිණ සමඟ කතාබහට එක් කර ගත්තේ හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතායි.

ඔබ පොලිස් සේවාවට එක් වූ අතීතයෙන්ම මේ කතාබහ ආරම්භ කළොත්....

මම පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ 1971 අවුරුද්දේ. ඒ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසින්. නියෝජ්‍ය පොලිස්පති ධුරයට මා පත් වන විට පොලිස්පති ධුරය දක්වා යෑමට මට හැකියාව තිබෙන බව පෙනුණා. ඒ අවස්ථාවේදී මම හැකි උපරිම අයුරින් පොත පත පරිශීලනය කරා. මේ රටේ විතරක් නෙමෙයි විදේශ රටවල පොලිස් ස්ථානවල පොලිසියේ ක්‍රියාකාරීත්වය අපි ගමන් කළ යුතු මාර්ගය, මේ සියලුම දේ සම්බන්ධව මම දැඩි ලෙසින් විමර්ශනය කළා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය ලැබුණු විගස මට කැපිල්ලක් ආවා. මට ප්‍රධාන කාර්යාලයෙන් එළියට යන්න බැරි වෙන විදිහට හිර කළා. මාව විමර්ශන ඒකකයට යොමු කර තිබුණා. මම විමර්ශන ඒකකයේ සිට මෙරට සියලුම පොලිස් ස්ථානවල කාර්ය සාධනය ඇතුළු සියලුම තොරතුරු විමර්ශනාත්මකව ලබා ගත්තා. පොලිස්පතිවරයා වන විට මට හැකියාව ලැබුණා මෙරට සියලුම පොලිස් ස්ථාන සම්බන්ධව දැනුවත්ව සිටින්නට.

ඔබට කැපිල්ල දාපු අය පොලිස්පති වුණාට පස්සෙ ඔබ පස්සෙන් ආවද?

මම දන්නෙ නැහැ. මට අවශ්‍ය වුණේ පොලිසියේ කාර්ය සම්බන්ධව කටයුතු කරන්න මිසක් පුද්ගල චරිත ගැන සොයන්න නෙමෙයි.

පොලිසිය කියන්නෙ නීතිය හා සාමය එක්ක තියෙන ආයතනයක් එම නිසා නීතිය ගැනත් මනා අවබෝධයක් තිබිය යුතුයි. ඔබ ඒ සම්බන්ධවත් අවධානය යොමු කළාද?

පොලිසියට බැඳුණායින් පසුව මම නීතිය පිළිබඳ උපාධිය හැදෑරුවා. අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් තිබෙන පොත පත දහස් ගණනක් පරිශීලනය කළා. එම නිසා මට පොලිස්පති ධුරයේ පමණක් නෙමෙයි පොලිසියේ සිටි කාලයම ගැටලුවකින් තොරව රාජකාරි කරන්නට හැකියාව ලැබුණා.

වර්තමානයේ පොලිසියේ කාර්යයන් දෙස බැලූ විට ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

බැහැ. අද පොලිසිය යන්නේ නිසි ගමන් මාර්ගයක නෙමෙයි. ඒත් ඒකෙ වැරැද්ද පොලිස්පතිවරයාගේවත් පොලිසියේවත් නෙමෙයි.

එහෙනම් කාගෙද වගකීම?

පොලිසියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේයි මේ වැරැද්ද තියෙන්නේ. පොලිසියට බඳවා ගන්නේ වයස අවුරුදු 21ක් 22 ක්වන තරුණ තරුණියන්. ඔවුන් බොහෝ පිරිසක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අය. ඒ අය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ වයස අවුරුදු 16දී 17දී පමණ. එතැන් සිට අවුරුදු 4ක් 5ක් පමණ ඔවුන් ගත කරන්නේ විවිධාකාර සංස්කෘතීන් යටතේ. සමහර අය ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැළී සිට එන්නේ. තවත් සමහර අය බස් රථ සේවකයින් ලෙසින් සේවය කර පසුව පැමිණෙන්නේ. මේ ලෙසින් විවිධාකාර උප සංස්කෘති රැසක සිටයි ඔවුන් මේ රාජකාරියට බැඳෙන්නේ. එසේ විවිධාකාර ආකල්ප වල සිට මේ රාජකාරියට සම්බන්ධ වී සේවය කරන්න බැහැ. ඉවසීම මනාව ප්‍රගුණ කළ අය පමණක් මේ සේවාවට බඳවා ගත යුතු වනවා. එම නිසා සතියක් දෙකක් පමණ ඒ අය පිළිබඳව අවබෝධයකින් සිදු කරනු ලබන නිසි පරීක්ෂණයයකින් පසුවයි ඔවුන් පොලිස් සේවයට බඳවා ගත යුත්තේ. විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව මේ අය බඳවා ගත යුතුයි.

