
කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතුසේන රජ සමයේ ඉදිකළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘතියක් සඳහා හොඳ උදාහරණයකි. වසර එක්දහස් පන්සියයකට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිතවල අසිරිය දකිමින්, ඔවුනගේ ජන ජීවිතය, සංස්කෘතික බැඳීම්, පාරිසරික සබඳතා සහ නව ප්රවණතා සාකච්ඡා කෙරෙන සංචාරක ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළවිය. මේ සතියේ පළවෙන්නේ එහි පස් වැන්නයි.
දහවල එළැඹ තිබේ. මුළු රජරටටම දැනෙන නියඟයේ පීඩාව නොදැනෙන යෝධ ඇළ බැම්ම දිගේ යන අපේ ගමන යළිත් ඇරඹී තිබේ. අපේ තනියට මේ මොහොතේ අප හා සිටින්නේ හිමංසු බණ්ඩාර ඇතිපොල මහතාය. ඒ මඟ පෙන්වීමටත්, අතීතයේ යෝධ ඇළේ ජල පාලනය සිදුවූ ආකාරය ගැන වැදගත් පැහැදිලි කිරීමකටත් අපේක්ෂාවෙනි.
නිරන්තර සෙවණත්, හමන මදනලත් නිසා වෙහෙසක් ගතට නොදැනේ. යෝධ ඇළ බැම්මේ දිගින් දිගටම රටාවකට සිටුවා ඇති විසල් ගස් පෙළ සැකසුණු හැටි හිමංසු බණ්ඩාර ඇටිපොල මහතාගෙන් විමසුවේ එහි කිසියම් විද්‍යාත්මක පදනමක් වේ දැයි දැනගන්නටය.
----අලි බැම්මට ඒම වළක්වන්න තල්වැටක්-----
“යෝධ ඇළ බැම්ම තමයි රජ කාලේ ඉඳන් මලය රටත් රජරටත් සම්බන්ධ කරපු ප්‍රධාන මාර්ගය වුණේ. යෝධ ඇළ බැම්ම ඉදිකරන කොටම මේක දිගේ ඉංග්‍රිසි අකුරේ W හැඩේට හිටවලා තියෙන්නේ තල් ගස්. දෙපැත්තෙන් එන වල් අලි බැම්මට ගොඩවීම වළක්වන එක තමයි ප්‍රධාන අරමුණ. අලියෙකුට ගස් දෙක අතරින් රිංගන්න බැරි පරතරයකින් තමා තල් ගස් හිටවලා තියෙන්නේ. හැතැප්මකට විතර දුරකින් තමා අලි මංකඩක් තියල තියෙන්නේ. එතකොට අලි ගොඩවුණහම කැඩෙන්නේ ඒ ටික විතරයි…”
ඒ අනුව අපි ගමන් කරමින් සිටින්නේ රජ මාවතකය. අතීත රජ දවස අසු පිටින් එන රාජ පුරුෂයින් මේ මඟ දිගේ ඉහළ පහළ යන්නට ඇත. ඔවුනගේ තේජස් සහගත ගමන අතරතුර කාල සිටාණන් පරපුරෙන් පැවැතෙන ගොවි ජනතාවගෙන් යෝධ ඇළ නිම්නයද සරුසාර වන්නට ඇත. ඉඳහිට ඒ ගොවිබිම් මැදින් ඇවිද එන අලියෙකු දෙපස උවමනාවෙන් බලා ඇළ බැම්මට ගොඩවන්නට ඇත්තේ වෙන්කළ අලිමංකඩකිනි. අපූරු සිතිවිලි සිත්තම් අතරින් නැඟෙන ඊළඟ පැනය අද යෝධ ඇළ බැම්මේ පෙනෙන අනෙකුත් ගස් ගැනය.
එතකොට කුඹුක් ගස්, මී ගස්, කොහොඹ ගස් හිටවපුව නොවෙයිද?
“නෑ. ඒවා ඉබේ හැදිච්චා. තල් ගෙඩි කන්න එන කුරුල්ලන්ගෙන් බිමට වැටුණු ඇටවලින් පැළ වෙච්චා. දැන් ඒවා මහ ගස්. මේ තල් වැට නිසා අදටත් මේ පැත්තට අලි එන්නේ නෑ.”
