
දරු පරපුර
මම ගුරුවරයකු හැටියට තිස් පස් අවුරුද්දක් ම ළමයින් සමඟ ගත කළෙමි. අද මා වියපත් ය. එසේ වුව ද දැනුදු ළමයකු දුටු විට මා තුළ ඇති වන්නේ ළෙන්ගතු හැඟීමකි.
මම උදා හිරු එළියේ මිදුලෙහි සක්මන් කරන්නට වීමි. එක තැන හිඳ සිටීමෙන් ලෙඩ වැඩි වෙයි. ඇඟ පත රිදෙයි. තරමක් සක්මන් කළ විට එය මග හැර ගත හැකි ය. එක්තරා මවක් පුංචි දරුවකු ද සමඟ අපේ නිවෙසට ආවා ය. ඔවුන් ආවේ මා බලාපොරොත්තුවෙනි.
මම සක්මන නවතා ඔවුන් ඉදිරියට ගියෙමි.
ඒ පුංචි දරුවා ළඟට ගිය හැටියේ ම මා ඔහු සමඟ කතාවට වැටුණේ ඉබේ ම ය.
‘පුතා ගෙ නම මොකක් ද කියන්ඩකො බලන්ඩ?’
ඔහු නම කීවේ ය.
“ෂා. හරි ලස්සන නමක්නෙ’
දරුවා ගේ මුහුණ හැඩ විය.
‘පුතා ඉස්කෝලෙ යනව ද?’
‘මොන්ටිසෝරි යන්නෙ’
‘උදේට කෑවද?’
‘ඔව්’
‘මොනවද කෑවෙ?’
‘රයිස්!’
‘උදෙන් ම රයිස් කෑව ද?’
‘ඔව්’
මම සසල වී ගියෙමි. එහෙත් ඒ වග සඟවා ගතිමි.‘මටත් ටිකක් දෙනවද?’
‘ඔයා එන්ඩ අපේ ගෙදර. එතකොට දෙන්නං’
ඊළඟට මම ළමයා ගේ මව දෙස බැලුවෙමි. ‘මොකක්ද කෙරෙන්ඩ ඕනැ?’
‘සර්, ලියුමක් හදාගන්ඩයි ආවෙ’
මම ඒ කටයුත්ත කර දී ඔවුන් පිටත් කළෙමි.
* * *
‘සර්, නිවෙන්ඩ කලිං කෑව නං නේද හොඳ?’
වසන්තා සිහිපත් කළා ය.
මම පාතරාසය ගතිමි.
දවස සිකුරාදා බව මට සිහිපත් විය. කුරුස පල්ලියට තනිවම යා යුතු යැයි මම ඉටා ගතිමි.
ගමනට සූදානම් වන විට වසන්තා ප්‍රශ්නයක් දැම්මේ ය.
‘සර් ඔය කොහෙ යන්ඩද?’
‘මං ළමයො පල්ලි ගිහිං එන්නංකො’
‘කොහොමද යන්නෙ?’
‘මෝටර්සයිකලෙං යනව’
‘අනේ පරිස්සමින් සර්’
මම යතුරු පැදියෙන් ගමන පිටත් වීමි.
දෙව්මැදුර ඉදිරිපිට බයිසිකලය නැවැත්වූ මම එය නවතා තැබීමට සුදුසු තැනක් බැලුවෙමි.
දොර හළ වෑන් රියක් මා ළඟ ම තිබිණ. දරුවකු ගේ හැඬුමක් එතුළින් ඇසිණ. මම විපරම් කළෙමි. අර වයසේ ම දරුවෙක් මොර දී හඬයි. ඔහු ගේ පියා ඉපලකින් පහර දෙයි. දරුවා ගේ අතේ මවගේ මුදල් පසුම්බිය ද තිබේ.
‘ඇයි ඔය පුතාට ගහන්නෙ?’ මම පියා ගෙන් ඇසීමි.
‘මේ ළමය හරි වසයි. හරි දඟයි. කියන දේ අහන්නෙ නෑ.’
තත්වයේ හැටියට වැඩි කතා බහ හොඳ නැතැයි මට සිතිණ. ‘මගෙ දරුවට මං ගැහුවට තමුසෙ මොකදැ’යි ඇසීමට හැකි ය.
පියා දිගට ම පහර දුන්නේ ය. දරුවා ද දිගට ම කෑගැසුවේ ය. මගේ පපුව හෝස් ගා දා ගියේ ය. කඳුළු සට සට ගා වැටෙනු මට දැනිණ.
‘ඔය පුතාට ගහන්ඩ එපා! පව්! ඇයි ඔය ගහන්නෙ?’ මට කියැවිණ.
පියා මදෙස නොබලා ඉවත බලා ගත්තේ ය.
මට කල්පනාවක් ආයේ ය. මම වහා ම සාක්කුවට අතදා රුපියල් සීයක් ගෙන දරුවාට දී ඔහු අතේ තිබූ මව ගේ මුදල් පසුම්බිය රැගෙන පියාට දුනිමි.
‘පුතා මේකෙන් කැමති දෙයක් ගන්ඩ! තාත්තත් එක්ක යන්ඩ!’
දරුවා ගේ හැඬිල්ල නතර විය. ඔහු මුදල් නෝට්ටුව දෙස බලා සිටියේ ය. ඔහු ගේ මුහුණ එළිය වනු මට පෙනිණ.
මගේ ළය සැහැල්ලු විය. මම යතුරු පැදිය නවත්වා දෙව්මැඳුරට ගියෙමි.
මා දෙව්මැදුරෙන් ආපසු එන විට වෑන් රිය නොවීය . මම බයිසිකලයට නැගුණෙමි.
