බරින් බර සම කරමින් ගැබිනි මාතාවන්ට දුන් තුලාභාර දානය | සිළුමිණ

බරින් බර සම කරමින් ගැබිනි මාතාවන්ට දුන් තුලාභාර දානය

බියගම, මාකොළ ප්‍රදේශයේ තැනෙක ඉකුත් දිනෙක බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණේ 'තුලාභාර දානය' ආලෝක සුබසාධක සමිතිය යනුවෙන් සටහන් කරමිනි. ඒ ගැන බොහෝ දෙනෙකුට ඇතිවූයේ කුහුලකි. මන්ද තුලාභාර දානය දානය යනු කුමක්ද යන්නයි.

පසුව නැවතත් දින කීපයකට පසුව තවත් බැනරයක් ප්‍රදර්ශනය කෙරුණේ තුලාභාර දානය දානය ගැබිනි මාතාවන්ට යනුවෙන් සඳහන් කරමිනි. එම බැනරයේම දුරකථන අංකයක්ද සඳහන් විණි.

ඒ ගැන විපරම් කිරීමට අපද එම දුරකථන අංකය ඇමැතු කල ඊට ප්‍රතිචාර දැක්වූයේ ආලෝක සුබසාධක සමිතියේ අනුශාසක පතිරණ මහතායි. ආලෝක සුබසාධක සමිතියේ සාමාජික සංඛ්‍යාව සියයකට ආසන්නය.

“අපේ සුබසාධක සමිතිය ආරම්භ කර දැන් අවුරුදු හයක් පමණ වෙනවා. ඒ කාල පරාසය තුළ සෑම මාස තුනකට වරක්ම කුමක් හෝ සමාජ සත්කාරයක් අසරණ ජනතාව වෙනුවෙන් සිදුකළා. මේ වර්ෂයේ වෙනස්ම ආරේ සමාජ මෙහෙවරක් කළ යුතුය යන අදහස ඇතිව අපි ඒ කුමන විදිහේ දෙයක් විය යුතුද යනුවෙන් විපරම් කිරීමක් කළා. අප කළයුතු සමාජ මෙහෙවර පිළිබඳ විවිධ යෝජනා ආවා.

ඒවගේම කළයුතු සමාජ සත්කාරයන් ගැන අපි හැමෝම සොයා බැලුවා. දිනක් මට අන්තර්ජාලය පිරික්සමින් සිටියදී ලිපියක් කියවන්න ලැබුණා. ඉන් කියැවුණේ පොලොන්නරුව යුගයේ සිටි රට එක්සේසත් කළ කීර්තිමත් රජ කෙනෙකු වූ පළමුවැනි විජයබාහු රජතුමා ගැන. රජ්ජුරුවන් ඒ සමයේ කළ දානමය පින්කමක් ගැන එහි සඳහන් වුණා. ඒ ගැබිනි මාතාවන්ට කළ දානමය පූණ්‍යකර්මයක්. ඒ තමයි මේ තුලාභාර දානය. මේ තුලාභාර දානය දානමය පුණ්‍යකර්මයේ ආරම්භය එවැනි අතීතයකට දිව යනවා.

එදා රජු විසින් රජතුමාගේ බරට සරිලන බරින් යුත් පෝෂණ මල්ලක් ගැබිනි මාතාවන්ට පිරිනැමු බවක් එහි සඳහන් වෙනවා. පසු කාලයේදී එම දානමය පින්කම අදාළ ගැබිනි මාතාවගේ බරට සමාන ලෙස වෙනස්වී රජවරුන් විසින් දීර්ඝ කාලයක් කරගෙන ගොස් තිබූ බවටත් වාර්තා වෙනවා. මෑත කාලයේදීත් තුලාභාර දානය පින්කම වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේ මූලික වෙලා කරපු බවට අප තොරතුරු සෙවීමේදී දැන ගන්නට ලැබුණා.”

එම අන්තර්ජාල ලිපියෙන් සොයාගත් දානමය පුණ්‍යකර්මය ගැන සුබසාධක සමිතියේ සෙසු සාමාජිකයන් දැනුවත් කළ විට ඊට සියලු දෙනා එක හඬින් යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. අනතුරුව තුලාභාර දානය දානමය පින්කමේ බැනරයක් ප්‍රදර්ශනය කෙරිණි.

“ඒ බැනරයත් සමඟ බොහෝ දෙනෙක් මේ ගැන අපෙන් විමසන්නට වුණා. බියගම කලාපයේ පන්සල්වල භික්ෂුන් වහන්සේගේ සිට ඒ අවට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පිරිස් අපෙන් මේ ගැන විමසුවා. අපට මුලින්ම අවශ්‍ය වුණේ ජනතාව අතර මේ ගැන කුතුහලයක් ඇවිස්සීමයි. එය සාර්ථක වුණා.”