හොඳින් මතක තබා ගත යුතුයි නිල ඇඳුමක් මෙන්ම ඔවුන් අවි අත දරන්නන්. ඒ අය අවිය අතට අරගෙන සිදු කරනු ලබන දේ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි.

ඔබ කියනා ලෙසින් පරීක්ෂණ සිදු කර බඳවා ගැනීම් සිදු කළහොත් පොලිසියට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවෙන් අඩක්වත් බඳවා ගන්නට බැරි වෙයි.

පොලිසියට සුදුසු නිලධාරීන් 25ක් හිටියොත් එය වඩාත් වටිනවා නුසුදුසු නිලධාරීන් 100ක් ඉන්නවාට වඩා. ඒ වගේම පුහුණුවත් ඉතාම වැදගත් වෙනවා. අපේ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලැබෙනවා කියලත් හිතන්න අමාරුයි.

ඔබ හිටපු පොලිස්පතිවරයෙක් ඇයි ඔබගේ කාලයේදී ඔය ක්‍රමවේදය ක්‍රියාත්මක නොකළේ.

මම විශාල උත්සාහයක් ගත්තා. නමුත් ඒ කාලයෙ මනෝ වෛද්‍යවරුන් එතරම් සංඛ්‍යාවක් සිටියේ නැහැ. මම ඒ සඳහා අවශය ක්‍රමවේද පවා සකස් කළා. ඒ වගේම ලෝකයේ එවන් බදවා ගැනීම් කරනු ලබන රටවලට අපේ කණ්ඩායමක් යවන්නත් මම කටයුතු කළා.

පොලිසියට බැදෙන තරුණයින් නිසි ඉවසීමක් තිබිය යුතු අය මෙන්ම ජනතා හිතවාදී අය ලෙසින් සකස් කර ගැනීම අපහසු බව ඔබ පැවසුවත් යුද හමුදාවට බඳවා ගන්නා තරුණයින් පුහුණුවෙන් පසු එළියට එන්නේ විනය ගරුක හමුදා භටයින් ලෙසයි. ඇයි ඒ ලෙසින් පොලිසිය සකස් කර ගන්න බැරි. පරිපාලනයේ අදක්ෂතාවය නේද?

පටවලා ගන්න එපා. පොලිසිය එකක්. හමුදාව තව එකක්. හමුදා භටයා හැම විටම පෙනී සිටින්නේ සතුරාට එරෙහිවයි. සතුරා මර්දනයටයි අවිය අත ගෙන සිටින්නේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජවයයි. එම නිසයි. අවුරුදු 15ක් 20ක් ගිය විට ජවය අඩුවන විට ඔහුට විශ්‍රාම යාමට හැකියාව ලැබෙන්නේ.

නමුත් පොලිස් නිලධාරියා සැම විටම පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් සාමය ආරක්ෂා කිරීමටයි. ඔහු සැම විටම පරිණත විය යුතුයි අත්දැකීම් ඇසුරෙන් සිදු වන පරිණතභාවය මතයි ඔහුගෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ඇති වන්නේ. පරිණතභාවයෙන් ජනතාව ළංකර ගැනීමටයි ඔහු සමත් විය යුතු වන්නේ. අද නොවන්නේත් එයයි.

එමෙන්ම අප තවත් වැදගත් න්‍යායක් ගැන අවබෝධයක් සිදු කර ගත යුතුයි. ප්‍රාදේශීය මට්ටමින් ඉහළින්ම ඉන්න නිලධාරියා තමයි ප්‍රාදේශීය ලේකම්වරයා. එහි පහළම නිලධාරියා වන්නේ ග්‍රාම සේවකවරයායි. එහිදී මහජන කටයුතු උදෙසා තීන්දු තීරණ සියල්ල ගන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්. ඒ අනුවයි ග්‍රාම නිලධාරීන් කටයුතු කරන්නේ. පොලිසියේ ඒ ප්‍රදේශයේ සිටිනා ඉහළම නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයායි . පහළින්ම සිටින්නේ කොස්තාපල්වරයා හෙවත් පොලිස් රාලහාමියි. මෙහිදී ජනතාව සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද? සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තීන්දු කරන්නේ අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නේ සුනඛයින් රැගෙන යන්නේ පහළම නිලධාරියා විසින්. විමර්ශන කටයුතු සියල්ල කරන්නේ ඔහුයි. මේ නිසා පොලිසිය වැඩි අවදානයක් යොමු කළ යුත්තේ පහළම නිලධාරීන් කෙරෙහියි. අද එවැන්නක් සිදු වෙනවාද?

