වසර හාරසිය විසි හතරක් සපුරන දන්තුරේ සටන | සිළුමිණ

වසර හාරසිය විසි හතරක් සපුරන දන්තුරේ සටන

  • දන්තුරේ සටනට යටිනුවරගම් පෙළ ගැසුණු හැටි
  • විමලධර්මසූරිය රජු උපායශීලීව පසුබසී
  • දහස් ගණන් පෘතුගීසි භටයෝ මිය යති
  • පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත්, වතුරින් මඩින් පෙඟී විනාශ වෙයි

වෙළදාම සඳහා මෙරටට පැමිණි සේන ගුත්තික අශ්ව වෙළඳුන් අනුරාධපුර රජකම් කළ සුරතිස්ස රජුගෙන් රාජ්‍යත්වය පැහැර ගැනීමේ සිට ඉංග්‍රීසි ආක්‍රමණය දක්වා මෙරටට එල්ල වූ සෑම ආක්‍රමණ තුළම ඓතිහාසික සටන් බොහොමයකින් මෙරට ඉතිහාසය පිරී පවතී.

රජවරුන්, රාජ්‍යත්වය උරුම ප්‍රභූන්, නිළමේවරුන්, අධිකාරම්වරුන්, ඇතුඵ පිරිස් විටින් විට නායකත්වය ලබා දුන් මේ සටන් අතුරින් පෘතුග්‍රීසීන්ට එරෙහිව එල්ල වූ දන්තුරේ, බලන මෙන්ම ගන්නෝරු යන ඓතිහාසික සටන් ත්‍රිත්වය මෙරට ජාතියේ ඉරණම තීන්දු කළ මහා සටන් ත්‍රිත්වයක් මෙන්ම එය කන්ද උඩරට යටිනුවර කේන්ද්‍ර කැර ගෙන පැවැති මහා සංග්‍රාම ය. පෘතුග්‍රීසීන් පරදා ජය ලැබූ මේ ඓතිහාසික සටන් අතුරින් දන්තුරේ සටන මෙරට ඉතිහ­ාසයේ සුවිශේෂිතම සටනකි.

1594 ඔක්තෝබර් 06 දා පැවැති මේ සටන රටට තීරණාත්මක තවත් එක් සටනක් ම පමණක් නොව එය සෑම අතින්ම අනාගතය පුරාවට ජාතියේ ඉරණම විහිදෙන්නා වු සටනකි. කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූරිය රජු නායකත්වය දුන් ඓතිහාසික දන්තුරේ සටන අදින් වසර හාරසිය විසි හතරකට පෙර පෘතුග්‍රිසි හමුදාව සමූල ඝාතනයට ලක් වූවා පමණක් නොව දන්තුරේ වෙල්යාය පෘතුගීසිි ලෙයින් තෙත් කළ සටන් බිමක් වූ දිනයකි.