පරිසර හිතකාමීත්වය අතින්ද, තාක්ෂණය අතින්ද, ආර්ථික වටිනාකම අතින්ද සැලකූ කල යෝධ ඇළ යනු අනුමාන කළ නොහැකි වටිනාකම් රාශියක් සහිත ව්‍යාපෘතියකි. අද දවසේ රටේ මහා ගැටලුවක් වන අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස තල් වැට භාවිත කළ නොහැකිද? ගම් වදින අලි පාලනයට ගමක් වටා නිසි ලෙස සිටවන තල් වැටකින් ද, ඒ අතරතුර තෝරා ගන්නා මංකඩ කිහිපයකින් අලි සංක්‍රමණ තීරු ඇති කළ නොහැකිද? පරිසර විද්‍යාඥයින් සහප්‍රතිපත්ති සම්පාදකයින් මේ ගැන අවධානය යොමු කළහොත් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇත.
මිහින්තලේ ආසන්නයේ පිහිටි මරදන්කල්ල නමැති පිටිසර ගම යෝධ ඇළ බැම්මේ පිහිටි ගමක් නොවේ. එහෙත් යෝධ ඇළ බැම්මද අයත් නුවර කලාවියේ පිහිටි ගමකි. එහි උපන් ගැමි සුවඳ විඳි මිනිසෙකු විසින් සිංහල ගීත සාහිත්‍යයේ මෙතෙක් බිහිවූ හොඳම මව්ගුණ ගීතයේ පද පෙළ නිර්මාණය කර තිබේ. සදාතනිකව විඳිය හැකි එම අපූරු ගීතය යෝධ ඇළේ යන අපට අමතක කළ නොහැක්කේ ඒ පද පෙළෙහි යෝධ ඇළ ගැනද සටහන් කර ඇති නිසාවෙනි. නැසී ගියද ජන හදවත්වල නොනැසී ජිවත්වන රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ පදවැලකින්ද, ගුණදාස කපුගේ ගේ ගායනයෙන් සහ සංගීතයෙන්ද හැඩවූ ඒ ගීතයේ මිහිර සිතින් විඳිමින් යෝධ ඇළ දිගේ ඉදිරියට යන්නට උත්සාහ කළෙමි.
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංඟා ගෙන මා
ඔබ තෙමුනා අම්මේ…...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ…..
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ.
නුවර කලාවිය යනු කාට කාටත් නිතර ඇසෙන හුරු පුරුදු නමක් වුවද එහි අරුත දන්නෝ විරලය. කෝට්ටේ රාජධානියේද, මහනුවර රාජධානියේද ප්‍රාදේශීය පාලන ඒකකයක් වූ නුවර කලාවිය අනුරාධපුරෙය් නුවර වැවත්, කැකිරාව කලාවැවවත්, පදවිය පිහිටි පදවිය වැවත් යන වැව් ත්‍රිත්වයෙන් පෝෂණය වූ බිම් ප්‍රදේශ එක්කොට නිර්මාණය වූ ප්රදේශයයි.
ලංකා ඉතිහාසයේ අවසන් වරට රට එක්සේසත් කළ කෝට්ටේ සය වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් යාපා පටුන සපුමල් කුමරුට පවරා දීමෙන් පසු ඉතිරි ප්‍රදේශ පාලනය කිරීමේ පහසුව සඳහා දිසාවන් දොළසකට බෙදා දිසා කොඩි දොළහක් ද සහිතව දිසාපතිවරුන් පත් කරන ලදී. ඒ අනුව “ගජසිංහ” කොඩිය පවරාදෙමින් නුවර කලාවිය දිසාව නිර්මාණය වී ඇත්තේ කෝට්ටේ යුගයේදී බවට සැලකිය හැකිය.
---ඒ කාලේ කලාවැව කැලයක්-----
කාල සිටාණන්ගෙන් පැවැත ආ පැරණි යෝධ ඇළ ආශ්‍රිත වැසියෝ කෝට්ටේ යුගයෙන් පසු වෙනත් සශ්‍රීක ප්රරදේශවලට විතැන් ව ඇත්තාහ. 1818 කැරැල්ලේදී ඉංග්‍රීසීන්ගෙන් සැඟව පලා ආමාතලේ වැසියන් බොහෝ දෙනකු පදිංචි වී ඇත්තේ යෝධ වැවේ ඉහත්තාවේ, මඩාටුගම, ගල්කිරියාගම අවට ප්රදේශවලය. කැරැල්ලට සම්බන්ධ වූ කැප්පෙටිපොළ දිසාව පවා ඉංග්‍රිසි අත්අඩංගුවට පත්වන්නේ කලාවැව ඉහත්තාවේ ගම්රොදක දීය.