පොලිස්පතිවරයා විසින් ලංකාවේ අපරාධ අඩු වූ බවට වාර්තා සංඛ්‍යා ලේඛන පෙන්වනවා මේ අපරාධ අඩුවීමේ කතාව ඔබ පිළි ගන්නවාද?

නැහැ ලංකාවේ අපරාධ අඩුවීමක් නැහැ. සංඛ්‍යාත්මකව ඕනෑම කෙනෙකුට අපරාධ අඩු වූ බව පෙන්වන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ලෝකයේ වැඩිවන ජනගහනයත් එක්ක අපරාධ වැඩිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක වගේම මානසික අර්බුදත් එක්ක අපරාධ වැඩිවෙනවා. නමුත් අපරාධ වාර්කා වන ප්‍රමාණය අඩුවීමක් පෙන්වන්න පුළුවන්.

අපරාධ වාර්තා නොකිරීම විශාල ගැටලුවක්. මොකක්ද මේකට හේතුව?

අපරාධ වාර්තා නොවන හේතු 15ක් 16ක් විතර තිබෙනවා. විශේෂයෙන්ම පොලිසියෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට ජනතාව කල්පනා කළොත් අපරාධ වාර්තා නොකර ඉන්න පුළුවන්. අධිකරණයේ අවුරුදු ගණනාවක් නඩු ඇදෙන නිසා ජනතාව ඒ ඔස්සේ සාධාරණය බලාපොරොත්තු නොවන්න පුළුවන්. එසේම අධිකරණයට ගියත් සාධාරණ සැකයෙන් තොරව එය ඔප්පු කළ යුතුයි. මෙවන් තත්ත­්වයක් තුළ මහජන ආකල්ප වෙනස් කිරීමේ ක්‍රමවේදයක් කරා පොලිසිය යා යුතුයි. පොලිසිය පක්ෂග්‍රාහී බවක් පෙන්වන බව ජනතාව කල්පනා කළහොත් පොලිසියේ පිහිට පතන්නේ නැහැ. එවිට වාර්තා කළම යුතු අපරාධ හැර අනෙක් අපරාධ වාර්තා වන්නේ නැහැ.

මේ තත්ත්වයට විසඳුමක් නැත්ද?

පොලිසියේ මූල ධර්ම මොනවාද කියලවත් අද බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පවා දන්නේ නැහැ. ප්‍රධාන මූල ධර්ම තුනවත් දන්න නිලධාරීන් ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්

පළමුවෙන්ම මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ එකඟත්වය අනුව සමබරව රාජකාරි කළ යුතු වෙනවා. දෙවනුව සංවේදී විය යුතුයි. විශේෂයෙන්ම බහුජන සමාජයක, බහු ආගමික. අපක්ෂපාතීව කටයුතු කළ යුතු වෙනවා. තුන්වෙනුව ස්වාධීනත්වය හරහා වග වීම සිදු කළ යුතුයි.

ස්වාධීනත්ව ගැන කතා කරනකොට පොලිස් කොමිසම බිහි කිරිම ගැන කතා කළ යුතුයි. ඔබ පොලිස් කොමිසමේ කාර්යයන් විවේචනය කර තිබුණා.

1999 වසරේ පොලිස් කොමිසමක් ඇතිකළ යුතුයි කියලා පාර්ලිමේන්තුවේ විවාදයක් ඇති වුණා. ඒ අනුව බිහි වූ කොමිසමේ ප්‍රධාන කාර්යය වුණේ පොලිසිය දේශපාලනයෙන් ඉවත් කර ගැනීමයි. නමුත් අද පොලිස් කොමිසම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. කොමිසම පොලිස්පතිතුමා එක්ක හැප්පෙනවා. කොමිසම කළ යුත්තේ කොමිසමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. පොලිස්පතිතුමාට ඔහුගේ කාර්ය කරන්න ඉඩ දිය යුතුයි.

ඔබ කියන්නේ කොමිසම වැඩක් නැහැ කියලද?