1505 මෙරටට පැමිණි පෘතුග්‍රිසීන් ඉතා ඉක්මනින් මුහුදුබඩ ප්‍රදේශයන්හි සිය බලය පැතිරුව ද ඔවුන්ට උඩරට ප්‍රදේශ කරා හෝ රට අභ්‍යන්තරයට ළඟා වීමට හැකියාවක් නොලැබිණි. මෙනිසාම ඔවුහු උඩරට පිළිබඳ ව මාන බලමින් සිටියහ. ඒ වන විට ලොව ඉතාම ප්‍රබල හමුදාවක වූ පෘතුග්‍රීසී හමුදාව කොතරම් දක්ෂ වුව ද, මාන බැලුව ද ඔවුන්ට උඩරට දිනා ගැනීමට නොලැඹුණ ද ඔවුන් එ් වෙනුවෙන් විටින් විට සටන් කුමණ්ත්‍රණ මෙන්ම උඩරැටියන් භේද බින්න කිරීමට කටයුතු කළ අවස්ථා ද අපමණ තිබිණි. මේ වකවානුවේ සීතාවක මායාදුන්නේ හා රාජසිංහ රජු සීතාවක පාලනයේ යෙදී සිටියදී කන්ද උඩරට රාජ්‍යත්වය දැරූ කරල්ලියද්දේ බණ්ඩාර හා ඇති වු විරසකයක ප්‍රතිඵලය ලෙස පෘතුග්‍රීසීන් සොයා ගියේය. කුසුමාසන දේවිය, හා බෑණනුවන් වන යමසිංහ බණ්ඩාර ද මෙයට එක් විය. අනතුරුව උඩරට රාජ්‍යයේ පාලකයා ලෙස වූයේ කරල්ලියද්දේ රජුගේ රාජ සභාවේ සිටි වීරසුන්දර බණ්ඩාර ය. ඔහු පේරාදෙණියේ විජේසුන්දර බණ්ඩාර ලෙසින් ද හැදින්වේ. කරල්ලියද්දේ රජු පෘතුග්‍රීසි රැකවරණයට එක් වන වන විට ඇගේ බාල දියණිය වන කුසුමාසන දේවිය ළාබාල වියේ පසු වන්නියක වූවා ය. ඇය උඩරට රාජ්‍යයේ අනාගත උරුමකාරිය ලෙසින් හැඳින්වූ නිසාවෙන් ඇයට රැකවරණ දීම උඩරට දිනා ගැනීමක් ලෙසින් සිතා කටයුතු කළ පෘතුග්‍රීසීහු ඇය දෝන කතිරිනා නමින් බෞතීස්ම කළ අතර, යමසිංහ බණ්ඩාර දොන් පිලිප් ලෙසින් බෞතීස්ම කළහ. මේ වකවානුවේ සීතාවක රාජසිංහ රජු සෙංකඩගල පාලකයා වූ වීරසුන්දර බණ්ඩාර කෙරෙහි දැඩි අවධානයක සිටියේ ඒ වන විටත් ඔහු වටා එකතු වන්නා වු ජනප්‍රසාදය නිසාවෙනි. මෙය වීරසුන්දර බණ්ඩාරට නොදැනෙන්නට කටයුතු කළ රාජසිංහ රජු දිනක් තම නියෝජිතයන් මඟින් පණිවුඩ යවා ඔහු ව සීතාවකට ගෙන්වීමට කටයුතු කළේ ඔහුට නම්බු නාමයක් සහිත පාලනයක් ලබා දිමට ක්‍රියාකරන බව පවසමිනි. එහෙත් ඒ එන අතරතුර ඔහුට බොරු වළක ගිලී මරුමුවට පත් විය.

රාජසිංහ රජු උපක්‍රමයකින් තම පියා ඝාතනය කළ බව දැනගත් වීරසුන්දර බණඩාර ගේ පුත් කොනොප්පු බණ්ඩාර පළා ගොස් තැන් තැන්හි සැඟව සිට පෘතුගගීසි රැකවරණ පැතීය. දොන් ජුවන් නමින් එහිදී බෞතීස්ම වන ඔහු අංගම්පොර ශිල්පය ප්‍රගුණ කරමින් සිටි කොනොප්පු බණ්ඩාරට එයට අමතරව ඉහළ යුද පුහුණුව ලැබීමට අවස්ථාව උදා විය. පෘතුගීසීන් මවිත කරමින් රණ ශුරයකු වූ කොනොප්පු බණඩාර ඔවුන්ගේ දැඩි අවධානයට ලක් විය.