“අපේ මුතුන් මිත්තෝ මෙහෙට සංක්‍රමණය වෙලා තියෙන්නේ ගල්කිරියාගමින්. ගල්කිරියාගමට එන්න කලින් මාතලේ හිටපු අපේ පරම්පරාවේ උදවිය ඉංග්‍රීසීන්ගෙන් වුණු තාඩන පීඩනත් එක්ක තමයි පහුබැහැල තියෙන්නේ. මගේ මව් පරම්රාවේ ඥාතියෝ තමයි ගල්කිරියාගමින් යෝධ ඇළට ඇවිත් තියෙන්නේ. එතකොට කලාවැව හිඳිල ගිහින්, බැමි එහෙම කැඩිලා. විශාල කැලයක් විදියට තමයි කලාවැව තිබිලා තියෙන්නේ. ගොඩක් බැදි ගම් කලාවැව ඉහත්තාවේ තියෙද්දි අපේ සීයලා ආච්චිලා කලාවැවෙන් පහළට ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ. ඒ 1850න් පස්සේ කාලෙක” හිමංසු බණ්ඩාර ඇතිපොල මහතා යෝධ ඇළේ දියවර පහස ලබන්නට තමන්ට උරුම වූ අතීතය විස්තර කරන්නේ එලෙසය.
“ඒ කාලේ යෝධ ඇළක් තිබිලා නෑ...ඒත් තැනින් තැන ගම් වැව්, කුළු වැව් ඉතිරිවෙලා තියෙනවා. අපේ මුත්තලාත් ගම් වැවක් පාමුල වගාවක් කරගෙන ඉඳලා තියෙනවා.”
1818 කැරැල්ලෙන් අඩසියවසකට පමණ පසුව වල්වැදී තිබුණු රජරටට අවධානය යොමුකළ ඉංග්රිසීහු එහි තම පරිපාලන කටයුතු ආරම්භ කෙළෝය. එහිදී කලාගම් කෝරළයේ රටේ මහත්මයා තනතුර පිරිනැමුයේ මාතලේ රත්වත්තේ පරම්පරාවේ ලොකුබණ්ඩාරටය. 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් යන නිලධාරීන් දෙදෙනා විසින් බිඳී ගිය කලාවැව සොයාගත් අතර එය ප්‍රතිසංස්කරණය කර රජරට ජනපදකරණය ඇරඹීමට ඉංග්‍රිසි රජය තීරණය කළේය. එම කටයුත්තේදී සේවකයින් සපයාදීම පැවැරුණේ ලොකු බණ්ඩාර රත්වත්තේ රටේ මහත්තයාටය.
“ඉංග්‍රිසීන් වැව හැදුවට පස්සේ යෝධ ඇළේ ජල පාලන කටයුතු සඳහා අන්ත දෙකෙන්ම නිලධාරීන් දෙදෙනෙකු පත් කළා.ඒකෙන් යෝධ ඇළේ ඇරඹුමේ ජල පාලන කටයුතු පැවැරුණේ අපේ මුත්තා කෙනෙකුට. අනෙක් කෙළවරේ ජල පාලනය පැවැරුණු කෙනා ඉඳල තියෙන්නේ තිසා වැව ඉහත්තාවේ. මේ ගෙවල් දෙකටම කියල තියෙන්නේ යෝධ ඇළේ ගෙදර කියලා”
“මුත්තට පැවුරුණු රජකාරිය මොකද්ද?”
“යෝධ ඇළේ වතුර පාර අඩි අටක් උසට පවත්වාගෙන යාම තමයි පැවැරුම. මුත්තා දිනපතාම මේ තත්ත්වය බලල සටහන් තියාගන්න ඕන… අනුරාධපුර අන්තයේ යෝධ ඇළේ ගෙදර කෙනාගේ රාජකාරිය තමයි ඒ වතුර ප්‍රමාණය ලැබෙනවද කියල තහවුරු කරන එක. මුත්ත තියන සටහන් රටේ මහත්තයා හරහා ඉංග්‍රිසි ආණ්ඩුවට යැව්වා.”