මේ යන විදිහට නම් වැඩක් නැහැ තමයි. කොමිසමේ සභාපතිවරයා ලෙස ඉන්නේ හොඳ රාජ්‍ය සේවකයෙක් එතුමා රාජ්‍ය සේවාවට හොඳ වුණාට විශ්‍රාම ගත් ඔහු, පොලිසියේ අවුරුදු 30ක් ඉදලත් නිලධාරීන්ට පවා වටහා ගන්න බැරි කරුණු ගැන තීන්දු තීරණ ගන්නේ කොහොමද?

කොහොම වුණත් පොලිස්පතිවරයා ගැන චෝදනා තියෙනවා. පොලිසියේ ඉදිරිය කොයි වගේ වෙයි කියලද හිතන්නේ.

පොලිස්පතිවරයා ගැන යම් හෝ පැමිණිලි තිබේනම් ඒ ගැන විමර්ශනය කළ යුතුයි. පොලිසියේ අද තියෙන තත්ත්වය ගැන ඇත්තෙන්ම කනගාටුයි. පොලිස්පති තනතුර හරියට කඩින් කඩ දිවීමක් නැත්නම් රිලේ තරගයක් වගෙයි. රිලේ එක ගෙනැත් දෙනකොට ඒක අරගෙන දුවන්න බලාගෙන ඉන්න ඕන. අද වෙලා තියෙන්නෙ රිලේ එක දෙනකොට ගන්න කෙනෙක් නැහැ. පුළුවන්නම් ඒක පොළොවෙ ගහන අයයි ඉන්නේ. වත්මන් පොලිස්පතිවරයා කරනු ලබන දේ ඉදිරියට ගෙන යන්න ඊළග පොලිස්පතිවරයා කටයුතු කරයිද කියන විශ්වාසයක් නැහැ. රිලේ එක ගෙනියනවා නෙමෙයි රිලේ එක විසි කරන තත්ත්වයක් තියෙන්නේ.

ඔබ 2004 වසරේ සිට 2006 අවසානය දක්වා පොලිස්පතිධුරයේ කටයුතු කළා. ඔබ මෙවන් කාර්යයන් වළක්වා ගන්න එහෙමත් නැත්නම් පොලිසියේ වර්ධනය කරන්න සිදු කළ කාර්යයන් තියෙනවාද?

අදත් අපරාධ ස්ථාන විමර්ශනය කරන්න යොදවන අපරාධ ස්ථාන විමර්ශනය කිරීමේ ඒකකය (සොකෝ) මම ඇති කළා. ඒ වගේම 119 සේවාව, වගේම පාතාලය සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීම මත් කුඩුවලට එරෙහිව විමර්ශනාත්මකව කටයුතු සිදු කිරීම මම ආරම්භ කළා. මෙහේ හිටපු කුඩු නායකයන් ඉන්දියාවට පලා ගියා.

මාර්ග සංඥා සම්බන්ධව මම දැවැන්ත සැලසුමක් ඇති කළා.

මගේ කාලයේදී කරන්න බැරිවුණත් මම සකස් කරපු සී සී ටී වී කැමරා පද්ධතිය අද ක්‍රියාත්මකයි. ඒ වගේම අපරාධකරුවන්ගේ ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමය මෙන්ම තනි අතට දිවෙන ගමන් මාර්ගත් මගේ සැලසුම්. මම ඇති කරේ කාටවත් නවත්වන්න බැරි සැලසුම්. පොලිස්පතිවරයා කළ යුත්තේ ඒ වගේ කාටවත් නවත්වන්න බැරි ක්‍රියාමාර්ග අර ගැනීමයි.

පොලිස්පතිවරයා ගැන මේ වන විට පැමිණිලි රැසක් පැමිණ තිබෙනවා. ඔහුගේ හැසිරීම ගැනත් දැඩි දෝෂාරෝපණ එල්ල වනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මම හිටපු පොලිස්පතිවරයෙක්. එහෙම වුණත් සමාජය තවමත් මා මනින මිනුම් දණ්ඩක් තියෙනවා. මම හන්දියේ ඉන්න ත්‍රිරෝද රථ රියැදුරන් එහෙමත් නැත්නම් තැන් තැන්වල රස්තියාදු ගහන පිරිස් සමඟ එක්ව කඩයකට ගොස් තේ බොන තත්ත්වයක සිටිය යුත්තෙක් නෙමෙයි යන පිළිගැනීමක් සමාජය තුළ තිබෙනවා. ඒ වෘත්තීය ගෞරවය රැක ගැන්මට කටයුතු කළ යුතු වෙනවා. පොලිස්පතිවරයාත් ඒ අනුව ක්‍රියා කළ යුතුයි. ඔහුගේ වෘත්තියට අදාළ ලෙසින් කටයුතු කළ යුතු වනවා.