අනතුරුව වසර ගණනකට පසු දොන් පිලීප් හෙවත් යමසිංහ බණ්ඩාර සමඟින් කොනොප්පු බණ්බාර පෘතුග්‍රීසි ලස්කිරිඥ්ඥන් භට හමුදාවක් ද සමඟ එවනු ලබන්නේ සිතාවක රාජසිංහ පාලනයට එරෙහිව සටන් කිරීමට ය. එහිදී යමසිංහ බණ්ඩාර උඩරට රජු වන අතර කොනොප්පු බණ්ඩාර රජුගේ සේනාධිපති බවට පත් විණි. දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර පෘතුගීසින්ගේ රූකඩයක් බව වැඩිකල් නොගොස් දැනගත් උඩරැටියන් කොනොප්පු බණ්ඩාර හා එක්වෙමින් දොන් පිලිප් පළවා හරීමට කටයුතු සැලැසුම් කළහ. ඒ අනූව 1592 දී ද්වන්ද සටනකින් පසු දොන් පිලිප් පරාජය වූයේ මරු වැලැඳ ගැනිම ද සමඟිනි. පළමුවන විමලධර්මසූර්ය ලෙසින් කොනොප්පු බණ්ඩාර කුමර මෙලෙස රජවන්නේ උඩරැටියනගේ නොනැවතින ජය ප්‍රීති ඝෝෂා හඩිනි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කොනොප්පු බණ්ඩාරට එරෙහි ව පෘතුග්‍රීසීන් දැඩි කෝපයකින් හා වෛරයකින් කටයුතු කරන බැවින් විටින් විට විවිධ සටන් ඇවිළිණි. 1594 ඓතිහාසික ගන්නෝරු සටන ක්‍රියාත්මක වන්නේ මෙහි උච්චතම ප්‍රතිඵලය හේතුවෙනි. මේ සටනේ ප්‍රතිඵලය රටෙහි අනාගතය උදෙසා අතිශය තිරණාත්මක ප්‍රතිඑලයක් වන්නේ එදාටත් වඩා අද ය. මේ සටනට නායකත්වය ලබා දීමට දොන් පේඩ්රෝ ලෝපේස් ද සූසා පෘතුගීසි හමුදාවෙන් පත් කෙරිණි.

ළාබාල වියේ පෘතුගීසි රැකවරණය ලබන කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා මෙහිදී රුකඩයක ලෙස තබා ගනිමින් උඩරට දිනාගැනිමට සටන් කරන අතර පෘතුගීසින් පිළිබඳවත් ඔවුනගේ යුද පුහුණුව, අවි, බලය පිළිබඳවත් හොඳින් ම දන්නා විමලධර්මසූර්ය රජු පළමු ව ඔවුන්ට තම බිම් අල්ලා ගැනීමට ඉඩ තබා සුක්ෂම ලෙස පසු බැසීය. උඩරට රාජ උරුමය ඒ වන විටත් හිමි දෝන කතිරිනා පෘතුගීසීහු විසින් මෙහිදී උඩරට රැජින ලෙස අභිෂේක කළහ.

සෑම අතින්ම රණශුරයකු වූ විමලධර්මසූරිය රජු වෙල්ලස්සේ සිට සේනා සංවිධානය කැර පෘතුගීසීන් උඩරටින් පළවා හැරීමේ සංග්‍රාමය ඇරඹීය. මෙහි බරපතළ අවධානම තේරුම් ගත් පෘතුගීසින් කුසුමාසන දේවිය ද කැටුව උඩරටින් තාවකාලික ව පසු බැස සටනට සූදානම් නම් විය. යටිනුවර යක්දුරේ වෙල්යායේදී මේ මහා සටන ඇරඹි අතර පෘතුගීසි හමුදාව හා රජුගේ සේනාව අතර දැවැන්ත සටනක් පැවැතිණි. කුඹුරේ ම සිංහල හේවායන්ට අරුමයක් නොවුවද පෘතුගීසි හමුදාවට එය සෑම අතින් ම බාධාවක් විය. ඔවුන්ගේ වෙඩි බෙහෙත් වතුරින් මඩින් පෙඟී ගිය අතර මඩෙහි දුව පැන යෑම ඔවුන්ට දැඩි අසිරුවක් ගෙන දෙන්නක් විය. දහස් ගණන් පෘතුගීසි හමුදා මේ සටනින් මියගිය අතර භටයන් ඉතාම සුළු පිරිසක් පමණක් ඉතිරි විණි. මෙයට නායකත්වය දුන් පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දොන් පේඩ්රෝ දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව මරණාසන්න විය. මෙහිදී ඔහුගේ ඉල්ලීම මත පේඩ්රෝගේ සත් හැවිරිදි පුත්, විමලධර්ම සූරිය රජු විසින් පෘතුගීසීන් වෙත බාර දීමට කටයුතු කළේය. සටන පැවැත්වෙන අතරතුර ආරක්ෂිතව සැඟව සිටි කුසුමාසන දේවිය රැගෙන පැමිණි විමලධර්මසූරිය රජු ඇයව විවාහ කැර ගනිමින් උඩරට රාජ්‍යත්වයේ නිත්‍යානුකූලත්වය තහවුරු කර ගනු ලැබීය.