“එච්චරද?”
“යෝධ ඇළේ අතුරු ඇළවල් බලාගන්න වෙන වෙනම වෙල් වදානේලා හිටියා.ඒවා මුත්තට පැවැරුණේ නෑ. අනුරාධපුරේට වැඩි වැස්සක් ඇවිත් තිසා වැව පිරෙන වෙලාවක යෝධ ඇළේ වතුර තාවකාලිකව අඩු කරන එක, නවත්වන එකත් මුත්තට පැවැරුණු රජකාරියක්. ඒකට ලැබුණු සන්නස් පත්‍රයක් අපේ පවුලේ තිබිලා තියෙනවා දැන් ඒකට වෙච්ච දෙයක් නෑ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හැදුණාට පස්සේ මේ රාජකාරිය එයාල පවරගත්තා.”
අමණක්කට්ටුව ධාතුසේන ගොවි සංවිධානයේ ලේකම් තනතුර දරණ පනස් නව හැවිරිදි හිමංසු බණ්ඩාර ඇතිපොල මහතා දෙදරු පියෙකි. සාමාජිකයින් එකසිය විස්සකට වඩා සිටින මෙම ගොවි සමිතියේ සාමාජිකයෝ කුඹුරු අක්කර දෙසිය දහයක් හා අතුරු බෝග ලෙස ලූනු, මිරිස් සහ එළවළු වගා කරති.
ඔහුගේ නිවෙසට අදද කියන්නේ යෝධ ඇළේ ගෙදර කියාය. එහෙත් ඉංග්‍රිසීන් විසින් රාජකාරිය පවරනු ලැබූ සිය මුත්තා සිටි සැබෑ ‘යෝධ ඇළේ ගෙදර’දැන් ඇත්තේ ගරා වැටෙමිනි. අපි යෝධ ඇළ බැම්මේ සිට මීටර පන්සියයක පමණ දුරක් වන බූටෑව මැදින් ගොස් පැරණි ‘යෝධ ඇළේගෙදර’දැක ගත්තෙමු.
කළුගලෙන් බැඳි අඩියක් පමණ ඝනකම් බිත්තිවලින් සමන්විත එම නිවෙසේ විශාල උළුවහු සහ ජනෙල් පවා තවදුරටත් හඳුනාගත හැක. සමහර ඇතුළු බිත්ති බැඳ ඇත්තේ ගඩොලිනි. ඒ ගඩොල්ද වත්මනේ අප දකින සාමාන්‍ය මැටි ගඩොලට වඩා විශාලය. යෝධ ඇළ හා බැඳුණු අතීත මතක සටහන් මිනිස් මනසින් වියැකී යන්නට පළමුව ඒවා සොයා යන්නට ලැබුණු අවස්ථාවේ නිසි ඵල ලබමින් මෙවන් තොරතුරු දැනගන්නට ලැබීම ගැන නම් ඇත්තේ සතුටකි. ආරම්භක කෙළවරේ කලාවැවේ ‘යෝධ ඇළේ ගෙදර’
සොයා ගත් ලෙසින්ම තිසා වැව කෙළවරේ ‘යෝධ ඇළේ ගෙදර’ද සොයා ගත යුතුය. ඒ සඳහා බොහෝ දුර යායුතුව ඇත. එහෙයින් අපි සමු ගතිමු.
ඔබටත් පැරණි යෝධ ඇළ ගැන කියන්නට යමක් වේ නම් [email protected] ලිපිනයට දන්වන්න.
යෝධ ඇළේ ගොවීන් සොයා හේන් කුඹුරු දිගේ ගියෙමු
(නවාතැන් පහසුකම් සැපයූ ගාමිණී එදිරිසිංහ මහතාටත්, සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ වජිර ප්‍රසන්න ඉලංගසිංහ මහතාටත්, තොරතුරු සහ අදහස් දැක්වූ නලීන් මිණිපුර මහතා ඇතුළු ගම්වැසියන්ටත් ස්තූතියි!)
ඡායාරූප - චතුර හේමාල්
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