
ඇන්ටාක්ටිකාව කී පමණින් අප මතකයට නැඟෙන්නේ හිම හා දරුණු ශීතලය. මේ කියන්නේ එහි ඇති එක් නගරයක් ගැය. ශීතල කිව්වත් එහි ශීතල නම් දරන්නට බැරිය. ශීතල කෙසේ වෙතත් එහි නගර බලධාරීන් කියන්නේ නගරයට එනවානම් සැත්කමක් කරගෙන මිස නොආ යුතු බවය.
ඇන්ටාර්ක්ටිකාවේ විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරය ගැන සමහරවිට ඔබ අසා නැතිවා වන්නට පුළුවන. විලා ලාස් එස්ට්රෙල්ලාස් යනු ඉංග්‍රීසි බසින් නම් "ද ස්ටාර්ස් ටවුන්" යන්නයි. ඇන්ටාර්ක්ටිකාව බොහෝ දුරට මිනිසුන්ගෙන් තොර තැනෙකි. ඒ වුණත් මිනිසුන් පදිංචිව සිටින ස්ථාන දෙකක් එහි ඇත්තේ ය. මතු කී විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරය ඉන් එකකි. එහි ජනගහනය ඍතුවල ස්වභාවය අනුව වෙනස් වේ. ගිම්හානයට එය පුද්ගලයන් එකසිය පනස් දෙනෙකුගේ ක්‍රියාකාරකම් නිසා කාර්යබහුල වන නගරයක් වන්නේය. ශීත ඍතුව උදා වන්නේ හරියට කාටත් කරදරයකට මෙනි. ශීත කාලයේදී එහි ජනගහනය හරි අඩකින් පමණ පහළ වැටෙන්නේ ඒ නිසා වන්නට පුළුවන. එහි ශීත ඍතුව හරිම කර්කශය. ඒ කාලයට ඇතිවන කාලගුණ විපර්යාස සතුන්ට, මිනිසුන්ට පමණක් නොව ගහ කොළවලට, මහා පොළොවට සහ සාගරවලටවත් දරන්නට බැරි තරම් ය. ඒ කටුක බවත් සමඟ නගරය මුළුමනින්ම වාගේ දැඩි නිසොල්මනකට වැටේ. එවිට විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරයේ ඒ කෙළවරේ සිට මේ කෙළවර දක්වාම දැකිය හැකි වන්නේ එකම එක හිම යායක් පමණි.
විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරයට පැමිණීම ලෝකයේ දක්ෂිණ කෙළවරේ පිහිටි අතිශයින්ම දුෂ්කර සහ පාළු තැනෙකට ළඟාවීමක් හැටියට හඳුන්වන්නට පුළුවන. එහි අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහන, සන්නිවේදන, ව්‍යාපාරික සහ විනෝදාස්වාද පහසුකම් තිබෙන බව සැබෑවකි. එසේ වුවත් ඒවා අප සාමාන්‍යයෙන් භුක්ති විඳින පහසුකම්වල ස්වරුපයට වඩා හාත්පසින්ම වෙනස් ය. කෙටියෙන් කිවහොත් එහි වසන කෙනෙකුට ඒ පහසුකම් භුක්ති විඳින්නට සිදුව තිබෙන්නේ දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ ය. ලොව අන් කවර තැනෙකවත් නැති තරමේ සම්පත් හිඟයක් ද එහි ඇත. එහි වසන මිනිසුන්ගේ නිදහස දුෂ්කරතා සහ සම්පත් හිඟය විසින් කපා කොටා පටු තැනෙකට ලඝු කරනු ලැබ තිබේ. එය සාමාන්‍ය සමාජයක ජීවත්වන අපට නම් සමහර විට ඔරොත්තු නොදෙන තරම් ය.
විලා ලාස් එස්ට්රෙල්ලාස්හි පදිංචියට යන කිසිවකු වේ නම් ඔහු හෝ ඇය හෝ අනිවාර්යයෙන්ම සපුරාගත යුතු සෞඛ්‍ය අවශ්‍යතා ඇත. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ එහි පදිංචියට යන ලොකු කුඩා ඕනෑම කෙනෙකු, උණ්ඩුකපුච්චය ඉවත් කර ගැනීමේ ශල්‍යකර්මය අවශ්‍යයෙන්ම කරවා ගත යුතු වීමයි. කුඩාම දරුවන් පවා එකී ශල්‍යකර්මය කරවා ගත යුතුව ඇත. ශල්‍යකර්මයක් කරගෙන මිස නගරයේ පදිංචියට නොපැමිණෙන්නැයි කියා බලධාරීන් ඉල්ලීම් කරන අන් නගරයක් ලොව වෙනත් කිසියම් තැනෙක ඇති බව ඔබ අසා තිබෙනවා ද? විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරයේ මෙවැනි අසාමාන්‍ය රීතියක් ක්‍රියාත්මක වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එහි සෞඛ්‍ය පහසුකම් හිඟ බැවිනි. තදබල ලෙඩකට දුකකට එහි සිටින කෙනෙකු වෛද්‍ය පහසුකම් ලබා ගන්නට යා යුත්තේ කිංග් ජෝර්ජ් දූපතෙහි ඇති රෝහල වෙතය. ඒ ගමන කිලෝමීටර දහසක් දුර ගෙවා යා යුතු ගමනකි. එතරම් මහා දුරක් ගමන් කර රෝහලට ළඟා වන විට රෝගියාට සිදුවන්නට ඕනෑ සියලු දේ සිදු වී හමාර විය හැකිය. ඒ නිසා කිසිදු අවදානම් රෝගී තත්ත්වයක් තබාගෙන විලා ලාස් එස්ට්රෙල්ලාස්හි පදිංචියට යෑම නුවණට හුරු නැත. සාමාන්‍යය රෝගී තත්ත්වයකට බෙහෙතක් හේතක් ගන්නට විලා ලාස් එස්ට්රෙල්ලාස්හි කුඩා රෝහලක් ඇත. එහෙත් එහි විශේෂඥ වෛද්‍ය පහසුකම් නැත. නවීන මෙවලම් හෝ පුළුල් රසායනාගාර සේවා හෝ එහි නැත. එහෙව් තැනෙකින් රෝගියකුට කවර නම් සැනසීමක් ද?.