යක්දුරේ වෙල්යාය, පල්ලේවත්ත වෙල්යාය, යටිමන් නියර, උඩුමං නියර, හපුගස් කුඹුර, පල්ලේ දණ්ඩ කුඹුර ආදී වෙල් නියරවලින් පෝෂිත වු දන්තුර සටන් භූමිය පුරාවට අද දක්නට ලැබෙන්නේ ගොඩනැඟුණු දන්තුරේ නගරයයි. එදා මේ භූමිය ලෙයින් තෙත් වු භූමියකි. අතීත සටහන් මෙන්ම තොරතුරු වලින් කියැවෙන පරිදි යටිනුවර, උඩුනුවර, දුම්බර ජනයා මේ සටනට පෙරමුණ ගත්හ. ඔවුනගේ රණ ශුරත්වයෙන් පෘතුගීසි ලේ තෙත් බිමක් විය. මේ සටනට පෘතුගීසි හමුදාව සමඟ රටවල් දොළහක් පමණ එක්ව ඇති අතර ඔවුන් යටත් කැර ගෙන සිටි රටවල් බොහොමයක කුලී හේවායන් ඒ අතර වේ. කළිගු, තෙළිගු, කණ්ණඩි, උරුගුසි, කවිසි, කබිසි, අරාබි, ඉස්බසි, ජාවා, කොංගො, චීන, පර්සි රටවල සේනාව සිටි බැව් සඳහන් ය.

අදටත් දොරකඩදෙණිය ලෙසින් හැඳින්වෙන භූමිය තුළ ය, එදා සටනට ගිය විමලධර්ම සූරිය රජුගේ සේනාව නවතා තබා ඇත්තේ. එමෙන්ම යක්දුරේ වෙල්යායට ඉහළ ප්‍රදේශයෙන් ගලා ආ ඇළ මාර්ග ප්‍රදේශය එවක උඩහ වෙල ලෙසින් හැඳින්වුව ද අද එය උඩවෙල වේ. නිෂ්ඵලගොඩ ලෙසින් හැඳින්වෙන ස්ථානය එදා එලෙස හඳුන්වා ඇත්තේ සටනට සම්බන්ධ තොරතුරු එ් ස්ථානයේදී නිරික්ෂණය කළ ද නිරීක්ෂණය නොවී නිෂ්ඵල වූ නිසා ය. එය අද ද නිෂ්ඵලගොඩ වේ. එමෙන්ම දන්තොට වතුර පසු කාලීනව දන්තුරේ වී ඇත. මේ සටන සඳහා සැලසුම් මෙන්ම පෙර සූදානම කලක සිට පැවැත ඇති අතර සටනට යන සෙබළුන්ට ආහාර මෙන්ම බත් ගෙනවිත් ගොඩ ගැසූ පිටිය අද ද බත්ගොඩපිටිය ලෙස හැඳින්වේ. එමෙන්ම මෙහි මහ හමුදාවක් රැස්ව සිටි වෙල මහ හමුදාවෙල බවට පත්ව පසුව මාමුඩාවෙල බවට පත් විය. රත් ලේ පිටිය පසුව රත්තේපිටිය වුවා මෙන්ම රොත්තක් පිටින් සතුරන් ඝාතනය කළ පිටිය රොත්තේපිටිය වී පසුව පොත්තේපිටිය වූ බැව් සඳහන් ය. එමෙන්ම ඓතිහාසික දන්තුරේට ආසන්න මැණික්දිවෙල ග්‍රාමය එලෙස හඳුන්වන්නේ මැණික් දුන් වෙල නිසා ය. එදා එ් වෙලෙන් ලැබුණු මැණිකෙන් කුසුමාසන දේවිය මැණික් පිළිමයක් කරවා දළදා වහන්සේට පූජා කළ බව සඳහන් ය. මේ ප්‍රදේශය ආශ්‍රිත තවත් ස්ථාන ගම්මාන රාශියකි. ඒ අතුරින් මුංවතුගොඩ ලෙස හැඳින්වෙන්නේ අශ්වයන් සඳහා මං වගා කළ වතු පිහිටි ප්‍රදේශයට ය. අසුන් නෑ වෙල අසුන්නාවෙල ලෙස ද සටනට ගිය රජු ළැඟුම් ගෙන සිටි ගේ ළැඟුම් ගේ ලෙස ද, පෘතුගීසින්ට අයත් තානායම් තිබූ ස්ථානය තානායම් වත්ත ලෙස ද, සටනින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කළ ස්ථානය බෙහෙත් ගේ වත්ත ලෙසද, සේනාව සිටි වෙල සේනාවෙල වි පසුව හේනාවෙල විය.මෙම සටනේදී කඳවුරු බැදි ගම කදන්ගම ලෙසද,එමෙන්ම රජුගේ මාළිගාව පිහිටා තිබූ ස්ථානය මාළිගා තැන්න ලෙස ද, දඹරන් තිබූ තැන දඹගොඩ ද, සතුරන් ඈත සිට එන මඟ බැලු ස්ථානය බලන ලෙසට පත්ව බලන කොටුව විය. එමෙන්ම සටනට අවශ්‍ය කඩු ගන්න ආ තැන කඩුගන්නාව ලෙස මෙන්ම හැඳින්වෙන අතර කොනොප්පු බණ්ඩායන්ගේ මෑණියන්ගේ නිවස කොස්බොක්කේ ගෙදර ලෙසත්, ඔහු සැඟව සිටි ලෙන කුමාරගල ලෙසත් හැඳින්වේ.

