
* විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සාමාජිකයෝ
* කණ්ඩායම් නායකයා විශේෂඥ වෛද්‍යවරයෙක්
* මෙරට ප්‍රථම වතාවට රෝහලකින් බිහි වූ සංගීත කණ්ඩායම
ගිම්හාන සෘතුවේ හිරු රශ්මියට පිච්චෙමින් ඇවිද ගිය මම විඩා වැඩියෙන් දැනෙද්දි අවැසි වු ස්ථානයේ කොරිඩෝවට ගොඩ වැදුණෙමි. තැනින් තැන දිස්වන මළානික මුහුණු, මුහුණු පමණක් නිරාවරණය වන ලෙස පොරවා ගත් ශරීර කූඩු, වේගයෙන් එහෙ මෙහෙ ගෙනයන ලේ වැගිරෙන මිනිස්සු, නැගෙන්නාවු කෙඳිරිලි හඬ අතරින් හදවත වේදනාවෙන් පිරී ගියේ නිරායාසයෙනි. ඒ අතරින් මා ඉදිරියට ඇදී යද්දි ගිලන් ඇඳන් මත වැතිර සිටින අය මෙන්ම සිරුරු වැසූ මළ සිරුරු ද එකිනෙක මා පසුකරගෙන යනවා දුටුවෙමි. හදවතේ හිරවි තිබූ වේදනාකාරි සිතුවිලි සමුදාය මුදාහරින්නට අවැසි වුවත් ඊට අවස්ථාවක් නොවූයෙන් මම ඉදිරියටම ඇදී ගියෙමි.
ඒ යන අතරමඟදී කොරිඩෝවක් කෙළවරට වන්නට පිහිටා තිබු තරමක් අඳුරු කුටියකින් ඇසුණු ‘අම්මා ජීවන උයන් තෙරේ..... නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ.....ඔබ මට සුවය ගෙනේ....‘ගීතයත් සමඟ නැගුණු සත්සර නාදයෙන් මා එම ස්ථානයේ ඉබේටම නතර වුයේ කතරක ඇවිද යද්දී දිය බිඳක් ලැබුණාක් මෙන් සිසිලක් සිතට දැනෙද්දීය.
ඒ මහනුවර ශික්ෂණ රෝහලයි. ලංකාවේ දෙවන විශාලතම රෝහල වන මෙහි සේවය ලැබීමට දසතින් සෙනඟ ඇදී එන්නේ ගුලකට කඩින් ඇදෙන්නාක් මෙනි. නොයෙක් ආකාරයේ රෝගීන්ගෙන් පිරි දැඩි කලබලකාරී වාතාවරණයක් නිරතුරුව පවතින මෙහි එන ජන ගංගාවට සේවය සැපයීමට සිටින වෛද්‍යවරුන් ප්‍රමුඛ සේවක මණ්ඩලය හය දහස ඉක්මවයි. රෝහල් පරිශ්‍රය පුරාවට එක් එක් රෝගි තත්ත්වයන් සඳහා වෙන් වෙන්ව සකසන ලද රෝගී ඒකකයන්ය. සේවක පිරිස් දිවා රාත්‍රී නොබලා සේවය සපයන්නේ මුදලට වඩා උතුම් වූ මනුෂත්වය පෙරදැරි කරගෙන යන කරුණ සත්‍යයක් බවට රෝග සුවවී බැහැර යන්නෝ සාක්කි දරති.
මේසා විසල් සේවයක් සපයන මේ රෝහලේ කොනක කාමරයකින් නැඟෙන මියුරු නාදයේ සුල මුල සෙවීමට මට ඇති වූයේ බලවත් ආශාවකි. එනිසාම මා එතැන සිටි රෝහල් සේවක මහතෙකුගෙන් ඒ ගැන විමසීමි.
“මේක කරන්නේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශ්ශංක සර්” යැයි ඔහු පැවසිය. මම නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක මහතා සොයා ඔහුගේ කාර්යාල කාමරයට පිය මැන්නෙමි. තප්පරයෙන් තප්පරය නොයෙක් විදියේ ප්‍රශ්න හා ගැටලු රැගෙන සේවක පිරිස් පැමිණෙන මම ස්ථානයට අප යන විටත් හතර පස් දෙනෙකුගෙන් යුතු පෝලිමක් විය.
රෝහල් පරිශ්‍රයේ ඇවිද යද්දී කන වැකුණු සංගීත රාවයත් ඒ ගැන විමසද්දී ලද පිළිතුරත් පිළිබඳ පැවසීමි. ඔහු සුහදව සිනාසී ඒ පිළිබඳ අප හා තොරතුරු පැවසීය.