ඔහුට චෝදනා රැසක් තිබෙනවා. රටේ සාමය ආරක්ෂා කරන්න බැදී සිටින පුද්ගලයකුට එවැනි චෝදනා එල්ල වූ අවස්ථාවලදී ඔහු ඉල්ලා අස්වී හෝ අඩුම වශයෙන් තාවකාලිකව හෝ ඉවත්ව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි නේද?

චෝදනා ගැන නම් මම දන්නෙ නැහැ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ යන කට කතානම් මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. අපේ සමාජ මාධ්‍යවලට ‘බ්රේක්‘ නැහැ. ඕනෑම දෙයක් සමාජයට මුදා හරිනවා. එය හරිද වැරැදිදි යන්න හෝ එයින් සමාජයට වන අවැඩ ගැන සමාජ මාධ්‍ය ජාලා හසුරුවන්නන්ට වැඩක් නැහැ. කොහොම වුණත් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ඇත්නම් ඒ ගැන විමර්ශනය කිරීම වැදගත් වනවා. එමෙන්ම අවශ්‍ය නම් ඒ සම්බන්ධව කටයුතු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී අයි ඩී) බාර දෙන්න පුළුවන්.

එය හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නේද?

අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම අපක්ෂපාතී දෙපාර්තමේන්තුවක්. එහි කටයුතු විධිමත්ව නිසි පරිදි සිදු කෙරෙනවා. එය ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේම තිබෙන ඉතාම කාර්යශුර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවක් බව මම පවසනවා. එහි කටයුතු අපක්ෂපාතී නොවේ නම් කොහොමද අද වාස් ගුණවර්ධන ඇතුළෙ ඉන්නේ. ඒ වගේ පොලිසියේ ඉහළ නිලධාරීන් කී දෙනෙක් දඬුවම් වින්දද? මහාධිකරණ විනිසුරු අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් නවුෆර් අත් අඩංගුවට ගන්න මට එදා උදවු වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ වගේම ලංකාවේම ප්‍රසිද්ධ වුණු හාරලක්ෂයේ මංකොල්ලය, රීටා ජෝන් ඝාතනය, සෝමාරාම බුද්ධරක්ඛිත හිමිවරුන් අත් අඩංගුවට ගැනීම, ඇල්ෆ්‍රඩ් සොයිසා අත් අඩංගුවට ගැනීම මේ වගේ දේවල් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වුණා. දේශපාලන බලය මිල මුදල් කොයිතරම් තිබුණු අයද ඇල්ෆ්‍රඩ් සොයියා වගේ අය. නමුත් කියන්න සතුටුයි අපේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අනෙක් රටවලට ආදර්ශ ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. පොලිස්පතිවරු කෙළින් සිටිය නිසා එදා ඒ අපරාධ සියල්ල නීතියේ රැහැනට හසු වුණා. දැන් වුණත් එහෙමයි පොලිස්පතිද එහෙම නැත්නම් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කියා වෙනසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැහැ.

ඕනෑම සැඟවුණු අපරාධයක සුලමුල සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඔවුන් එය කරාවි. ඊට අමතරව තවත් විශේෂ ඒකක තියෙනවා. පොලිසිය ශක්තිමත්.

අපේ පොලිසිය දුර්වලයි කියල චෝදනා තියෙනවානෙ.

මම ඒක පිළි ගන්නෙ නැහැ. අපේ පොලිසිය ඉතාම දක්ෂ පොලිසියක්. නමුත් ඒ දක්ෂතාව නිසි අයුරින් එළියට ගන්න නිසි වැඩපිළිවෙළක් පොලිසිය තුළ නැහැ.

පොලිසිය ජනතා හිතවාදී තත්ත්වයට පත් කරන්න ගත යුත්තේ කුමනාකාරයේ පියවරක්ද?

අනිවාර්යෙන්ම තීන්දු තීරණ ගැනීමේදී පොලිසිය ගැන දැනුවත්කමක් තියෙන කොමිසමක් අවශ්‍යයි. ඒ වගේම පොලිසිය ගැන හොඳින් දන්නා ඇමැතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් අවශ්‍ය වනවා. එහෙම නැත්නම් එතැන සිදුවන්නේ මී හරකයි එළ හරකයි කුඹුරට ගෙනිච්ච වගේ වැඩක්.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

Comments