* * *
ඊළඟට මා ගියේ යතුරු පැදි අලුත්වැඩියා කරන තැනට ය. පියල් මා දැක හිනැහුණේ ය.
‘පියල්, මේක එකපාරට මග නතර වෙනව. පොඩ්ඩක් බලල හදල දෙන්ඩකො.’ මම කීමි.
‘වාඩිවෙන්ඩකො සර්’ කියමින් ඔහු මට පුටුවක් ළං කළේ ය.
වෙලාව හවස දෙකට පමණ ඇත. පාසල් ඇරුණු ළමයි ගෙදර යමින් සිටියහ.
මම ඔවුන් දෙස දයා සිතින් බලා සිටියෙමි. නැගිට ගොස් ඔවුන් හා කතා බහ කරන්නට මට සිතෙයි. එහෙත් අද මේ බොහෝ ළමයි එදා ළමයින්ට වඩා වෙනස් ය. ‘මේ ලොක්ක බයිල ගහනව!’ කියා ගසා බසා දා යා හැකි ය. එනිසා මෙසේ ආගන්තුකව සිටීම යහපත් ය. මම ඔවුන් යනතුරු බලා සිටියෙමි.
හුරුබුහුටි ළමයි හතර පස් දෙනෙක් රතු පාටින්, කහ පාටින් දිලිසෙන අයිස් පලම් රහ බලමින් ගියහ. ඔවුන් සූස් ගා ඒවා ඉරුවේ ලෝකයේ ම රස එකවර උරා බොන්නාක් මෙනි. මට හිනා ගියේය.
ඊළඟට ළමයි දහයක පහළොවක කණ්ඩායමක් එක පොදියේ බස් නැවතුමට ආහ. ඔවුන් දුටු හැටියේ මට සිහිපත් වූයේ දුටුගැමුණු රජතුමා ගේ දසමහ යෝධයන් ය. මොවුහු පාසල් දරුවෝ ද? ඇයි මෙච්චර මහත? ඔවුන් දඟලන විට ඇඟේ මස නටයි.
සූකරයන්ට කෑම කෑ තැන ම වැටී නිදා ගැනීමට සලසා ඇත්තේ ඔවුන් ගේ සිරුර තර කරනු පිණිස ය. බ්‍රොයිලර් කුකුළන් ද එසේ ය. මේ ළමයින් ද ඒ තත්වයට ඇද දමා ඇති සේ ය. ඔවුන් ව්‍යායාම කෙරෙහි යොමු නොකෙරෙන්නේ ඇයි? ඔවුන්ට තමන් ගේ තත්ත්වයේ බරපතළ කම කියා නොදෙන්නේ ඇයි? මට මහත් දුකක් දැනිණ.
‘සර් වැඩේ හරි.’ පියල් ගේ හඬින් මගේ සිතුවිලි ලෝකය බිඳිණ.
‘කොහොමද ගාස්තුව?’
‘ඒක කරගන්ඩ පුළුවනි. සර් යන ගමන යන්ඩකො’
මා ගිනිගහන අව්වේ ආපසු ගෙදර එන විට සවස තුනට ළං ව තිබිණ.
ඇඟ පතට තෙහෙට්ටුවක් දැනුණෙන් මම ඉස්තෝප්පු හාන්සි පුටුවට බර දුනිමි. ගතට වඩා හිත බර ය.
උදේ ම දරුවකු රයිස් කෑ කතාව ඇසීමි. ඊළඟට දරුවකුට පහර දෙනු දුටිමි. ඉන් පසු තරබාරුවෙන් අධික පාසල් දරු පිරිසක් දැක සසල වුණෙමි.
දරුවන් අනවශ්‍ය ලෙස මහත් වන්නේ ඔවුනට කුඩා කාලයේ සිට තෙල් අධික ආහාර දීමත්, සුදුසු ව්‍යායාම කෙරෙහි ඔවුන් යොමු නොකිරීමත් නිසා ය.
අද මවුපියෝ දරුවන් කියන කියන දේ කරති. ඔවුන් පාලනය නොකරති. යන මාවත ගැන කියා නොදෙති. එබඳු දරුවන් මුරණ්ඩු වීම ස්වාභාවික ය. එවිට මවුපියන් කරන්නේ ඔවුනට පහර දීම ය.
අද ඇතැම් මවුපියන් තම දරුවන්ට කෑමට රයිස් හදා දෙන්නේ හෝ කඩෙන් අරන් දෙන්නේ රැල්ලට මෙනි. එය විලාසිතාවක් වී ඇත. අනාගතය ගැන හිතා බලන්නට ගැඹුරක් නැති මෙබඳු මවුපියන් නිසා සිදුවන්නේ අනාගත පරපුර රෝගී වීම ය. එහි තේරුම අනාගතය රෝගී වීම ය.
මේ තත්ත්වයේ බරපතළකම ගැන තේරෙන්නේ මා බඳු ටික දෙනෙකුට විය හැකි ය. බහුතරය විලාසිතාවලින් වැසී ගිය වාණිජ රැල්ලකට අසු වී නන්නත්තාරේ දුවන බැවිනි. මෙය මරඋගුලක් බව ඔවුනට නොවැටහෙයි. මේ උගුලින් අපේ අහිංසක දරුවන් බේරා ගන්නේ කෙසේ ද? මම පිළිතුරක් සොයා ගනු බැරිව අතරමං වීමි.
‘සර් තුනත් පහුවෙලා. කන්නෙ නැද්ද?’ වසන්තා ගේ කෑගෑමෙන් මම පියවි ලෝකයට ආවෙමි.
මාරාවිල, වීරහේනේ, ඩබ්ලිව්.එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.