“රෝහල් පරිශ්‍රයක් තුළ රෝගින් මෙන්ම සේවක මණ්ඩලයද පසුවන්නේ විඩාබර මනසකින්. තමන් හමුවට එන රෝගින්ගේ මානසිකත්වය මෙන්ම ඔවුනට ප්‍රතිකාර මෙන්ම සත්කාර කරන අයගේ මනසටද ඒ දුක යා වන්නේ අප කවුරුත් මනුෂ්‍යයන් නිසයි. ඒ ශාරිරික සත්කාරය මෙන්ම මානසික සත්කාරය ගැනද අප සිතිය යුතුයි. වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය හයදහසක් පමණ මෙහි සේවය කරනවා. පැය විසි හතරම සේවා මුරවල යෙදීමට සිදු වෙනවා. දැඩි මානසික ආතතියක් ඇතිවෙනවා. මේවා සමනය කරගෙන අපේ සේවාව සැපයිය යුතුයි. මේ රෝහලේ අති දක්ෂ කලා කුසලතාවයන්ගෙන් හෙබි සේවක මහත්ම මහත්මින් සිටිනවා. අපි ඒවා නොයෙක් අවස්ථාවන්හිදි දැකලා තියෙනවා. සංගීතය බොහෝ රෝගවලට දිව ඔසුවක්. අපි මේ සියල්ල ගැන සිතා සංගීත රාවයෙන් රෝගීන් සුවපත් කිරීමට රෝහලේ සංගීතකණ්ඩායමක් හදන්ට යෝජනා කරගත්තා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඊට පුර්ණ සහයෝගය ලබා දුන්නා. ඒක අපට ලොකු ශක්තියක් වුණා. මේ කලා කුසලතාවන්ගෙන් පරිපූර්ණ පිරිස් එක්ක කතා කිරිමේදි ඔවුන් ද මේ යෝජනාවට එක හෙළාම එකඟ වුණා.
මේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඉහළ කලා කුසලතාවකින් යුතු විශේෂඥ වෛද්‍ය හර්ෂ පෙරේරා මහතායි. වෛද්‍යවරුන් , පරිපුරක වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය යන සැම අංශයකම පිරිස් නියෝජනයක් මෙම කණ්ඩායමේ තියෙනවා. කිසිම බේදයක් නෑ. හැම කෙනෙක්ම හරිම සතුටෙන් මෙම කාර්යයට එකඟ වුණා.”
සංගීත කණ්ඩායම තැනීමේදී ප්‍රථමයෙන්ම ඔවුන්ට මානව සම්පත හැර වෙනත් සම්පතක් නොවීය. අඩුපාඩු සපුරා ගැනීම සඳහා නොයෙක් ක්‍රම විධි හා අදහස් යෝජනා විය. අවසානයේ තීරණය වූයේ නාට්‍යයක් වේදිකාගතකර මුදල් සොයා ගැනීමය. එමගින් සංගීත කණ්ඩායමට අවශ්‍ය උපකරණ සපයා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වුයේය. අනතුරුව රෝහල් සුභ සාධක සංගමයේ සහයෝගය ඇතිව මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශාලාවේ නාට්‍ය ප්‍රදර්ශනයක් පවත්වා රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය. ඔවුහු ඒ මුදලින් අත්‍යවශ්‍යම සංගීත උපකරණ කීපය මිලදී ගත්හ.
“ඒ වගේම අපේ කණ්ඩායමට සුදුසු ඇඳුමුත් අප සපයා ගත්තා.” නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය. ඔහුගේ මුහුණේ ඇත්තේ ජයග්‍රාහී සිනාවකි. මට අපේ පාසල් කාලය මතකයට නැඟිණි. අප ඒ කාලයේ පාසලේ අවශ්‍යතා සපයා ගන්ෙන්ද නාට්‍ය පෙන්වීම හා කැටවලට මුදල් එකතු කිරීම වැනි දෙයිනි. ඒ අපේ ළමා කාලයේය. නමුත් මොවුහු වෛද්‍යවරුන්ය. රෝහල් අධ්යක්ෂවරුය. ඔවුන්ද කෙසේ හෝ මුදල් සපයා ගත යුතුය. මේ සියල්ලට මුල් වූයේ සිය කාර්යය සඳහා ඔවුන් වෙත පැවැති දැඩි ඇල්මය. රෝගී හදවත් සංගීතයෙන් සනහාලීම සඳහා වූ ඒකායන පරමාර්ථයය.