අනතුරුව දෙවැනි වරට ප්‍රදර්ශනය වූ බැනරයේ ‘තුලාභාර දානය දානය ගැබිනි මාතාවන්ට’ යනුවෙන් සඳහන් කෙරිණි. එහි දුරකථන අංකයක්ද ප්‍රදර්ශනය කර තිබිණි. ඊට බියගම අවට ගැබිනි මාතාවන් වෙතින් ලද දුර ඇමැතුම් ප්‍රමාණය සිය ගණනකි.

“අපිට දුරකථන ඇමැතුම් හරියටම 256ක් ආවා. ඒත් ඒ සියලු දෙනාටම දානමය පුණ්‍යකර්මය කරන්න වත්කමක් තිබුණේ නෑ. අපි පළාතේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මගින් සුදුසු පිරිසක් තෝරාගත්තා.”

ඒ අනුව පසුගිය මස 23 වැනිදා මාකොළ ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරස්ථානයට ගැබිනි මවුවරුන් තිස්දෙනෙකු කැඳවා මේ මාහැඟි පුණ්‍යකර්මය සිදු කෙරිණි.

“අපි මුලින්ම කළේ ගැබිනි මවුවරුන්ගේ බර කිරා බැලීමට ඔවුන්ට අපහසුවක් නැතිව ගොඩවිය හැකි තරාදියක් තැනීමයි. එක් එක් අයගේ බරට සරිලන විදිහට හාල්, පොල් පහේ බඩුවල සිට පලතුරු ඇතුළු ගැබිනි මවකගේ පෝෂණයට අවශ්‍ය අංග සම්පූර්ණ පෝෂණ මල්ලක් හැදුවා. එය දරුවාට අවශ්‍යවන ද්‍රව්‍යවලින් සමන්විත අංග සම්පූර්ණ බඩු මල්ලක් ලෙස හැදුවා. අවම වශයෙන් එක් මවකට රුපියල් පහළොස් දහසක පමණ වටිනා පෝෂණ මල්ලක් දුන්නා. එතැන කිලෝ 45 සිට කිලෝ 80 දක්වා බර මවුවරුන් හිටියා. මවක් තරාදියේ එක් පැත්තකට නග්ගලා අනෙත් පැත්තට බරට සරිලන ලෙස පෝෂණ ද්‍රව්‍ය තැබුවා.”

පරිත්‍යාගශීලීන්ගේ ද නොමසුරු දායකත්වය ඇතිව සිදුකළ මේ දානමය පින්කමට පැමිණි සියලුම ගැබිනි මවුවරුන් ඔවුන් ලද බඩුබාහිරාදිය සමඟ ආපසු නිවෙස්වලට කැටුව යෑම සඳහා මාකොළ පුවත් ඒජන්සිය අසල ත්‍රිරෝද රථ සංගමය දායක විය.

“අපිට මේ ලැබුණ බඩු මල්ල හරිම වටිනවා. දරුවෙක් ලැබෙන්න ඉන්නා විට මනා පෝෂණයෙන් යුත් ආහාර ගන්න කියලයි වෛද්‍ය උපදෙස් ලැබෙන්නෙ. අපට පුළුවන් අන්දමින් ඒ කියන විදිහට පෝෂණ ආහාර ලබා ගත්තත් හැමෝටම එසේ කරන්න බැහැ. සමහරුන්ට ඒ සඳහා වත්කමක් නැහැ. දහස් ගාණක් වටිනා මෙවැනි පෝෂණ මල්ලක් ලබාදුන් හැමෝටම බොහෝම පින්.” යනුවෙන් තුලාබර පුණ්‍යකර්මයෙන් පෝෂණ මල්ලක් ලැබු ගැබිනි මාතාවක් පැවසුවාය.

එම දානමය පින්කම පැවැති දිනම සවස් වරුවේ පින්කමට එක්වූ ගැබිනි මවුවරුන් දෙදෙනෙකු කිරිකැටියන් දෙපළක් මෙලොවට බිහි කළ බවද සැලවිය.

“ඒ පුවත ඇහුවම අපට හරිම සතුටුයි. අපි මේ පෝෂණ මල්ලට දරු පැටියට අවශ්‍ය දේවලුත් ලබා දුන්නා. දැන් අපේ අපේක්ෂාව මේ පුණ්‍යකර්මය සෑම වර්ෂයක් පාසාම කරගෙන යන්නයි. ඒ සඳහා මාකොළ රතනවංශ සහ පොතානේගම සුමනරතන යන හිමිවරුන් දෙපළගෙන් සහ බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි මහත්මිය ඇතුළු සියලු පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සහායද ගෞරවයෙන් සිහිපත් කරනවා.

මෙවැනි දානමය පුණ්‍යකර්මයකින් අප සමිතිය බලාපොරොත්තු වන්නේ රටට ආදර්ශයක් ලබා දෙමින් ඉදිරි පරපුර දැනුවත් කිරීම” බවද පතිරණ මහතා පැවසීය.

ඡායාරූප - ලයනල් පී. පෙරේරා

Comments