විලා ලාස් එස්ට්රෙල්ලාස් ජනයාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඩා පාසලක්, කුඩා අවන්හලක්, බැංකුවක්, තැපැල් කාර්යාලයක්, පල්ලියක්, ක්‍රීඩා මධ්‍යස්ථානයක් හා සිහිවටන ආදිය මිලදී ගත හැකි සාප්පුවක් යනාදිය එහි ඇත. පාසලේ පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර
ගුරුවරු දෙදෙනෙක් වෙති. පාසලේ සිටින්නේ සිසුන් 15ක් වැනි සංඛ්‍යාවකි. අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක යන්ත්‍ර තුනක් නගරයේ ඇති අතර එම පරිගණක යන්ත්‍ර තුනම තිබෙන්නේ මේ පාසලේ වීම තවත් විශේෂත්වයකි. එකී කුඩා පාසල අවුරුද්දෙන් වැඩි කාලයක් හිම තට්ටුවලින් වැසී පවතින බැවින් ද ඝන හිම තලා මතින් ඊට ඇවිද යා යුතු බැවින් ද දරුවන්ට පාසල් ගමන කොහෙත්ම පහසු නැත.
විලා ලාස් එස්ට්රෙල්ලාස්හි නිවෙස් අපේ නිවාසවලට වඩා හාත්පසින්ම වෙනස්ය. එක නිවෙසක් වර්ග මීටර 90ක පමණ සරියකින් යුක්තය. නිවාස 14 ක් පමණ නගරයේ ඇත. ඒවා රසායනික වැසිකිළි සහිත නිවෙස් බව වාර්තා වේ. මේ අමුතු නිවෙස්වල රැඳෙමින් විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරයේ ජීවත්වීම සමහරු වෙනත් ග්‍රහ ලෝකයක ජීවිත්වීම හා සමාන බව හඳුන්වති.
ලුතිනන් කර්නල් සර්ජියෝ කුබිලෝස් නිරන්තරයෙන්ම වාගේ මේ අමුතු "ග්‍රහලෝක" පරිසරයේ රැඳී සිටින කෙනෙකි. එයට හේතුව හෙතෙම එහි චිලී ගුවන් හමුදා කඳවුරේ සේවය කිරීමයි. ඔහු එහි දිගින් දිගටම පදිංචිව සිටියත් ඔහුගේ බිරිය සහ පුතා නිතර නිතර විලා ලාස් එස්ට්රෙල්ලාස් නගරයෙන් බැහැරට ගොස් නැවත එහි පැමිණෙති. ඒ, එහි පවත්නා ආන්තික කාලගුණ තත්ත්වවල දුෂ්කරතා දිගින් දිගටම විඳින්නට නොහැකිකමයි. එහෙත් ලුතිනන් කර්නල් සර්ජියෝ නම් කියන්නේ මෙහෙම කතාවකි.
"ශීත ඍතුව උහුලන්න බැරි තරමට ශීතලයි. ශීත සමය උදා වුණාම අපි සති ගණනක් නිවෙස්වලටම වී ඉන්නවා. එළියට බහින්නෙම නැහැ. ඒ වගේ කාලයට මෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 47හි පමණ පවතින්නේ. ඒ වගේ ආන්තික තත්ත්ව තිබුණත් මම මේ පරිසරය සැබෑවටම විඳිනවා. මොකද මම කොමාන්ඩෝ පුහුණුවක් ලද කෙනෙක් නිසා." යැයි හෙතෙම පවසයි.
ලෝකයේ දක්ෂිණ අර්ධ ගෝලයේ තිබෙන තරු නගරය යැයි කියන විලා ලාස් එස්ට්රෙල්ලාස්හි ජීවත්වීමට කොමාන්ඩෝ පුහුණුවක් අවශ්‍ය බව ඉන් කියැවේද යන්න හරියටම නොහැකිය.