“අපි මේ සංගීත කණ්ඩායම පළමු වතාවට එළි දැක්වූයේ පසුගිය වසරේ (2017) පොල්ගොල්ලේ පැවති සුව විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය අවස්ථාවේ. එදා පටන් රෝහලේ පවත්වන භක්ති ගීත සංදර්ශනවලදි, අවුරුදු උත්සවවලදි සහ විශේෂ උත්සව අවස්ථාවලදි සංගීතය සපයනවා. ඒ වාගේම රෝගීන් සමඟද නොයෙක් අවස්ථාවල කටයුතු කරනවා. රෝගීන්ගේ මානසික සුවය සඳහා මින් ලබා දිය හැකි පිටුවහල සම්බන්ධව මානසික සුවතා ඒකකය හා එකතුව විශේෂ පරීක්ෂණ පවත්වමින් සිටිනවා.” මේ අනුව රෝහලකදී බිහිවන ලංකාවේ ප්‍රථම සංගීත කණ්ඩායම මහනුවර මහ රෝහලෙන් බිහිව තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පරිපුරක වෛද්‍යවරුන් හෙද හෙදියන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්වීම ලොකු පොඩිකම් ප්‍රදර්ශනය කරන සමාජයට මහඟු ආදර්ශයකි. මෙම කණ්ඩායමේ සංගීතය පැය විසි හතර පුරා රාජකාරියේ යෙදෙන රෝහලක් වැනි ආයතනයද සේවකයන්ට මෙන්ම රෝගී මනසටද දිව ඔසුවකි.
මෙම සංගීත කණ්ඩායම රෝහලේ භක්ති ගීත ප්‍රසංග, අවුරුදු උත්සව ඇතුළු විශේෂ උත්සව අවස්ථාවන්හිදි ඉතා අභිමානවත් අන්දමින් තමන්ගේ සහෘදයන් ඉදිරියේ තම හැකියා පෙන්වමින් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරන්නේ තම ආයතනයටද මුදලක් ඉතිරිකර දෙමිනි. රෝගීන්ගේ බිඳුණු මානසිකත්වයට දිව ඔසුවක් මෙන් සංගීත රසය බෙදාදෙන ඒ තත්සර නාදය රෝගී වේදනාවන් මඳකට හෝ සමනය කරන්නේ කාගේත් මනසට සිසිලක් ලබා දෙමිනි. එම සේවය තවත් පුළුල් කරමින් රෝහලේ මානසික සුවතා ඒකකය තවදුරටත් පර්යේෂණ කරන්නේ සංගීත චිකිත්සාවෙන් විවධ ව්‍යාධීන් සඳහා ප්‍රතිකර්ම ලබාදීමේ අරමුණෙනි. සංගීත කණ්ඩායමේ සියලු පුහුණුවීම් කටයුතු සේවා කාලයෙන් බැහැරව සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම පාහේ විශාල කැප කිරීමක් කරන්නේය.
ජිවිත ආශාව අත්හළ මෙන්ම සුව නොවන රෝගවලින් පීඩා විඳින පිරිස්ද නිරතුරු රෝහල් ගතවෙති. නිට්ටාවට සුව නොවන නමුත් ඔවුන් තප්පරයක් හෝ ජිවත් කරවීමට වෙර දරන අතරේ ඔවුන්ගේ මනසද සතුටෙන් තැබිය හැකිනම් එය මොන තරම් පුණ්‍ය කර්මයක් වනු ඇත්ද?
දෛනිකව රෝහල් ගතවන නවසීයක පමණ රෝගීන්ගේත්, නේවාසිකව ප්‍රතිකාර ලබන තුන්දහසකට ආසන්න රෝගීන්ගේත්, ප්‍රතිකාර පිණිස සායන වලට දෛනිකව පැමිණෙන හය දහසකට අධික රෝගින්ගෙත් ප්‍රශ්න සියල්ලටම මේ රෝහල් බලධාරින් පිළිතුරු සැපයිය යුතුව ඇත. රෝගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු ප්‍රශ්න විසඳිය යුතුව ඇත. මෙවැනි භාරධුර කටයුතු සමුදායක් අතරේ මේ වෛද්‍යවරුන් දැඩි ඉවසීමකින් කටයුතු කරන්නේ කාගේත් සිත් සනහාලමිනි. කාලයේ හැටියට වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහලේ සියලු කාර්යය මණ්ඩලයේ මේ ඉවසීම විස්මයජනකය. මෙවන් සද්කාර්යයක් සඳහා ඔවුන් යොමුවීමට හේතුවී ඇත්තේද තවත් හොඳින් සිය සේවාව සැලසීම සඳහාය.
ඡායාරූප - ගාමිණි රණසිංහ
උදේනි රාජපක්ෂ