මේ තීරණාත්මක සටනට නායකත්වය ලබා දුන් සෙන්පතියා වුයේ සරණනම් සෙන්පතියා ය. විමලධර්මසුරිය රජු ඒ පිළිබඳ ව දැඩි ප්‍රසාදයකින් පසු විය.

මේ රණශුරයා පෘතුගගීසි හිස් තුනක් අතැතිව අනෙක් අතින් අසිපත ද රැගෙන ලැඟුම් ගෙයි සිටි රජුන් හමුවන්නට අශ්වයා පිට නැඟ එන්නේ තෝන් ලණුව ද අතහැර මහා රණ ශුරයකු ලෙසිනි. දන්තුරේ රජමහා විහාරස්ථානය අසල මේ ස්ථානය අද ද තිබේ. වර්තමානයේ වෛද්‍යවරයකුට අයත් නිවසක් පවතින මේ ස්ථානය අද ද ලැඟුම් ගේ ලෙස හැඳින්වේ. ප්‍රසාදයට පත් රජු සරණා බණ්ඩාර හේවාගේ යන නම්බු නාමය මේ සඳහා මොහුට ලබා දුණි.

දොළුව ප්‍රදේශයේ තවමත් ජිවත්වන මේ පරම්පරවෙන් පැවැත එන වර්තමානිකයකු ලෙසින් සැලකෙන පල්ලෙහා හේවාගේ අබේවර්ධන මහතා මේ වන විට හැට තුන්වියේ පසු වේ. ටෙලිකොම් ආයතනයේ විශ්‍රාමිකයකු වන ඔහු ජනාධිපති සම්මානලාභී උඩරට නර්තන ශිල්පියෙකි......

ඔහු සඳහන් කරන ආකාරයට සරණා සෙන්පතියා ඔහුගේ පරම්පරවේ නත්තා කෙනෙකි. ''එදා අපේ නත්තාට තිබුණු රණශුරත්වය අපේ මුතුන්මිත්තන් මාර්ගයන් අපි අසා තිබෙනවා. ඒ වගේම විවිධ ඉතිහාස තොරතුරු වල එය සඳහන් වෙනවා. ඒ පරම්පරා නාමයෙන් හේවගේ කියන නාමය තමයි අපේ පරම්පරාව අදටත් භාවිත කරන්නේ. අපේ ඉදිරි පරම්පරාවට සරණා බණ්ඩාර හේවාගේ කියන සම්පූර්ණ නාමය ම භාවිත කෙරෙනවා. එදා රජුන් ඔහුට සන්නසක් ලබා දි ඇති අතර ඒ අනූව එහි නම්බු නාමය වගේම මහ ලේකම් පඩි දූරයත් කඩු තල අටක්, පළිහක්, යුද ඇඳුම්, නෙළුම් විල සහිත වෙල් යායෙන් අමුණක් හා පන්ලහක කුඹුරු ලබා දී තිබෙනවා. මේ කුඹුරු ලබා දෙන්නේ විමලධර්මසුරිය රජුගේ මවට අයත් කුඹුරු වලිනි. අද ද දොඵව නෙළුම් මල් වෙල ලෙස හැඳින්වෙන්නේ එයයි.''

විමලධර්මසූර්ය රජුගේ මවගේ පරපුරද යටිනුවර ප්‍රදේශයේ ම බවට සැලැකෙන අතර මාමුඩාවෙල කොස්බොක්කේ ලෙසින් හැඳින්වෙන පරපුර එය ලෙසට අදහස් කෙරේ. කොනොප්පු බණ්ඩාර කුමාරයා මාමුඩාවෙල පිහිටි කොස්බොක්කේ ගෙදර සිට ගොස් කලක් කුමාර ගල ගල් ලෙන් තුළ සැඟ ව සිටි බවට ද ජනප්‍රවාදයේ සඳහන් ය.

මෙරට සිටි අවසන් රැජිණ ලෙස සදහන් කුසුමාසන දේවියගේ පරම්පරාව අද ද කරල්ලියද්දේ පරපුර ලෙස හැඳින්වේ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වන එස්. බී. කරල්ලියද්ද එ් පරපුරේ වර්තමාන ජ්‍යෙෂ්ඨතමයෙක් ය. මේ පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් ගවේෂණය කැර මෙන්ම ලියා එළිදක්වා ඇති ඒ මහතා සඳහන් කරන ආකාරයට, ''කුසුමාසන දේවිය ගං තොටට නැමට ගිය මාර්ගය අද ද කරල්ලියද්ද ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. එමෙන්ම කරල්ලිද්ද විහාරස්ථානයේ මාලිගයක් තුළ එදා තම පුත් සමඟ කුසුමාසන දේවිය සිටි බවට ඉතිහාස තොරතුරුවල සඳහන් වෙනවා.''

දන්තුරේ මහ සටන, පළමුවන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය මෙන්ම ඒ සම්බන්ධ ඓතිහාසික තොරතුරු පිළිබඳ දශක ගණනක සිට ගවේෂණයක යෙදී සිටින විමලධර්මසුරිය මහ රජ -කුසුමාසන දේවි අනුස්මරණ පදනමේ සභාපති දඹගොඩ සෙනවිරත්න මහතා පෙන්වා දෙන ආකාරයට, ''ගන්නෝරුව සටන මෙරට ජාතියේ තීරණාත්මක මහ සටනයි. එමඟින් ඇතිවූ ජාතික , ආගමික, සංස්කෘතික, ප්‍රබෝධය නිසා ජාතියේ ම අනාගතය සුරක්ෂිත විය.

දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන්ගලක් තුළ සගවා තිබූ දළදා වහන්සේ වැඩම කැර දළදා මාළිගය ස්ථාපිත කිරීම, පෙරහැර පැවැත්වීම, උප සම්පදාව ස්ථාපිත කිරීම අාදියෙන් සමස්ත ජාතියේම පැවැත්ම එමඟින් සුරක්ෂිත විණි. ඉදිරියේදී විමලධර්මසූරිය රජුන් හා කුසුමාසන දේවි අනුස්මරණය කරමින් ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත ව පිළිරූ දෙකක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.''

වසර හාරසිය විසි හතරකට එපිට අතීතයෙන් දන්තුරේ රණ බිම් භූමිය වැසිගොස් කොන්ක්‍රීට් ගොඩනැගිලි, මං මාවත්, ඉදිවුවද එ් ඓතිහාසික වෘතාන්තයත් සමඟින් දිග් විජය කෙරෙන ජාතියේ අනාගත ඉරණම මතුවටත් සුරක්ෂිත වී ඇත.

ඡායාරූප - ගාමිණී රණසිංහ

 

 

(මේ පිළිබඳව තොරතුරු සෙවීමේදී සහය වූ දඹගොඩ සෙනවිරත්න මහතාට විශේෂ ස්තූතිය) 

Comments